ශ්‍රී ලංකාවේ තාක්ෂණික කාරණා සහ අලුතෙන් පටන් ගන්න “ස්ටාර්ට් අප්” ගැන තොරතුරු ඔබට කියන්න අපි Roar එකේ වෙනම Tech අංශයක් ආරම්භ කළේ මීට මාසයකට වගේ කලින්. මෑතක ඉඳන් ලංකාවේ බොහෝ දෙනා හරිම ක්‍රියාශීලීව තාක්ෂණික පැත්තට බර ව්‍යාපාර ආරම්භ කරන බව දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් අලුත් අදහස් බොහොමයක් හොඳ ව්‍යාපාර බවට පත් කර ගන්නත්, පැරණි දේවල් අලුත් කාලයට ගැලපෙන්න සකස් කර ගෙන ඒවායින් ඵල නෙලා ගන්නත් දක්වන උනන්දුව අපිට පැහැදිලිවම දකින්න පුළුවන්.

මේ නිසා අපි හිතුවා ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රසිද්ධම වගේම දක්ෂතම ව්‍යවසායකයෙක් ගැන තොරතුරු ඔබට කියන්න. (ලංකා ඉතිහාසයේ වඩාත්ම පැසසුම් ලබන ව්‍යවසායකයා ඔහුයි) මෑත කාලීනව ඇති වෙලා තියෙන අලුත් ව්‍යාපාර පටන් ගන්න ට්‍රෙන්ඩ් එකට බොහොම කාලයකට කලින් තමයි ඔහු ව්‍යවසායකයෙක් විදිහට ලංකාව තුල ව්‍යාපාර ගණනාවක් ආරම්භ කළේ. අදට වඩා බොහොම අපහසු, බාධක පිරුණු ගමනක් එන්න ඔහුට සිදු වුණත් නිර්මාණශීලිත්වය, අලුත් අදහස් වගේම විශ්වාසදායක සේවකයන් පිරිසක් බිහි කර ගන්න තිබුණු දක්ෂතාවය ඔහුගේ සාර්ථකත්වයට හේතු වුණා. ඔහු ආරම්භ කරපු බොහෝ දේවල් අපි “ස්ටාර්ට්අප්” එකක් කියලා හඳුන්වන වර්ගීකරණයට දාන්න බැරි වුණත් ඒ හැම එකක්ම වගේ අදටත් පවතින ඉතා හොඳ ව්‍යාපාර. ඇත්තටම නියම ස්ටාර්ට්අප් එකක් නම් කවදා හරි හොඳ ව්‍යාපාරයක් බවට පත් වීම ඉලක්කය විය යුතුමයි.

අපි මේ කතා කරන්නේ උපාලි විජේවර්ධන මහතා ගැනයි.

අපි කවුරුත් වගේම උපාලි මහත්මයාත් විවිධාකාර අනාගත බලාපොරොත්තු තිබුණු, ඒවා ඉටු කර ගන්න සිහින මවපු කෙනෙක්. ඔහු අනිත් අයගෙන් වෙනස් වෙන්නත්, ලංකාවේ බිහි වුණු ප්‍රසිද්ධම ව්‍යවසායකයෙක් වෙන්නත් බලපෑවේ ඔහුගේ තිබුණු ව්‍යවසායික ජීවගුණය. අපි මේ ලිපියෙන් වැඩිපුරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙත් ඒ ගැනයි. ඔබත් ව්‍යවසායකයෙක් වෙන්න උනන්දුවක් තියෙන කෙනෙක් නම් නිදහසේ මේ ලිපිය කියවලා බලන්න. ඔබේ අනාගත සාර්ථකත්වයට මේ ලිපිය ලොකු උදව්වක් වෙන්න ඉඩ තියෙනවා.

ජීවිතයේ මුල් කාලය

උපාලි විජේවර්ධන මහත්මයාගේ පාසල් ගිය කොළඹ රාජකීය විද්‍යාලය. රූපය : විකිපීඩියා

උපාලි මහතා පිලිප් උපාලි විජේවර්ධන විදිහට උපත ලැබුවේ දොන් වෝල්ටර් තුඩුගල්ලේ විජේවර්ධන මහත්මයාට සහ අනුලා කල්‍යාණවතී විජේවර්ධන මැතිණියට දාව 1938 අවුරුද්දේ පෙබරවාරි 17 වැනිදායි. තමන්ගේ සොහොයුරියන් දෙදෙනාත් එක්ක ඔහු “සේදවත්ත වලව්ව” කියලා හැඳින්වුණු කැළණියේ පිහිටි නිවසේ කුඩා කාලය ගත කළා. ලංකාවේ ප්‍රභූන් ගණනාවක් බිහි කරපු විජේවර්ධන පවුලේ සාමාජිකයෙක් නිසා අතීතයේ සෙනට් සහිකයෙක් වුණු S. C. ජයවර්ධන මහතා වගේම ලංකාවේ පළමු විධායක ජනාධිපති J. R. ජයවර්ධන මහතාත් උපාලි මහත්මයාගේ ලඟම නෑදෑයන්.

