අපේ දුකට සැපට ඉන්න යාළුවො හැම කෙනෙක්ම අපි ෆේස්බුක් එකේ තියාගෙන ඉන්නවා. ඉතින් මොනවා හරි දෙයක් අළුතින් දැක්කාම ඒක යාළුවොත් එක්ක ශෙයාර් කරගන්න, එයාලා දාන දේවල් වලට රෙදි නැතිවෙන්න කමෙන්ට් එකක් දාන්නට, කතාබහ කරලා දුක සැප බෙදාහදා ගන්න වගේ ම කන්න බොන්න කලින් වුණත් ඒවායේ ෆොටෝ එකක් දාලා යාළුවෝ ටික කුලප්පු කරන්නත් අපි අමතක කරන්නේ නැහැ. විශේෂයෙන් අවුරුද්දට කැවිලි පෙවිලි ආදියේ ෆොටෝ එකක් දාන එක හැමදාම දාන පිට්සා, බුරියානි වලට වඩා විශේෂයි. මොකද, අවුරුද්දට එකපාරක් හරි ගමේ ගිහින් කැවිලි ටිකක් දකින එකත් පොෂ් කමක් තමයි.

හැබැයි මේ ආතල් කොච්චර තිබුණත් බොහෝ වෙලාවල් වලදී, නොදැනුවත්වම අපි දාන දේවල් පසු කාලයකදී අපිටම වින කටින අවස්ථා සිද්ධ වෙනවා. ඒක බොහොම සරලව පැහැදිලි කරගන්න නම්, ඔබ මීට අවුරුදු 2කට විතර කලින් දාපු ස්ටේටස් එකක් හෝ ඡායාරූපයක් හොයාගෙන බලන්න. ඉතින් මේ ලිපියෙන් අපි සූදානම් වෙන්නේ ඉදිරියට ඒ වගේ දේවල් නොවෙන්නට වගබලා ගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නයි.

ෆේස්බුක් එක දිනපොත කරගන්න එපා

ෆේස්බුක් නැතුව කෑම එපා (huffpost.com)

අපි බොහෝ දෙනෙක් දැන් නොලිව්වත් ඒ කාලේ එදිනෙදා සිද්ධ වෙන දේවල් මතක තියාගන්න දිනපොත් භාවිතා වුණා. ෆෝන් එක අතේ තියෙන වෙලාවට පෑනක් අතට ගන්න තිබෙන කම්මැලිකම හැරුණාම අපි හැමෝම අපේ ජීවිතේ සිද්ධ වෙන දේවල් හැම දෙයක්ම මතක තබාගන්න හරිම කැමතියි. ඒ පොදු ආසාව නිසා පින්තූරයක්, වීඩියෝ එකක් අරගෙන මතක සටහනක් ලෙස තබා ගන්නට අපි පෙළඹෙන අතර දැන් ෆේස්බුක් තිබෙන නිසා මෙහෙම ගන්නා දේවල් යහළුවන්ටත් පේන්න දාන්නත් කැමැත්තක් ඇති වෙනවා.

ඒ හැමවිටකදීම ඔබෙන් ම මෙහෙම අහන්න: “මේක මගේ දිනපොතේ තිබුණා නම් ඒක වෙනත් කෙනෙක්ට මම පෙන්වනවාද?” දිනපොත් කියන්නේ ඉතා පෞද්ගලික ආකාරයට තබාගන්නා සටහනක්. ඉතින් එවැන්නකට සුදුසු ඔබේ ජීවිතයේ අත්දැකීමක් මුළු ලෝකෙටම පේන්න පෝස්ටරයක් ගැහුවා වගේ දානවාද නැද්ද කියලා ටිකක් හිතලා බලන්නට වෙනවා.

විශේෂයෙන් ඔබට කරදරයක් වුණු අවස්ථාවකදී ඔබ ඒ බව අනවශ්‍ය අයටත් ෆේස්බුක් එකෙන් දැනුම් දෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න මාන බලාගෙන ඉන්නා අයත් ඕනෑතරම් බව සිහි තබාගත යුතු වෙනවා.

