විද්‍යාඥයන් මුහුදු ගොළුබෙල්ලෙකුගේ මතකය තවකෙකුට යවයි

ඉතිහාසය පුරා වැඩි දෙනෙක්ගේ අපේක්ෂාව වූයේ වසර ගණනාවක් ඉගෙන ගන්නවා වෙනුවට පරිගණකයට මෘදුකාංගයක් ස්ථාපනය කරන්නාක් මෙන් පොතේ තිබෙන දේවල් ක්ෂණිකව මොළයට එන්නත් කරගත හැකි ක්‍රමයක් පිළිබඳවයි. කැලිෆෝනියා-ලොස් ඇන්ජලීස් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් කරන ලද පර්යේෂණයකින් තහවුරු වී තිබෙන්නේ මෙය කළ හැකි යමක් බවයි. එන්නත් කළ නොහැකි ආකාරයට මතකයන් ගොඩ නැගෙන බවට ද කල්පිත පවතින අතර මෙය ඊට එරෙහිව මතකයන් යනු එකිනෙකා අතර හුවමාරු කළ හැකි එකකැයි නව බලාපොරොත්තු ලෝකයට ගෙන එනවා. මීට පෙර අවස්ථාවලදී ද එවන් පර්යේෂණ සිදුකර ඇති අතර ඒ සියළු දේ ද මේ ලිපිය හරහා ආවරණය කෙරෙනවා.

මතකයක් ඇති කරලීම

මහාචාර්ය David Glanzman ප්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් විසින් කළ පර්යේෂණයේදී සිදුකරන ලද්දේ මුහුදේ ජීවත්වන සරල ජීවී ප්‍රභේදයක් වන ඇප්ලිසියා නමැති මොලුස්කාවෙක් (ගොළුබෙල්ලන් අයත්වන වර්ගීකරණය) වෙත පුරුද්දක් හෙවත් මතකයක් ඇති කර, එය තවත් එම ආකාරයේම ජීවියෙක්ට ලබාදුන් විට එම පුරුද්ද ඒ ජීවියාගෙන් ද ඇතිවනවාදැයි අත්හදා බැලීමයි. ඇප්ලිසියාවන් ඔවුන් වෙත එල්ල වන බාධකයන්ට ක්ෂණික ප්‍රතිචාරයන් දක්වනවා. ශරීරයේ බාධකයක් ගැටුණු විට කරමල් හකුළුවා ගැනීම, වලිගය කොටසේ ගැටුණු විට එය හකුළුවා ගැනීම මෙලෙස පහසුවෙන් දැකීමට හැකි ප්‍රතිචාරයන් වෙනවා.

පර්යේෂණ කණ්ඩායම විසින් මෙම ප්‍රතිචාරයන් භාවිත කරමින් ඇප්ලිසියාවන්ට කුඩා ප්‍රමාණයක විදුලිසැර පහරක් ලබා දෙමින් දේහය සහ වලිගය ප්‍රදේශ උත්තේජනය කරනු ලැබුවා. මෙලෙස කිහිප වාරයක් කාල ප්‍රාන්තරයන් සහිතව කරනු ලැබූ විට ඔවුන් ඊට දක්වන ප්‍රතිචාර ක්‍රම ක්‍රමයෙන් අඩුව ගියේ ඔවුන් ඊට පුරුදු වූ බව හඟවමින්. ඉන්පසු ඔවුන්ට විනාඩි කිහිපයක් තිස්සේ එවන් සංවේදනයන් ලබා දුන්නත් එය ගණනකටවත් නොගෙන සිටිනු ලැබුවා. මෙම අවස්ථාව සංවේදීකෘත (sensitized) මට්ටම ලෙස හැඳින්වෙනවා.

