Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලැප්ටොප් එකක් මිලදී ගැනීමට පෙර

ලැප්ටොප් පරිගණකයක් කියන්නේ වර්තමානයේදී බොහෝ දෙනෙක් තමන්ගේ විවිධාකාර අවශ්‍යතාවයන් ඉටුකරගන්න භාවිතා කරන මෙවලමක්.අද දවසේදී තමන්ගේ අධ්‍යාපන, රැකියා, විනෝදාස්වාදය හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා ලැප්ටොප් මාදිලියේ පරිගණකයන් භාවිතා කරන සංඛ්‍යාව ඉතාම ඉහළ බව අපි දන්නා කරුණක්. මේ හේතුව නිසාම ලෝක ප්‍රචලිත පරිගණක සමාගම් විසින් දවසෙන් දවස විවිධාකාරයෙන් වැඩි දියුණු කරන ලද ලැප්ටොප් පරිගණක එළිදක්වන ආකාරය අපිට දැකගන්න පුළුවන්. විවිධ විශේෂාංග එක්ක විවිධ මිල ගණන් පරාස යටතේ වෙළඳ පොළට පැමිණෙන ලැප්ටොප් අතරින් තමන්ගේ අවශ්‍යතාවයට වඩාත්ම ගැලපෙන ලැප්ටොප් එක තෝරගන්න විදිය ගැන Roar.lk පාඨක ඔබව දැනුවත් කරන්න අද අපි කල්පනා කළා.

ඔබට ගැලපෙන ප්‍රමාණය මොකක්ද?

බර ගැන සලකන එකත් වැදගත් (dell.com)

බර ගැන සලකන එකත් වැදගත් (dell.com)

 

 ලැප්ටොප් එකේ spec එක එහෙමත් නැතිනම් එහි අඩංගු හාඩ්වෙයාර්වල විස්තර සහ මිල පිළිබඳව සිතන්න පෙර, එය භාවිතා කරන ආකාරය පිළිබඳව ඔබ විසින් තීරණය කළ යුතු බවයි අපේ නිර්දේශය. මෙහිදී ඔබ මූලිකවම ඔබේ අවධානය යොමුකළ යුතුවන්නේ ලැප්ටොප් එකේ ප්‍රමාණය පිළිබඳවයි. ඔබේ ලැප්ටොප් එකේ බර තීරණය වන්නේ එහි ප්‍රමාණය අනුවයි. ඔබ දිනපතා ලැප්ටොප් එක කරේ එල්ලගෙන ගමනේ යෙදෙන කෙනෙක්නම්, ප්‍රමාණයෙන් විශාල සහ බරෙන් වැඩි ලැප්ටොප් එකක් මිලදී ගැනීම මඟින් ඔබම අපහසුතාවයට පත්වන අවස්ථා ප්‍රමාණය ඉතාම වැඩිවෙන්න පුළුවනි. ඔබ ලැප්ටොප් එක කලාතුරකින් ඔබ සමඟ ගමනේ යෙදෙනවනම්, බරෙන් වැඩි වීම එතරම් ගැටළුවක් වන්නේ නැහැ. සාමාන්‍ය වශයෙන් කිලෝග්‍රෑම් 1 සිට කිලෝග්‍රෑම් 3ක් පමණ පරාසයේ බර ප්‍රමාණයන්ගේ ලැප්ටොප් වෙළඳපොළේ තිබෙනවා. ඒ නිසා අන් සියළු දේ ගැන අවධානය යොමු කරන්න පෙර ඔබ දවසට පැය කීයක් ලැප්ටොප් එකත් සමඟ ගමනේ යෙදෙනවද කියන කරුණ ගැන අවධානය යොමු කරන්න කියලා අපි නිර්දේශ කරනවා.

ස්ක්‍රීන් එක කොච්චර ලොකු වෙන්න ඕනෙද?

 

මේගැනත් සලකන්න ඕනේ (laptopscreen.co.uk)

මේගැනත් සලකන්න ඕනේ (laptopscreen.co.uk)

විවිධ Screen size වලින් යුතු උදාහරණයක් විදියට ගත්තොත් අඟල් 11-12 වගේ කුඩා ප්‍රමාණයෙන් පටන් ගෙන අඟල් 17-18 ප්‍රමාණය දක්වා විශාල Screen තිබෙන ලැප්ටොප් පරිගණක අද වෙළඳපොළේ තිබෙනවා. පාසැල්/විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තිකයන්, පර්යේෂණ නිලධාරීන් වගේ දිනපතාම ලැප්ටොප් එක සමඟ ගමනේ යෙදෙන අය සඳහා අඟල් 13-15 දක්වා ප්‍රමාණයේ Screen එකක් තිබෙන ලැප්ටොප් එකක් වඩාත් සුදුසුයි.

