Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Anti-Virus එකක් මිලදීගන්න කළින් සිතිය යුතුම දේවල් 5ක්

එදිනෙදා ජීවිතයේදී පරිගණක පාවිච්චි කරන අයට පරිගණක එක්ක එන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි පරිගණක වයිරස්. වයිරස් කරදරයෙන් බේරෙන්න පරිගණක පාවිච්චි කරන අය ගොඩක් දේවල් සිදු කරනවා. ඒකෙන් ප්‍රධානතම දෙයක් තමයි Anti-Virus මෘදුකාංගයක් පාවිච්චි කරන එක. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ Anti-Virus මෘදුකාංගයක් මිලදී ගන්න කළින් ඔබ විසින් සිතා බැලිය යුතුම කරුණු කීපයක් ගැන.

1. Anti-Virus එකෙන් කරන දේවල් මොනවද?

විශේෂාංග ගැන සැළකිලිමත් වෙන්න. (techconnections.org)

වර්ථමානයේ වෙළඳපොළට පැමිණෙන බොහෝ Anti-Virus මෘදුකාංගවලින් දවසේ නියමිත වේලාවකදී පරිගණකය තුළ තිබීමට ඉඩ ඇති වයිරස් සොයාගැනීම සඳහා scan කිරීම සිදුකරනවා. ඒ වගේම පරිගණකයට බාහිරින් සවිකරන USB උපාංග, CD/DVD වැනි උපාංගත් scan කිරීම සිදු කරනවා. ඒ වගේම ඔබ පිවිසෙන වෙබ් අඩවි හරහා පැමිණිය හැකි වයිරස් ප්‍රහාරයන් සඳහාත් සාමාන්‍ය තරමින් ආරක්ෂාව ලබා දීම සිදුකරනවා.

සාමාන්‍ය Anti-Virus මෘදුකාංගයකින් ඒ හා සමාන සේවාවක් ලැබුනත් ඔබේ අවශ්‍යතාවය ඊට වඩා වෙනස් වියයුතුයි කියලයි අපිට හිතෙන්නේ. විශේෂයෙන්ම පරිගණකයට පිටතින් ඇතුළුවිය හැකි Spyware, Malware, Rootkits, Trojans, Warms යනාදී හානිකර වැඩසටහන්වලින් ආරක්ෂාව ලබාගත හැකි ආකාරයේ Anti-Virus එකක් මිලදී ගැනීම වැදගත්. ඒ වගේම ඔබ මිලදී ගන්නා Anti-Virus එක මඟින් පරිගණකයට download කරනා මෘදුකාංග, ලිපිගොනු, සංගීත ඛණ්ඩ, වීඩියෝ යනාදියත් scan කිරීමත් සිදුවෙනවාද කියලා නිරන්තරයෙන් සොයා බැලීම ඉතා වැදගත්. බොහෝ පරිගණක වෛරස් ප්‍රහාරයන්ට ලක්වෙන්නේ අන්තර්ජාලය හරහා හෝ යම් යම් උපාංග හරහා දත්ත ලබාගැනීමේදීයි. ඉතින් අන්තර්ජාලය හරහා ඔබ සිදුකරනා බාගතකිරීම් සිදුකරන්නට පෙර ඒ ෆයිල් වෛරස් සඳහා scan කිරීම වර්ථමානයේදී නම් අනිවාර්ය අවශ්‍යතාවයක්.

ඒ වගේම ඔබට ඊමේල් ලෙසට ලැබෙන ෆයිල් හරහාත් වෛරස් ආසාදනය වීමේ ඉතා ඉහළ ඉඩක් තිබෙනවා. මේ නිසා ඊමේල් scan කිරීමේ හැකියාවත් ඔබ මිලදී ගන්නා Anti-Virus එක සතු වීම අත්‍යවශ්‍ය කරුණක් විදියටයි අපි දකින්නේ. ඒ වගේම ඔබ මිලදී ගන්නා Anti-Virus එක මඟින් Real Time Scanning, Schedule Scanning වගේ පහසුකම් හරහා ඔබගේ සෘජු මැදිහත්වීමකින් තොරව වෛරස් සඳහා සොයාබැලීම සිදුකිරීම නිසා කාලය ඉතිරි කරගැනීමටත් හැකියාව තිබෙනවා.

