Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාලයේ නිදහස විඳිමින් ඔබේ පෞද්ගලිකත්වය රැකගන්නේ මෙහෙමයි

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් වෙතිනි.

අන්තර්ජාල නිදහස කියන්නේ බොහෝ දෙනෙක් නොදැනීම එහි ‘වඳුරාගේ දැලි පිහිය’ තත්වයට ගිහින් අවසානයේ තමාවම විවිධ විලංගුවලට පටලවා ගන්නා ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දෙයක්. හැබැයි එහෙමයි කියලා දැලි පිහියෙන් කිරි නොකා ඉන්නත් බෑ මොකද කිරි හින්දා අහක දාන්නත් බැහැනෙ. ඒ නිසා වෙනත් කෙනෙක්ට අපේ දැලි පිහිය වෙන කෙනෙක්ට අපේම බෙල්ලට තියන්න බැරි වෙන්න ක්‍රම කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ ලැහැස්තිය.

බොහෝ අවස්ථාවලදී අපේ පෞද්ගලික තොරතුරු වෙනත් කෙනෙක්ට පහසුවෙන් ලබාගත හැකිවන පරිදි ප්‍රසිද්ධ කරන්නේ වෙන කවුරුවත්ම නෙවෙයි අපිමයි. එවන් සුළු වරදක් නිසා අවසානයේ සමාව දෙන්නටත් බැරිවන තරමේ විශාල වරදක් තමන්ටත්, තමන්ගේ පවුලේ අයටත් කරගන්නවාට වඩා තමන් කරන දේවල් ගැන හොඳ අවධානයෙන් සිටීම වැදගත්.

ඇතැම් අය සමාජයේදී හොඳින් හැසිරුණත්, සමාජයේ ඉන්නා ඒ අයම අන්තර්ජාලයේ ඉන්න බව අමතක කරලා නොදන්නා දේවල් පස්සේ ගිහින් දැනුම ලබාගන්නා තිබෙන හොඳ මූලාශ්‍රයක් ගැන වැරදි මතයන්ට එළඹෙනවා. කවුරු කොහොම වුණත්, අපිට ඔබ ගැන ආඩම්බරයි. ඔබ හොඳ දේවල් පමණක් වෙන් කරගෙන මේ ලිපියත් කියවනවා. ඉතින්, වෙනසක් කරන්න, වෙනස් වෙන්න ඔබ හොඳට ම සූදානම්.

1 නොදන්නා අය සමඟ කථාවට යන්න එපා

(lingoacademy.tv)

(lingoacademy.tv)

සමාජ ජාල වෙබ් අඩවි කියන්නේ අන්තර්ජාලයේ තිබෙන අමුතු මැජික් එකක් නෙවෙයි. එහි ඉන්නේත් ඔබට සාමාන්‍ය ජීවිතයේදී හමුවන අයම තමයි. ඉතින් මෙය සමාජයේදී වුණත් ඔබ පිළිපැදිය යුතු දෙයක්. ඔබ යන එන අතරේදී බස් එකේදි, කෝච්චියේදි වැනි ස්ථානවලදී නොදන්නා අය විසින් කරන උසුළු විසුළු කිරීම්, අනවශ්‍ය කතාබහ ආදියෙන් ඈත්වී සිටීම වැදගත්. යමෙක් අපිට නිතර එක එක දේවල් කියමින් අපේ අවධානය ගන්නට උත්සාහ කරද්දී අපි ඊට බැණ වදින්නට හෝ පිළිතුරු දෙන්නට ගියොත් ඔවුන් දිනනවා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ කුමන ක්‍රමයකින් හෝ අපේ අවධානය ගන්නයි. ඉතින් එය ලබා දෙන්න යන්නට එපා. නිහඬතාවය කියන්නෙත් පිළිතුරක්.

ඔබේ නිහඬතාවය නිසා ඔබ දුර්වල බව පෙන්වන්න යන්නත් එපා. අනවශ්‍ය ලෙස තව තවත් කරදර කරනවා නම් වගකිව යුතු කෙනෙක්ට ඒ බව දැනුම්දීම හෝ එතනින් ඉවත් වීම හොඳයි. අන්තර්ජාලයේදී නම් සමාජ ජාල අඩවි වලදී ඔබට ඔවුන්ව බ්ලොක් (block) කරන්නට පුළුවන්. නොදන්නා ඊමේල් එකක් නම්, ප්‍රතිචාර නොදක්වා ඉන්නට පුළුවන්. නයිජීරියාවේ කුමාරවරුන්ගේ මුදල් හෝ ඊශ්‍රාලයේ ඉගෙන ගන්නට බැරිව සිටින දරුවකුගේ දේපළ ඔබට ලබා දෙන්නට තරම් වෙස්සන්තරයන් අන්තර්ජාලයේ නැහැ.

