Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් කෙතරම් හොඳද?

දකුණු ආසියාතික රටවල් වලින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට සීමාරහිත වානිජ්‍ය අන්තර්ජාල පහසුකම ලැබී මේ වන විට අවුරුදු 21ක් පමණ ගතවී තිබෙනවා. අපි බොහෝ දෙනෙක්ට අතීතය මතක් කිරීමෙන් ලැබෙන සතුටු කඳුළු වලටම මුහුවුණ, දුක් සාංකා සහිත, වේගය ඉතාම අඩු අන්තර්ජාල අත්දැකීම් පසුගිය දශකය තුළ තිබෙනවා.

ඒ කාලේ දැන් තරම් ඡායාරූප, වීඩියෝ වැනි බහුමාධ්‍ය වෙබ් අඩවි අඩුව තිබියදීත් අකුරු පමණක් ඇති වෙබ් අඩවියක් පූරණය වන්නත් විනාඩි පහක් විතර යනවා. ගිගාබයිට් එකක ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් වෙන්න පැය හතරක්වත් අවම වශයෙන් ගියා. ඒ අතීතය එක්ක සසඳද්දී දැන් කාලයේ තිබෙන පැකේජ් ගැන නම් පොඩ්ඩක්වත් මැසිවිලි නඟන්න දෙයක් නැති වුණාට තාක්‍ෂණයත් ඒ එක්කම ඉදිරියට යන නිසා අපේ සංතෘප්තියත්, අන්තර්ජාල වේගයත් හරියට හමු නොවන රේල් පාර වගේ එකිනෙකට විහිළු කරමින් ඉදිරියට ඇදෙනවා.

අන්තර්ජාතික විදුලි සංදේශන සංගමය පවසන්නේ සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක්ගෙන් එක් අයෙකුට අන්තර්ජාල පහසුකම් ඇති බවයි. එනමුත් LIRNEasia හි අධිපති මහාචාර්ය රොහාන් සමරජීව පවසන්නේ එය ඊටත් වඩා වැඩි (21.9% නොව 34.8% ක) අගයක් බවයි. කොහොමනමුත්, අන්තර්ජාල සබඳතාවක් කියන්නේ ෆේස්බුක්වත්, ඉන්ස්ටග්‍රෑම්වත් නෙවෙයි. හොඳ තොරතුරු තාක්‍ෂණික සබඳතාවක් කියන්නේ රටක දියුණුවට ප්‍රධානව දායක වන්නක්. Ericsson සමාගම කළ පර්යේෂණයක් අනුව, රටක් තම අන්තර්ජාල වේගය දෙගුණ කරන සෑම විටකදී ම දළ ගෘහාශ්‍රිත නිෂ්පාදන අගය (GDP) සියයට 0.3කින් ඉහළ යන බවයි. ඉතින් ස්වයං ව්‍යාපාර ඉහළ යන අවධියක අන්තර්ජාල සබඳතා හොඳ මට්ටමක තබා ගැනීම රජයකට ඉහළ වාසියක්.

ශ්‍රී ලාංකික අපි, අපේ අන්තර්ජාල පහසුකම් පිළිබඳව බෙහෙවින් වධ වෙනවා. ඒ බව අන්තර්ජාල පහසුකම් ලබාදෙන ආයතනවල ෆේස්බුක් පිටුවල තිබෙන අදහස් දැක්වීම් සාක්‍ෂි දරනවා. ඒවා අතර චෝදනා, ඉල්ලීම්, බිඳුණු හදවත්වල උපකාර ඉල්ලීම් බොහොමයි. එනමුත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සබඳතාවෙහි ගුණාත්මක භාවයන් පිළිබඳ විවිධ මත තිබෙනවා. ඇතැමුන් එය කලාපයේ හොඳ ම රට බව කියද්දී තවත් අය අඬන මුහුණ සහිත ඉමෝජි 🙁 කිහිපයකින් එය අර්ථ දක්වනවා.

ඉතින් මේ විවාදය සමථ කරන්නට ශ්‍රී ලංකාවේ වර්තමාන අන්තර්ජාල පහසුකම් දත්ත අපේ කලාපයේ රටවල් සහ ලෝකය සමඟ සසඳමින් එය විශ්ලේෂණය කරන්නට අපි තීරණය කළා.

බ්‍රෝඩ්බෑන්ඩ් වේග සැසඳුම

අන්තර්ජාලය කියපු වහාම වැදගත් දේ වශයෙන් ඕන කෙනෙක්ට සිහිවන්නේ වේගය යි.

ගෝලීය අන්තර්ජාල වේගයන්. මූලාශ්‍රය: Akamai State of the Internet

ගෝලීය අන්තර්ජාල වේගයන්. මූලාශ්‍රය: Akamai State of the Internet

වේගයන් අනුව ගත් කල ශ්‍රී ලංකාව පමණක් නොවෙයි, දකුණු ආසියාවේ අනිකුත් රටවල් ද එතරම් හොඳ තැනක නෙවෙයි ඉන්නේ. මේ වේගයන් සහිත දර්ශකය අනුව රතු පැහැයෙන් දකුණු ආසියාව දක්වන්නේ ඉතා ම අවම අගයක් බව කියමිනුයි. එය තවත් විශාලනය කර බැලුවොත් ශ්‍රී ලංකාව ආසන්න සියළුම රටවල් පාහේ එක ම වේගයක් වන තත්පරයට මෙගාබිටු 5.4ක් තිබෙන බව පෙනී යනවා. එනම්, අපේ කලාපයේ මධ්‍යක අන්තර්ජාල වේගය තත්පරයට මෙගා බයිට් 1ක්වත් නැහැ.

