Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය විකිණීමට හෝ තෑගි කිරීමට පෙර කළ යුතු දේ

ඉස්සර කාලේ ගෙදරට ගත්තු වයර් දුරකථනය සමහරවිට දෝෂයක් ඇවිත් නැතිනම් තවමත් එයම භාවිතා කරන නිවෙස් ඕනෑතරම් තිබෙනවා. ඊට පසුව ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් ආ ජංගම දුරකථන සංස්කෘතියත් සමඟ වසර එකහමාරකට හෝ දෙකකට වරක් තමා භාවිතා කරන දුරකථනය විකුණා දමා නව එකකට යන්නට කෙතරම් ආර්ථික අපහසුතා ඇති තුන්වන ලෝකයේ රටක් ලෙස අපම හංවඩු ගසාගන්නා ශ්‍රී ලංකාවේ අපි දෙවරක් නොසිතා පෙළඹෙනවා. ජනගහනය මෙන් දෙගුණයක් පමණ දුරකථන ඇති මේ කාලය ඇත්තෙන්ම තාක්‍ෂණය සමඟ අපි කරට කර ඉන්නා බව හොඳින් ඔප්පු කරනවා.

දුරකථනයක් මේ විධියට විකුණන්නට හෝ තවත් කෙනෙක්ට පෙර තෑගි කරන්නට කලින් අපි ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. මේවා ගැන නොසලකා සිටීමෙන් පෞද්ගලිකත්වයට හානි සිදුවීම්, ආදරණීයයන්ට ඇතිවන මානසික පීඩා සහ කරදර ආදිය නිසා පවුල් ආරවුල්වල සිට ජීවිත හානි කරගැනීම් දක්වා දිව යන්නට පුළුවන්. ඒ නිසා එවන් අවධානමක් ගන්නේ නැති වන්නට අපි හොඳ අවබෝධයකින් යුතුව භාරකාරීත්වය පැවරීම අත්‍යාවශ්‍ය දෙයක්. මොකද, එවන් පෙර ආරක්‍ෂණයන් බොහොමයක් සිදුකිරීමට වැඩි දෙනෙක් කල් මරන්නේ දුරකථනය විකුණන තෙක්ම එය භාවිතා කරමින් ඉන්නා නිසායි. ඒ කාලය තුළදී තමන්ගේ දත්ත මකා දැමුවහොත් ඒ කිහිප දිනට හෝ විකුණාගන්නට නොහැකි වුණොත් භාවිතා කළ නොහැකි වේයැයි සිතමින් කල් ගත කිරීම නිසා අවසානයේ කිසිවක් මතක නැතිව අපේ මුළු ජීවිතය එක්කම දුරකථනයත් මුදලට පාවා දීම සිදු කරනවා. ඉතින් මුදල් දුටු ගමන් කලබල වෙන්නේ නැතිව මේ දේවල් ඔබ කළ බවට හොඳින් තහවුරු කරගන්න.

සිම් කාඩ්, මෙමරි කාඩ් (මතක පත්) ඉවත් කරන්න

(ytimg.com)

(ytimg.com)

දුරකථන ඇමතුම් ගැනීම සඳහා සේවාදායකයා විසින් ලබාදී ඇති සිම් කාඩ් එකත්, ඔබේ දත්ත ගබඩා කිරීම සඳහා මෙමරි චිප් එකක් හෙවත් මතකපතක් භාවිතා කරනවා නම් එය දුරකථනයෙන් ඉවතට ගන්න. මේ දෙක නැතිවුණා කියලා ඔබේ දුරකථනය මිලදී ගන්නට යන කෙනාට එය පරීක්‍ෂා කරන්නට බැරිකමක් නැහැ. ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන් ගෙන ආ සිම්පත් හෝ මතකපත් භාවිතා කරමින් එය පරීක්‍ෂා කරන්නට පුළුවනි.

