Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලැප්ටොප් එකක් මිළදී ගන්නට පෙර සැලකිලිමත් විය යුතු දේවල්

වෙළඳපොළ තිබෙන සුවිසල් පරාසයක ලැප්ටොප් වර්ග සහ නිශ්පාදක වෙළඳ දැන්වීම්වල මවාපාන සුරංගනා කථා නිසා හොඳ ම තේරීමක් කිරීමට අපට ඉතා ම අපහසු තත්වයක් උද්ගත වෙලා තිබෙනවා.

වෙළඳසලක හෝ අන්තර්ජාලයේ සෙවීමක් කළත් ලැප්ටොප්වල හැකියාවන් දැක්වීම සඳහා ඉංග්‍රීසි හෝඩියේ විවිධ අකුරුත් එක්ක ලියපු ඉලක්කම් ගොඩවල් එක්ක තවත් ඒක අපහසු කරලා තිබෙනවා. හැබැයි ඔබේ අවශ්‍යතාවන් මොනවාදැයි හඳුනාගත්තොත් පහසුවෙන් එකක් තෝරාගන්නට හැකිවන අතර අපි මේ ලිපිය හරහා ලැප්ටොප් එකක තිබිය යුතු, මිළදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු මූලික දේවල් ගොනු කරමින් ඔබට එය තවත් පහසු කරදෙන්නට උත්සාහ කළා.

ප්‍ර‍මාණය

(anandtech.com)

ඔබ නිතර ගමන් බිමන් යන කෙනෙක් නම් බෑග් එකේ ඉඩ කොච්චර අවශ්‍ය වෙනවාද, උකුලේ තියාගෙන භාවිතා කරන්නට තරම් ප්‍ර‍මාණය උචිතද යන කාරණා පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙනවා.

බොහෝ අවස්ථාවලදී ලැප්ටොප්වල ප්‍ර‍මාණය එහි තිරයේ ප්‍ර‍මාණය අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ, ප්‍රමාණය කුඩා වන විට ඔබට ලැබෙන තිරයේ ඉඩකඩ ද අඩුවී වැඩි දේවල් ප්‍රමාණයක් එකවර බලාගැනීමට ඇති හැකියාව සහ ඔබ චිත්‍රපට බැලීමට ප්‍රිය කරන කෙනෙක් නම් ඒ අත්දැකීමට ද බාධා එල්ල වන්නට පුළුවන්.

මේ සියල්ලට ම ගැලපෙන ලෙස විශාලත්වය අඟල් 12.5 සිට 13.3 පමණවූ සහ බර කිලෝ ග්‍රෑම් 1 සිට 1.5 දක්වාවූ ලැප්ටොප් නිර්දේශ කළ හැකියි. Ultrabook ලෙස දක්වන සියළුම ලැප්ටොප් තුනී බවින් සහ බරින් ද අවම නිසා රැගෙන යාමට ඉතා පහසුයි.

තිරයේ ගුණාත්මක භාවය

වම්පස: ඇසට පහසු රළු තිරය, දකුණුපස: පරාවර්තනය වන ඔපවත් තිරය. (typepad.com.com)

ලැප්ටොප් එකේ ප්‍ර‍ධානම අංගය වුණු තිරය හරියට නොතිබුණොත් ඒකට CPU, GPU, RAM ගෝනි ගණන් තිබුණත් කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා. නූතන ඒවායේ ස්පර්ශක තිරයන් ද තිබෙන නිසා බහුතරයක ඔප දැමූ තිරයන් තිබෙනවා. ඒවා වැඩි ආලෝකය ඇති ස්ථානවලදී භාවිතා කිරීමේදී හෝ ඔබට පසුපසින් ආලෝකය වැටෙන ආකාරයේ ස්ථානයක සිටියහොත් තිරය නොපෙනී පසුපස ඇති දේවල් පරාවර්තනයවී කණ්ණාඩියක් වගේ වෙනවා. එවිට කෙටිකාලීනව හිසරදය, වැඩිවේලා තිරය දෙස බලා සිටින්නට නොහැකි වීම මෙන් ම දිගුකාලීනව ඇස් පෙනීමේ දුර්වලතා ද හටගන්නට පුළුවන්. එනිසා ඔබ නිතර එළිමහනේ හෝ එළිය වැඩි කාමරවල සිට පරිගණකය භාවිතා කරන කෙනෙක් නම් රළු මතුපිටක් ඇති තිරයක් සඳහා පිවිසිය යුතු වෙනවා.