සමහර Anti-Virus මඟින් යම් යම් වෙබ් අඩවි සඳහා පිවිසීම සීමාකිරීමත් සිදුකලහැකි පහසුකම ලබා දී තිබෙනවා. කාර්යාලීය පරිසරයක් තුළදී වගේම නිවසේදී වුවත් අදාළ පරිගණක භාවිතා කරන්නන් අනවශ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම සීමා කිරීමට මේ හරහාම හැකිවීමත් වැදගත් දෙයක්. ඒ වගේම වෛරස් ආසාදනයට ලක්වූ ෆයිල්, යළිත් පෙර ආකාරයට පිහිටුවීම සිදු කිරීමත් ඉතාම වැදගත් ක්‍රියාවක්. නිකමට හිතන්න ඔබගේ පවුලේ පැරණි ඡායාරුප විශාල ප්‍රමාණයක් වෛරස් ප්‍රහාරයක් නිසා විනාශ වී ගොස් තියෙන වෙලාවක, Anti-Virus එකක් මඟින් ඒ ඡායාරූප යළි ලබාගැනීමට හැකිවූවෝතින් එහි ඇති වටිනාකම ගැන.

ඒ වගේම බොහෝ ජනප්‍රිය Anti-Virus මඟින් ලබා දෙන තවත් එක පහසුකමක් තමයි එක මාසයක කාලයක් ඔවුන්ගේ මෘදුකාංගය නොමිලේ පාවිච්චි කරන්නට ඉඩ ලබා දීම. මේ පහසුකම මඟින් ඒ අදාළ මෘදුකාංගය මිලදී ගන්නට පෙර, එහි ඇති යහපත් අයහපත් දේවල් ගැන හොඳ අත්දැකීමක් ලබාගන්නට පරිශීලකයාට හැකියාව ලැබෙනවා.

Anti-Virus එකක් මිලදී ගැනීමේදී බොහෝ දෙනෙක් වැඩිපුර හිතන්නේ නැති දෙයක් තමයි Anti-Virus එක හරහා ඒ මෘදුකාංග සමාගමට තමන් විසින් ලබාදෙන තමන්ගේ පෞද්ගලික තොරතුරු ප්‍රමාණය කොපමණක්ද කියන කාරණාව. විවිධාකාර අවශ්‍යතාවයන් වෙනුවෙන් පරිශීලක දත්ත සහ තොරතුරු (user data & information) ලබාගැනීම Anti-Virus මෘදුකාංග සමාගම් මඟින් සිදුකරනවා. සමහර සමාගම් විසින් විසින් මේ තොරතුරු වෙනත් පාර්ෂවයන්ට විකිණීමත් සිදුකරන බවට චෝදනා එල්ලවෙන අවස්ථාත් පහුගිය කාලෙදි අපිට දකින්නට ලැබුණා. මේ නිසා Anti-Virus එකක් මිලදී ගන්න කළින් ඒ Anti-Virus එකේ privacy policy එක යන්තමට හරි කියවලා බලන එක සුදුසුයි කියන එකයි අපේ නිර්දේශය.

2. පරිගණකයට Anti-Virus එක කොයිතරම් ගැලපෙයිද?

දෙන්නා ගැලපෙනවද කියන එකත් වැදගත්. (pandasecurity.com)

ඔබ මිලදී ගන්න Anti-Virus එක ඔබගේ පරිගණකයට කොයි තරම් ගැලපෙනවද කියන එකත් කල්පනා කරලා බලන්නම අවශ්‍ය වැදගත්ම කාරණාවක්.

ඔබේ පරිගණකයේ තිබෙන Hardware සහ අන්තර්ගතව තියෙන Operating System එකට ගැලපෙනම version එක මිලදී ගන්නම කල්පනාකාරී වෙන්න. ඔබ වින්ඩෝස් පරිශීලකයෙක්නම් මේ ගැන දැඩි ලෙස සොයාබැලිය යුතුයි කියන එකයි අපේ නිර්දේශය. ඔබ මිලදී ගත්ත Anti-Virus එක ඔබගේ Operating System එක සමඟ ගැලපෙන්නේ නැතිවුනොත්, පරිගණකයේ වේගය දැඩි ලෙස අඩාල වීම, Anti-Virus එක නිසි පරිදි ක්‍රියා නොකිරීම, පරිගණකය අධික ලෙස රත්වීම වගේ දේවල් වෙන්න පුළුවනි. ඒ වගේම Anti-Virus එක මිලදී ගැනීම වෙනුවෙන් ඔබ වැයකරපු මුදල අපතේ යාමත් සිදුවෙන්න තියෙන ඉඩ ඉතාම ඉහළයි. ඒ වගේම Anti-Virus එක විකුණන ආයතනයේ ඉන්න විකිණුම් සහායකවරයා කියන කතන්දර ඒ විදියටම පිළිගන්නත් එපා.