බොස් දැක්කොත් ඉවරයි

 

සේවිකාව: “මේ ජරා ජොබ් එක මට එපා වෙලා, බොස් මහ වනචරයෙක්.”
ආයතන ප්‍රධානියා: “ඔයා කියන ඔය ජරා ජොබ් එකට පඩියකුත් ගෙවලා මම ඔයාට රැජිණකට වගේ සලකන්නේ නැතිව ඇති.  මුල් මාස 6ට තව සති දෙකයි නේද තියෙන්නේ? ඒ දෙක ආවේ නැති වුණාට කමක් නැහැ, මම ඔයාට අස්වීමේ ලිපිය ගෙදරටම ලැබෙන්නට සලස්වන්නම්.” (memphisrap.com)

කාර්යාලයේ තිබෙන වැඩ රාජකාරි වලින් ඔළුව නිදහස් කරගන්න වැඩ කරන අතරතුරේම  ෆේස්බුක් යනවා නම් ඒ වැඩේත් ටිකක් කල්පනාවෙන් කරගන්න වෙනවා. එ් ඔෆිස් පරිගණකයෙන් ම ෆේස්බුක් යද්දී ලොක්කාට පෙනුනොත් ඉවර එක විතරක්ම නෙවෙයි, ඔබේ Friend list එකේ එතුමා ඉන්නවා නම් වැරදිලා හරි ඔබ status update එකක්, share කරන දෙයක් වගේ දැම්මොත් ඔබ වැඩ කරනවාද නැද්ද කියලා එයා දැනගන්නවා. ඔව්, එයත් ඒ වෙලාවේ ෆේස්බුක් යන එක වැරැද්දක් තමයි. හැබැයි සමහර විට පස්සේ වෙලාවක දැකලා, ඔබ එය දාපු වෙලාව චෙක් කරන්නත් ඉඩ තිබෙනවා.

සමාජ ජාල අඩවිවල පළ කරපු දේවල් නිසා රැකියාව අහිමි වීම ඉතාම සුලභ දෙයක්. විශේෂයෙන් ට්විටර්හි සිදුවුණු මෙවන් දේවල් ලොව ඕනෑතරම් ඇති අතර ඒ හැම අවස්ථාවකදීම හේතුවී ඇත්තේ රැකියාව සම්බන්ධ ගැටළු ප්‍රසිද්ධියේ කියන්නට යෑමයි. ඉන් ආයතනයේ නමට සිදුවිය හැකි කැළල සලකා නිලධාරීන් විසින් ඔවුන්ව සේවයෙන් පහකර තිබෙනවා.

CCTV ආකාරයේ ඥාතීන්

(consciouslyenlightened.com)

වෙනත් රටවල CCTV කැමරා සවි කරලා ඇස නොගැටෙන සිද්ධීන් අධ්‍යයනය කළත්, දකුණු ආසියාතික රටවල්වල නම් ඒ වැඩේ බාරගත්ත ඥාතීන් සහ අසල්වාසීන් සෙට් එකක් ඉන්නවා. ඔබටත් වඩා ඔබ ගැන සොයන මේ අය පොඩි දෙයක් හෝ අල්ලාගෙන ඒක අනිත් හැම කෙනෙක් එක්කමත් කියලා, අන්තිමට ඔබේ දෙමව්පියන්ටත් ඇනුම් පදයකින් හෝ කියන්න අමතක කරන්නේ නැහැ.

හැම කෙනෙක්ගේ ම අතට ෆේස්බුක් එක ආවාට පස්සේ දැන් මේ අයත් ෆේස්බුක් එකෙන් ඔබට රික්වෙස්ට් එවනවා. ඒවා accept කළේ නැත්නම් ඒකටත් හොඳ හොඳ ඒවා අහගන්නට වෙනවා. ඔය අතරේ එයාලා දාන එකකට like කළේ නෑ කියලාත් ඇනුම් බැණුම් අහන්න වෙන වෙලාවල් නැතුවම නෙවෙයි. මෙයාලාත් ඔබ ෆේස්බුක් දාන දේවල් ගැන අවධානයෙන් ඉඳලා, සමහර විට ඔබ විහිළුවකට හෝ සෙල්ලමට දාපු දෙයක් වුවත් සීරියස් අරගෙන ගමම ගිනි තියන්නට ඉඩ තිබෙනවා. ඉතින් මේ ගැනත් මතකයේ තියාගන්න එක ඇඟට ගුණයි.

