එදිනෙදා සිදුවන අහඹු දේවල් විද්‍යාත්මක ඇසින්

අහඹු දේවල් ලෙස පෙනෙන එදිනෙදා දේවල්වලට අපේ අතීත මුතුන් මිත්තන් පවා විවිධ දේවල් හිතාගෙන හිටියා. එය පැහැදිලි කරගන්නට නොහැකි වුණාම දෙවියන් විසින් කරන ලද්දකැයි දෙවියන්ට භාරදී සෑහීමකට පත් වුණා. නමුත් විද්‍යාවේ දියුණුව සහ ‘විද්‍යාත්මක ක්‍රමය’ වැනි ක්‍රමවේද මානව බුද්ධිය කළඹන්නට සමත්වූ නිසා දකින දේකින් සෑහීමට පත් නොවී කුතුහලය මෙහෙයවා එයට නිවැරදි හේතුව සොයාගන්නට පෙළඹුණා. මේ එවන් එදිනෙදා දකින දේවල් කිහිපයකට විද්‍යාත්මක පහදාදීමක්.

චිප්ස් පැකට්වල වැඩිපුර වාතය තිබෙන්නේ ඇයි?

ketchupp.in

වෙළඳපොළෙන් මිලදී ගන්නා ස්නැක්ස් වර්ග, චිප්ස්වල පැකට් එක විවෘත කළාම කොණ්ඩය හුළඟේ යන තරම් හුළං ප්‍රමාණයක් ඒකෙන් පිටවෙනවා. මිලදී ගනිද්දී පැකට් එක විශාල ලෙස පෙනුනාට එයින් බොහොම කුඩා ප්‍රමාණයක විතරයි ස්නැක්ස් තිබෙන්නේ. මෙය හොර ජාවාරමකැයි අරුත් ගන්වනු ලැබුවත් එහි විද්‍යාත්මක හේතු සාධකයක් ද තිබෙනවා. බදින ලද හෝ බේක් කරන ලද චිප්ස් ටික අසුරණය තුළ තිබියදී ඒවා ඔක්සිජන් සමඟ එක්ව රස නැතිව යාමට ලක්වෙනවා. ජල වාෂ්ප එක් වුවහොත් පෙඟී යනවා. මෙය වළක්වන්නට නයිට්‍රජන් වායුවෙන් අසුරණයේ අඩක් පමණ පුරවා දමන අතර එයින් අසුරණය පිම්බී තිබෙන නිසා පැකට් වැඩි ගණනක් අසුරා තැබීමේදීත් චිප්ස් කුඩුවී හැඩය නැතිවී යාම ද වැළකෙනවා.

කාමරයකට ගියාට පස්සේ ගියපු හේතුව අමතක වෙනවා

bbci.co.uk

නාන ගමන් නානාප්‍රකාර දේවල් කල්පනා කරන අයට නාන කාමරයෙන් එළියට ආවට පස්සේ ඇතුලෙදි කල්පනා කරපු පුදුම හිතෙන සිතුවිලි සියල්ලම අමතක වී යනවා. ෆෝන් එක අතට ගත්තාම කරන්න ගිය දේ අමතක වෙලා ෆේස්බුක් ගිහින් ආයෙත් පැත්තකින් තියනවා. මේ වගේ දේවල් වලට හේතු වන සංසිද්ධිය “Doorway Effect” ලෙස හඳුන්වනවා. එහිදී සිදුවන්නේ තාවකාලික මතකය තුළ ගබඩා කරන ලද්දක් පරිසර වෙනස්වීම් අනුව අපේ අවධානය වෙනස්ව යාමෙන් වෙනත් දෙයකින් එය ප්‍රතිස්ථාපනය වීමයි.

පර්යේෂණ කිහිපයක්ම හරහා තනි කාමරයක් තුළ සහ කාමර දෙකක් අතර විවිධ භාණ්ඩ විවිධ ස්ථානවල තබන ලෙස සහභාගී වූවන්ට පැවසූ විට තනි කාමරය තුළ කරන ලද ක්‍රියාකාරකම්වලට වඩා පරිසරය වෙනස්ව වෙනත් කාමරයකට ගොස් කරන ලද දෑ අමතක වන බවට සනාථ කරලූවා. මේ ගැන අපේ පැරණි ජනකතාවක ද කියැවෙනවා. එක්තරා පුද්ගලයෙක් “වෙල්ලවැහුම්” (පෑන්කේක්/ලැවරියා වැනි ආහාරයක්) එක් නිවසකින් කා, තම බිරිඳ ලවා එය සාදවා ගන්නට නම මතක තබාගෙන ආවා. නමුත් එන අතර මඟදී ලිස්සා වැටුණු විට ඇසුණු “චිරිස්” ශබ්දය, කෙනෙක් ගඟට පැන නාද්දී ඇතිවූ “ජබුං” හඬ, ආදී දෑ ඔහුගේ මතකයට යාම නිසා අවසානයේ ගෙදර ඇවිත් කීවේ “හාමිනේ, මට හොත්තරි පචං හදලා දෙන්න?” කියායි.

