ප්‍රකාශ තන්තු හෙවත් ඔප්ටිකල් ෆයිබර් (Optical Fibre) කියන්නේ සන්නිවේදන ඉතිහාසයේ විශාල පිම්මක්. ගොඩබිම ගමනාගමනයේදී චීනය අම‍රිකාව යු‍රෝපා රටවල සහ ජපානේ තියෙනවා අධිවේගී දුම්රිය. මේවා දුවන්නේ විශේෂ පීලි මත විශේෂ තාක්ෂණයකින්. එවිට ගොඩබිම ගමන් කරන අනෙක් සෑම වාහනයකටම වඩා ඉක්මනින් මේ අධිවේගී දුම්රියට ගමන් කරන්න හැකියාව තිබෙනවා.

විශාලනය කරන ලද ඔප්ටිකල් ෆයිබර් කෙදි (hons.com)

ඒ වගේ විදුලි සංදේශ සන්නිවේදනයේදීත් මාධ්‍ය කීපයක් තියෙනවා. තඹ සහ ලෝහ කම්බි කේබල් හරහා දත්ත සම්ප්‍රේෂණය, වයර් රහිතව රේඩියෝ සංඥා හරහා දත්ත සම්ප්‍රේෂණය (wireless transmission ) ‍දැනටත් බහුලව භාවිත වන ක්‍රම දෙකක්. ඔප්ටිකල් ෆයිබර් කියන්නේ මේ සියල්ලටම වඩා දියුනු ක්‍රමවේදයක්.

ආලෝක හෝ ලේසර් කදම්බයක් කෙස් ගසකටත් වඩා සිහින් වීදුරු නලයක් තුලින් යැවීමෙන් තමයි ඔප්ටිකල් ෆයිබර් වල දත්ත සන්නිවේදනය සිදු වන්නේ.

ලංකාව තුල ඔප්ටිකල් ෆයිබර් භාවිතය

වලෙන් ගොඩගත් ඔප්ටිකල් කේබල්

ඔප්ටිකල් ෆයිබර් කේබල් කොළඹ වරායේ විශාල දොඹකර ආදියේ සන්නිවේදන කටයුතු සදහා යොදාගන්නවා. දුම්රිය දෙපාර්ථමේන්තුවද මුහුදු බඩ මාර්ගයේ සිය සංඥා පද්ධතිය සදහා ඔප්ටිකල් ෆයිබර් තාක්ෂණය යොදාගන්නවා.

සියලුම අධිවේගී මාර්ගයන්හිදී එක් එක් පිවිසුම් හරහා සිදුවන ජාලගත ගනුදෙනු කටයුතු වලටත් පිවිසුම් වල සීසීටීවි කැමරා වල දත්ත සම්ප්‍රේෂණය කිරීම සදහාත් ඔප්ටිකල් කේබල් යොදාගන්නවා. කොළඹ නගරයේ සවිකර ඇති මංසන්ධි ආදී ස්ථානවල කැමරා ජාලයේ කටයුතු සදහාත් ඔප්ටිකල් ෆයිබර් කේබල් යොදාගෙන තිබෙනවා.

ටෙලිකොම් ‍අංශයේ ඔප්ටිකල් කේබල් භාවිතය

2000 වර්ශයේ සිට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඔප්ටිකල් ෆයිබර් කේබල් සිය දත්ත සම්ප්‍රේෂණ කටයුතු සදහා යොදාගන්නවා. දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලංකාව තුල ගම් නියම්ගම් සිසාරා අදිනු ලැබූ, කිලෝමීටර 25,000කට අධික දිගකින් යුතු ඔප්ටිකල් ෆයිබර් කේබල් සිය සම්ප්‍රේෂණ කටයුතු වලට සෘජුවම භාවිත කරනවා. 2010 වර්ශය ආසන්නයේදී මාර්ග වල ඔප්ටිකල් ෆයිබර් කේබල් එලන්නට ඇරඹූ ඩයලොග් සමාගම දැනට ඒ ශ්‍රේණීයේ සියලුම මාර්ග සහ ප්‍රධාන නගර බොහොමයක්ම සිය ඔප්ටිකල් ෆයිබර් ජාලයට එකතු කරගෙන අවසන්.

විදුලි සංදේශ කුළුනු (Telecommunication Towers), විදුලි සංදේශ හුවමාරු (Telecom Exchanges) මධ්‍යස්ථාන ආදියේ විශාල දත්ත ප්‍රමාණයක් එකිනෙක වෙත හුවමාරු වීම අද දවසේ දත්ත සන්නිවේදනයේදී අත්‍යවශ්‍ය කාරණාවක්.