කොළඹ රාජකීය විදුහලේ ශිෂ්‍යයෙක් වුණු උපාලි “සර්ව සම්පූර්ණ” ශිෂ්‍යයෙක් විදිහට ඒ කාලේ නම් දරාගෙන හිටියා. ඔහු පාඩම් වැඩ වලටත්, ක්‍රීඩා වලටත් එක සේ දක්ෂයෙක්. මුල් කාලයේ ඉඳන්ම අශ්වයන් පදින්න ඔහුට හොඳ හැකියාවක් තිබුණු නිසාම ඒක ඔහුගේ ජනප්‍රියම ක්‍රීඩාවක් වෙලා තිබුණා. ඒ දවස් වල සමකාලීන යාළුවන් බොහෝ දෙනෙක් ක්‍රිකට් සහ රගර් ගැන උන්මාදයෙන් හිටියත් උපාලි නිතරම හීන මැව්වේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නත්, පෞද්ගලික ගුවන් යානා මිලට ගන්නත්, අශ්වයන් පදින්නත් තමයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළින්ම බුහුමන් ලබපු රාජකීය විදුහලේ අධ්‍යාපනය අවසන් කළාට පස්සේ ඔහු උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගත වුණා. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වුණු උපාලි මහතා මූලික උපාධිය වගේම ශාස්ත්‍රපති උපාධියත් හිමි කර ගත්තේ ආර්ථික විද්‍යා අංශයෙන්.

පළමු රැකියාව

ඉතා ඉක්මණින් සැබෑ ලෝකයට පිවිසිලා තමන්ගේ හීන හැබෑ කරගන්න උවමනාව තිබුණු තරුණ උපාලි මහතා ලීවර් බ්‍රදර්ස් සමාගමේ (Lever Brothers – අද යුනිලීවර් සමාගම) පුහුණු කළමනාකරුවෙක් විදිහට රැකියාවක් හොයා ගත්තා. මේ තනතුර ඔහුට ලැබුණු හැටි ගැන බොහොම අපූරු කතන්දරයකුත් තියෙනවා. මේ තනතුරට බඳවා ගැනුණේ එකම එක පුද්ගලයෙක් විතරයි. ලීවර් සහෝදර සමාගම බොහොම නම ගිය ආයතනයක් නිසා තනතුර වෙනුවෙන් ලොකු තරඟයක් තිබුණා. ආපු අයදුම්පත් රාශිය අතරින් තෝරලා බේරලා අවසානයේ ලීවර් ආයතනය දක්ෂතම අයදුම්කරුවන් දෙදෙනා තෝරා ගත්තා. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් තෝරන්න හරිම අපහසු වුණාලු. මේ දෙන්නා අතරින් උපාලි මහත්මයාත් එක්කෙනෙක්.

අන්තිමේදී ලීවර් බ්‍රදර්ස් එකේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක තුමා මේ දෙන්නාටම ගෝල් ෆේස් හෝටලයේ කෑමකට ආරාධනා කරලා තියෙනවා. උපාලි මහතාට තේරුණ විදියට අනුව මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ අයදුම්කරුවන් දෙදෙනා කෑම මේසයේදී හැසිරෙන විදිහ බලන එකයි. කෑම මේසයේ ආහාර ගනිමින් ඉන්නා අතරේ අනෙක් අයදුම්කරුවා තමන්ගේ සුප් බඳුනේ තිබුණු අන්තිම සුප් ටික බොන්න සුප් භාජනය ඇල කරලා තියෙනවා. ඒ මොහොතේ තමන්ට තනතුර අනිවාර්යයෙන්ම හිමි වන බව උපාලි මහත්මයාට ඒත්තු ගියාලු.

