Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබගේ ෆේස්බුක් එකවුන්ට් එක Deactivate කරන්න හේතු 5ක්

ඔබට මතක ඇති ගිය සතියේ අපි කතා කළා ෆේස්බුක් එකේ හෝ වෙනයම් සමාජ මාධ්‍ය ජාලයක ඔබ පලකරන status, ජායාරුප ආදිය අනාගතයේදී ඔබට බලපාන්නේ කොහොමද කියලා, ඉතින් මේ ලිපියෙන් කතාකරන්නේ නම් ෆේස්බුක් එක අතහැරලම යන්න හිතෙන කරුණු ටිකක් ගැන.

පසුගිය අවුරුදු 100ක කාලය තුළදී මිනිසුන් තමන්ගේ සන්නිවේදන අවශ්‍යතා සම්පූර්ණ කරගත්ත ආකාරයේ සිදුවූයේ අති විශාල දියුණුවක්. ලිපිවලින් දුරකථන ඇමතුම්වලටත්, දුරකථන ඇමතුම්වලින් කෙටි පණිවිඩ වලටත්, කෙටි පණිවිඩවලින් වීඩියෝ ඇමතුම් දක්වාත්, වීඩියෝ ඇමතුම්වලින් පසුව අන්තර්ජාලය හරහා වීඩියෝ සම්මන්ත්‍රණයන් පැවැත්වූ යුගය දක්වා මිනිසුන්ගේ සන්නිවේදන අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනීම විකාශනය වූ ආකාරය අපට දැකගන්නට පුළුවනි.

මේ සියළු කඩඉම් පසුකරගෙන වර්ථමානයේ අපි ගතකරනා තොරතුරු යුගයේදී පුද්ගලයින් එකිනෙකා හා සම්බන්ධවීමට වැඩි වශයෙන්ම කටයුතු කරන්නේ සමාජ ජාල මාධ්‍ය එහෙමත් නැතිනම් Social Media හරහායි. ලෝකයේ සමස්ථ ජනගහනය බිලියන 7.5කට ආසන්න අගයක් වෙද්දි තමන්ගේ ක්‍රියාශීලී පරිශීලකයන් ප්‍රමාණය බිලියන 1.86ක ප්‍රමාණයක සිටින Facebook සමාජ ජාලය අවුරුදු ගණනාවක් තිස්සේ සමාජ ජාල මාධ්‍යයන්ගේ රජු විදියට අභිෂේක ලබා සිටිනවා. සරළවම කියනවානම්, මේ ලෝකේ සිටින සෑම පුද්ගලයින් හතරදෙනෙකුගෙන් කෙනෙක් ෆේස්බුක් ප්‍රජාවේ සාමාජිකයෙක්. දැන් ඔබට වැටහෙනවා ඇති මේ තොරතුරු යුගයේදී පුද්ගල ජීවිතයෙන් කොපමණ අවකාශයක් ෆේස්බුක් විසින් අත්පත් කරගෙන තිබෙනවාද කියන එක.

මිනිසාගේ සාමාන්‍ය ජීවිතයෙන් කොටසක් ෆේස්බුක් විසින් ඒ ආකාරයට අයිති කරගත්ත එකේ හොඳ සහ නරක පිළිබඳව බොහෝ කාලයක ඉඳලම ලෝකය පුරාම විවිධාකාර සංවාද සඳහා මාතෘකා වෙලා තියෙනවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆේස්බුක් අතහැර යන්න හොඳම හේතු 5 ක්.

1. නාස්ති කරන වෙලාව

කාලය රන් හා සමානයි ලු… – www.quora.com

බොහෝ දෙනෙක් ෆේස්බුක් එකේදි සිදුකරන ප්‍රධානම වැඩේ තමයි තමන්ගේ ටයිම් ලයින් එකේ තියෙන අනිත් අයගේ විස්තර බලන එක. වෙනත් කෙනෙක් ෆේස්බුක් එකට එකතු කරපු අදහසක්, ඡායාරූපයක්, වීඩියෝ එකක් වගේ දේවල් සහ ඒකට මිනිස්සු දක්වපු ප්‍රතිචාරත් බලන එක එක අතකට බොහොම විනෝද ජනක දෙයක් තමයි. සමහර පුද්ගලයින් තමන් දකින හැම ස්ටේටස් එකම, ෆොටෝ එකම Like කරන හැටි Share කරන හැටි එහෙම ඔබත් අත්විඳලා තියෙන්නට පුළුවනි.