උදාහරණ ලෙස 4G LTE හරහා වැඩි පාරිභෝගික සංඛ්‍යාවක සිය ස්මාට්ෆෝන් සහ උපාංගවලට පුළුල් පරාස අන්තර්ජාල සේවා (Broadband Internet Access) ලබාගැනීමට නම් එම කුළුනු වල දත්ත හැසිරවීමේ හැකියාව වැඩිදියුනු විය යුතුම වනවා. බොහෝවිට දැනට නම් ලංකාව තුල පවා සමාගම් 4G LTE හරහා දත්ත සම්ප්‍රේෂණ කටයුතු සිදුකරන අවස්ථාවලට කුළුනු අන්තයේදී ඔප්ටිකල් කේබල් සම්බන්ධතාවය යොදාගන්නවා. අන්තර්ජාලය හරහා පැමිනෙන දත්ත 4G LTE හරහා ඔබට එන්නේ රේඩියෝ තරංග ලෙස ටවර් එකෙන් ෆෝන් එකට වෙන්න පුලුවනි. නමුත් ටවර් එකට ඔබ වගේ විශාල ප්‍රමාණයක් පාරිභෝගිකයින් රැසකට අඛන්ඩ වේගයක් ලබාදීමට නම් ටවර් එක ඕපටිකල් ෆයිබර් හරහා විශාල ජාලයට සම්බන්ධ විය යුතුම වෙනවා.

ගුවනින් ඇද ඇති ඔප්ටිකල් කේබලයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මගින් සිය සේවාව වැඩිදියුනු කිරීමේ අවස්ථාවන් ලෙස මුලින් නගර උපනගර තුල වූ විශාල මධ්‍යස්ථාන වලට ඔප්ටිකල් කේබල හරහා දත්ත ලබාදීමට කටයුතු කල අතර දැන් දැන් ඔවුන් කෙලින්ම පාරිභෝගිකයින්ට අධිවේගී පුළුල් පරාස සේවාව ලබාගන්නට නිවසටම ඔප්ටිකල් ෆයිබර් සම්බන්ධතාවය ලබාදෙන්නට කටයුතු කොට තිබෙනවා.

ඔප්ටිකල් ෆයිබර් හරහා දත්ත සම්ප්‍රේෂනයේ  වාසි

දුම්රිය සංඥා සදහාද ෆයිබර් කේබල් භාවිත වේ.

  • දිගු දුරකට දත්ත සම්ප්‍රේෂනය කල හැකි වීම. ඔප්ටිකල් ෆයිබර් හරහා ආලෝකය ගමන් කරන විට සංඥාවට සිදුවන හානිය සාපේක්ෂව බොහෝම අඩුයි. තඹ කේබල් සහ වයර් රහිත සම්ප්‍රේෂණය සමග සලකන විට ඔප්ටිකල් ෆයිබර් වලට විශාල වේගයකින් දත්ත හුවමාරු කරන්නට හැකියාව තිබෙනවා. එම නිසාම මහද්වීම රටවල් අතර මුහුදු යටින් කිලෝමීටර දහස් ගනන් දුර ස්ථාන සම්බන්ධ කරන්නටද ඔප්ටිකල් ෆයිබර් යොදාගන්නවා .
  • විශාල දත්ත ප්‍රමාණයක් එකවර සම්ප්‍රේෂණය කල හැකිවීම. අද වන විට මුහුද හරහා යන කේබල් මගින් මුලු ලෝකයම දැලක් ලෙස ඔප්ටිකල් ෆයිබර් වලින් සම්බන්ධ වී පවතිනවා. දැනට ලෝකයේ ප්‍රායෝගිකව භාවිත වන වේගවත්ම සහ වැඩිම ධාරිතාවකින් දත්ත සම්ප්‍රේෂණය කල හැකි මාධ්‍යය තමයි ඔප්ටිකල් ‍ෆයිබර් කියන්නේ.
  • දත්ත වල ආරක්ෂාව. අපිට අවශ්‍ය සන්නිවේදන සංඥා බොහෝවිට උත්පාදනය වන්නේ විද්‍යුත් සංඥා ලෙස. දුරකථනයකින් කතා කරන විට මුලින්ම සිදු වන්නේ ඔබගේ ශබ්ද සංඥා විද්‍යුත් සංඥාවක් බවට පත්වීමයි. ඉන්පසු ඒ විද්‍යුත් සංඥාව ආරක්ෂිතව තවත් ස්ථානයකට ගෙනයෑම සන්නිවේදන ක්‍රමවේද මගින් සිදු කරනවා. ඔප්ටිකල් කේබල් වලදී ගමන් කරන්නේ විද්‍යුත් සංඥාවලට අනුරූප වූ ආලෝක සංඥාවක් පමණයි. කේබලය මගදී අවහිර කිරීමෙන් යවන සංඥාව ලබාගැනීම ඔප්ටිකල් ෆයිබර් වලදී සෑහෙන්න අමාරු කර්තව්‍යයක් වෙනවා.
  • මිල සහ බර අඩුවීම. ලෝහ කේබල් වලට වඩා ඔප්ටිකල් කේබල් සාමාන්‍යයෙන් බර අඩුයි. මුල් කාලයේදී ඔප්ටිකල් කේබල තාක්ෂණ්‍ය එතරම් පතල නොවූ නිසා ඔප්ටිකල් ෆයිබර් කේබල් මිල අධික වුනා. නමුත් දැන් දැන් තඹ කේබල් වලට වඩා ඔප්ටිකල් කේබල් මිල අඩුයි. ඒ වගේම බර අඩු නිසා ඔප්ටිකල් කේබල් එලීම සහ නඩත්තුව වඩාත් පහසුයි.
  • වෙනත් අවහිරතා අඩුවීම. විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර පවතින ස්ථානවලට සහ අධිසැර විදුලි රැහැන් විකිරණශීලි තත්ව ආදී තත්වයන් තුලදී පවා ඔප්ටිකල් කේබල් හරහා දත්ත ලෙහෙසියෙන්ම හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබෙනවා.

