Android N ගැන සිංහලෙන්

ඔබ හිතන විදියට, මේ ලෝකේ ස්මාට් ජංගම දුරකතන කීයක් විතර පාවිච්චි වෙනවා ඇත්ද? 2016 වසර අවසන් වෙද්දි ලෝකය පුරා පාවිච්චි වෙන්න නියමිත ස්මාට්ෆෝන් සංඛ්‍යාව බිලියන 2කට ආසන්න අගයක් වෙනවා කියලයි පුරෝකතනය කරලා තියෙන්නේ. මම ඔබෙන් අහනවා තවත් ප්‍රශ්නයක්. මේ ස්මාට්ෆෝන් බිලියන දෙකෙන් වැඩිම ෆෝන් සංඛ්‍යාවක භාවිතා වෙන OS එක එහෙමත් නැත්තම් මෙහෙයුම් පද්ධතිය මොකක්ද? පිළිතුර බොහොම සරළයි, ඇන්ඩ්‍රොයිඩ්! ලෝකයේ පිළිගත් දත්තවලට අනුව, මේ වෙද්දි ස්මාට්ෆෝන්වලින් 67%කම භාවිතා වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OS එකක්. වඩාත්ම ලස්සන කාරණාව වෙන්නේ 2015 අවුරුද්දේ අලෙවි කරපු ස්මාට්ෆෝන් වලින් 81%කම OS එක ඇන්ඩ්‍රොයිඩ් වීමයි.

Donut, Eclair, Froyo, ඉඟුරුපාන් මල්ලි එහෙම නැත්තම් Gingerbread, Honeycomb, Ice Cream Sandwich, ජුජුබිස් නොහොත් Jelly Bean, KitKat, Lollipop, Marshmallow එක්ක අවුරුදු 8ක් ඇතුළතදී ලෝකෙම හොල්ලපු, ලෝකෙම තමන්ගේ යටතට ගත්ත මේ අයගේ පවුලේ ඊළඟ සාමාජිකයා කවුද? එයා කොයිවගේද? එයාට මොනවද කරන්න පුළුවන්? මේ මාසේ ඇතුළත නිකුත් වෙන්නට නියමිත ඇන්ඩ්‍රොයිඩ් පවුලේ අලුත්ම සාමාජිකයා ගැන Roar.lk පාඨක ඔබව දැනුවත් කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා අපි කල්පනා කළා.

මේ ලිපියේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන වචන බොහෝ ප්‍රමාණයක් ඒ ආකාරයෙන්ම භාවිතා වෙනවා. ඒකට හේතුව ඒ වචන සඳහා තිබෙන සිංහල වචන අපි වැඩිපුර භාවිතා කරන හෝ බොහෝ දෙනෙක් දන්න වචන නොවීම. ඒ නිසා අපි තීරණය කළා ඉංග්‍රීසි වචන ඒ විදියටම භාවිතා කරන්න.

මේ ලිපිය සම්පාදනය කරන්න අපි උපයෝගී කරගත්තේ Android Nougat Developer Preview 5 සංස්කරණයයි.

කවුද මේ Android N?

ඇන්ඩ්‍රොයිඩ් OS එකේ අයිතිකාරයා අපි හැමෝම දන්න Google සමාගම. තමන්ගේ පවුලට අලුතෙන් එක්වෙන සාමාජිකයාට එයාලා එකපාරටම අලුත් නමක් දුන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා Code Name එකක් පාවිච්චි කළා, ඒ නම තමයි Android N. ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණවල නම් එන නිසා දැන් තියෙන Marshmallow වලින් පස්සේ ඊළඟ OS එක නම පටන් ගන්නේ N අකුරෙන් කියන එක හැමෝම දැනගෙන හිටියා. හැබැයි, ඒකේ නම මොකක්ද? මේ සඳහා Google සමාගම ජනතාවට අදහස් දක්වන්න ඡන්ද විමසීමකුත් පැවැත්වූවා. ඒ සියල්ල අවසානයේ මේ අවුරුද්දේ ජූනි 30වෙනිදා එයාලා අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් OS එකේ නම ලෝකෙට හෙළිකලා. එයාගේ නම Nougat. Android Nougat.