අපි නොදැනම අකුරුවල වැරදි හදන මොළය

besthealthmag.ca

අපේ මොළය අපටත් නොදැනීම විවිධ දේ කරනවා. බස් හෝල්ට් එකේ දුරකතනය ඔබමින් සිටි ඔබ තවත් මොහොතකින් බලද්දී බස් එකේ වාඩිවෙලා ඉන්න බව හැඟෙනවා. මෙලෙසම වාක්‍යයක් කියවාගෙන යාමේදී අපිට බොහෝ විට එහි වැරැද්දක් තිනබෙ බව පෙනෙන්නේ නැවතත් හොඳින් කියවූ විටයි. එම වාක්‍යයේ අරුකු වෙනස් කොට තිබුණත් අටපි පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. ව්‍යාකරණවලටත් බලපාන මේ සංසිද්ධිය හඳුන්වන්නේ Event-Related Potential (ERP) ලෙසයි. 2013 දී ඔරිගොන් සරසවිය විසින් ඉංග්‍රීසි බස මව්බස වූ, වයස 18-30 අතර අය යොදාගෙන කළ පර්යේෂණයකදී අපේ අනුදැනුමක් නැතිවම මොළය විසින් වැරදි හදා දී කියවීම පහසු කරවා දෙන බව තහවුරු වුණා. වැරදි සහිතව ලබාදුන් වචන, වාක්‍ය ඛණ්ඩවල වැරදි නොදැක ඔවුන් ඒවා නිවැරදි බව පැවසූවත්, මොළයට සම්බන්ධ කර තිබූ ඉලෙක්ට්‍රෝඩ පෙන්වා දුන්නේ ඒවා මොළය හඳුනාගෙන නිවැරදි කරන ලද බවයි.

බටර් ගෑ පාන් පෙත්තක් වැටෙද්දී ඒ පැත්තම බිමට හිටින්නේ ඇයි?

pixabay.com

ආර්ථික අමාරුකම් එක්ක බටර් ගාපු පාන් පෙත්තක් වට්ටා ගන්නට අපිට හැකියාවක් නොතිබුණත් අන්තර්ජාලයේ නිතර කතා බහට ලක් වෙන දෙයක් තමයි පූසෙක් උඩ සිට අතෑරියාම කකුල් පහළට හිටිනවා වගේ බටර් ගාපු පාන් පෙත්තකත් බටර් ගාන ලද පැත්ත බිමට සිටිනවා කියන එක. නමුත් මෙයට බොහොම සරල පැහැදිලි කිරීමක් තිබෙන්නේ. අපේ බොහෝ මේසවල උස එක ප්‍රමාණයේ වන අතර අපි ටෝස්ට් පාන් පෙත්ත අතේ තියාගෙන හිටියත් මේසයේ උසට සමාන මට්ටමකයි තිබෙන්නේ. එවන් උසක සිට මෙය පතිත වීමේදී අංශක 180ක් පමණයි භ්‍රමණය වෙන්නේ. මේ නිසා බටර් ගෑ පැත්ත ම වැටීමේ සම්භාවිතාව වැඩියි. Manchester MET විශ්වවිද්‍යාලය විසින් පාන් පෙති 100ක් මෙලෙස අඩි දෙකහමාරක් උස මේසයක් සිට පතිත කළ අතර ඉන් 81ක් ම බටර් ගාන ලද පැත්ත බිමට සිටින සේ වැටුණා. නමුත් මේසය මීට වඩා උස වූවා නම් අංශක 360ක් ම පාන් පෙත්තට කැරකීමට අවස්ථාව තිබෙන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

අනුන්ගේ දුරකතන සංවාද අහන්න සිත් දෙන්නේ ඇයි?

kikn.com

කෙනෙක් දුරකතන ඇමතුමක් ගනිද්දී අපිට එම දෙබසින් ඇහෙන්නේ එක් කොටසක් පමණයි. “ඔව්” “නෑ නෑ” ආදී වශයෙන් මිසක් ප්‍රශ්නය කුමක් ද කියා අපට දැනගන්නට අවස්ථාවක් නැහැ. මෙම කුතුහලය නිසාම අපි අසල සිටින දෙදෙනෙක් කතා කරන දේකට වඩා එතැනම සිටින කෙනෙක් දුරකතන ඇමතුමක් ගන්නවා නම් ඒ වෙතට අපේ සිත යොමු වෙනවා. මෙම සංසිද්ධිය Halfalogue හෙවත් අඩ-දෙබස ලෙස හැඳින්වෙනවා. කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලම්බියා විශ්වවිද්‍යාලය විසින් කළ පර්යේෂණයකදී එක් අයෙකුට පරිගණක තිරය මත චලනය වන තිතක් මවුස් එක හරහා පසුහඹන ලෙස කියා ඔවුන්ට ඇසෙන සේ කෙනෙක් දුරකතන ඇමතුමක් ගන්නා ශබ්දයක් යොමු කළ විට මනස ඒකාකාරීව තබා ගන්නට අපහසු වුණා. මෙයට හේතුව වන්නේ ඉදිරියට විය හැකි දේ සිතාගත හැකි අවස්ථාවන්හිදී මොළය ඒ දේ අතහරින බවත්, සිදුවීමක් ගොඩනගා ගැනීමට අපහසු අවස්ථාවලදී මොළය ඒ ගැන වැඩි අවධානයක් යොමු කොට කල්පනාකාරී වන බවයි.

කවරයේ ඡායාරූපය: trainingzone.co.uk

Related Articles