ඔප්ටිකල් ෆයිබර් වල වෙනත් භාවිතාවන්

ඔප්ටිකල් ෆයිබර් හරහා ආලෝකය ගමන් කරවීමට හැකිවීම නිසා ඒවා කැමරා, සූර්යාලෝක පද්ධති ආදියටත්, විසිතුරුබඩු නිපදවීමටත්, යොදාගන්නවා. ඊට අමතරව වෛද්‍ය කටයුතු වලට යොදාගන්නා පරිලෝකන (ස්කෑනින්) යන්ත්‍ර ආදියේ ලැබෙන ආලෝක සහ ‍කිරණගත සංඥා තැනතැන රැගෙන යන්නට මෙම ඔප්ටිකල් ෆයිබර් කේබල් භාවිතා වෙනවා. ඔප්ටිකල් ෆයිබර් හරහා සන්නිවේදන කටයුතු සදහා ලොව වටා බහුල ලෙසම ඔප්ටිකල් ෆයිබර් කේබල් භාවිත වෙනවා.

ලංකාවට සම්බන්ධ ඔප්ටිකල් ෆයිබර් මුහුද කේබල

ලංකාව අන්තර්ජාලයට සහ බාහිර ජාලවලට සම්බන්ධවන මූලික ක්‍රමයක් තමයි මුහුදු කේබල. SEA ME WE 3 සහ 4 ඉන්දියාවට ඇදුනු භාරති ලංකා කේබලය, මාලදිවයිනට ලංකාවේ සිට ඇදුනු දිරාගු කේබලය යන සක්‍රිය ඔප්ටිකල් ෆයිබර් මුහුදු කේබල් හතරක් ටෙලිකොම් සමාගමට අයිතියි.

ලංකාබෙල් සමාගම සම්බන්ධ FLAG කේබලයත්, ඩයලොග් සමාගම විසින් මෙම වසරේ නිමකරන්නට යෙදුනු Bay Of Bengal කේබලයත් යන මුහුදු කේබල් සියල්ලම ඔප්ටිකල් ෆයිබර් වලින් සමන්විත කේබල් වෙනවා.

ඔප්ටිකල් ෆයිබර් එකක් හරහා දත්ත යන්නේ කොහොමද?

ඔප්ටිකල් ෆයිබර් හරහා කිරණ යන අයුරු (wikimedia.org)

උම්මග්ග ජාතකයේ මහෞෂධ පඩිතුමා පොකුණක තිබූ මැණිකක් ලබාගත් ආකාරය ඔබට මතක ඇති. මහරජතුමාගේ මගුල් පොකුනේ මැණිකක් පෙනෙන්ට වූ කල් හී සේනක පුක්කුස ආදී වෙනත් පන්ඩිතයෝ පොකුණ හිස් කොට රජතුමාට මැණික රැගෙන දෙන්නට තැනූහ. එකල හිස් පොකුනේ මැණිකක් පෙනෙන්නට නොවූ කල මහෞෂධ පණ්ඩිතයෝ පොකුණ මත ජල බඳුනක් තබාලා ජල බදුනේද මැණික ඇති බව රජතුමාට පෙන්වීය.

ඒ පොකුණ තුල දිස් වී තිබුනේ අසල වූ තල් ගසක කපුටු කූඩුවක වූ මැණිකකි. ඉක්බිති මහෞෂධ පණ්ඩිතයෝ තල් ගසට මිනිසෙක් යවා කූඩුවේ වූ මැණික රජුට රැගෙන දුන් බව පුරාණ සාහිත්‍යයේ සදහන් වේ.