ගොළුබෙලි මතකය ඇත්තේ RNA තුළයි

මුහුදේ ජීවත් වන ඇප්ලිසියාවෙක් (arransealife.co.uk)

පුහුණු කරන ලද ඇප්ලිසියාවන්ගෙන් ලබා ගන්නා ලද මතකයක් තවත් එම විශේෂයේම සත්ත්වයෙකුට එන්නත් කළ විට එම මතකය සංසරණය වූ බව දකින්නට ලැබුණා. ඒ සඳහා ඉහත ආකාරයට සංවේදීකෘත ජීවියෙක්ගේ RNA නිස්සාරණය කරගෙන එය තවත් ජීවියෙක්ට එන්නත් කරනු ලැබූ අතර එහිදී දකින්නට ලැබුණේ එම ජීවීන් ද නිතැතින්ම විදුලි ඝට්ටනයන්ට ඔරොත්තු දීමට පුහුණුවක් ලබාගත් බවයි.

ඒ අනුව, කිසිදු ආකාරයකින් ඉලෙක්ට්‍රොනික ඝට්ටන පුහුණුවක් නොලැබූ ජීවියෙක් තවත් ජීවියෙක්ගේ RNA ලැබීමෙන් එම පුහුණුව ම ලබාගැනීමෙන් පැහැදිලි වන්නේ මතකයක් ජීවීන් අතර සංසරණය කිරීමට හැකියාවක් තිබෙන බව කියායි පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ. මෙය මෙතෙක් කල් තිබූ මතයක් වූ, මතකයන් ඇති වන්නේ මොළයේ ස්නායු සෛල අතර ඇති කරගන්නා සවිමත් බන්ධනයන් නිසා යැයි යන්ට පූර්ණ වශයෙන් පටහැනි වෙනවා. නමුත් මේ, ඒ ආකාරයට ඇතිවූ ප්‍රථම විරුද්ධ මතය ම නොවෙයි.

නියුරෝන සබඳතා මතකයට පටහැණි පර්යේෂණ

ස්නායු සෛලයක් හෙවත් නියුරෝනයක් (medium.com)

60 දශකයේදී ඇමරිකාවේ මිචිගන් සරසවියේ මහාචාර්ය James V. McConnell විසින් වෙනස් ආකාරයේ පර්යේෂණයකින් මතක සංසරණය ගැන සඳහන් කළා. ඔහුගේ පර්යේෂණය වූයේ ප්‍රථමයෙන් පටිපණුවන් කිහිපයක් තෝරාගෙන ඔවුන්ට වංකගිරියක (maze) යාමට පුහුණු කිරීමෙන් අනතුරුව, ඔවුන්ව අඹරා පොඩි කොට තවත් මාංශ භක්ෂක පණුවන් පිරිසකට ආහාරයට දුන් විට ඔවුන් ද පෙර සත්ත්වයන් ලබා තිබූ පුහුණුව ම ලබාගන්නා බව තහවුරු කිරීමයි. ඔහු විශ්වාස කළ ආකාරයට ම මළ පණුවන්ගේ ආභාෂයන් වෙනත් පුහුණු නොකළ පණුවන්ට ලබාදුන් විට ඔවුන්ට ද එම හැකියාවන් සංසරණය කරලීමට හැකියාව ලැබුණා. ඒ අනුව සංවේදීකෘත හැකියාවක් තවත් පණුවෙක්ට ලබා දිය හැකි බවට ඔහු තහවුරු කළා.

අවාසනාවකට, McConnell ගේ පර්යේෂණයන් එකල ඉවතලනු ලැබුවා. ඇතැම් විද්‍යාඥයන් ඊට එරෙහි වූයේ එම පර්යේෂණය නැවත කිරීමට හැකියාවක් නොහැකි බවත්, ඔහුගේ ප්‍රකාශයන් අසත්‍යක් බව පෙන්වා දෙමින්. ධනවත් පුද්ගලයෙක් වූ McConnell සතුව තමන්ගේ ම විද්‍යා සඟරාවක් තිබුණා. එය නමින් The Worm Runners Digest වුණා. මෙම විද්‍යා සංග්‍රහයේ සත්‍ය විද්‍යාත්මක පර්යේෂණයන් සමඟ උපහාසාත්මක දේවල් ද අඩංගු කෙරුණා. එහි අඩංගු වූ එක් පැහැදිලි කිරීමක් ලෙස මෙම පටිපණු පර්යේෂණය අඩංගු වූ අතර ඒ නිසා එය ද විහිළුවක් ලෙස ප්‍රතික්ෂේප කෙරුණේ අද කාලයේ ප්‍රසිද්ධියට පත්වන ගොසිප් වෙබ් අඩවියක පළවූ සත්‍ය පුවතක් ලෙසටම යි.