ඔවුන්ට අනුව, ඔවුන්ගේ Anti-Virus එක තමයි මේ ලෝකේ තියෙන හොඳම Anti-Virus එක. ඒ වගේම ඔබට ගැලපෙනම Anti-Virus එක තියෙන්නේ ඔවුන් ළඟ විතරයි. මේ නිසා ඔබගේ පරිගණකයේ තිබෙන Hardware/Software ගැන හොඳ අවබෝධයකින් යුතුව Anti-Virus එක මිලදී ගන්න කියන එක ආයෙත් වතාවක් මතක් කරන්න කැමතියි.

3. Anti-Virus එකේ වේගය කොයිවගේ විය යුතුද?

ඔබ අනිවාර්යෙන්ම සළකා බැලිය යුතුම කරුණ තමයි, Anti-Virus එකට ඔබගේ පරිගණකය සම්පූර්ණයෙන්ම පරික්ෂා (scan) කරන්න කොපමණ වේලාවක් ගතවෙනවද කියන දේ. සමහර Anti-Virusවල Quick scan, Speedy scan වගේ පහසුකම් ලබා දෙනවා ක්ෂණිකව පරිගණකයේ තෝරාගත් ප්‍රදේශ scan කරන්න.

ඒ වගේ පහසුකම් තියෙන Anti-Virus එකක් වඩාත් යහපත් කියන එකයි අපේ අදහස. සමහර අවස්ථාවලදී scan කිරීම සිදුකරද්දී ඔබේ පරිගණකයේ RAM එකේ ධාරිතාවයෙන් විශාල ප්‍රමාණයක් Anti-Virus එක විසින් පාවිච්චි කරනා ආකාරය ඔබ අත්දැකලා ඇතුවට සැකයක් නැහැ. ඒ වගේ අවස්ථාවන්වලදී පරිශීලකයන් පත්වෙන්නේ සුළුපටු අපහසුතාවයකට නෙමෙයි. මේ නිසා ඔබ මිලදී ගන්නා Anti-Virus එක කොපමණ වේගයෙන් තමන්ගේ කාර්යය සිදුකරන එකක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් ඔබ සතුව තිබීම වැදගත්. අපි මේ ලිපියේ මුලිනුත් සඳහන් කරපු විදියට, මාසයක කාලයකට ලබාදෙන Free Trial පහසුකම මඟින් ඔබට මේ වේගය සහ scan option ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි. ඒ වගේම විවිධාකාර Anti-Virus යොදාගෙන සිදුකරපු වේග පරීක්ෂාවන් පිළිබඳ පර්යේෂණාත්මක වීඩියෝ අන්තර්ජාලයේ බොහෝ ප්‍රමාණයක් දකින්නට තියෙනවා.

ඉතින් ඒ දේවලුත් පරිශීලනය කරලාම ඔබට ගැලපෙනම Anti-Virus එක මොකක්ද කියන එක තීරණය කරන්න කියන එකයි අපේ නිර්දේශය.

4. Anti-Virus එකේ මිල කොහොමද?

මිල වැඩිම එක හොඳම එක වෙන්නෑ. (foxguardsolutions.co)

අනිත් හැම දේකදීම වගේ Anti-Virus එකක් මිලදී ගැනීමේදීත් මිල කියන සාධකය ගැනත් කල්පනාකාරීවීම ඉතා වැදගත්. විවිධාකාර මිලගණන් වලට විවිධාකාර පහසුකම් සහ විශේෂාංග සපිරි Anti-Virus අද වෙළඳපොළේ මිලදී ගන්න තියෙනවා. Anti-Virus එක මිලදී ගැනීමේදී හැකිතාක් එය පිළිගත් නියෝජිතයෙකුගෙන් මිලදී ගැනීමටම උත්සාහ කරන්න. ඒ වගේම ඔබගේ මිලදී ගැනීම සඳහා වගකීම් සහතිකයක් ලබාගන්නත් අමතක කරන්න එපා. සමහර Anti-Virus සඳහා ඔබ මුදල් ගෙවිය යුත්තේ එක්වරක් පමණයි. නමුත් සමහර මෘදුකාංගවල බලපත්‍රය (Software License) සඳහා ඔබ වාර්ෂිකව මුදල් ගෙවිය යුතුවෙනවා. මේ කාරණාව ගැනත් ඔබ අවධානයෙන් සිටිය යුතුයි.

