අන්තර්ජාලයේ ආලෝකමත් පැතිකඩේ සිට ලිපියක් කියවන ඔබට අමුතුවෙන් ආයුබෝවන් කියා ඊට පිළිගන්නට දෙයක් නැහැ. අන්තර්ජාලයට පිවිසිය හැකි ඕනෑම කෙනෙක් ගූගල්, යාහූ වැනි සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරමින් කුමන අන්දමේ සෙවුමක් කළත්, ඔව්, අර ශ්‍රී ලංකාව අංක එකට ආපු ජාතියේ දෙයක් සෙව්වත් තවමත් ඔබ ඉන්නේ අන්තර්ජාලයේ මතුපිට ස්ථරයේ පමණයි.

අපි කිසිදා නොදුටු/නොඇසූ ගැඹුරු ස්ථරයන් අන්තර්ජාලය තුළ තිබෙන අතර අන්තර්ජාතික නීති මගින් සහ රාජ්‍ය ප්‍රතිපත්ති නිසා ඒවාට පිවිසීම හැම ආකාරයෙන් ම පාහේ වළකා තිබෙන ආකාරයත් ඔබ දැන සිටියාද?

ඒ විධියට “හෙළ ගැඹුරුයි පුත නොබලන්” කියලා රජය නෙවෙයි කවුරු කිව්වත් ඊට ම යොමු වෙන එක තමයි නේ මනුස්ස ගතිය. රජයක් විසින් යමක් නීති විරෝධියි කියලා ලේබල් කරනවා නම් එය බොහෝ විට හොඳ දෙයක් නොවෙන්නට පුළුවන්. හැබැයි, ආලෝකයේ වෙනස පෙනෙන්නට නම් අඳුරත් තිබෙන්නට ඕන.

TOR ව්‍යාපෘතිය

TOR ව්‍යාපෘති ලාංඡනය (sophosnews.files.wordpress.com)

1990 මැද භාගයේදී ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් තම බුද්ධිමය රහස් අන්තර්ජාලය තුළ රැකගැනීම උදෙසා රතුළූණු මාර්ගගත කිරීම හෙවත් Onion routeing නම් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පද්ධතියක් සඳහා මූලික අඩිතාලමක් ඇරඹුවා.

1997දී එය ඇමරිකාවේ විශේෂ ආරක්ෂක පර්යේෂණ ව්‍යාපෘති නියෝජිතායතනය (DARPA) අතින් ද එය වැඩිදියුණු වුණා. පසුකාලීනව Tor (The Onion Router) නම් මෘදුකාංගයක් සංවර්ධනය කොට එහි ඇල්ෆා වෙළුම නිකුත් කළ පරිගණක ක්‍රමලේඛකයන් කිහිප දෙනෙක් එය Tor ව්‍යාපෘතිය ලෙස නම් කළා. මෙහි ලාංඡනය ද ළූණු ගෙඩියක් වූ අතර ඉන් අදහස් කරන්නේ ළුෑණුවල ඇති විවිධ ස්ථර ආකාරයෙන් මධ්‍යය පිටතින් ආවරණය කොට ආරක්ෂාව දැඩි කොට ඇති බවයි. Tor ව්‍යාපෘතිය දැන් ලාභ නොලබන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා.

TOR ජාලය ක්‍රියාත්මක වන ආකාරය

TOR ජාල ආකෘති සිතියමක් (abm-website-assets.s3.amazonaws.com)

ඔබ සාමාන්‍යයෙන් අන්තර්ජාලයට පිවිසුනු විට IP ලිපිනය හරහා ඔබව හඳුනාගත හැකි අතර පිවිසුනු වෙබ් අඩවි, ඒවායේ ගතකළ කාලය සහ යවන ලද දත්ත දැනගැනීමට ඔබේ අන්තර්ජාල සේවා ප්‍රතිපාදකයාට (ISP) සහ වෙනත් ආයතන සහ වෙබ් අඩවිවලට හැකියාව තිබෙනවා. SSL භාවිතා කරමින් ආකේතනය කරන ලද සබඳතාවක් වෙබ් අඩවිය සමඟ පැවැත්වීමේදී ද ඔබව හඳුනාගැනීමට එම වෙබ් අඩවියට හැකි වන අතර ඔබ එම වෙබ් අඩවියට දත්ත යැවූ කාලය වැනි ඇතැම් තොරතුරු තෙවන පාර්ශවයකට දැන ගැනීමේ හැකියාව නැතුවා ම නොවෙයි. VPN එකක් භාවිතා කළත් එම සේවා සපයන්නාට ඔබ යන එන තැන් වෙන වැඩක් ඇත්තේ ම නැත්නම් බලන්නත් පුළුවන්. එතකොට කෝ අපේ පෞද්ගලිකත්වය?

TORහි දී ක්‍රියාත්මක වන ක්‍රමවේදය නම්, එම මෘදුකාංගය හරහා ඔබ අන්තර්ජාලයට පිවිසුනු විට එය ඔබේ අන්තර්ජාල පිවිසුම් ඉල්ලීම විකේතනය කර අහඹු ලෙස Tor ජාලයේ තිබෙන විවිධ සර්වර් හරහා යවා අවසානය වෙත ගෙන යනවා. උදාහරණයක් විධියට ඔබ Roar.lk වෙත එනවා නම් A, C, H වැනි අහඹු සර්වර් තුනකට පරාවර්තනය කරවීමෙන් අනතුරුවයි Roar.lk සර්වර්ය වෙත ගෙන එන්නේ. මේ නිසා එම ඉලක්ක වෙබ් අඩවියට ඔබ පැමිණියේ කොහෙන්ද, ඔබ කවුද යන්න සොයා ගත නොහැකි වන නිසා ඔබේ අනන්‍යතාවය නිතැතින් ම සැඟව යනවා.