2 ඔබේ පෞද්ගලික තොරතුරු නිරාවරණය කරන්න එපා

(theleadgenlife.com)

(theleadgenlife.com)

අපි විලි වසාගන්න ඇඳුම් අඳිනවා වගේ අපේ අනෙකුත් පෞද්ගලික තොරතුරුත් ඉතා හොඳින් වසන් කර තබාගත යුතුයි. එහෙම නැති වුණොත් ඒක “පෞද්ගලික” තොරතුරක් නෙවෙයි, ප්‍රසිද්ධ තොරතුරක් බවට පත්වෙනවා. මේ පෞද්ගලික තොරතුරු ගණයට අයත් වන්නේ ඔබේ බැංකු ගිණුම් තොරතුරු, මුරපද, කාර්යාල ලිපි ලේඛණ පමණක් නොවෙයි, ගෙදර ප්‍රශ්ණ වගේ ම ගෙදර සුරතලාගේ නමත් ඒ ගණයට අයත් කරන්නට පුළුවන්.

ගෙදර ගිනි පිටට දෙන්න එපා කියලා පැරණි කියමනකුත් තිබෙනවානෙ. ඒ වගේම අපේ හිතේ ප්‍රශ්ණයක් තිබෙනවා නම් අපි මහ පාරට ගිහින් කෑ ගහන්නෙත් නැහැ මට මේ මේ ප්‍රශ්ණ තිබෙනවා කියලා. ඒත් මුළු ලෝකෙටම පේන්න සමාජ ජාල වෙබ් අඩවියක පළ කරනවා. ඉතින් ඔබේ ඒ දුර්වල කමින් ප්‍රයෝජන අරගෙන මුහුණේ දැලි ගාන්නට බලාගෙන ඉන්න අවස්ථාවාදීන්ට ඇයි ඔබම අවස්ථාවක් දෙන්නේ? ඔවුන් උදව් කරන මුවාවෙන් කරන්නේ ඔබව තවත් කරදරයකට ඇද දැමීමයි.

සුරතලාගේ නම, මව්ගේ විවාහයට පෙර නම ආදිය තමයි බොහෝ මුරපද අමතක වූ විට වෙබ් අඩවිවලින් අසන ප්‍රශ්ණ ලෙස නම් කර තිබෙන්නේ. ඒ නිසයි ඒ දේවල්නුත් පෞද්ගලික තොරතුරු ගණයට අපි ගෙනහැර දැක්වූවේ. ඔබ නිතර ඒ විස්තර අන්තර්ජාලයේ ප්‍රසිද්ධියේ දමනවා නම් ඔබේ ගිණුමට පිවිසෙන්නට අවශ්‍ය උත්තර ඔබ ප්‍රසිද්ධියේම ලබා දෙනවා. හරියට ගෙදර දොරේ යතුර මහ පාරේ එල්ලලා ගෙදරට ඊතලයකුත් යතුරට උඩින්ම දාලා ආවා වගේ.

3 ඔබේ උපාංග වෙනත් අයට භාවිතා කරන්න ලබාදීමේදී කල්පනාවෙන්

(dn2.hubspot.net)

(dn2.hubspot.net)

ප්‍රසිද්ධ ස්ථානවලදී නොදන්නා කෙනෙක් හෝ ඔබේ මිතුරන් වුවත් ඔබේ ජංගම දුරකථනය, පෞද්ගලික පරිගණකය භාවිතා කරන්නට ඉල්ලනවා නම් ඔබ ඔවුන් එමගින් කරන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්නට පසුබට වෙන්න එපා. නොදන්නා කෙනෙක්ට නම් දුරකථනය නොදීම ඉන්න එක නුවණට හුරුයි. මෙසේ ලබාදීමේදී ඔබ සමාජ ජාල වෙබ් අඩවි ආදියට ලොග්වී සිට තිබුණානම් ඔවුන්ට සෘජුව ඒවා භාවිතා කරන්නට හෝ වෙනස්කමක් කර පසුව ඊට යමක් කරන්නට ඉඩ සලසා ගන්නට පුළුවන්.