කිසිදු ආකාරයකින් හෝ ඔබට අමතකවී සිම්පත අන්සතු වූවොත් වහාම අදාල සේවාදායක ආයතනය අමතා ඒ බව දැනුම් දෙන්න. එවිට ඔවුන් ඔබේ සිම්පත අවලංගු කොට ඒ වෙනුවට වෙනත් එකක් ලබා දේවි. මෙසේ දැනුම්දීමට ඔබ පරක්කු වන මොහොතක් පාසා ඔබේ නමින් අපරාධයක්, ඔබේ සිම්පතේ සුරැක තිබූ අංකයකට ඇමතුමක් ගෙන ඔබේ පෞද්ගලිකත්වයට හානිවන ආකාරයේ හෝ හිතවතෙකුගේ සිත් රිදෙන ආකාරයේ යමක් සිදුවීමේ ඉහළ අවධානමක් තිබෙනවා. ඒ නිසා එවන් දේකට ඉඩ නොතබා වහා ක්‍රියාත්මක වෙන්න. මෙසේ නව සිම්පතක් ගැනීමේදී ඔබට පෙර තිබූ අංකය මෙන්ම රීලෝඩ් කර තිබූ මුදල්ද එලෙසින්ම නැවත ලැබෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා අනිවාර්යයෙන්ම ගූගල් ගිණුමක් එක් කළයුතු නිසා ඔබ ඇතුලත් කරන දුරකථන අංක නිතැතින් ම ගූගල් ගිණුමේම සුරැකෙනවා. එහෙත් සිම්පතේ අංක සුරැක තිබෙනවා නම් Contacts යෙදුමේ ඇති මෙනුවේ Import/Export හි From SIM to Phone යන්න ටැප් කර ඒවාද දුරකථනයට යැවිය හැකි අතර අනතුරුව ඒවාද අන්තර්ජාල ගිණුමේ සුරැකේවි. මේ හරහා ඔබ නව දුරකථනයක් ගෙන ඊට ගූගල් ගිණුම එක් කළ විට පෙර පැවති අංක ද පහසුවෙන් ලබා ගන්නට පුළුවන්.

වළාකුළු පරිගණකකරණයට හුරුවෙන්න

(pcmag.com)

(pcmag.com)

මතකපත් නම් දැන් ඇත්තෙන්ම භාවිතා කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. බොහෝ නූතන දුරකථනවල ඒ සඳහා කවුළුවක් හෝ තබා නොමැති අතර ඒ වෙනුවට දුරකථනයේම ඉඩ ප්‍රමාණය භාවිතා වෙනවා.

මෙවන් විටකදී නම් ඔබට අනිවාර්යයෙන්ම දුරකථනය පරිගණකයකට සම්බන්ධ කොට දත්ත කොපි කරගෙන මකා දැමීම සිදුකළ හැකියි. නැතිනම්, ගූගල් ඩ්‍ර‍යිව්, මයික්‍රොසොෆ්ට් වන් ඩ්‍ර‍යිව් වැනි නොමිලේ දත්ත ගබඩා කළ හැකි සේවාවකට ඔබේ සියළු ගොනු උඩුගත කරන්නට පුරුදු වෙනවා නම් මේ කරදර නැහැ. ගූගල් ෆොටෝස් සේවාව නිසා දැන් ඉඩකඩ භාවිතයකින් තොර නොමිලේ ඕනෑතරම් ඡායාරූප උඩුගත කොට තැබිය හැකි අතර එය භාවිතයටද පහසු වෙනවා.

එසේ ම මේ ආකාරයෙන් ‘වළාකුළු පරිගණකකරණයට’ හුරු වීමෙන් නව දුරකථනයක්, පරිගණකයක් වැනි දෙයක් ගත්තත් ඒවාට වෙනම දත්ත ඇතුලත් නොකර අන්තර්ජාලය හරහා ම ඒවා භාවිතා කිරීමේ අනගි පහසුකම ලැබෙනවා.

නිශ්පාදක සැකසුම් යළි පිහිටුවන්න

(Thambaru Wijesekara)

(Thambaru Wijesekara)

ඔබේ දත්ත ඉවත් කරගැනීමෙන් පසු කළයුතු වන්නේ ගූගල් සහ ඔබ ස්ථාපනය කර ඇති ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ආදී ගිණුම් වලට අගුළු ලෑමයි. ඒත් මේ කාලයේ තිබෙන දහසක් පමණ සමාජ ජාල සේවා ආදියෙන් ඉවත් වෙනවා කියන්නේ පණ යන වැඩක්.

