ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාව කෙතරම් ඉදිරියෙන්ද?

මීට අවුරුදු විසි එකකට පමණ ඉහතදී වානිජ්‍ය අන්තර්ජාල පහසුකම් ලංකාවට ගොඩ බැසීමත් සමඟ සහ ඊට ආසන්න පෙර කාලයක සිටම පරිගණක භාවිතයට ලාංකිකයන් නැඹුරු වීමත් සමඟ අද වනවිට ශ්‍රී ලංකාවේ සියයට 22 සිට 34 දක්වා ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිතා කරනවා; හරියට මෙය කියවන ඔබ වගේ ම!

සංඛ්‍යා ඕන නෑ, ලංකාවේ බහුලව භාවිතා වන සමාජ ජාල වෙබ් අඩවි වන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් ආදියේ සිටින පිරිස සහ දිනකට ෆේස්බුක් පිටු හරහා බෙදා හැරෙන ඡායාරූප, ඒවා වෙත පරිශීලකයන් විසින් ඉදිරිපත් කරන ඡායාරූප සහ අදහස් දැක්වීම් ආදිය සලකා බැලුවාම මේ කථාව සම්පූර්ණයෙන්ම ඔප්පු වෙනවා.

වර්තමාන දුරකථනද බුද්ධිමත් බව ලබමින් ලැප්ටොප් පරිගණකද ප්‍රතිස්ථාපනය කරන නිසා ඒ හරහා ද විශාල ප්‍රමාණයක් පරිගණක සහ තාක්‍ෂණය භාවිතයට පෙළඹී තිබෙනවා. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ව්‍යාප්තිය පිළිබඳව 2015 වසරේදී ශ්‍රී ලංකා ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවද භාවිතා කරමින් අපි වැඩිදුර ඒ ගැන සොයා බලමු.

සංඛ්‍යාලේඛනයේ සීමා සහ අර්ථ දැක්වීම්

(nicadez.com)

(nicadez.com)

මේ සංඛ්‍යා ලේඛනය ඉදිරිපත් කර තිබෙන්නේ අවුරුදු පහ සිට හැට නවය දක්වා පුද්ගලයන් අඩංගු වන පරිදි නිවාස විසි පන්දහසක් පදනම් කරගෙනයි. 69ට ඉහළ වයස් මට්ටම නොසලකා හරිනවා නොවෙයි, ඒ ටික ගණින්න නම් අපේ ජෙනරේෂන් එකේ තව කෙස්ස පැහෙනකම් ඉන්න වෙනවා. ඒ වගේම මෙහි පරිගණකයක් සහිත නිවසක් ලෙස ගණන් ගැනීමේදී මේස පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් තිබීමත්, අවුරුදු පහක දරුවෙකුට වීඩියෝ ක්‍රීඩාවක් කරන්නට හැකි නම් ඔවුන් පරිගණක සාක්‍ෂරතාව සහිත පුද්ගලයෙක් ලෙසටත් සලකා තිබෙනවා.

එනමුත් ස්මාර්ට් දුරකථනද පරිගණක ගණයෙහි ලා සැලකෙන නිසා මේ අර්ථ දැක්වීම් වෙනස් වන්නට දැන් කාලය හරි. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් ඉදිරි වසර වලදී එවන් දෑ ද සලකමින් මේ වාර්තා ගෙන ඒවි කියා. එත් දැනට අපිට මෙය විශ්ලේෂණය කරමින් ඉතා හොඳ අවබෝධයකට එළැඹෙන්න පුළුවන්.

පරිගණකයකට හිමිකම් කීම

2015න් පසු සියයට 24ක් පමණවූ සෑම නිවසකම අඩුම තරමේ එක් පරිගණකයක් හෝ තිබෙනු දකින්නට ලැබුණා. ඒ කියන්නේ සෑම නිවාස හතරකින් ම එකක්. එය 2009දී 11.4ක්ව පැවති අතර ඊට සාපේක්‍ෂව අවුරුදු 6ක් තුළ ඒ ලබා ඇති උත්ක්‍රමණය සැලකිය යුතු එකක්. ඇමරිකාවේ මෙම අගය 2014දී සියයට 85ක් වූ අතර Population Reference Bureau (prb.org) වෙබ් අඩවිය වාර්තා කරන පරිදි 2011දී ඉන්දියාවේ අන්තර්ජාල රහිත පරිගණක භාවිත ප්‍රතිශතය 6.3ක් වෙනවා.

(පරිගණකයක් හිමි නිවාස ප්‍රතිශතය නාගරීකරණය අනුව)

(පරිගණකයක් හිමි නිවාස ප්‍රතිශතය නාගරීකරණය අනුව)

ශ්‍රී ලංකාවේ නගරබදව මෙම අගය 2015දී සියයට 41.5ක් ද ග්‍රාමීයව සියයට 22ක් ද ලෙසයි දැක්වෙන්නේ.

ප්‍රදේශ අනුව ගත්කල බස්නාහිර පළාත 38.5%ක ඉහළ ගෘහස්ථව පරිගණක භාවිතයක් දරනවා. ඌව පළාත අඩුම අගය වන 12.5%ට හිමිකම් කියන නමුත් එම පළාත අවම ජනගහණයක් සිටින පළාත් අතරින් දෙවන ස්ථානය බවද සැලකිය යුතුයි.