කොහොම වුණත් ටික කාලයකට පස්සේ උපාලි මහතා මේ සමාගමෙන් ඉවත් වුණා. ආයතනයේ සභාපතිවරයා ඔහුට හදලා දෙන්න කියලා කියපු වාර්තා වගයක් භාර දෙන්න බැරි වුණු එක ගැන ඇති වුණු ප්‍රශ්නයක් තමයි මේකට හේතු වුණේ. උපාලි ඉන් පස්සේ තමන්ගේ වාර්තා කොහෙද කියලා හොයා හොයා යද්දී සභාපතිවරයාගේ මේසේ උඩම තිබිලා ඒ ටික හම්බ වුණාලු.

මේ කාරණාවෙන් පස්සේ ඔහු ලීවර් බ්‍රදර්ස් ආයතනයට සමු දීලා තමන්ගේම ගමනක් යන්න එළියට බැස්සා. රටේ විශාලතම නිෂ්පාදන සමාගමක වැඩ කරලා ගත්තු අත්දැකීම් තමයි මේ වගේ තීරණයක් ගන්න ඔහුව සූදානම් කළේ.

තමන්ගේ ව්‍යවස්ථා දැනුමෙන් ප්‍රයෝජන ගැනීම

ඔබ පුංචි කාලේ කාපු “ලොකු පුංචි මේ සැවොම ඉල්ලන, හරි රස, හරි ගුණ” ඩෙල්ටා ටොෆී මතකද? ඩෙල්ටා ටොෆී බිහි වුණෙත් උපාලි විජේවර්ධන මහතා නිසයි. රූපය : arpicosupercentre.com

තමන් ළඟ තිබුණු රුපියල් 15,000ක විතර මුදලක් සහ ඔහුගේ නමට තිබුණු පැරණි නිවසේ වටිනාකම නිසා කුඩා පරිමාණයෙන් ටොෆී වර්ග හදන ව්‍යාපාරයක් පටන් ගන්න තරුණ උපාලිට පුළුවන් වුණා. තමන්ගේ ටොෆී අලෙවිය වැඩි කර ගන්න සහයට කෙනෙක් අවශ්‍ය වුණු නිසා ඔහු පත්තරේකට දැන්වීමක් දැම්මා. ඒ දැන්වීම හරහා තමයි ඔහුට R. මුරුගයියා මහතා හමු වුණේ. දන්නා කාලයක් පුරාවටම උපාලි මහතාගේ හිතවත්ම සහායකයා වෙලා හිටපු මුරුගයියා මහතා පස්සේ කාලෙක උපාලි සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා බවටත් පත් වුණා.

උපාලි මහත්මයාගේ ටොෆී කර්මාන්තශාලාවේ මුලින්ම හැදුවේ තම්බලා හදන රසකැවිලි වර්ග විතරයි. ඒත් ව්‍යාපාරය දියුණු වෙනවාත් එක්කම ටොෆී වර්ග නිෂ්පාදනයත් ආරම්භ වුණා. ඒ විදිහට තමයි “ඩෙල්ටා ටොෆී” බ්‍රෑන්ඩ් එක බිහි වුණේ. උපාලි මහතා ඩෙල්ටා කියන නම තෝරා ගන්න හේතුව ගැන හරියටම විස්තරයක් නැහැ. නමුත් ජනප්‍රිය කතාවක් තමයි ඔහුගේ ළඟම හිතවතා වුණු මුරුගයියා මහතා ඔහුගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කලින් ඩෙල්ටා සමූහයට අයත් තේ වත්තක රැකියාව කරපු නිසා මේ අදහස ඇති වුණා කියන එක.

ඩෙල්ටා ටොෆී ව්‍යාපාරය අති සාර්ථක වෙද්දී තවත් ව්‍යාපාරයන්ට අත්පොත් තියපු උපාලි මහත්මයා ශ්‍රී ලංකාවේදී ඔරලෝසු, රේඩියෝ සහ TV එකලස් කරලා බෙදා හරින ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ විදිහට බෙදා හැරපු භාණ්ඩ වලට තමයි “UNIC” කියන බ්‍රෑන්ඩ් එක නිර්මාණය වුණේ. ඒ දවස් වල ශ්‍රී ලංකාව සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා අවශ්‍ය භාණ්ඩ හොයා ගන්න එක හරිම අමාරු වුණා. ඒ වගේ ආර්ථිකයක මිල පාලනය නිසා හැම දේම අඩුම මිලට විකුණන්න වෙනවා. මේ නිසා කිසිම විදිහකින් උසස් තත්වයට ඉල්ලුමක් හිමි වුණේ නැහැ. කොහොම වුණත් මේ බාධක වලින් සැලෙන්නේ නැතිව තමන්ගේ හිතවත් කම් පාවිච්චි කරලා ශ්‍රී ලංකාවේදී රේඩියෝ එකලස් කරන ව්‍යාපාරයක් ආරම්භ කළා. UNIC බ්‍රෑන්ඩ් එකේ මුල්ම නිෂ්පාදනය වුණේ මේ රේඩියෝ එකයි. විවිධ ක්‍රම වලින් තමන්ගේ නිෂ්පාදන වලට මිල පාලනයන් ඇති වීම වළක්වා ගත්තු නිසා UNIC සමාගමට තරඟකාරී සමාගම් වලට වඩා විශාල වාසියක් හිමි වුණා. UNIC සමාගමෙන් උපයපු අති විශාල ධනයෙන් තමයි ඔහුගේ ව්‍යාපාරයන්ට ඉතා ඉක්මණින් පැතිරෙන්න හැකියාව ලැබුණේ.