ෆේස්බුක් ඇල්ගොරිතමයන්

ෆේස්බුක්හි On This Day විශේෂාංගය (tnwcdn.com)

පුද්ගලබද්ධ ගැටළු හැරුණාම ෆේස්බුක් එකත් ඉහේ කඩා වැටෙන අවස්ථාවන් තිබෙන්නට පුළුවන්. ටයිම්ලයින් එකේ ඔබ වැඩිපුරම කැමති අයගේ පෝස්ට් ඉහළට ගෙන සහ වැඩිපුර පෙන්වන්නට තරම් බුද්ධිමත් කමක් දරන නූතන ෆේස්බුක් ඇල්ගොරිතමයත් ඔබට පසුකාලීනව කරදරයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විධියට ඔබේ මිතුරෙක් එක්ක ඔබ පසුකාලීනව තරහා වුණොත් හෝ පෙම් සබඳතාවක් බිඳ වැටුණොත් ඒ අය දාන දේවල් අතොරක් නැතිව ඔබට පෙනෙන්නට ගත්තාම ඒ තරම් ශාපයක් තවත් නැහැ කියලා හිතේවි.

ඒ වගේ ම වැඩිපුර චැට් කරන අයත් මැසෙන්ජර් එකෙන් උඩට අරගෙන පෙන්වමින් සහ favourites ලෙස ලැයිස්තු ගත කිරීම නිසා සිත් බිඳීමකට පසු ඒවා නැවත දැකීමෙන් හෝ ඔබේ සහකරුවා හෝ සහකාරිය ඒවා දැකීමෙන් ඔබව සැක කිරීමකට ලක්වීමට ඉඩ තිබෙනවා. ජීවිතේට කථා කර නැතත්, Suggestions ලෙස පෙන්වන අයත් මේ අතර සිටින නිසා වෙනත් කෙනෙක් ඔබේ දුරකථනය බලනවා නම් එය ද වැරදියට වටහා ගන්නට ඉඩ තිබෙනවා.

මෑතකදී ෆේස්බුක් හඳුන්වාදුන් On This Day නම් විශේෂාංගය හරහා ඔබ මීට අවුරුදු කිහිපයකට පෙර පළ කරන ලද ස්ටේටස්, ඡායාරූප ආදිය පෙන්වනු ලබනවා. එම ඡායාරූපවල සිටින අය මේ වනවිට වියෝවී සිටිනවා නම් හෝ ඔබේ දැනට තිබෙන ජීවිතයට නොගැලපෙන යමක් ඒවායේ තිබෙනවා නම් ඒවා දකින්නට ලැබීමෙන් ඔබ සිත් තැවුලට පත් විය හැකියි. ඒත්, ඔබ ඒවා ශෙයාර් කරනකම් වෙනත් කෙනෙක්ට දකින්නට නොහැකි නිසා එය එතරම්ම ගැටලුවක් වෙන එකක් නැහැ. ඒත් අද කරන දෙයක් තවත් අවුරුදු කිහිපයකින් සිත් තැවුලක් ඇති කරාවිද නැත්ද යන්න ඔබ තීරණය කළ යුතු වෙනවා.

Privacy Settings කියන්නේ හොඳ යහළුවෙක්

settings

ෆේස්බුක් එකේ කිසිවක් පළකරන්නට පෙර එය පෙනිය යුත්තේ යහළුවන්ට පමණක් ද (Friends only) නැත්නම් ඕනෑම කෙනෙක්ට ද (Public) යන්න තෝරන්නට පුළුවන්. ඒ වගේ ම ෆේස්බුක් Settings වල Block කිරීමේ පහසුකම හරහා ඔබට කිසිවකුගෙන් පූර්ණව ඉවත්වීමට අවශ්‍ය නම් ඊට අවස්ථාව ලබාගන්නට පුළුවන්. එම පිටුවේම ඉහළ ඇති Restricted List යන්නෙන් අපිට ඥාතීන් වැනි අය වෙන් කර දක්වන්නට පුළුවන්. එවිට ඔබ යහළුවන්ට පමණක් පෙනෙන සේ දමන ලද දේ ඔවුන්ට නොපෙනෙන අතර, ඔවුන්ට කිසිවක් පෙනෙන්නේ ඔබ Public දැම්මොත් පමණයි. ඒ වගේම දැන් යහළුවන් වශයෙන් සිටියත් මැසේජ් කිරීමත් නැවැත්වීමට එහි ඇති Block messages කොටස උපකාරී වෙනවා.

ඔබටත් මේ ආශ්‍රිත අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙලා තිබෙනවා නම් comment එකකින් ඒ විස්තර අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: huffpost.com