බොහෝ දෙනෙක් හිතන සහ බලාපොරොත්තු වෙන විදියට, මීට කළින් අවුරුදුවලට වඩා ටිකක් කළින් Android Nougat එළිදක්වයි කියලයි කියන්නේ. සාමාන්‍යයෙන් වෙන අවුරුදුවල සැප්තැම්බර් මාසෙදි නිකුත් වෙන ඇන්ඩ්‍රොයිඩ් අලුත් සංස්කරණය මේ වසරේදී අගෝස්තු අවසානයේදී නිකුත් වෙයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

ඒ කියන්නේ, මේ ඉඳිරි සති දෙකක කාලය ඇතුළතදී අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය අපේ ස්මාට්ෆෝන් එකටත් ලබාගන්න පුළුවන් වේවි.

Android Nougat එක්කත් අලුත් විශේෂාංග ගොඩක් ඇතුළත් කරන්න කටයුතු කරලා තියෙනවා. මොනවද ඒ?

වැඩි දියුණු කරපු Notification මෙනුව

Nougat එක්ක එන Notification මෙනුවට කළින් තිබුණ එකට වඩා ගොඩක් වෙනස්කම් සිදුකරලා තියෙනවා. ඒ වගේම User Interface එකත් කළින් ඒවට වඩා ගොඩක් භාවිතා කරන කෙනාට පහසු ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.

Quick Settings Menu - (twitter.com/MKBHD)

Quick Settings Menu – (twitter.com/MKBHD)

Screen එකේ ඉහළ සිට පහළට swipe කරලා Quick Settings Menu එක ලබාගන්න විදිය අපි හැමෝම දන්න දෙයක්. Nougat සංස්කරණයේදි මේ Quick Settings Menu එක තවත් හොඳට නවීකරණය කරලා තියෙනවා. ඉස්සර වගේ ලොකු මෙනු එකක් එන්නේ නැතුව ඉතාම ඉක්මනින් Wi-Fi, Bluetooth, Battery Power, Connection Information වගේ දේවල් බලාගන්න සහ සක්‍රීය/අක්‍රීය කරන්න මේකෙදි හැකියාව තියෙනවා. ඒ වගේම Quick Settings Menu එකේ තියෙන icons ඒ තියෙන අනුපිළිවෙලට නැතුව අපිට පහසු විදියට වෙනස් කරගන්නත් Android Nougat එක්ක අවස්ථාව ලබා දීලා තියෙනවා.

InLine Reply (twitter.com/detroitborg)

InLine Reply (twitter.com/detroitborg)

ඒ වගේම Notification පෙන්වන විදියත් වඩාත් හුරුබුහුටි කරන්න Nougat උත්සාහ කරලා තියෙන ආකාරය ප්‍රශංසනීයයි. කළින් සංස්කරණවල තිබෙනවාට වඩා අකුරුවල විශාලත්වය පොඩ්ඩක් විතර අඩු උනත්, වඩා ලේසියෙන් ලොකු විස්තර ප්‍රමාණයක් පෙන්වන්න මෙහිදී හැකිවෙලා තියෙනවා. ඒ වගේම Notification එක පෙන්වන්න්න සමස්ථ තිරයේ සම්පූර්ණ පළලම යොදාගෙන (Edge to Edge) තියෙන එක ඇහැටත් පහසුවක්. ඒ වගේම අපිට අවශ්‍ය පණිවිඩයට එතනදීම ප්‍රතිචාර දක්වන්න හැකිවීමත් (Inline Reply) මේ අලුත් සංස්කරණයේදී ලබා දීලා තියෙන විශේෂාංගයක්. මේ Notification එක වමට හෝ දකුණට swipe කලාම ඒ ඇප් එකට අදාළ Settings Menu එකකුත් ලබාගන්න පුළුවනි. ඒ මෙනුව ආධාරයෙන් Notification සක්‍රීය/අක්‍රීය කරන්න සහ තවත් යම් යම් වෙනස් කිරීම් කරන්න අපිට හැකියාව ලැබෙනවා.

Notification Menu (twitter.com/detroitborg)

Notification Menu (twitter.com/detroitborg)

Multitasking/එකවිට කරන්නට පුළුවන් ක්‍රියාකාරකම්

Android Nougat සංස්කරණයේ තියෙන විශේෂම අංගය මොකක්ද කියලා ඇහුවොතින්, අපේ පළවෙනි උත්තරේ වෙන්නේ වැඩි දියුණු කරපු Multitasking විශේෂාංගය කියන එකයි. Multitasking එහෙම නැතිනම් එකවර කාර්යයන් කීපයක යෙදීමට ඉඩහසර ලබාදීම Android OS මුල් කාලයේ සිටම ලබාදුන්න අංගයක්. ඉස්සර තිබුණ සෑම Android වර්ෂන් එකකම එකපාර තිරයේ පෙන්නන්නේ එක ඇප්ලිකේෂන් එකක් විතරයි.