තමන් ළඟ එකතු වුණු විශාල ධනයෙන් ඔහු මෝටර් රථ නිෂ්පාදනයට අත තියන්නත් සූදානම් වුණා.

1969 අවුරුද්දේදී මැස්ඩා (Mazda) කාර් ශ්‍රී ලංකාවේදී එකලස් කරලා අලෙවි කරන ව්‍යාපාරයක් ඔහු මුලින්ම ආරම්භ කළා. ඔහු මේ සඳහාම හෝමාගම ප්‍රදේශයේ අලුතෙන් ඉදි කරපු කර්මාන්තශාලා සංකීර්ණයට වැය කළේ ඔහුගේ වාහන ඉල්ලලා ලැබුණු අත්තිකාරම් මුදල්. (මොන තරම් ඉල්ලුමක් තියෙන්න ඇත්ද?) ඉන් පස්සේ ෆියට් (Fiat) 128 වර්ගයේ කාර් එකලස් කිරීම ආරම්භ කළත් ඒ වෙනකොට රට පුරාම ජනප්‍රිය වෙමින් තිබුණු මිලෙන් අඩු ජපන් කාර් නිසා ඒ ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ. ඔහුගේ උපාලි කාර් සමාගම (UPC එක) හදපු කාර් වලට වඩා අඩු මිලකට විශ්වාසනීය ජපන් වාහන ආනයනය කරන්න පුළුවන් වුණු එක තමයි මේකට හේතු වුණේ.

උපාලි එයාර්, (Upali Air) ශ්‍රී ලංකාවේ මුල්ම දේශීය ගුවන් සේවාව. රූපය : ipm.comxa.com

ඒ කාලයේදීම වගේ ඔහු “උපාලි ඒවියේෂන්” ආයතනය ආරම්භ කළා. මේ තමයි ශ්‍රී ලංකාවේ මුල්ම දේශීය ගුවන් සේවා සහ හෙලිකොප්ටර් සේවා සමාගම. ගුවන් යානා සහ ගුවන් සේවාවන්ට උපාලි ජයවර්ධන මහතා කුඩා කාලයේ ඉඳන්ම ඇලුම් කළා. මේකට එක හේතුවක් වුණේ ගුවන් සේවා එක්ක බැඳිලා තිබුණු සුඛෝපභෝගී ජීවිතය. (ගුවන් සේවයේ ස්වර්ණමය යුගය – Golden Era of Aviation කියලා 60-70 දශක හැඳින්වුණේ නිකන් නෙවෙයි) ඔහුගේ ව්‍යාපාරයන් වඩාත් සාර්ථක වෙද්දී හෙළිකොප්ටර් සහ පෞද්ගලික ජෙට් යානා කිහිපයක් මිලට අරගෙන ඒ කාලයේ හිටපු ධනවත්ම ශ්‍රී ලාංකිකයා විදිහට ඔහුට ලැබිලා තිබුණු ප්‍රසිද්ධිය තවත් වැඩි කර ගත්තා.

60 දශකයේ අග භාගයේ සහ 70 දශකයේ මුල් භාගයේ ඔහු තවත් ව්‍යාපාර කටයුත්තකට පෙළඹුණා. ඒ තමයි චොක්ලට් නිෂ්පාදනය. එදා ආරම්භ කෙරුණු සිලෝන් චොක්ලට් සමාගම තමයි පසුව ඔහුට කවුරුත් දන්නා හඳුනන නම පට බැඳෙන්න හේතු වුණේ. ඔහුගේ විවිධාකාර ව්‍යාපාර වලින් වැඩිම සාර්ථකත්වයක් හිමි ව්‍යාපාරය වුණේ චොක්ලට් නිෂ්පාදනය කරන එකයි.