ඔබට දැරිය හැකි මුදලට, ඔබට අවශ්‍ය පහසුකම්වලින් සපිරි, ඔබේ පරිගණකයට ගැලපෙන Anti-Virus එකක් මිලදීගැනීමයි කළයුතුවන්නේ. ඔබ මතක තබාගත යුතු ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි, ඔබගේ Anti-Virus එක මිල අධික වූවා කියලා ඒක හොඳම එක හෝ ඔබට වැඩිම ආරක්ෂාවක් ලබාදෙන මෘදුකාංගයක් වෙන්නේ නැති බව.

5. ලබාදෙන සහය කොයිවගේද?

අළෙවියෙන් පසු වැඩිදුර සහයත් අත්‍යවශ්‍යයි. (technicalsupport24.com)

Anti-Virus එකක් මිලදීගෙන එය පරිගණකයට අන්තර්ගත කරගෙන අවසන් වූවායින් පසු සියල්ල අවසන් වෙන්නේ නැහැ. එතනින් එහාටත් තව බොහෝ දේ තියෙනවා. ඔබ භාවිතා කරනා සමහර මෘදුකාංගයන් සමඟ Anti-Virus එකේ ක්‍රියාකාරීත්වයේ ගැටළුකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවනි. මේ වෙලාවට තමයි පිළිගත් විශේෂඥයෙකුගේ සහය ඔබට අවශ්‍ය වෙන්නේ. ලෝකයේ නම්දැරූ බොහෝ Anti-Virus සමාගම්වල පැය 24ම සේවයේ යෙදෙන පාරිභෝගික ඇමතුම් සේවාවන් ක්‍රියාත්මක වන්නේ මේ හේතුව නිසාමයි. ඔබ මිලදී ගත් Anti-Virusඑකෙන් ඒ ආකාර සහයක් ලබාදෙනවාද කියන කරුණ ගැන ඔබ සොයා බලන එක වැදගත්ම දෙයක්. ඔවුන් ඒ ආකාර සහයක් ලබාදෙනවානම්, ඔබට පුළුවනි ඊමේල් පණිවිඩයක් හරහා හෝ අන්තර්ජාලය හරහා දුරකථන ඇමතුමක් ලබාදීම මඟින් ඔවුන් හා සම්බන්ධ වී ඔබගේ ගැටළු නිරාකරණය කරගන්න සහයෝගයක් ලබාගන්න.

ඒ වගේම සමහර Anti-Virus සමාගම්, එක බලපත්‍රයක් හරහා පරිගණක කීපයකට තමන්ගේ නිශ්පාදනය භාවිතා කිරීමේ පහසුකම ලබා දෙනවා. ඔබ පරිගණක කීපයක හිමිකරුවෙක් නම්, මේ ආකාරයේ විකල්පයකට යාම සුදුසුයි කියන එකයි අපේ අදහස. ඒ හරහා ඔබට සාපේක්ෂව අඩු වියදමකින් වැඩි සේවාවක් ලබාගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා Anti-Virus එකක් මිලදී ගැනීමට පෙර ඒ වගේ විශේෂ දේවල් ගැනත් සොයා බලන්න අමතක කරන්න එපා.

ඒ වගේම බොහෝ දෙනෙක් හුරුවෙලා ඉන්නවා අන්තර්ජාලයෙන් ලබාගනිපු මංකොල්ලකන ලද Anti-Virus මෘදුකාංග භාවිතා කරන්න. මේ දෙයින් ආරක්ෂාවක් ලබාගැනීමට වඩා හානියට ලක්වීමක් සිදුවෙනවා කියන එකයි තොරතුරු තාක්ෂණ විශේඥයින්ගේ අදහස.

මේ සාකච්ඡා කරපු කරුණුවලට අමතරව, Anti-Virus එකක් මිලදී ගැනීමේදී සළකා බැලිය යුතු තවත් කරුණු ඔබත් දන්නවාද? එහෙනම් ඔබට පුළුවනි comment හරහා ඒ ගැන අපිවත් දැනුවත් කරන්න.

කවරයේ පින්තුරය: omgtop5.com

Related Articles