4 හොඳ මුරපද භාවිතා කරන්න

(farreachdesign.co.uk)

(farreachdesign.co.uk)

ඔබේ මුරපදය විධියට උපන්දිනය, හැඳුනුම්පත් අංකය, දරුවන්ගේ නම්, ආදරණීයයන්ගේ නම් ආදිය භාවිතා කරන්නට එපා. ඒවා ඉතා පහසුවෙන් අනුමාන කළ හැකි දේවල් නිසා සහ පහසුවෙන් සොයා ගත හැකි දේවල් නිසා බොහෝ තමා “හැකර්” කෙනෙක්යයි පම්පෝරි ගසනා අයට දොරටු විවර වෙනවා. යතුරුපුවරුවේ මුල් අකුරු පෙළිය (QWERTY), පහසු ඉලක්කම් රටා ආදියත් ඊට අයත් වෙනවා.

හොඳ මුරපදයක් කියන එකෙන් අදහස් වෙන්නේ වෙනත් කෙනෙක්ට පහසුවෙන් අනුමාන කළ නොහැකි නමුත් ඔබට ඉතා හොඳින් මතක හිටින අකුරු ටිකක්. උදාහරණයක් විධියට මුරපදය ලෙස Roar යන වදන භාවිතා කරනවා නම් ඒ වෙනුවට r0@R ලෙස එය වෙනස් කරගත හැකියි. මෙහි ඉංග්‍රීසි O අකුර වෙනුවට බින්දුවත්, A අකුර වෙනුවට @ සලකුණත්, කැපිටල් සහ සිම්පල් අකුරු මාරු කොට ලිවීමත් සිදුකර තිබෙනවා. මේ නිසා එය පහසුවෙන් සිතාගන්නට බැහැ වගේ ම ඔබට මතක තබා ගැනීමත් පහසුයි. මේ ආකාරයට අකුරු 8ක් පමණ වන, ඉලක්කම් සහිත, සිම්පල් සහ කැපිටල් අකුරු මෙන් ම @, & වැනි විශේෂ අකුරු සහිත මුරපදයක් හොඳ මුරපදයක් වෙනවා.

මේවා පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් අනුමාන කරන්නට ගියත් අවුරුදු ගණනක් යනවා. ඔබේ මුරපදය මෘදුකාංගයක් හරහා අනුමාන කරන්නට කොතරම් වේලාවක් යනවා ද යන්න පිළිබඳව මේ වෙබ් අඩවියෙන් බලාගත හැකියි.

4 සමාජ ජාල වෙබ් අඩවි ලබාදෙන පෞද්ගලිකත්ව සැකසුම් තර කරන්න

(maketecheasier.com)

(maketecheasier.com)

ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් ආදී සෑම සමාජ ජාල වෙබ් අඩවියක්ම පාහේ පෞද්ගලිකත්ව සැකසුම් ලබාදී තිබෙනවා. මේ හරහා ඔබේ පළකිරීම් දැකිය හැක්කේ කාටද, ඔබට සමඟ කතාබහ කළ හැක්කේ කාටද ආදී වශයෙන් ඉතා හොඳින් ඔබව ආරක්‍ෂණය කරවන සැකසුම් රැසක් අන්තර්ගත වෙනවා. ඒ නිසා ඊළඟ වතාවේ සමාජ ජාල වෙබ් අඩවියකට ගිහින් ස්ක්‍රෝල් කරන්නට පටන් ගන්නට කලින් Account Settings, Privacy Settings යන සැකසුම් අංශ වලට ගිහින් ඒවායේ තිබෙන සැකසුම් ඔබට උචිත ද නැද්ද යන්න හොඳින් විමසා බලන්න.

ඉතින් මේ දේවල් ඔබ කල්පනාවෙන්, ඔබ කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ඔබෙන්ම ප්‍රශ්ණ කරමින් සහ එය ඔබට උචිතද නැද්ද යන්න සසඳමින් අන්තර්ජාලයේ සැරිසැරුවොත් මේ වටිනා පහසුකමින් වටිනා ප්‍රයෝජන ගන්නට ඔබට හැකිවේවි. මොකද, පැන්සලකින් ලියන්න වගේම විෂ කවා ඇනීමෙන් කෙනෙක්ව මරන්න වුණත් පුළුවන්. ඒත් පැන්සල තහනම් කිරීම ප්‍රශ්ණයට විසඳුම නොවෙයි.

ඩයලොග් - ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවාදායකයා.

ඩයලොග් – ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවාදායකයා.

මූලාශ්‍ර:Thenextweb.com, Mamabearapp.com

Cover: uk.usembassy.gov

Related Articles