“කැන්ඩොස් මාමා” සහ චොකලට් ෆැක්ටරිය

තමන්ගේ මාමා කෙනෙක් වුණු සෙනෙට් සභික සරත් විජේසිංහ මහතා මිය ගියාට පස්සේ උපාලි මහතා ඔහු යටතේ තිබුණු චොක්ලට් නිෂ්පාදනය පවරා ගත්තා. මේක සිදු වුණේ 70 දශකයේ මුල් භාගයේ. ඊට කලින් මේ ව්‍යාපාරයේ ලොකු සාර්ථකත්වයක් තිබුණේ නැහැ. කැන්ඩොස් කියන වෙළඳ නාමයෙන් නිෂ්පාදන කටයුතු කරගෙන ගියත් තිබුණේ බොහොම සීමිත ජනප්‍රියත්වයක්. උපාලි විජේවර්ධන මහතා මේ ව්‍යාපාරය විධිමත් කරලා  කර්මාන්තශාලාව නවීකරණය කරන කටයුත්ත මුලින්ම ආරම්භ කළා. නිෂ්පාදනය වැඩිදියුණු කරලා අලෙවිය වැඩි කරගන්න සුදුසු පියවර ගත්තා. ඔහුගේ පවරා ගැනීමෙන් පස්සේ පොඩියට තිබුණු කැන්ඩොස් වෙළඳ නාමය ලංකාවේ ජනප්‍රියම චොක්ලට් බ්‍රෑන්ඩ් එක බවට පත් වෙන්නේ ඉතාම කෙටි කාලයකින්. ශ්‍රී ලංකාවේ වගේම ඈත පෙරදිග රටවල් වල,  විශේෂයෙන්ම සිංගප්පූරුවේ ඔහුගේ නම ප්‍රචලිත වෙන්න බලපෑවේ මේ ඇති සාර්ථක වුණු කැන්ඩොස් චොක්ලට්.

උපාලි ජයවර්ධන මහතා තමන් කැන්ඩොස් වලින් ලබපු සාර්ථකත්වයෙන් තවත් ව්‍යාපාර විශාල ගණනක් ආරම්භ කළා. ඔහුට කවදාවත් අලුත් අදහස් වලින් අඩුවක් තිබුණේ නැහැ. උපාලි සමූහය “පාරිභෝගික භාණ්ඩ” නිෂ්පාදනයට අත ගැහුවේ මේකේ ප්‍රතිඵලයක් විදිහටයි. “සිකුරු”, “ක්‍රිස්ටල්” සහ “ටිංගල්” කියන සබන් වර්ග තුන බිහි වෙන්නේ ඒ තුලින්. ඒ වගේම නැසී ගිය D. R. විජේවර්ධන මහතාගේ නෑකම නිසා ඔහුගේ ලේ වලම තිබුණු පුවත්පත් කලාවටත් ඔහු ප්‍රවිෂ්ට වුණා. 1981 අවුරුද්දේ බිහි වුණු උපාලි පුවත්පත් සමාගම දිවයින සහ අයිලන්ඩ් පුවත්පත් මුද්‍රණය කරමින් පුවත්පත් කලාවට ප්‍රවේශ වුණේ ඒ අනුවයි.

ලංකා දේශ සීමාවෙන් පිටත ව්‍යාපාර

මොන තරම් සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණත් ඔහුට ඒ කාලේ තිබුණු සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක ඉදිරියට යන එක සෑහෙන අපහසු වුණා. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන අවස්ථා හොයාගෙන යන්න ඔහු උනන්දු වුණේ. තමන්ගේ අන්තර්ජාතික ව්‍යාපාර කටයුතු වලට පහසුවක් වෙන විදිහටත්, ශ්‍රී ලංකා රජයේ අන්තවාදී විදේශ විනිමය පාලන නීති වලින් මිදෙන්නත් ඔහු ඉතාම සංකීර්ණ ආයතනික ව්‍යුහයක් ගොඩ නගා ගත්තා. ඔහුගේ මේ දක්ෂතාව නිසාම අන්තර්ජාතික ව්‍යාපාර වලට පිවිසිලා වැඩි කාලයක් යන්න කලින් ඔහුට මැලේසියාවේ කොකෝවා වගාවක්, නිව් යෝක් නුවර මූල්‍ය සමාගමක් සහ සිංගප්පූරුව පුරා ව්‍යාපාර ගණනාවක හිමිකරු වෙන්න පුළුවන් වුණා.

