Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Facebookහි F8 සමුළුවේදී හඳුන්වාදුන් අපූර්ව නිෂ්පාදන

අප්‍රේල් 18 වැනිදා ෆේස්බුක් සමාගමේ නව නිෂ්පාදන සහ ඉදිරි දැක්ම හඳුන්වාදෙන F8 සංවර්ධක සමුළුව පැවැත්වුණා. ඊට දහස් ගණනින් මෘදුකාංග සංවර්ධකයන් මෙන් ම ඔවුන්ගේ රසිකයන් ද සහභාගී වූ අතර එම අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාවද ලබාදී තිබුණා. ඔවුන් එම සමුළුව F8 ලෙස හඳුන්වන්නේ Facebook යන වචනයේ මුල් අකුරත්, සම්පූර්ණ වචනයේ ඇති අකුරු ගණනත් එක් කොට තැනීමෙනුයි. ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තමන්ගේ ආවේණික අළු පැහැති ටී ෂර්ට් එකෙන් සහ නිල් පැහැති ඩෙනිම් කලිසමෙන් සැරසී දකින්නට ලැබුණු මේ F8 සමුළුවේදී ඔවුන් ලොවට හඳුන්වාදුන් ඇහිබැමි උඩ යන ආකාරයේ දේවල් අතරින් හොඳම ඒවා කිහිපයක් ගොනු කරන්නයි මේ ලැහැස්තිය.

ෆේස්බුක් කැමරාවට AR වේදිකාවක්

ඉතා මෑතකදී ෆේස්බුක් ස්මාර්ට් දුරකථන ඇප් එක සඳහා ඔවුන් කැමරාවක් හඳුන්වා දුන්නා. වම්පස ඉහළ කෙළවරේ ඇති මෙම කැමරා අයිකනයෙන් සාමාන්‍ය ආකාරයට ම ලෝකෙ ඉන්න කැත ම සතාව පෙන්වමින් ඉදිරිපස කැමරාව විවෘත වන නමුත් ස්නැප්චැට්වල වගේ ම විවිධ ෆිල්ටර්ස් ඊට ඇතුලත් කරන්නටත් පුළුවන්. කටින් ගින්දර පිඹින්නට, පූසෙක් වගේ කන් දෙකක් දාගන්නට වගේ අපූරු දේවල් රැසක් අඩංගු එම හඳුන්වාදීමට F8හිදී තවත් සිත් ගන්නා සුළු දෙයක් කියැවුණා. ඒ, ඊට පොකෙමොන් ගෝ ක්‍රීඩාවේ මෙන් වර්ධිත තථ්‍යතාව (Augmented Reality) එක් කරන බව යි.

ස්නැප්චැට් ආකාරයේ ෆේස්බුක් කැමරාව (wired.com)

දැනට තියෙන කැමරාව අපේ මුහුණ හඳුනාගෙන ඊට නානාප්‍රකාර දේවල් එකතු කරනවාට වඩා මේ ක්‍රියාවලිය ටිකක් අමුතු එකක්. උදාහරණයක් වශයෙන්, ඔබ නිවුණු තේ කෝප්පයට කැමරාව ඇල්ලුවොත් කැමරාව මතින් එහි දුම් යන ආකාරයක් පෙන්වන්නට මේ තාක්ෂණයට පුළුවන්.

යාළුවෝ සහ ගෙදර අය එක්ක ගනුදෙනු කරන්න අපූරු ක්‍රමයක්

උදාහරණය සරල වුණාට, එම තාක්ෂණය භාවිතා කරමින් කළ හැකි වැඩ ප්‍රමාණය අති විශාල යි. ඔබ කොහේ හරි යනවා නම් මේසය උඩ පොඩි කොළයක ගෙදර අයට පණිවිඩයක් තියනවා වගේ, මේ හඳුන්වාදීම හරහාත් ඔබේ ගෙදර අයට ෆේස්බුක් ඇප් එකෙන් බැලිය හැකි පොඩි නෝට් එකක් මේසය උඩ තියලා යන්නට පුළුවන්. ඒ අයටත් තමන්ගේ ඇප් එකේ කැමරාව මේසයට ඇල්ලූවිට ඔබ තැබූ ලියමන පෙනෙන නමුත් ෆේස්බුක් පෝස්ට්වල privacy හැදුවාම අනවශ්‍ය අයට බලන්නට බැහැ වගේ ම මේවාත් ඔබට පෙනිය යුත්තේ කාටදැයි සකසන්න පුළුවන්. හැබැයි ඉතින් ගෙදරින් එළියට යද්දි නැන්දම්මලා-ලේලිලා කොටවන්න දෙන්නාට එකම තැන පණිවිඩ දෙකක් තියන්න එහෙම ඕක පාවිච්චි කරන එක නම් ටිකක් අවදානම් වැඩක්.