Multitasking Portrait View (twitter.com/detroitborg)

Multitasking Portrait View (twitter.com/detroitborg)

මේ Android Nougat එක්ක ඔබට ඇප් දෙකක් එක්ක එකවර ගණුදෙනු කිරීමේ හැකියාව ලබාදීලා තියෙනවා. සරළවම කියනවානම් ඔබට දැන් Roar.lk ලිපියක් කියවන ගමන්ම ඒ ලිපියේ කරුණු ගැන ඔබේ මිතුරන්ට ඊමේල් එකක් යවන්න, SMS කරන්න හෝ WhatsApp කරන්න පුළුවනි. මේ අලුත් විශේෂාංගය ක්‍රියාත්මක කරන්න ඔබට කරන්න තියෙන්නේ තිරයේ පල්ලෙහා තියෙන කොටු ලකුණ long press කරන එක විතරයි. ඒකෙන් ඔබට පුළුවනි ඔබට අවශ්‍ය ඇප් දෙකක් එකවර තිරයේ දිස්වන ආකාරයට සකස් කරගන්න. ඒ වගේම, තිරයේ ප්‍රමාණයත් ඔබට අවශ්‍ය පරිදි සකස් කරගන්නත් Android Nougat අවස්ථාව ලබා දීලා තියෙනවා. ස්මාට්ෆෝන් එකේ තිරය දවසින් දවස විශාල වෙන නිසා මේ අලුත් විශේෂාංගය පාවිච්චි කරන හැමෝටම බොහොම ප්‍රයෝජනවත් වේවි කියලයි අපිට හිතෙන්නේ.

Multitasking Landscape View (twitter.com/detroitborg)

Multitasking Landscape View (twitter.com/detroitborg)

Key Board Themes/යතුරු පුවරුව තමන් කැමති අයුරින් වෙනස්කිරීම

Keyboard එක පේන විදිය වෙනස් කරගන්නත් Android Nougat එක්ක දැන් පුළුවන්. Keyboard එකේ පාට මාරු කරගන්න, අකුරු පේන විදිය වෙනස් කරගන්න වගේම අවශ්‍යනම් Keyboard එකේ පසුබිමට ෆොටෝ එකක් දාගන්න උනත් ඔබට දැන් හැකියාව තියෙනවා. වැඩේ කරන විදිය බොහොම සරළයි.

Settings → Language & Input → Virtual Keyboard → Google Keyboard → Theme එකට ගිහින් මේ විදියට Keyboard එක අපිට අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුළුවනි.

Settings මෙනුවේ විශේෂතා

Android Nougat තමන්ගේ Settings මෙනුවටත් අලුත් විශේෂාංග හඳුන්වා දෙන්න අමතක කරලා නැහැ. කළින් Settings මෙනුවට වඩා මේ Settings මෙනුවේ පෙන්වන තොරතුරු ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොතින් දුරකතනයේ Sound Volume එක කොපමණක්ද කියන එක Settings මෙනුවේ Sound අයිකන් එක ළඟදීම පෙන්වනවා. ඒ වගේම අනිත් Settingsවල වර්ථමාන තත්ත්වයත් Settings Main Menu එකේදීම පෙන්නවන එක බොහොම වටින දෙයක්.

Settings Menu (twitter.com/MKBHD)

Settings Menu (twitter.com/MKBHD)

Google Camera Application එකේ විශේෂතා

Android Nougat එක්ක පැමිණෙන්නේ Google Camera App එකේ 4.1 සංස්කරණය. Camera App එකේ කළින් තිබ්බ Settings වලට වඩා මේ අලුත් Settings කීපය Menu එකක් ආකාරයට ඉඳිරිපත් කරලා තියෙනවා. Camera එකේ HDR option එක සක්‍රීය/අක්‍රීය කරන එක, Flasher settings වෙනස් කරන එක, Timer settings වෙනස් කරන එක වගේ දේවල් වඩාත් පහසුවෙන් සිදු කරගන්න මේ ඔස්සේ හැකියාව ලැබිලා තියෙනවා.