සල්ලි උපයන අතරේම පොදු මහජනතාවට යුතුකම් ඉටු කරන්නත් උපාලි මහත්මයාට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ධනවාදය ගැන නිවැරදි අදහසක් තිබුණු නිසා ඒ තුලින් සාමාන්‍ය මහජනතාවට ලබා ගන්න පුළුවන් විශාල වාසිය ගැනයි උපාලි මහතා නිතරම කිව්වේ. ඒ නිසා පැහැදිලිවම ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ගෙන එන්න හොඳම පුද්ගලයා වුණේ උපාලි මහත්මයා. 1977න් පස්සේ බිහි වුණු විවෘත ආර්ථිකයත් එක්ක රටට ලැබෙන ආයෝජන ප්‍රමාණය වැඩි කර ගන්න ජනාධිපති J. R. ජයවර්ධන මහතා ඔහුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති විදිහට පත් කළේ ඒ නිසයි. (ඒ දවස් වල GCEC ආයතනය)

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරපු එකම ප්‍රධාන නිමැවුම් නිෂ්පාදනය වුණු ඇඟලුම් වෙනුවට තවත් නිෂ්පාදන කටයුතු කෙරෙන්න අවශ්‍යයි කියන අදහස තේරුම් ගන්න උපාලි මහත්මයා ඒ කාලෙදීම සමත් වුණා. ඒ කාලේ ඇති වෙමින් තිබුණු පරිගණක හා ඉලෙක්ට්‍රොනික විප්ලවයත් එක්ක ඉතාම ලාභදායී කර්මාන්තයක් වුණු අර්ධ සන්නායක (semi-conducter) උපකරණ නිපදවන ආයතන පහක් (ඒ කාලයේ ඉහළම තැනක තිබුණු Motorola සමාගමත් ඇතුලත්ව) ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු කරන්න පොළඹවා ගන්න ඔහු සමත් වුණා. ඒත් 1983 අවුරුද්දේ ඇතිවුණු කෝලහාල සහ කලබල නිසා මේ ආයතන සේරම කෙටි කාලයකින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු නවත්වා දැමුවා. ආසියාවේ මෑතක ඉලෙක්ට්‍රොනික් අංශයෙන් දියුණු වුණු තායිවානය, කොරියාව, මැලේසියාව වගේ බොහෝ රටවල් ඒ පන්නරය ලබා ගත්තේ මේ වගේ අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමෙන්. අනවශ්‍ය ජාතිවාදී ප්‍රශ්නයක් නිසා රටට වුණු විනාශයට අමතරව මේ අවස්ථාවෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි වුණු එක අදටත් ලංකාවට සිදු වුණු දරුණුතම පාඩුවක්.

උපාලි මහත්මයා පුද්ගලයෙක් විදිහට

ලෝකයේ ජනප්‍රිය ව්‍යවසායකයන් බොහෝ විට කවුරු අතරත් කතා බහට ලක් වෙන සුවිශේෂී ජීවන රටාවක් අනුගමනය කරන අය. ඔවුන්ගේ පෞරුෂය තමයි ආයතනයේ සාර්ථකත්වයට වඩාත් හේතු වෙන්නේ. වර්ජින් හිමිකරු රිචඩ් බ්‍රැන්සන්, ටෙස්ලා හා ස්පේස් – X අධිපති ඊලෝන් මස්ක්, ඇපල් සමාගමේ හිටපු ප්‍රධානී ස්ටීව් ජොබ්ස් මේ වගේ පුද්ගලයන්ට හොඳම උදාහරණ. ශ්‍රී ලංකාවේ උපාලි විජේවර්ධන මහත්මයාත් මේ වගේ හරිම වර්ණවත් ජීවිතයක් ගත කරපු, ඉතාම ජනප්‍රිය ජීවන රටාවක් ගෙවපු කෙනෙක්.

ඔහු ඉතාම දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙක්; හොඳ අශ්වාරෝහකයෙක්: ඒ වගේම මෝටර් රථ රේසින් වගේම හොඳ වර්ග වල බල්ලන් ගැන විශාල ආශාවක් තිබුණු පුද්ගලයෙක්. ඔහු ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් මේ කතාවෙන්. “උපාලි විජේවර්ධන කියන්නේ දහවල් කාලයේ කොළඹ රැස්වීමකට සහභාගී වෙලා, හවස් වරුවේ තියෙන ගොල්ෆ් තරඟයකට සහභාගී වෙන්න චොපර් එකකින් නුවරඑළියේ ගිහින් ඇවිත් ආපහු කොළඹ හෝටලයක රාත්‍රී කෑමට සහභාගී වෙන ජාතියේ මනුස්සයෙක්..” ඔහු නිතරම අශ්ව රේස් තරඟ බලන්නත් සහභාගී වුණා. Aston Park Stakes සහ The Derby වගේ (දැන් Epsom Derby) ප්‍රසිද්ධ අශ්ව රේස් පිටි වලට ඔහු නිතරම නරඹන්නෙක් විදිහට ගියා. මේ බොහෝ අවස්ථා වල ඔහු ඉදිරිපත් කරන අශ්වයන් පවා තරඟයට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම කටුකුරුන්ද සහ මාගස්තොට වගේ ප්‍රදේශ වල පැවැත්වුණු මෝටර් රථ රේස් වලටත් ඔහු තරුණ කාලයේ තරඟ කරලා තියෙනවා.