මිචිගන් සරසවි ශිෂ්‍යයෙක් වූ Ted Kaczynski විසින් 1985දී තැපැල් බෝම්බයක් එවා මහාචාර්ය McConnellට සහ පර්යේෂණ සහායකයෙක්ට තුවාල ද සිදු කරනු ලැබුවේ අනාගතයේදී පෞරුෂත්වයයන් සහ හැකියාවන් විශේෂ රසායන ද්‍රව්‍ය හරහා එකිනෙකා අතර හුවමාරු කරගැනීමේ තාක්ෂණයක් ගොඩ නැගෙනු ඇති බවට මත පළ කිරීමට විරුද්ධත්වය දක්වමිනුයි.

RNA කථාවත් අසත්‍යක් ද?

trendintech.com

මහාචාර්ය Glanzman විසින් මොලුස්කාවන් යොදාගෙන කරන ලද පර්යේෂණයට පැය විසිහතරක් යන්නටත් ප්‍රථමයෙන් McConnellට මෙන්ම විරුද්ධ මත පළවුණා. නමුත්, 2013දී ස්නායු ශල්‍යවෛද්‍ය Michael Levin විසින් McConnellගේ පර්යේෂණයන් යළි අත්හදා බලා සත්ත්වයන් අතර මතක හුවමාරු කළ හැකි බවට ඔහු පළ කළ මතයන් සත්‍ය බව තහවුරු කළත්, 1990 වර්ෂයේදී ම McConnell අවසන් ගමන් ගොස් සිටියා.

එවිට Glanzmanගේ පර්යේෂණයන් ද එලෙසම සත්‍ය නම්, මතකයන් නියුරෝනවල වෙනුවට සෛල න්‍යෂ්ඨිකාවේ තිබෙන RNAවල අඩංගු දෙයක් වනවා නම් ඉන් අදහස් වන්නේ පුරුදු හෙවත් මතකයන් නිස්සාරණය කරගෙන ගබඩා කරගත හැකි බවත්, අවශ්‍ය අවස්ථාවක තවත් ජීවියෙක්ට එන්නත් කරන්නටත් හැකි බවයි. මිනිස් මොළය මෙම සරල ජීවීන්ට වඩා සංකීර්ණ නිසා අඩු තරමේ පණුවන්ට සහ ගොළුබෙල්ලන්ටවත් අපිට අවශ්‍ය මතකයන් මෙලෙස ලබාදීමේ හැකියාවක් තිබෙනවා.

McConnell, Levin, සහ නව පර්යේෂණය කළ Glanzman මතකයන් සංසරණය පිළිබඳ නිවැරදි මාර්ගයක සිටිනවා නම් එය මෙතෙක් පැවති ජීව විද්‍යාත්මක ගැටළු රැසක් නිරාකරණය කරනු ඇති අතර සරල ජීවීන්ගේ මෙන්ම මිනිසුන් වැනි සංකීර්ණ ජීවීන්ගේ මතක ගබඩාවන් පිළිබඳව සොයා ගැනීමට මංපෙත් හෙළි වෙනවා. එනිසා මෙතෙක් කල් බැහැර කරමින් සිටි මතයක් මේ පර්යේෂණ හරහා පෙන්වා දෙන ආකාරයට සත්‍ය දෙයක් බවට හෙළිදරව් වෙමින් පවතිනවා.

මතකයන් සංසරණය කළ හැකි කාලයක් අනාගතයේ ආවොත් ඔබ කැමති මොනවගේ පුරුද්දක් හෝ මතකයක් ලබා ගන්නට ද?

කවරයේ ඡායාරූපය: ytimg.com

Related Articles