නමුත් කිසිම තේරුමක් නැති මේ ක්‍රියාවට වැයවෙන කාලය ගැන අදහසක් ඔබට තියෙනවානම්, මේ මොහොතේදීම ඔබ ඒ වැඩෙන් අත්මිදෙනවා. ඔබ හිතන්න පුළුවනි ෆේස්බුක් එකේ ඔබ ගතකරන්නේ ඔබට නිදහසේ ඉන්න තියෙන වෙලාව නේද කියලා. නමුත් ඇත්තම කතාව තමයි ෆේස්බුක් එකේ ඔබ ගතකරන කාලය ඔබගේ නිදහස් වෙලාවට වඩා ඉතාම විශාල කාලයක් බව. ෆේස්බුක් ටයිම් ලයින් එක දිගේ කිසිම අරමුණක් නැතිව පහළට ස්ක්‍රොල් කරන්න ඔබ වියදම් කරන වෙලාව ඊට වඩා බොහොම ප්‍රයෝජනවත් විදියට ගතකරන්න පුළුවනි. ෆේස්බුක් එන වෙලාවේ ඒ වෙනුවට නිදාගන්න. ඒක ශරීර සෞඛ්‍යයට හිතකරයි.

2. ෆේස්බුක් ඔබටත් හොරා ඔබව විකුණනවා

විකිණෙන බව දැන දැනත් ඇබ්බැහි වීම – www.agroup.com

ෆේස්බුක් පාවිච්චි කරන බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් තමයි, ෆේස්බුක් විසින් ඔවුන්ව ඔවුන්ටත් නොදැනීම විකුණීම සිදුකරන බව. ෆේස්බුක් ඒ විදියට විකිණීම සිදුකරන්නේ ඔබ ෆේස්බුක් එකේ ගතකරන කාලයයි. ඔබගේගේ මිතුරු ලැයිස්තුවේ සිටින මිතුරු මිතුරියන්ට යම් යම් භාණ්ඩ සහ සේවාවන් විකිණීම සඳහා ඔබගේ නම පාවිච්චි කිරීම ෆේස්බුක් විසින් නිතරම සිදු කරනවා.

උදාහරණයක් විදියට ගත්තොත්, ෆේස්බුක්හි පළකරන අනුග්‍රාහක වෙළඳ දැන්වීම් (Sponsored Advertisements) ඔබගේ මිතුරු මිතුරියන් විසින් Like කර ඇති බව විශේෂයෙන් සඳහන් කරලා ඒ වෙළඳ දැන්වීම ඔබට දිස් කරවන ආකාරය ඔබ අනන්තවත් අත්දැකලා ඇති. මේ විදියට පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් තමන්ගේ වෙළඳ අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන එක බොහොම නරක සහ බැරෑරුම් දෙයක් විදියටයි අපිනම් දකින්නේ. ඒ වගේම ඔබ අන්තර්ජාලයේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව සෙවීමක් සිදු කෙරුවෝතින්, ෆේස්බුක් විසින් දිගින් දිගටම ඒ භාණ්ඩය හෝ සේවාව සපයන්නන්ගේ වෙළඳ දැන්වීම් ඔබ වෙත පෙන්වීමට කටයුතු කරනවා. සමහර විට ඔබ ඒ භාණ්ඩය මිලදීගෙන බොහෝ කාලයකට පසුවත් ඒ ගැන වෙළඳ දැන්වීම් දකින එක මනසට මහත් විඩාවක් ගේන කරුණක් බව ආයේ අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ නේ.

ෆේස්බුක් පරිශීලකයින් දිනපතාම අත්දකින අතිශය කරදරකාරී දෙයක් තමයි මේ වෙළඳ ප්‍රචාරණය. ඔබට ෆේස්බුක් එකෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම්, මේ හේතුව ඒ තීරණය ගන්න බොහොම ලොකු උත්තේජනයක් සපයාවි කියලා අපි විශ්වාස කරනවා.