අපි කලිනුත් කිව්වා වගේ උපාලි විජේවර්ධන කියන්නේ කිසිම දාක ලංකාවේ බිහි නොවුණ විදිහේ පුද්ගලයෙක්. ඔහුගේ උපක්‍රමශීලී බවට සමාන කරන්න වෙනත් කෙනෙක් තවමත් අපේ රටේ නැහැ. අපි කලින් කිව්ව උපාලි මෝටර් රථ සමාගම මතකද? ඒකත් බිහි වුණේ ආණ්ඩුවේ නීති රෙගුලාසි වල තිබුණු අඩුපාඩුවකින් වාසියක් ලබා ගන්නයි. ඒ දවස් වල ලංකාවට වාහන ආනයනය සීමා කරන්න හිතාගෙන ආණ්ඩුව 300%ක අති විශාල රේගු බද්දක් ඇති කළා. නමුත් ලංකාවේ තියෙන වාහන වල නඩත්තු කටයුතු වලට අවශ්‍ය වෙන නිසා අමතර කොටස් වලට අය කළේ 100%ක බද්දක් විතරයි. මේකෙන් ප්‍රයෝජනය ගත්තු ඔහු අමතර කොටස් ගෙනල්ලා ශ්‍රී ලංකාවේදී වාහන නිෂ්පාදනය කරලා ලාභ ලැබුවා.

ඔහු නිතරම මේ වගේ අඩුපාඩු වලින් ප්‍රයෝජන ගත කෙනෙක්. ඒ වගේ අවස්ථාවන් ගැන අහපු වෙලාවක ඔහු කියලා තිබුණේ මෙහෙමයි. “මම බොහෝ අවස්ථා වල පවතින නීතිය යටතේ කරන්න පුළුවන් දේවල් වල උපරිම සීමාවට ගිහින් තියෙනවා. ඒත් කවදාවත් නීතියේ සීමාවෙන් පිට නොයන්න මම වග බලා ගත්තා..” මේ ප්‍රකාශය ඔහුගේ ව්‍යාපාරික ඥානය ගැනත්, ඔහුගේ තීක්ෂණ බුද්ධිය ගැනත් හොඳ ඉඟියක්.

ඔහුගේ මේ ව්‍යාපාරික ඒකාධිකාරිය නිසා ඔහු ගැන ලෝක ප්‍රසිද්ධ ෆෝචූන් (Fortune) සහ බිස්නස් වීක් (Business Week) වගේ මැගසින් වල පවා ප්‍රධාන ලිපි පළ වුණු එක ඔහු ලෝක මට්ටමෙන් පවා අති සාර්ථක ව්‍යවසායකයෙක් වුණු බවට හොඳ සාක්ෂියක්. උපාලි සමූහ ව්‍යාපාරය වඩාත්ම සාර්ථකව පැතිරිලා තිබුණු කාලයේ ලෝකය පුරා සේවකයන් 33,000කටත් වඩා ඔහුට අයත් සමාගම් වල සේවය කරමින් සිටියා. මේ සේවක සංඛ්‍යාව අද තියෙන විශාලම ආයතන එක්ක බැලුවත් කරට කර තියෙන අගයක්.

කොහොම වුණත් කාලයක් ගත වෙද්දී විවිධ හේතු නිසා උපාලි සමූහ ව්‍යාපාරයේ තිබුණු සාර්ථකත්වය නැති වෙලා ගියා. 70 දශකයේ අග භාගයේදී සහ 80 දශකයේ මුල් භාගයේ එය සතුව තිබුණු වත්කම් ටිකෙන් ටික හිඳීගෙන යන්න පටන් ගත්තා. උපාලි විජේවර්ධන මහතා මිලට ගත්තු සුප්‍රසිද්ධ ලියර්ජෙට් (Learjet) පෞද්ගලික ජෙට් යානය නිසාත් මේ තත්වය වඩා ශීඝ්‍ර වුණු බව වැඩි දෙනාගේ අදහසයි.