මාර්ක් සකර්බර්ග් F8හිදී කැමරාවට වස්තූන් හඳුනාගැනීමට ඇති හැකියාව පෙන්වා දෙමින් (futurecdn.net)

ෆේස්බුක් මතට මේ ආකාරයේ ඇප්ස් එක් කරන්නට ඔබට පරිගණක ක්‍රමලේඛන දැනුමක් නැතිව වුණත් පුළුවන්. මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති AR Studio හරහා ඕනෑම කෙනෙක්ට විවිධ AR අත්දැකීම් තනා ෆේස්බුක්හි අනුමැතිය සහිතව බෙදාහැරිය හැකි වන අතර ක්‍රමලේඛන දැනුමක් තිබේ නම් වඩාත් හොඳ නිර්මාණයක් කිරීමට ද ඒ හරහා අවස්ථාව සලසා දී තිබෙනවා.

ෆේස්බුක් Messenger පීඨිකාවේ දෙවන වෙළුම

Messengerහි Discover ටැබ් එක සහ සමූහ සංවාද වලදී ද bot වරුන් සහායට ගත හැකි ආකාරය (techcrunch)

චැට් කිරීම සඳහා ෆේස්බුක් ප්‍රධාන යෙදුමෙන් වෙන් කොට තනනු ලැබූ Messenger ඇප් එකේ තිබුණු දේවල් එහි පීඨිකාවේ (platform) 2.0 වැනි වෙළුම සමඟ තවත් වැඩිදියුණු වෙන්නටයි යන්නේ. ඒ හරහා “Discover” නමින් නව ටැබ් එකක් එක් වන අතර එමඟින් අප ආසන්නයේ ඇති ආපනශාලා ආදිය දැක ගැනීමටත්, එම ව්‍යාපාර හා සම්බන්ධ වීමටත්, මේ වන විටත් හඳුන්වාදී තිබෙන chat botලා පහසුවෙන් සොයා ගැනීමටත්, ඊට QR කේත භාවිතා කරන්නටත් අවස්ථාව ලබාදී තිබෙනවා.

දැන් chat botලා සමූහ සංවාදවලට ද කැඳවාගෙන ඔවුන්ගෙන් තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඒ කියන්නේ, යාළුවොත් එක්ක කිසිදා නොයන විනෝද චාරිකාවක් එහෙම සැලසුම් කරනවා නම් යන්න ඕන තැන්, ඒවායේදී කන බොන තැන් එහෙම botලාගේ උපකාරයෙන් සොයා ගන්නට පුළුවන්. මේ දේවල් බොහොමයක් සහ තවත් දක්ෂතා අැති ෆේස්බුක්හි කෘත්‍රිම බුද්ධියෙන් යුත් සහායකයා වන ‘M assistant’ තවමත් ලංකාවට නොමැති නිසා ඒවා අත්විඳින්නට අපිට නම් ටිකක් කල් ඉවසන්නට වෙනවා.

මොළයෙන් අකුරු ලිවිය හැකි තාක්ෂණයක්

අකුරු ලියන්න අතට පණිවිඩ දෙන්නේ මොළයෙන් වුණාට අතට පෑනක් අරගෙන, ඒක ඇඟිලි අස්සෙ හිරකරගෙන කරදර විඳලා කීබෝඩ් එකෙන් ඇඟිලි කීපයකට වැඩේ පවර ගත්තාට දැන් දැන් ඒකත් කම්මැලි වේගෙන යි එන්නේ. ඒ වගේ ද ඇඳේ හාන්සියක් දාගෙන ඉන්න ගමන් ම යාළුවෙක්ට පණිවිඩයක් යවන්න හෝ අපිට ලිපියක් ලියන්නට හැකි නම්?