New Features on default Camera App (plus.google.com/u/0/+OfficialPhoneRebel)

New Features on default Camera App (plus.google.com/u/0/+OfficialPhoneRebel)

ඒ වගේම Camera Settings Menu එකට ගියාම කළින් සංස්කරණයට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් මේ අලුත් සංස්කරණයේදී දැකගන්න පුළුවනි. ඒ වගේම ෆොටෝ එකක් ගත්තට පස්සේ ඒක බලද්දි අපිට පෙන්වන විදියෙත් වෙනසක් කරලා තියෙනවා. මේ සංස්කරණයේදි ෆොටෝ එක සමස්ථ තිරයම භාවිතා කරලා පෙන්වන ආකාරයට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ආයෙත් Camera App එකට යන්න ඕනේ නම්, ෆොටෝ එක පහලට තල්ලුකරලා ඒ වැඩේ කරන්න පුළුවනි.

ෆෝන් එකේ Volume button එක ආකාර 3කට පාවිච්චි කරන්නත් මෙහිදී අවස්ථාව තියෙනවා. සාමාන්‍ය විදියටම Volume එක අඩු/වැඩි කරන්න, Zoom In/Zoom Out කරන්න හෝ ෆොටෝ එකක් ගන්න Shutter button එක විදියට පාවිච්චි කරන්න කියන මේ තුන් ආකාරයෙන් කැමති විදියකට Volume button එක පාවිච්චි කරන්න අපිට පුළුවනි.

මේ වගේ විශේෂතා ගොඩක් එක්ක එන Android Nougat අපේ ස්මාට්ෆෝන් එකටත් දාගන්න පුළුවනිද? මේක තමයි අපේ හිත්වල ඊළඟට තියෙන ප්‍රශ්නේ. දැන් අපි බලමු මේ Android Nougat පාවිච්චි කරන්න පුළුවන් ස්මාට්ෆෝන් මොඩල් මොනවද කියලා.

Nexus

හැමදාම Android මුළින්ම එන්නේ Nexus ස්මාට්ෆෝන්වලට. ඉතින් මේ පාරත් කිසි වෙනසක් නැතුවම Android Nougat මුලින්ම එන්නේ Nexus ස්මාර්ට්ෆෝන් සහ ටැබ්වලට තමයි. දැනට වෙළඳපොළේ තියෙන Nexus 6P, 5X, 6, 9, Player, Pixel C ස්මාට්ෆෝන් සහ ටැබ්වලට දැනටමත් නිකුත් වෙලා තියෙන Android Nougat Developer Preview 5 සංස්කරණය ඇතුළත්කරගන්න පුළුවනි. ඒ වගේම Nougat නිලවශයෙන් නිකුත් කරපු ගමන්ම මේ ස්මාර්ට්ෆෝන් සහ ටැබ්වලට ඒක ලබාගන්න පුළුවනි. ඒ වගේම ඉඳිරියේදී නිකුත් වෙන්නට නියමිත Nexus ස්මාර්ට්ෆෝන් සියල්ලටම පෙරනිමියෙන්ම Nougat ඇතුළත් කරලයි නිකුත් කරන්නේ.

HTC

මීළඟ Google Nexus ස්මාට්ෆෝන් එක හදන්නේ HTC සමාගමෙන් කියලා තමයි ආරන්චිය තියෙන්නේ. ඒ වගේම දැනට වෙළඳපොළේ තියෙන HTC 10, HTC One A9 HTC සහ One M9 ස්මාට්ෆෝන් සඳහා Nougat ඇතුළත් කරගන්න හැකියාව තිබෙනවා.

Samsung

Galaxy S6, S6 Edge, S6 Edge+ හෝ Note 5 යන මේ ස්මාට්ෆෝන් සඳහා Nougat අන්තර්ගත කරගන්න විශාල හැකියාවක් තිබෙන බව විචාරකයින් ප්‍රකාශ කරනවා.

LG

ලබන සැප්තැම්බර් මාසෙදි නිකුත් වෙන්න නියමිත LG V20 ස්මාට්ෆෝන් එකට පෙරනිමියෙන්ම Nougat ඇතුළත් වේවි කියලයි ආරංචි මාර්ගවල දැක්වෙන්නේ. ඊට අමතරව LG G5 සහ V10 ස්මාට්ෆෝන් සඳහාත් බොහෝ විට Nougat අන්තර්ගත කරගන්න හැකිවේවි.

එහෙනම්, තව සුමාන දෙකක් ඇතුළත නිකුත්වෙන Android Nougat ස්මාට්ෆෝන් ලෝකය මොන විදියට වෙනස් කරයිද කියලා අපි බලමු.

කවරයේ පින්තුරය: pocket-lint.com

Related Articles