ආසියාතික අන්තර්ජාල වේගයන්. මූලාශ්‍රය: Akamai State of the Internet

ආසියාතික අන්තර්ජාල වේගයන්. මූලාශ්‍රය: Akamai State of the Internet

දකුණු ආසියාතික රටවල් එසේ සමාන අගයක් ගත්ත ද ආසියානු-පැසිෆික් රටවල් නම් ඉතා විශාල වෙනස්කමක් දරනවා.

මධ්‍යස්ථ අන්තර්ජාල වේගයන්. මූලාශ්‍රය: Akamai State of the Internet

මධ්‍යස්ථ අන්තර්ජාල වේගයන්. මූලාශ්‍රය: Akamai State of the Internet

ශ්‍රී ලංකාව සහ ඒ ආසන්න රටවල් ආසියානු-පැසිෆික් රටවල් සමඟ සසඳද්දී අඩු අගයක සිටින අතර දකුණු කොරියාව 29 Mbps වූ ඉහළ මධ්‍යක වේගයකට හිමිකම් කියනවා. එය එම කලාපය අනුව ගත් කළ ඉතා වැඩි වේගයක්.

කොහොම නමුත්, මේ හැම දෙයක් ම සලකා බැලුවාම ලංකාව ඉන්නේ නරකම තැනක නෙවෙයි. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ඉහළ අගයන්ට ළඟාවුණු අන්තර්ජාල වේගයන් අතර 2014දී 4 Mbps වෙමින් චීනය ද අභිබවා ගොස් තිබෙනවා මෙන් ම අසල්වැසි ඉන්දියාව සමඟ කරට-කර ස්ථාවරව ඉන්නට ද සමත්ව තිබෙනවා.

අන්තර්ජාල වේග ව්‍යාප්තීන්. මූලාශ්‍රය: Akamai State of the Internet

අන්තර්ජාල වේග ව්‍යාප්තීන්. මූලාශ්‍රය: Akamai State of the Internet

සේවා සැපයුම් මිළ ගණන්

2011 වර්ෂයේදී ඩිජිටල් සංවර්ධනය සඳහා වූ බ්‍රෝඩ්බෑන්ඩ් කොමිසම විසින් අන්තර්ජාල මිළ පාලනයන් පිළිබඳව සම්මතයක් ගෙන ආවා:

“2015න් පසු සංවර්ධනය වෙමින් පවතින රටවල් සියළුම ආරම්භක මට්ටමේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් මාසික ආදායමෙන් 5%කට අඩු අගයක දැරිය හැකි මුදලකට ලබා දියයුතුයි.”

අන්තර්ජාතික විදුලි සංදේශන එකමුතුව (ITU) විසින් එක්රැස් කළ දත්තයන්ට අනුව බ්‍රෝඩ්බෑන්ඩ් මිළ අනුව මෙලෙස රටවල් පෙළගස්වා තිබෙනවා:

දළ දේශීය ආදායම අනුව ආසියාවේ සහ පැසිෆික් රටවල බ්‍රෝඩ්බෑන්ඩ් මිළ ගණන් මූලාශ්‍රය: ITU

දළ දේශීය ආදායම අනුව ආසියාවේ සහ පැසිෆික් රටවල බ්‍රෝඩ්බෑන්ඩ් මිළ ගණන් මූලාශ්‍රය: ITU

ශ්‍රී ලංකාව ඇත්තෙන්ම මෙහි හොඳ ස්ථානයකයි ඉන්නේ. ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් මිළ ගණන් 2%කට අඩු දළ දේශීය ආදායම් අගයක සිටිමින් දැරිය හැකි මිළක සිටිනවා, එහෙත් ලැබෙන ඩේටා ප්‍රමාණය නම් ප්‍රමාණවත් ද කියලා ප්‍රශ්ණයක් තිබෙනවා.

2015 වාර්තාව මූලාශ්‍රය: ITU

2015 වාර්තාව මූලාශ්‍රය: ITU

අපේ අසල්වැසි ඉන්දියාවත් ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා GNI 5.28% ලෙස එතරම් හොඳ අගයක් දරන්නේ නැහැ. ඇමරිකාව සහ දකුණු කොරියාව ද වේගවත් අන්තර්ජාල පහසුකම් විඳින නමුත් ඒවායේ මිල ඉතා අධිකයි.

ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ප්‍රමාණය සාධාරණද?

සමස්ථයක් වශයෙන්, ශ්‍රී ලංකාව 2015 ලෝක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ දර්ශකයේ අග භාගයේ සිටිමින් 167න් 115 වන ස්ථානයේ රැඳෙනවා. එනමුත් අපේ කලාපයේ රටවල් සැලකුවාම ඉන් 20 වන ස්ථානය අපට ලැබෙනවා. එනිසා මේ කාරණය මඳක් පැටලුම් සහගත දෙයක්. වේගය අනුව අපි අසල්වැසි රටවල් සමඟ සම මට්ටමේ සිටියත් මිළ අනුව අපිට ගෙවන්නට වෙන්නේ ඉතාම සාධාරණ අගයක්. ලෝකයේ පසුගෙවුම් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් අතරින්ද අපිට අඩු මිළක් සහිත පහසුකම් ලැබෙනවා.

ඉතින් ලෝකය සමඟ සාපේක්‍ෂව ගත් කල අපේ වේගය අඩුයි, හැබැයි ඉතින් මිළත් ඒ වගේමයි.

කවරයේ පින්තුරය: techdaily.com.au

පරිවර්තනය: තඹරු විජේසේකර 

Related Articles