කපුටු කූඩුවේ ලූ මැණිකේ ඡායාව ජලයට වැටී ජලයෙන් පරාවර්ථනය වී පැමිණෙන ආලෝක කිරණ ඇස් මත පතිත වීමෙන් එවක මහෞෂධ සහ පිරිසට ජලය තුල වූ මැණික පෙනෙන්නට ඇත. එදවස මුහුණ බලන කන්නාඩි කැබැල්ලක් සොයාගන්නට තිබුනේ වී නම් මහෞෂධ පණ්ඩිතයින්ට මැණික කණ්නාඩියේද ඇති බවක් පෙන්වන්නට තිබුනි.

මෙලෙස වීදුරු, ජලය හෝ දිලිසෙන පෘෂ්ඨවල වැදී කිරණය හැරී ගමන් කිරීම පරාවර්ථනය ලෙස හැදින්වේ. සාමාන්‍යයෙන් පරාරවර්ථන වන කිරණයන්හී ශක්තිය ඒ පෘෂ්ඨයන්හිදී සැලකිය යුතු ලෙසින් හානියට ලක් වේ. නමුත් පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනයේදී ආලෝක කිරණයේ ශක්ති හානියක් නොවන තරම්ය. එබැවින් ඔප්ටිකල් ෆයිබර් කේබල් වලදී පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනය හරහා සිහින් වීදුරු කූර මතින් වැඩි දුරකට සංඥා ගමන් කිරීම සිදුකරනු ලබයි.

ඔප්ටිකල් ෆයිබර් හි අවාසි

පිරිද්දීම (Optical Fibre Splicing)

ඔප්ටිකල් කේබල් කියන්නේ සිහින් වීදුරු කූරුනම් ඒවා එකිනෙක සම්බන්ධ කරන්නේ කොහොමද? මෙය තරමක් අසීරු කර්තව්‍යයක්. බොහා්විට යාන්ත්‍රිකව සීරුමාරුකොට එක් කූරක් ලෙස හැඟෙන ලෙස වඩාත් ආසන්න කිරීමෙන් ඔප්ටිකල් ෆයිබර් සම්බන්ධ කරන්නට හැකියි.එසේම සම්බන්ධ කල යුතු අන්ත දෙකම විශේෂිත යන්ත්‍රයක් මගින් උණුසුම් කොට එක් වීදුරු කූරක් බවට පත් කිරීමෙන්ද ඔප්ටිකල් කේබල එකිනෙක සම්බන්ධ කිරීමට හැකියි.

නමුත් මේ ක්‍රමවේද දෙකම තඹ කේබලයකට තවත් තඹ කේබලයක් සම්බන්ධ කිරිමට වඩා සංකීර්ණයි.විවිධ වටිනා යන්ත්‍ර සූත්‍ර, උපාංග හා පුහුණු ශ්‍රමය ඔප්ටිකල් කේබල සම්බන්ධ කිරීමේදී අවශ්‍ය වෙනවා.

සංඥා වෙනස් කිරීම

විද්‍යුත් සංඥා තඹ කේබල් හරහා යැවීමට වඩා ආලෝකය හෝ ලේසර් කිරණ ලෙස ලෙස වෙනස් කොට ඔප්ටිකල් ෆයිබර හරහා දත්ත සම්ප්‍රේෂණය කිරීම අපහසු කාර්යයක්. උදාහරණ ලෙස ඉතා දිගු දුරක් ඇදෙන දත්ත සම්ප්‍රේෂණ කටයුත්තකට ඔප්ටිකල් කේබල් යොදාගත්තා වුවද අපගේ පරිගණක, ජංගම දුරකථණ ආදියේ අභ්‍යන්තරයේ සිදුවන විශාල දත්ත හුවමාරු කටයුතු සදහා ඔප්ටිකල් ෆයිබර් යොදාගන්නට අපහසුතා රැසක් තිබෙනවා.

ෆයිබර් නැති ලෝකය

මීට වසර 50කට පෙර මියගිය පුද්ගලයෙක් කිසියම්ම හෝ ක්‍රමයකින් යළි මේ ලොවට පැමිණියොත් ලොව පුරා සන්නිවේදන කටයුතු වල සරල බව සහ වේගවත් බව දැක ඔහු මහත් පුදුමයට පත් වනවා නිසැකයි.

වත්මන් ලෝකයේ මේ අන්තයේ වසන අයෙකුට අනෙක් අන්තයේ අයෙකු සම්බන්ධ කරගන්නට වැය වන්නේ තත්පර කිහිපයක් පමණයි. 21 වන ශතවර්ශයේදී සීඝ්‍රයෙන් දියුණු වූ මේ සන්නිවේදන විප්ලවයට ඔප්ටිකල් ෆයිබර් කේබල් වලින්ද විශාල දායකත්වයක් සපයා තිබෙන බව ඔබට මෙයින් පෙනී යන්නට ඇති.