ඒ වගේ ම තිර විභේදනය පික්සල 1920×1080 (Full HD) පමණ එකක් නම් උපරිම වින්දනයක් ලබා ගන්නට හැකි වේවි. ඒ වගේ ම ඕනෑවට වඩා වැඩි වුණොත් අඩු කොලිටියෙන් යුත් වීඩියෝ හෝ ඡායාරූප, වෙබ් අඩවිවලට පිවිසීමේදී එපා වෙන්නත් පුළුවන්. ඇපල් පරිගණකවල එවන් ඉතා හොඳ රෙටිනා (Retina) තිර තිබෙනවා. වැඩි කෝණ ප්‍රමාණයකින් බැලීමේදීත් තිරයේ වර්ණ වෙනස් නොවී එකම ආකාරයෙන් පෙනීමට IPS තිර සහිත එකක් නම් වඩාත් හොඳයි. මෙම දේවල් නිසා ම ප්‍රදර්ශනාගාරයට ගිහින් ම හොඳට බලලා ගැනීම අන්තර්ජාලයෙන් අන්ධයෙක් සේ මිලදී ගන්නවාට වඩා හොඳ පුරුද්දක් වෙනවා.

යතුරුපුවරුව සහ ටච්පෑඩ් එක

(ithacks.com)

ඔබ ටයිප් කරන වැඩ හෝ පරිගණක ක්‍රීඩා නිතර කරනවා නම් යතුරුපුවරුවත්, මවුසය හැසිරවීම සඳහා ටච්පෑඩ් එකේත් ගුණාත්මක භාවය බෙහෙවින් අවශ්‍ය වෙනවා. ටයිප් කිරීමේදී යතුරු දෙකක් අතර ඉඩ ඉතා අවම වුවහොත් එය ටයිප් කිරීමේ සුවපහසු බව අවම කරනවා.

එසේ ම යතුරු එබීමේදී යෙදිය යුතු බලය අවම වන තරමට එය භාවිතයට සුදුසු වන අතර බැක්ලිට් (backlit) හෙවත් අඳුරේදී ද යතුරුපුවරු දැකිය හැකි වීම සඳහා යතුරුවල ආලෝක පහන් තිබෙනවා නම් එය ද වැදගත් වේවි. ටච්පෑඩ් එක සංවේදී වන තරමට ඉතා සුමටව කර්සරය පාලනය කළ හැකි වන අතර ටයිප් කරන අතරතුර එය භාවිතා කිරීමට සුව පහසු විය යුතු වෙනවා.

Lenovo Thinkpad පරිගණකවල මේ නිසා ම G සහ H අකුරු අතර මූසික පාලන බොත්තමක් ටච්පෑඩ් එකට අමතරව ලබාදී තිබෙනවා. පරිගණක ක්‍රීඩා සඳහා නම් කොහොමටත් ටච්පෑඩ් එක අපහසු නිසා බාහිරින් සබැඳිය හැකි මූසිකයක් මිලදී ගන්නට සිදු වෙනවා.

ක්‍රියාකාරී හැකියාව

(cbsistatic.com)

ඔබට පරිගණකය භාවිතා කරන්නට අවශ්‍ය හේතුව මත එහි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය CPU, RAM, GPU, සහ ගබඩා ධාරිතාවන් තීරණය වෙනවා. සාමාන්‍ය භාවිතය සඳහා, එනම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්, මෘදුකාංග සංවර්ධකයෙක් වැනි කෙනෙක්ට Core i5, 4GB හෝ 8GB RAM සහ 500GB ගබඩා ධාරිතාවක් ප්‍රමාණවත් වන අතර ඡායාරූප සංස්කාරකයෙක් හෝ මධ්‍ය ප්‍රමාණ පරිගණක ක්‍රීඩා ලෝලියෙක් නම් 1 හෝ 2GB පමණවූ GPU එකක් තිබීම හොඳට ම ප්‍රමාණවත්.

Celeron ප්‍රොසෙසර සහිත ලැප්ටොප් සුලබ නමුත් ඒවායේ බැටරි භාවිතය සහ හැකියාවන් පිළිබඳ හොඳක් කියන්නට නොහැකි නිසා අඩු තරමේ Core i3 ආරම්භක අවධියේ එකකටවත් යොමුවීම ඇඟට ගුණ යි. Core i7 පරිගණකවල ද බැටරි භාවිතය මෙන් ම හැකියාවන් ද ඉතා වැඩි වන අතර ඒවා ඉහළ ගණයේ කාර්යයන්: බරසාර ග්‍රැෆික්, වීඩියෝ සංස්කරණයන් හෝ පරිගණක ක්‍රීඩා සඳහා උචිත වෙනවා.