ඒ වගේම Screen Resolution එක ගැනත් අවධානයක් යොමු කරන එක වැදගත්. HD (1366 x 768) Resolution තිබෙන ස්ක්‍රීන් එකක් සාමාන්‍ය එදිදෙනා පරිගණක කටයුතු සඳහා බොහෝවිට ප්‍රමාණවත්. HD+ (1600 x 900) හෝ Full HD (1920 x 1080) වර්ගයේ Resolution එකකින් හොඳ දෘෂ්‍ය තත්ත්වයෙන් DVD/Blue-Ray ෆිල්ම්ස් බලන්න වගේම ඉතාම පොඩි වෙනසක්වත් නැතුව ඉහළ මට්ටමේ පරිගණක ක්‍රීඩාවල නියැලෙන්න පුළුවනි. QHD [Quad HD] හෝ QHD+ (2560 x 1440 සහ 3200 x 1800) වැනි අතිශය ඉහළ pixel සංඛ්‍යාවකින් යුත් Screen එකක් භාවිතයෙන් වඩාත් තියුණු රූප ලබාගන්න පුළුවන්. වෘත්තීය ඡායාරූප ශිල්පීන් සහ වීඩියෝග්‍රැෆි ශිල්පීන් සඳහා මේ resolution සහිත Screen වඩාත් යෝග්‍ය බවයි විචාරකයන්ගේ මතය. ඒ වගේම ඉන් ඉහළ 4K Ultra HD (3840 x 2160) මඟින් සාමාන්‍ය HD වගේ සිව්ගුණයක Resolution ලබාදෙනවා. ජීවමාන ආකාරයේ රූප සහ වීඩියෝ මේ මඟින් දැකබලාගත හැකිවීම විශේෂයක්.

ඒ වගේම Screen Resolution අගය වැඩි වෙන්න වැඩිවෙන්න ඒ ලැප්ටොප් එකේ බැටරි ආයු කාලය අඩුවෙන බව සහ මිල ඉහළ යන බව පැහැදිලියි නේද? මේ වගේම Touchscreen ලැප්ටොප් දැන් වෙළඳ පොළේ බහුලව දැකගන්න පුළුවනි. ඔබ 2 In One මාදිලියේ ලැප්ටොප් පරිගණකයක් මිලදී නොගෙන සාමාන්‍ය ආකාරයේ ලැප්ටොප් එකක් මිලදී ගන්නේනම් Touchscreen එකෙන් ඔබට විශාල ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබේ බැටරියේ ආයුකාලය පැය 1-2 අතර කාලයකින් අඩුවීම නම් ස්ථීරයි.

කොයි වගේ Design එකක්ද මට හරියන්නේ?

(trombinos.blogspot.com)

(trombinos.blogspot.com)

ඔබ දන්නවාද, එකම CPU range එකක තිබෙන විවිධ සන්නාමයන්ගෙන් යුත් බොහෝ ලැප්ටොප්වල කාර්යක්ෂමතාවය එකිනෙකින් වෙනස් වන්නේ බොහෝම සුළු වශයෙන් යන වග? CPU පමණක් නොවේ. එකම පරාසයේ RAM, HDD වැනි අනෙකුත් key components වල benchmark test පිළිබඳ සලකා බලද්දිත් ලැප්ටොප් කාර්යක්ෂමතාවය වෙනස් වන්නේ සුළු වශයෙන්. ලැප්ටොප් එකක් ගැන බලද්දි ඒක නිර්මාණය කරලා තියෙන ආකාරය තමයි වඩාත්ම වැදගත් වන්නේ. ඇපල් පරිගණක මේ බව වඩාත් පැහැදිලිව හඳුනාගෙන තිබෙන නිසා තමයි ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වඩාත් වෙනස් ආකාරයට සිදුකරමින් සෑමවිටම අලුත් මාදිලියේ ලැප්ටොප් ලොවට නිකුත් කරන්නේ.