(newatlas.com)

හිස් පැළඳුමක් හරහා සිතුවිලිවලින් හිස් නැති මොළයෙන් ඔබ සිතන දේවල් අකුරුවලට පරිවර්තනය කළ හැකි ආකාරයේ නව පරිගණක වර්ගයක් හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් ෆේස්බුක් මඟින් අරඹා තිබෙනවා. මස්තිශ්ක-පරිගණකය ලෙස හැඳින්වෙන ව්‍යාපෘතිය අවසානයේදී මිනිත්තුවකදී වචන 100ක් පරිවර්තනය කිරීමට හැකියාව මෙයට ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙසේ සිතන දේ ලියැවෙන්නට නම් ඔබ කිසියම් සිතුවිල්ලක් මත සිත පිහිටුවා ගත යුතුයි. අදහස්වලින් බහුල අපේ සිත සන්සුන් කරගැනීමෙන් පසු පමණක් මෙය භාවිතා කළ හැකිවන නිසා ඔබේ පෞද්ගලික අදහස් සියල්ල ම පිටතට පැමිණීමෙන් පෞද්ගලිකත්වයට බලපෑමක් ඇතිවන්නට ද ඉඩක් නැහැ.

සමෙන් ශ්‍රවණය කළ හැකියි

පර්යේෂණයකදී වම්පස සිටින්නා තම දුරකථන යෙදුමෙන් විධාන ලබා දෙන අතර දකුණු පස සිටින ශ්‍රවණාබාධිත කාන්තාව එය හඳුනාගෙන ඉටු කරනවා (worldstrendnews.com)

මීට සමගාමීව ‘චර්ම ශ්‍රවණය’ නමින් ශ්‍රවණාබාධිතයන්ට තමන්ගේ සම හරහා ශ්‍රවණය කළ හැකි ක්‍රමවේදයක් ද ඔවුන් හඳුන්වා දී තිබුණා. දැනට වචන නවයක් මෙලෙස ශ්‍රවණය කිරීමට හැකි ආකාරයේ නිෂ්පාදනයක් ඔවුන් එළිදැක්වූ අතර දුරකථන යෙදුම හරහා කෙනෙක් ලබාදුන් විධාන ශ්‍රවණාබාධිත පුද්ගලයා විසින් හඳුනාගෙන සිදු කරන ලද ආකාරය හරිම අපූරුයි. මෙය ඉදිරියට වැඩිදියුණු වීමේදී සාමාන්‍ය කතාබහක් වුවත් ඔවුන්ට සංඥා භාෂාව නොමැතිව පරිවර්තනය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා.

ෆේස්බුක් යහළුවන් VR එකෙන් මුණ ගැහෙන්න

Facebook Spacesහිදී යහළුවන් පෙනෙන ආකාරය (uploadvr.com)

සත්‍ය ලෝකයෙන් මිදී වෙනත් ම ලෝකයක් මවා දෙන අතථ්‍ය තථ්‍යතාව (Virtual Reality) දැන් නැගලා යන තාක්ෂණයක්. මේ සඳහා බොහෝ app දුරකථනවලට පැමිණ ඇති අතර ඒවා අතර ක්‍රීඩා මෙන් ම සමාජ ජාල මාධ්‍යයන් ද ගොඩ නැගී තිබුණා. ෆේස්බුක් එක තමන්ගේ දැනට ම ඇති සුවිසල් සමාජ ජාලයටත් VR අත්දැකීමක් Facebook Spaces නම් නව නිෂ්පාදනය සමඟ ගෙන ඒම නිසා චැට් කරනවා වෙනුවට යාළුවො හමුවෙලා කථා කරනවා වගේ නවමු අත්දැකීමක් ගෙදර ඉඳගෙන ම ලබාගන්නට පුළුවන්.

මෙය දැනට ෆේස්බුක් සමාගමට අනුබද්ධිතව නිපැයෙන VR හෙඩ්සෙට් එකක් වන Oculus Rift එකට සහාය දක්වන අතර ඔබේ දෑත්වල චලන ඒ සමඟ ලැබෙන අත් පළඳනා වලින් ප්‍රකාශ වන නිසා මුහුණ සහ දෑත භාවිතා කරමින් ෆේස්බුක් මිතුරන් සමඟ සංවාදයක් ඇරඹීමට අවස්ථාව උදා වෙනවා.

තාක්ෂණයේ මේ ශීඝ්‍ර පෙරැළියත් එක්ක අනාගතය මොන තරම් පුදුමාකර එකක් වෙයි කියලා ද ඔබ හිතන්නේ? ඒකෙ නරක දේවල් පවා තියෙන්න පුළුවන් නේද? Comment එකකින් ඒ ගැන අපිත් එක්ක බෙදාහදා ගන්න.

කවරයේ ඡායාරූපය: benbarry.com

මූලාශ්‍ර:

  1. TechCrunch
  2. TechRadar
  3. recode.net
  4. fortune.com

Related Articles