මෙම ජාලය තුළ ඇති ආරක්ෂිත වෙබ් අඩවි සඳහා ICANN එක ද ‘විශේෂ අවශ්‍යතා’ යටතේ වර්ගීකරණය කරන ලද .onion නම් වසම් නාමයක් ද භාවිතා වන අතර සාමාන්‍ය බ්‍රවුසරයකින් එම වෙබ් අඩවි වලට පිවිසෙන්නට බැහැ.

අන්තර්ජාල ආගාධයේ අන්තර්ගත දේවල්

අන්තර්ජාල මතු ස්ථරය සහ අභ්‍යන්තරය (darkwebnews.com)

කිසිවෙකුගේ අතට හසු නොවන ආකාරයෙන් නීති විරෝධී දෑ රැකගත යුතු නිසා මුරපද ආදිය ද යොදා පහසුවෙන් අාගාධයට යෑමට ඇති අවස්ථාවන් සීමා කර තිබෙනවා. එහි අන්තර්ගත දේවල් අතර කළු කඩ ව්‍යාපාර, ආයුධ වෙළඳාම, සූදු පොළවල්, සංවාද මණ්ඩප (chat rooms), පොත්පත්, කූට ජාවාරම්, Hosting සේවා, බ්ලොග් සහ අඳුරු අහුමුළු සොයා දෙන සෙවුම් යන්ත්‍ර ද තිබෙනවා. ගූගල් හරහා සඟවන බොහෝ ප්‍රතිඵල මෙම සෙවුම් යන්ත්‍ර හරහා ලැබෙන අතර .onion වෙබ් අඩවි ද එම ප්‍රතිඵල අතර අඩංගු කෙරෙනවා.

එංගලන්තයේ පෝර්ට්මවුත් විශ්ව විද්‍යාලය විසින් 2004 වර්ෂයේදී සිදුකළ සමීක්ෂණයක් අනුව Tor ජාලය හරහා සිදුකළ වැඩිම සෙවුම් ප්‍රමාණය වන්නේ ළමා අපයෝජන සම්බන්ධයෙන් බව දැක්වෙනවා. එසේ ම කිසිදු බැංකුවක් සමඟ සබඳතා නොපවත්වන ස්වාධීන බැංකු සේවාවක් වන Bitcoin හරහා මුදල් විශුද්ධිකරණය සිදු වෙනවා. දූෂ්‍ය මුදල් වලින් මාර්ගගත පරිගණක ක්‍රීඩා වන World of Warcraft, Cash of Clans ආදියෙහි ඇති ‘රන් කාසි’ වැනි ක්‍රීඩා මූල්‍යමය ඒකක මිලදී ගෙන පසුව ඒවා විකුණා ශුද්ධ මුදල් බවට පත් කරගන්නා ජාවාරම් මෙහි සිදුවන බව වාර්තා වෙනවා. විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ද අනන්‍යතාව රැකගෙන තොරතුරු උඩුගත (upload) කිරීම සඳහා onion ලින්ක් එකක් ලබාදී තිබෙනවා.

TOR හොඳයි ද?

TOR ජාලයේ තිබී නීතියට හසුකරගන්නා ලද වෙබ් අඩවි අන්තර්ජාලයෙන් ඉවත් කළ බවට ඒවා මත ඇ.එ.ජ. රජයෙන් යොදන පණිවිඩයක් (extremetech.com)

ඕනම දෙයක හොඳ පැත්තයි, නරක පැත්තයි දෙක ම තිබෙනවානෙ. බටහිර විද්‍යාව ඉගෙනගැනීමෙන් ලෙඩක් සුවපත් කළ හැකි ඖෂධයක් හැදිය හැකි වගේ ම රටක් වුවත් නැසිය හැකි න්‍යෂ්ටික අවි තනන්නත් පුළුවන්. හැබැයි විසඳුම බටහිර විද්‍යාව ඇබොලිෂ් කිරීම නෙවෙයි, ආකල්ප සංවර්ධනය කිරීම යි. TOR ජාලයත් එහෙමයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය, සූදු, මුදල් විශුද්ධිකරණ සහ නීති විරෝධී අසභ්‍ය වීඩියෝ ආදිය එහි තිබෙනවා.

එනමුත් කිසියම් රටක ඒකාධිපති පාලකයෙක් බිහිවෙලා අන්තර්ජාලය සම්පූර්ණයෙන් නවතා දමමින්, සන්නිවේදන පහසුකම් නැතිකොට දූෂිත පාලනයක් ගෙන යනවා නම් එය ලෝකයට හඬගා කියන්නට සාමාන්‍ය අන්තර්ජාල පද්ධතියකින් කිසිම කෙනෙක්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් එකේ, බ්ලොග් එකක වැනි තැනක අපේ රටේ පාලකයා මෙහෙමයි කියලා දාපු ගමන් හැරෙන තැපෑලෙන් හරි සුදු වෑන් එකක් එන්නට පුළුවන්. අන්න එවන් අවස්ථාවන්හිදී WikiLeaks වැනි වෙබ් අඩවි හරහා ලොවට තොරතුරු හෙළි කිරීමට, රටක් වශයෙන් ජනතාවට පිළිසරණක් ලබා ගන්නට මෙම ජාලය බෙහෙවින් උපකාර වෙනවා.

ඔබ අන්තර්ජාලයේ අඳුරු ආගාධය ගැන සිතන්නේ කුමක්ද? අපිත් එක්ක comment එකකින් බෙදාහදා ගන්න.

කවරයේ පින්තූරය: aseoagency.in

මූලාශ්‍ර:

 

  • darkwebnews.com
  • Wikipedia
  • Wikileaks
  • findlaw.com
  • torproject.org