3. ෆේස්බුක් ඔබව අධෛර්යමත් කරනවා

මගේ ජීවිතේ එච්චර හැපනිං නැහැ – demotivation.us

ෆේස්බුක් Time Line එකේදී අපි බොහෝ දෙනෙක් බොහෝවිට දකින්නේ අපේ මිතුරු මිතුරියන් තමන් ගිය සංචාර, තමන්ගේ පෙම්වතා/පෙම්වතිය සමඟ බොහොම ප්‍රීතියෙන් සිටින අවස්ථාවන්, ආහාරයට ගත් රසවත් කෑම බීම, අලුතෙන් මිළදී ගත් නා නා ප්‍රකාර දේවල්වල ඡායාරූප සහ ෆේස්බුක් සටහන්. මේ දේවල් දිනපතා දකිනවිට නිකමට අපේ හිතට දැනෙන අදහස තමයි අපේ යාළුවන්ගේ ජීවිත තරම් අපේ ජීවිත සුන්දර නැහැ නේද කියන එක. මේ ගැන දිගින් දිගටම හිතන්න ගත්තම අනවශ්‍ය මානසික ආතතියකින් පීඩා විඳින්නත් අපිට සිදු වෙනවා. ඒ වගේම මේ ආකාර සිතුවිලිවලින් නිරතම ජිවත්වෙන එකෙන් අපේ ප්‍රතිශක්තීකරණ හැකියාව දුර්වල වෙන බවටත් විවිධ පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ Utah Valley University හි ශිෂ්‍යයන් 400ක් දෙනා සම්බන්ධ කරගෙන සිදුකරන ලද පරීක්ෂණයකින් මේ කරුණ පිළිබඳව අපූරු තොරතුරක් ලබාගන්නට හැකිවෙලා තිබෙනවා. මේ ශිෂ්‍ය පිරිසෙන් වැඩි වේලාවක් ෆේස්බුක්හි ගතකරන බොහෝ දෙනා පවසන්නේ තමන්ට වඩා අනෙක් අය බොහෝ සතුටු සම්පන්න ජීවිත ගත කරන බවයි. ෆේස්බුක් ඇවිත් හිතේ සතුට නැති කරගන්නවට වඩා, ෆේස්බුක් නෑවිත් ඉන්න එක හොඳයි කියන එකයි අපේ නිර්දේශය.

4. ලිස්ට් එකේ ඉන්න හැමෝම ඇත්තම යාළුවොද?

යාළුවොන්ගෙන් 10%ක්වත් දන්න අය නම්… – khalil-shreateh.com

පොඩි පරීක්ෂණයක් කරන්න. ඔබේ ෆේස්බුක් යාළුවන්ගෙන් කී දෙනෙක් ඔබ ඇත්තටම දන්න අයද? යන්තමින් හෝ ඔබට සම්බන්ධයක් තියෙන අය කී දෙනෙක් ඉන්නවද? ඔබ ජීවිතේට දැකලවත් නැති අය කීදෙනෙක් ඉන්නවද? සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ෆේස්බුක් මිතුරන් 338ක් සිටිනවා. නමුත් සත්‍ය වශයෙන්ම දන්නා හඳුනන අය ඉන්නේ කීයෙන් කී දෙනාද? ඒ වගේම තමයි ෆේස්බුක් එකේ තිබෙන විවිධාකාර මිතුරු සමූහයන්. විවිධ පුද්ගලයන් විවිධාකාර අරමුණු වෙනුවෙන් මේ මිතුරු සමූහයන් නිර්මාණය කරනවා.

නමුත් ඒ මිතුරු සමූහයන්වලදී සිදුවන අතිශය නිරර්ථක සංවාද හේතුවෙන් ඔබගේ මානසික ආතතිය වැඩිවීමට වඩා වෙන වැඩකට ඇති දෙයක් සිදුවෙන්නේ නැහැ. ඔබගේ ෆේස්බුක් Freind List එකේ ඉන්න පුද්ගලයන්ගේ, මිතුරු සමූහවල සිටින යම් යම් පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් නිසා ඔබ විවිධාකාර අපහසුතාවයට පත්වෙන්න පුළුවන් කියන එකත් සඳහන් කරන්නම අවශ්‍යයි. ඒ අපහසුතාවය මානසික හෝ කායික හෝ මූල්‍ය සම්බන්ධ දෙයක් වෙන්නත් පුළුවනි. මේ නිසා ඔබට ඒ තරම් වැදගත්කමක් නැති ෆේස්බුක් මිතුරු සම්බන්ධතා වෙනුවෙන් ඔබ වැය කරන කාලය ඇත්තටම ඔබගේ මිතුරන් වෙනුවෙන් ගතකරන එක සුදුසුයි නේද?