බැටරිය

(laptopmagazine.net)

ලැප්ටොප් පරිගණක පමණක් නොව ස්මාර්ට් දුරකථනවලත් නිශ්පාදකයන් පවසන ප්‍රමාණයට වඩා හාත්පසින් අපේ භාවිතයත් සමඟ බැටරි ආයු කාලය තීරණය වෙනවා. අපි භාවිතා කරන තිර දීප්ත ප්‍රමාණය, කරන වැඩ ප්‍රමාණය සහ ඒවායේ බරසාර බව අනුව බැටරි භාවිතය විචල්‍ය වන අතර ඇතැම්විට නිශ්පාදකයන් පැවසූ ප්‍රමාණයටත් වඩා වැඩි කාලයක් ලැබීමට ද ඉඩ තිබෙනවා. ඔබ ලැප්ටොප් එක භාවිතා කරන්නේ නිවසේ වැනි විදුලි පේනුවක් ඉතා පහසුවෙන් ළඟ ඇති ස්ථානයකදී නම් මෙය මහත් ගැටළුවක් වන්නේ නැහැ. විදුලි බිඳ වැටීමකදී වුවත් පැය 4ක්-5ක් පමණ භාවිතා කරන්නට බැටරිය තිබීම හොඳට ම ප්‍රමාණවත්.

බැටරි ආයු කාලය ඉතා වැඩි ලෙස දක්වන පරිගණකවල වෙනත් දෙයකින්: අඩු ප්‍රොසෙසර හෝ ග්‍රැෆික් බලයක්, තිරයේ අඩු ගුණාත්මක බවක් ආදිය හරහා ඔබ සීමා කොට තිබෙන්නට පුළුවන්.

සැලසුම

(arstechnica.net)

විලාසිතාව, පෙනුම, කල්පවතින බව මෙන් ම තාපය පහසුවෙන් ඉවතලන ආකාරයේ නිමැවුමක් තිබීම ලැප්ටොප් එකක සැලකිලිමත් විය යුතු තවත් දෙයක්. මේ සියල්ල ම පාහේ Ultrabookවල සහ ඇපල් පරිගණකවල දකින්නට ලැබෙන අතර පෙනුමටත් වඩා කල් පැවැත්ම බෙහෙවින් සලකා බැලිය යුතු වෙනවා.

එසේ ම සැලසුම් කර ඇති ආකාරය අනුව USB port, VGA/HDMI port තිබෙන ස්ථාන, ප්‍රමාණය සහ කිහිපයක් එකවිට භාවිතා කිරීමට ඇති ඉඩකඩ ද සෑහීමකට පත් වෙනවා නම් උචිතයි. ඇතැම් ලැප්ටොප්වල තිරයට පිටුපසින් USB තිබෙන අතර එළිමහනේ භාවිතා කරනවා නම් ඔබේ pen drive සොරකමට ලක්වීමට ද ඉන් අවධානමක් ඇතිවෙනවා. එනිසා ports දෙපසින් ද HDD සහ power lights ඔබේ පැත්තෙන් හෙවත් ඉදිරියෙන් ද පවතින පරිදි තිබෙනවා නම් වඩාත් සුදුසු යි.

මිළ

(imgur.com)

ලැප්ටොප්වල මිල පරාස හඳුනාගන්නට පහසුවන්නට ඒවාට නම් ලබාදී තිබෙනවා. Netbookවල (සහ Chromebook) හැකියාවන් අඩු අතර Atom වැනි ප්‍රොසෙසර යොදා වෙබ් ගවේෂණ වැනි දේ සඳහා පමණක් තිස්දහස සිට පනස්දහස දක්වා අඩු මිලට සකසා තිබෙනවා.

Notebook යනු නිතර අපට දකින්නට ලැබෙන මධ්‍යම බල ප්‍රමාණයක් සහිත පනස් දහස සිට ලක්ෂය දක්වා ඒවා වන අතර අනූ දහසින් පමණ ඉහළට Ultrabook වැඩි හැකියාවන් සහ පෙනුම සහිත පරිගණක ලබාගත හැකි වෙනවා. ඇපල් පරිගණක ද ලක්ෂය සහ ඉන් ඉහළ වන නමුත් ඔබ පෙනුම ගැන නොසිතන වැඩි හැකියා ප්‍රමාණයක් (performance) සොයන කෙනෙක් නම් අසූ දහසකට පමණ වඩාත් හොඳ පරිගණකයක් ලබා ගන්නට හැකි වේවි.

මුලින් බලපු මොන දේ ගැළපුණත් ඔබේ අතේ ඇති මුදලට ඒවා සරිලන්නේ නැතිනම් ඒ ගැන සිතීමත් සිහිනයක් පමණයි. මෙහිදී ඔබට ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසන ස්ථානවලින් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් හරහා කොටස් වශයෙන් ගෙවන්නට සකසා ගතහොත් එය එතරම් ම ගැටළුවක් වෙන එකක් නැහැ. කොහොම නමුත් මුදලට වඩා අවශ්‍යතාවය මත පදනම්ව ඔබ තෘප්තිමත් වන ආකාරයෙන් භාණ්ඩ මිලදී ගැනීම කියන්නේ, අනවශ්‍ය සේ වියදම් නොකිරීම වගේ ම තවත් හොඳ පුරුද්දක්.

Related Articles