Keyboard එක සහ Touchpad එක නිර්මාණය කරලා තියෙන විදිය මෙයින් චිශේෂයෙන්ම වැදගත්. Keys දෙකක් අතර මිලිමීටර 2ක පමණ ඉඩක් තිබීමෙන් ඔබ අතින් අත්වැරදීමෙන් එකවර keys කීපයක් එබීම නැවැත්වෙනවා. ඒ වගේම keys පහළට එබීමේදී ප්‍රමාණවත් දුරක් එසේ එබීමට තිබීමෙන් ඔබට වඩාත් සුවපහසු typing experience එකක් ලබාගැනීමට හැකියි. ඒ වගේම Arrow Keys අතරත් යම් කිසි පරතරයක් තිබීම වැදගත් වෙනවා. Keyboard එකේම number pad එකක් තිබීම වැදගත් කරුණක් විදියට දක්වන්න පුළුවන් වගේම සාමාන්‍ය ප්‍රමාණයේ Enter Key එකක්, Backspace key එකක් තිබීමෙන් typing වඩාත් පහසුවෙන් සිදු කරගන්න පුළුවනි. ඔබේ ලැප්ටොප් එකේ keyboard එක backlit keyboard එකක්නම් අඳුරු ආලෝක තත්ත්වයකදී වුවත් ඔබට වඩාත් පහසුවෙන් typing සිදු කරන්න පුළුවනි. ලැප්ටොප් එක මිලදී ගැනීමේදී මේ ගැනත් හිතන එක හොඳයි.

ලැප්ටොප් එකේ Cooling system එක ගැනත් අවධානයක් යොමු කරන එක වැදගත්. සමහර ලැප්ටොප් මාදිලි අධික ලෙස රත්වීමට හේතුව මේ Cooling system එකේ ඇති ගැටළු. ලැප්ටොප් එකත් එක්ක නිතරම cooling pad එකකුත් ගෙනියන්න වෙන එක තරම් වදයක් තවත් නැති නිසා Manufacturer Design Faults නැති ලැප්ටොප් එකක් මිලදී ගන්න එක බොහොම වැදගත්. ඔබ මිලදී ගන්න බලාපොරොත්තු වෙන ලැප්ටොප් මාදිලිය ගැන ගූගල් සෙවුමක් කිරීමෙන් මේ ආකාරයේ ගැටළු බොහොම පහසුවෙන් සොයාගන්න පුළුවනි.

Battery Life එක කොහොම වෙයිද?

(hdf-software.com)

(hdf-software.com)

ලැප්ටොප් එකක් ගද්දි සළකා බලන්න ඕනේ අනිත් ප්‍රධානම කාරණාව වෙන්නේ බැටරි ආයු කාලය. ඔබ නිරන්තරයෙන් ගමනේ යෙදෙන කෙනෙක්නම් දීර්ඝ බැටරි ආයු කාලයක් තිබෙන ලැප්ටොප් එකක් තිබීමේ වැදගත්කම ගැන ආයේ අලුතෙන් විස්තර කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙන්නේ නැහැ.

බැටරි ආයුකාලය ගැන ලැප්ටොප් එකේ Manufacturer කියලා තියෙන දේවල් විශ්වාස කරන්න එපා කියලා තමයි අපි ඉස්සෙල්ලාම ඔබට කියන්නේ. ලැප්ටොප් බැටරි ආයුකාලය වෙනස්වෙන මූලික කාරණා කීපයක්ම තිබෙනවා. Screen brightness, screen resolution හේතුවෙන් බැටරි ආයුකාලය අඩු වීම නිරන්තරයෙන් සිදුවෙනවා. ඒ විතරක් නෙමේ ඔබ අන්තර්ජාලය හරහා වීඩියෝ අධික ලෙස බලනවානම් සහ ඔබේ Wi-Fi ජාලය හරහා විශාල වශයෙන් ෆයිල් හුවමාරු කරගන්නවානම් බැටරි ආයුකාලය අඩුවෙන්න එයත් ප්‍රධාන හේතුවක් වෙනවා.

ඔබේ බැටරියේ මුද්‍රිත වොට් පැය ගණන (wh) හෝ මිලිඇම්පියර් පැය ගණන (mAh) පිළිබඳව නිරන්තරයෙන් සැළකිලිමත් වීම සුදුසුයි. මේ අගයන් ඉහළ යන තරමට බැටරියේ ආයුකාලයත් වැඩි බව ඔබට පැහැදිලි ඇති. සාමාන්‍ය 13”ක තිරයක් සහිත ලැප්ටොප් එකක් සඳහා 44wh සිට 50wh දක්වා පරාසයක ඇති බැටරියක් භාවිතා කිරීමෙන් උපරිම බැටරි ආයු කාලයක් ලබාගත හැකි බවට විචාරකයන් අදහස් දක්වනවා.

තව වෙන මොනවද?