අනෙක එහෙම එකින් එක කරන්නට ගියා ම බොහෝවිට මගහැරෙන්නටත් පුළුවන්. ඉතින් පහසුම දේ තමයි Settingsවල තිබෙන Backup and Reset තුළට ගොස් Factory Data Reset කිරීම. එමඟින් දුරකථනයේ ඇති සියළුම ගිණුම් සහ දත්ත මැකී යන අතර දුරකථනය අළුතින් මිලදී ගත්තාක් මෙන් සියල්ලම පෙර තත්වයට ගෙන එනවා.

ඒ හරහා ඔබේ ගැනුම්කරුවාට ද නවමු හැඟීමක්, අත්දැකීමක් ලැබෙන අතර ඔබේ කිසිම දත්තයක් ලබා ගැනීමට ඇති හැකියාව ද පූර්ණව අහෝසිවී යනවා.

උපකරණ හොඳින් පිරිසිදු කරන්න

(komando.com)

(komando.com)

දිගු කාලයක් භාවිතා කිරීම හරහා දුරකථනයේ දුහුවිලි, දහඩිය වැනි දේ එක්රැස්වී තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් ම වෙනත් අතකට පත් කිරීමේදී දුරකථනය සමඟ විශබීජ සහ රෝගකාරක රැසක්ද විකුණන්නට හෝ තෑගි දෙන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.

ඔබට එහෙම වෙනවාට ඔබ අකමැති නිසා අනෙක් අය ගැනත් ඒ ආකාරයෙන්ම හිතලා දුරකථනයේ මුහුණත, පසුපස, කැමරා, හෙඩ් සෙට් එකේ කණෙහි ස්පර්ශවන ප්‍රදේශය, ආරෝපකයේ අතින් අල්වන කොටස් සහ විශේෂයෙන් සුදු පැහැති වයර් තිබෙනවා නම් ඒවා තිර පිරිසිදු කිරීම වැනි දේට ඇති පිරිසිදු කිරීමේ දියර බිඳක් භාවිතා කොට උපකරණ ඇතුලට දියර නොයන සේ ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම වැදගත්. ඉන් දුරකථනයට අළුත් පෙනුමකුත්, ගන්නා කෙනාට ප්‍රිය භාවයකුත් ලැබේවි.

සියළු උපකරණ එක්කොට පෙට්ටියට දමන්න

(wishmesh.com)

(wishmesh.com)

දුරකථනය මිළදී ගැනීමේදී ඔබට ලැබුණු සියළු දේ එනම්: හෙඩ්සෙට් එක, ආරෝපකය, USB කේබලය, පරිශීලක අත්පොත, (නව දුරකථනවල) සිම්පත් කවුළුව විවෘත කිරීමේ යතුර ආදී දේවල් දුරකථනයේ පෙට්ටියටම දමන්න. එවිට ඒවා නැතිවීම හෝ ලබාදීමට අමතක වීම සිදුවීම අවම වන අතර ඒවා නොමැති කමෙන් ඔබේ දුරකථනයේ වටිනාකම අඩුවීම යාම වැළකීමත් ලබාගන්නාට උපරිම තෘප්තියක් ලැබීමත් සිදුවෙනවා.

ඉතින් මේ ක්‍රියා පිළිවෙල ඒ ආකාරයෙන් ම කරගතහොත් ඔබේ පෞද්ගලිකත්වයටත්, ඔබේ උපකරණ භාවිතය පිළිබඳ අන් අය තුළ ඇතිවන ප්‍ර‍සාදයත් මෙන්ම දුරකථනයටත් හොඳ මිලක් භය නැතුව මිළ කරන්නට හැකි වේවි. ඒ වගේම දුරකථනයේ නව හිමිකරුවාටත් ඉතා හොඳ අත්දැකීමක් ඉන් ලැබෙන අතර විශ්වාසයෙන් යුතුව හොඳ ගුණාත්මක භාවයකින් යුතු භාණ්ඩයක් ඔවුන් සතු කරගන්නට ඉන් හැකියාව ලැබේවි.

මූලාශ්‍ර‍: androidcentral.com

කවරයේ පින්තූරය: newshour-tc.pbs.org

Related Articles