5. ෆේස්බුක් ඔබගේ ජීවිතය ඔබට අහිමි කරනවා

ෆේස්බුක්, ඔබේ ජීවිතය ඔබට අහිමි කරන තැන – thefederalist.com

ඇත්තම කතාව මේකයි. ෆේස්බුක් එකේ ඔබ පළකරන ඡායාරූප, සටහන්, වෙනත් දේවල් ගැන බොහෝ දෙනෙකුට ඒ හැටි තැකීමක් නැහැ. අද ඔබ ෆේස්බුක් එකට එකතුකරන ඡායාරූපය ලබන සතිය වෙද්දි කිසිකෙනෙකුට මතක නැහැ. “ඒ උනාට මගේ ෆේස්බුක් post වල Likes, Shares, Comments ගොඩාක් තියෙනවනේ”, ඔබ එහෙම කියන්න පුළුවනි. ඔව්, ඒක ඇත්ත තමයි. නමුත් ඒ Likes වෙනුවෙන්, Shares වෙනුවෙන් ඔබ ඔබගේ ජීවිතය මොනතරම් කැප කරනවද කියන දේ ගැන අදහසක්වත් ඔබට තියෙනවද කියලා අපි නැවත ඔබෙන් අහනවා.

ඔබේ අදහස්වලට ෆේස්බුක් ප්‍රජාවගේ ප්‍රතිචාර දවසින් දවස වැඩිවෙද්දි ඔබ ඉතා විශාල මානසික සතුටක් විඳින්න ඇති. නමුත් ඔබගේ post එකකට Likes/Shares/Comments වැඩිකරගන්න ඔබ කොයිතරම් වේලාවක් ඒ post එක වෙනුවෙන් කැපකරනවද? ඡායාරූපයක්/අදහසක් ෆේස්බුක් එකට එකතුකළාට පස්සේ කීපාරක් ආයෙත් ආයෙත් ඇවිත් ඒකට ලැබුණ ප්‍රතිචාර ගැන ඔබ සොයා බලලා තියෙනවද? ඒ ප්‍රතිචාර වැඩි කරගන්න මහන්සි වෙලා තියෙනවද? ඒ විදියට ප්‍රතිචාර බොහෝ ගණනක් ලැබුනත් අවසානයේ ඒ ෆේස්බුක් Likes/Shares/Comments වලින් ඔබට වැඩක් තියෙනවද? ඒක ලොකු ප්‍රශ්නයක්.

ඒ වගේම ෆේස්බුක් නිසා පුද්ගලයින් එකිනෙකා අතරේ සිදුකරන සන්නිවේදනය බොහොම සීමාකාරී වෙලා තිබෙන බවත් වර්ථමානයේ පැහැදිලිවම දකින්නට පුළුවනි. නිකමට මතක් කරන්න පසුගිය මාස දෙකතුනක කාලයකදි ඔබගේ ජංගම දුරකථනය පැත්තකින් තියලා ඔබගේ පවුලේ සාමාජිකයන් සමඟ ඔබ එක දිගට පැය කීපයක් ගතකරපු අවස්ථාවක් ගැන. බොහෝවිට එහෙම අවස්ථාවන් ඔබගේ මෑත ඉතිහාසයේ නැත්තටම නැතිවෙන්න පුළුවනි. හැමදාම චැට් කරන ඔබේ යහළුවන් සමඟ ඇත්තටම වාඩිවෙලා කතාබහක් කරපු අවස්ථාවක් ගැන හිතන්න බලන්න. හුඟක් වෙලාවට මාස කීපයකින් ඔබ එහෙම වෙලාවක් ගතකරලා නැතුව ඇති.

නමුත් ඔබ ෆේස්බුක් එකේ අතිශය කාර්ය බහුලයි. ඔබට මිතුරන් දහස්ගණනක් සිටිනවා. නමුත් ඒ ඇත්තක් ද? ඔබටත් හොරා ඔබගේ ජීවිතය ෆේස්බුක් විසින් උපයෝගී කරගෙන තියෙන ආකාරය පිළිබඳව පුදුමත් හිතෙනවා නේද?

මේ සියල්ල සමග Social Media එපා කියලා අපි කිසිම වෙලාවකදි කියන්නේ නැහැ. නමුත් ඉහත අපි පෙන්නුම් කරපු කරුණු 5න් බහුතරයක් ඔබටත් අදාළ නම්, ඔබේ ශරීර සෞඛ්‍යයේ යහපත පිණිසම යම් කාලයකට හරි ෆේස්බුක් එකෙන් ඈත්වෙන එක වඩාත් යහපත් කියන එකයි අපේ නිර්දේශය (කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන් ගින්දර උනත් පරිස්සමක් නැතිව පාවිච්චි කලොත් පිච්චෙනවා වගේ).

මේ ලිපියේ සඳහන් නොවුනත් ෆේස්බුක් එකෙන් ඉවත් වෙන්න වටින හේතු තව බොහෝ ගණනක් තියෙන්න පුළුවනි. ඔබට පුළුවනි පහතින් ඒ හේතු ගැන අපිවත් දැනුවත් කරන්න.

කවරයේ පින්තුරය: Digital Trends

Related Articles