මේ ගැනත් හිතල බලන්න. (tethertalk.com)

මේ ගැනත් හිතල බලන්න. (tethertalk.com)

USB 2.0 තාක්ෂණයත් දැන් පරණයි. ඒ වෙනුවට දැන් USB 3.0 කරළියට ඇවිත් තිබෙන නිසා ඒ මාදිලියේ USB ports වැඩි ප්‍රමාණයක් තිබෙන ලැප්ටොප් එකක් මිලදී ගැනීම වඩාත් සුදුසුයි. සරළවම කියනවානම් USB 3.0 port නැති ලැප්ටොප් එකක් මිලදී ගන්න එපා. විශේෂයෙන්ම ලැප්ටොප් එකේ USB Type C port එකක් තිබීමෙන් ඔබට වඩාත් වැඩි වේගයකින් දත්ත හුවමාරු කරගැනීම සිදුකරගන්න පුළුවනි.

ඒ වගේම extended display එකක් ලබාගැනීම සඳහා තිබෙන VGA port එකත් දැන් අයිති වෙන්නේ පරණ තාක්ෂණයට. ඒ කටයුතු වෙනුවෙන් තමයි HDMI port එක තියෙන්නේ. මීඩියා ෆයිල්ස් හුවමාරු කරගන්න අවශ්‍ය වෙන SD card slot එකක් තිබීම අත්‍යවශ්‍ය දෙයක්. Optical Drive (CD/DVD Writer) එකත් දැන් වෙළඳපොළට එන ලැප්ටොප් සඳහා අන්තර්ගත නැහැ. ඒ වගේ Bluetooth 4.0 තාක්ෂණය තිබෙන ලැප්ටොප් එකක් මිලදී ගැනීමෙන් ඔබට වඩාත් පහසුවෙන් Wireless Mouse එකක් භාවිතා කිරීම පමණක් නෙමේ ගෙදර තියෙන Hi-Fi system එකෙන් සංගීතය රස විඳින්නත් පුළුවනි.

ඔබ ඉතා දැඩි ලෙස පරිගණක ක්‍රීඩාවන්හි නිරත වෙන්නෙක් නොවේ නම් motherboard graphic card එකට අමතරව වෙනම අධිබල Graphic card එකක් සහිත ලැප්ටොප් එකක් මිලදී ගැනීම තේරුමක් නැති දෙයක් කියලයි අපිට හිතෙන්නේ. බොහෝ වෙලාවට අපි එදිනෙදා කරන සාමාන්‍ය වැඩ කටයුතු සහ තරමක් විශාල පරිගණක ක්‍රීඩ වුවත් ලැප්ටොප් එකේ පෙරනිමියෙන් එන graphic card එක පමණක් භාවිතා කරලා ක්‍රියාකරන්න හැකියාව බොහෝ ලැප්ටොප් සතුව පවතිනවා.

කීයක විතර ලැප්ටොප් එකක්ද හොඳ?

ඕන ගානකට දැන් ලැප්ටොප් නම් තියෙනවා (avoiceformen.com)

ඕන ගානකට දැන් ලැප්ටොප් නම් තියෙනවා (avoiceformen.com)

මේක තමයි උත්තර දෙන්න අමාරුම ගැටළුව. ඔබ වියදම් කරන මුදල අනුව පමණක් කවදාවත් ඔබේ ලැප්ටොප් එක හොඳයි හෝ නරකයි කියලා කියන්න බැහැ. ඔබ ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල කියන්නේ තවත් එක සාධකයක් විතරයි. ඔබ ගෙවන ලද මුදලට වඩා අඩු මුදලකට ඔබේ ආකාරයේම ක්‍රියාකාරීත්වයකින් යුත් ලැප්ටොප් එකක් වෙනත් කෙනෙක් මිලදී ගන්න තිබෙන හැකියාව ඉතා වැඩියි. නමුත් කල්පැවැත්ම අතින් සහ භාවිතයේ පහසුව අතින් ඔබ වැඩි මුදලක් ගෙවා මිලදී ගත් ලැප්ටොප් එක ඉඳිරියෙන් සිටිනවා විය හැකි වෙන්නත් පුළුවන්. මේ කරුණු සියල්ල සාපේක්ෂයි. වර්ථමානයේදී ශ්‍රී ලංකාව තුළ ලැප්ටොප් වෙළඳපොළේ රුපියල් 50,000/= සිට රුපියල් 200,000/= දක්වාත් ඊට ඉහල විවිධ මිල ගණන් යටතේ අලුත්ම ලැප්ටොප් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඔබේ අවශ්‍යතාවය අනුවම ඔබට වඩාත්ම ගැලපෙන ලැප්ටොප් එක මිලදී ගැනීම වඩාත්ම සුදුසු සහ මුදල් ඉතිරි කරගත හැකි ක්‍රමය කියලයි අපිට නම් හිතෙන්නේ.