(පරිගණකයක් හිමි නිවාස, පළාත අනුව)

(පරිගණකයක් හිමි නිවාස, පළාත අනුව)

සමස්තයක් වශයෙන්, සියළුම පළාත් 2009 සිට ශීඝ්‍ර වර්ධනයක් දක්වන අතර ඉන් පැහැදිලි වන්නේ තාක්‍ෂණය මේ වෙත්දී ඉතා පහසුවෙන් ළඟාවිය හැකි දෙයක් බවට පත්ව ඇති බවයි. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල දැනට පරිගණකයක් තිබෙන අයගෙන් 61%ක්ම ඔවුන්ගේ පළමු පරිගණකය මිලදී ගෙන තිබෙන්නේ පසුගිය වසර 5 ඇතුලතදී යි.

පරිගණක සාක්‍ෂරතාව

ශ්‍රී ලංකාවේ 27.1%ක මධ්‍යක අගයක් පරිගණක සාක්‍ෂරතාවයෙන් යුතුයි. ඇත්තෙන්ම එය පරිගණකයකට හිමිකම් කියන ප්‍රමාණයටත් වඩා වැඩි වගේම එය පුදුමයක් නෙවෙයි. ඉන්දියාව වැනි රටවලත් මේ තත්වය එසේම වන අතර ඊට ඉන්ටර්නෙට් කැෆේ, කාර්යාලවල පරිගණක භාවිතය ආදී දේ හේතු වෙනවා.

ඉතින්, පරිගණකයක් තිබෙනවාටම වඩා තිබෙන පරිගණකය හෝ භාවිතා කිරීමට හැකියාවයි වැදගත් වෙන්නේ. අපි ඒ මට්ටමින් ඉදිරියෙන් ඉන්නවා.

(පරිගණක සාක්‍ෂරතා ප්‍රතිශතය නාගරීකරණය අනුව)

(පරිගණක සාක්‍ෂරතා ප්‍රතිශතය නාගරීකරණය අනුව)

නැවතත්, නාගරික ප්‍රදේශවල සාක්‍ෂරතා ප්‍රතිශතය ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රතිශතය අභිබවා යන්නේ පිළිවෙලින් 39.2% සහ 25.5% වශයෙනු යි. පළාත්බදව සැලකූ විට බස්නාහිර පළාත 38.4ක්ව ඉදිරියෙන් ද අපේ දකුණු පළාත 27.3 වෙමින් දෙවැනි තැනද ගන්නවා.

දිස්ත්‍රික්ක මට්ටමින් බැලුවොත්, කොළඹ 45.3%ක පරිගණක සාක්‍ෂරතාවක්ද ගම්පහ දිස්ත්‍රික්කය 34.2%කට ද හිමිකම් කියනවා.

එසේම ස්ත්‍රීන් පුරුෂයන්ට සාපේක්‍ෂව මඳකින් අඩු පරිගණක සාක්‍ෂරතාවක් දක්වන අතර ඒ අගයන් පිළිවෙළින් සියයට 25.3 සහ 29.1ක් වෙනවා. එය සියයට 4ක පමණ ඉතා සුළු අගයක් වීම සැබැවින් ම සිත්ගන්නා සුළුයි. ඔන්න ඒ නිසා තවදුරටත් හැඳිමිට නම් උපමාවට ගන්නවා බොරු.

(පරිගණක සාක්‍ෂරතා ප්‍රතිශතය දිස්ත්‍රික්කය අනුව)

(පරිගණක සාක්‍ෂරතා ප්‍රතිශතය දිස්ත්‍රික්කය අනුව)

වයස් අනුව අවුරුදු 15 සිට 19 දක්වා වූ යොවුන් පරපුර සියයට 58.7ක් ද අවුරුදු 20 සිට 24 දක්වා වූ තරුණ පරපුර සියයට 53.8ක් ද තිබෙන අතර සිත්ගන්නා සුළු කරුණ නම්, අවුරුදු 5 සිට 9 දක්වා වූ ළමාවිය සියයට 14කට ම හිමිකම් කීමයි.

අන්තර්ජාල භාවිතය

(අන්තර්ජාල භාවිතය දිස්ත්‍රික්ක මට්ටමින්)

(අන්තර්ජාල භාවිතය දිස්ත්‍රික්ක මට්ටමින්)

2015 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාව අනුව ඔවුන්ගේ සමීක්‍ෂණයට දායකවූවන්ගෙන් සියයට 12ක් ම වසරකට වරක් හෝ අන්තර්ජාලයට පිවිසී තිබෙනවා. කොළඹ නගරය ඉහළම භාවිතයක් දක්වමින් සියයට 28කට හිමිකම් කියද්දී ගම්පහ නගරය දෙවන තැන සිටිමින් 18.7ක් ද බදුල්ල දිස්ත්‍රික්කය අවම අගය වන සියයට 3.4 ද ලබා සිටිනවා.

කොහොමහරි, මේ සියල්ලෙන්ම පෙනීයන්නේ මේ පැමිණි වසර කිහිපය තුළ ලබා ඇති ශීඝ්‍ර වැඩිවීම අනාගතය ගැන කියාපන්නේ සුබ සිහිනයක් බවයි.

කවරයේ පින්තුරය: wixstatic.com

පරිවර්තනය: තඹරු විජේසේකර

Related Articles