කොහොම වුණත් උපාලි සමූහ ව්‍යාපාරයේ බොහෝ අංශ කඩාවැටීමකට ලක් වුණේ නැහැ. ඉස්සර තිබුණු මහේශාක්‍ය බව නැති වෙලා ගියත් ඔහුගේ බොහෝ සමාගම් සාමාන්‍ය මට්ටමෙන් ව්‍යාපාරික කටයුතු කරගෙන ගියා.

උපාලි අතුරුදහන් වූ දිනය

උපාලි විජේවර්ධන මහතා රැගත් ඔහුගේ ලියර්ජෙට් ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්නයේදී අතුරුදහන් වුණු විදිහ අදටත් ලොකු අභිරහසක්. රූපය: newsfirst.lk

1983 අවුරුද්දේ පෙබරවාරි 13 වැනිදා, ඒ කියන්නේ උපාලි මහතා තමන්ගේ 45 වැනි උපන්දිනය සමරන්න දින 4කට කලින් ඔහුගේ ජෙට් යානය අතුරුදහන් වුණා කියන පුවත ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය වල පළ කෙරුණා. ප්‍රවෘත්ති වාර්තා වලට අනුව ඔහු ගමන් කරමින් හිටපු ඔහුගේ සුප්‍රසිද්ධ Learjet ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත තැනකදී අතුරුදහන් වෙලාලු. මේක මුළු රටටම අදහා ගන්න බැරි ශෝකජනක කතාවක් වුණා. රටෙන් බිහි වුණු එකම අති සාර්ථක ව්‍යාපාරිකයා මේ විදිහට එක පාරටම අතුරුදහන් වුණු එක කාටවත් හිතාගන්න බැරි වුණු දෙයක්. මේ සංසිද්ධිය ඔහුගේ ජීවන කතාවේ අවසානය සනිටුහන් කළත් ඒ සිද්ධියට සම්බන්ධ කටකතා වල නම් අදටත් නිමක් නැහැ. ඔහු විදේශ රටක අදටත් ජීවත් වෙන බවට පවා කටකතා ඇති වෙලා තියෙනවා.

ඔහු පෞද්ගලිකව ලඟා කර ගත්තු ව්‍යාපාරික සාර්ථකත්වය වගේම ඔහුගේ දක්ෂතාවන් කියන්නෙත් අපි කාටත් ආදර්ශයක් ගන්න පුළුවන් දේවල්. නමුත් ඔහු අපට කියා දුන්නු වැදගත්ම පාඩම වුණේ අපි ශ්‍රී ලංකාවේ පුරවැසියන් වීම කිසිසේත්ම අපේ සාර්ථකත්වයට බාධාවක් කරගන්න ඕනෑ නැහැ කියන එකයි. උවමනාව තියෙනවා නම්, හැකියාව තියෙනවා නම්, මහන්සි වෙන්න පුළුවන් නම් ලබා ගන්න පුළුවන් දේවල් වල සීමාවක් නැහැ. විජේවර්ධන මහතාගේ ආදර්ශයට අනුව ක්‍රියා කරලා සාර්ථකත්වය ලබා ගත් ව්‍යවසායකයන් ගණනාවක් ශ්‍රී ලංකාවේ අදත් දැකගන්න පුළුවන්. අපේ රටේ දියුණුව දකින්න කැමති කාටත් හිතන්න තියෙන්නේ ඔහු වගේ දක්ෂ තවත් පුද්ගලයන් ශ්‍රී ලංකාව තුල ඉපදේවා කියලා තමයි.

මේ ලිපියට අවශ්‍ය කරුණු සම්පාදනය කර ගන්න සහය වුණු, ඒ සියලු කාරණා නිසි පෙළට සකස් කර ගන්න උදව් වුණු ප්‍රවීණ මාධ්‍යවේදී D.B.S. ජෙයරාජ් මහතා, මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් K. ගොඩගේ මහතා, උපාලි විජේවර්ධන මහතාගේ සමීප මිතුරෙක් වුණු උපතිස්ස හුළුගල්ලේ මහතා වගේම ලංකා මෝටර්රථ සංගමයේ හිටපු සභාපති හා ශ්‍රී ලංකා අශ්ව රේස් සමාජයේ හිටපු ලේකම් රාජා සින්නදොරේ මහතාටත් අපේ කෘතඥතා පූර්වක ස්තූතිය පිරිනමනවා.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

කවරයේ පින්තුරය: ipm.comxa.com