එතකොට බ්‍රෑන්ඩ් නේම් එක?

(bestultrabook2016.blogspot.com)

(bestultrabook2016.blogspot.com)

තවත් හොඳ ප්‍රශ්නයක්. ඔව්, ඔබේ ලැප්ටොප් එක ලෝකයේ නම ගිය මාදිලියක ලැප්ටොප් එකක් වීම වඩාත් හොඳයි. ඒ නමගිය ලැප්ටොප් මාදිලි පසුගිය අවුරුද්දේදී තමන්ගේ ක්‍රියාකාරකම් හරහා ලබාගත්ත මහජන ප්‍රසාදය ගැන විස්තර අන්තර්ජාලයෙන් නිතරම සොයාගන්න පුළුවනි. නමුත් ඒ වාසිය ඔබ සමඟ තිබෙන්නේ ඔබ ඒ අදාල මාදිලියේ ශ්‍රී ලංකාවේ සෘජු නියෝජිතයාගෙන්ම එම ලැප්ටොප් එක මිලදී ගත්තානම් පමණයි. එහෙම තත්ත්වයකදී ඔබේ ලැප්ටොප් එකේ හදිසි නඩත්තුවකදී හෝ ප්‍රතිසංස්කරණයකදී ඒ අදාළ මව් සමාගමේ සම්මතයන්ට අනුවම අවශ්‍ය නඩත්තු කටයුතු සිදුකරගන්න පුළුවනි. එහෙම නැතුව වෙන වෙන අනෙකුත් තැන්වලින් ලැප්ටොප් මිලදීගෙන ඒ ලැප්ටොප් එකේ යම් නඩත්තු සහ සේවා කටයුත්තක් හෝ Warranty Claim කරන්න ගියාම සිද්ධ වෙච්ච අනර්ථකාරී සිදුවීම් සහ පාරිභෝගිකයා සූරාකෑම් ගැන බොහෝ දෙනා අන්තර්ජාලයේ සිංහලෙන්ම ලියලා තියෙනවා. ඒ නිසා හැම විටම ඕනෑම ප්‍රසිද්ධ වෙළඳ නාමයක සෘජු දේශීය නියෝජිතයා හරහාම ඔබේ ලැප්ටොප් එක මිලදීගන්න වගබලාගන්න.

අවසාන වශයෙන්

(besttabletsbuy.blogspot.com)

(besttabletsbuy.blogspot.com)

ඒ වගේම ලැප්ටොප් එක මිලදී ගන්න කළින් ඔබ මිලදීගන්න බලාපොරොත්තු වෙන ලප්ටොප් එක පිළිබඳව අන්තර්ජාලයේ සොයා බැලීමක් සිදු කිරීමෙන්, ඔබට පෙර ඒ ලැප්ටොප් පිළිබඳ බොහෝ යහපත් සහ අයහපත් තොරතුරු වගේම ඒ ලැප්ටොප් එක වර්ථමානයේ භාවිතා කරන පුද්ගලයින් විසින් සටහන් කර තිබෙන වැදගත් තොරතුරු හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. ලැප්ටොප් එකක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් සිදුකළයුතු වැදගත්ම කටයුත්ත විදියට අපි නිර්දේශ කරන්නෙත් ඒ ආකාරයෙන් අන්තර්ජාලය හරහා කරුණු සොයා බැලීමයි. මේ සබැඳිය හරහා ඒ ආකාරයෙන් ලැප්ටොප් පිළිබඳවම ඉතා වැදගත් තොරතුරු පළකරන බොහෝ වෙබ් අඩවියන්ට පිවිසීමට ඔබට හැකියාව ලැබෙනවා.

ඊළඟ පාර අලුතෙන් ලැප්ටොප් එකක් මිලදී ගන්න වෙලාවකදී මේ දේවලුත් මතකයට නගාගන්න කියලා අවසාන වශයෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ලැයිස්තුවේ අඩංගු නැති නමුත් ඔබත් දන්න කරුණු තියෙනවානම් ඔබට පුළුවනි ඒ ගැන අපිවත් දැනුවත් කරන්න. මේ තමයි ඒකට හොඳම වෙලාව.

කවරයේ පින්තුරය: laptopmag.com

Related Articles