බැලිස්ටික් මිසයිල තාක්ෂණය මගී ප්‍රවාහනයට යොදා ගන්න හදන SpaceX සමාගමේ BFR

මෑත කාලීනව අපිට අහන්න ලැබෙන බොහෝ දේවල් සුභවාදී ඒවා නෙවෙයි. ජාත්‍යන්තර පුවත් සේවා සියල්ලම වගේ කතා වෙන්නේ උතුරු කොරියාවයි ඇමරිකාවයි අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලේවිද කියන එක ගැන. උතුරු කොරියාව ඇමරිකාවට පහර දෙන්න පුළුවන් න්‍යෂ්ටික යුධ හිසක් සහිත බැලස්ටික් මිසයිලයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙනයි මෑත කාලීනව කරන සියලු පරීක්ෂණ කටයුතු කරන්නේ. මොන බාධාවක් ආවත් නතර නොකර ඒ අරමුණ ඉටු කර ගන්නා තුරු කැප වෙන්න ඔවුන් තීරණය කරගෙන ඉන්නේ ඇමරිකාව තමන්ගේ රට ආක්‍රමණය කිරීම වළක්වා ගන්නයි කියලා උතුරු කොරියාවේ නායකයා නිතරම ලෝකයට කියනවා.

හැබැයි ඉතින් ඒ වගේ තත්වයකදී ඇමරිකාවේ ආරක්ෂාව තහවුරු කරන්න වෙනත් ක්‍රමයක් නැති වුණොත් උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඇමරිකාවට සිදු වේවි කියලත් ඇමරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සභාවාරයේදීම අනතුරු හැඟවීමක් කළා. පැත්තක ඉඳලා මේවා අහගෙන ඉන්න අපිට අනාගතය ගැන බියක් ඇති වෙන එක සාධාරණයි.

මේ දෙන්නගේ කතා අහගෙන ඉන්නකොට අනාගතය ගැන බයක් ඇති වෙන එක සාධාරණයි. (trofire.com)

කොහොම නමුත් මේ කියන්න යන්නේ ඒ විදිහට ඇමරිකාවට පහර දෙන්න හදන බැලස්ටික් මිසයිල රට රටවල් අතර ඉතා වේගයෙන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්න හිතන තාක්ෂණයක් ගැනයි. දැනටමත් අභ්‍යාවකාශ තාක්ෂණයේ බොහෝ ජයග්‍රහණ ලබාගෙන ඇති SpaceX සමාගමේ මේ සැලසුම පසුගියදා එහි ප්‍රධානී ඊලෝන් මසක් මහතා ලෝකයට ඉදිරිපත් කළා.

බැලස්ටික් මිසයිලයක් කියන්නේ මොකක්ද?

(washingtonexaminer.com)

ඉතාම සරලව කිව්වොත් බැලස්ටික් මිසයිලයක් කියන්නේ අපි අවුරුද්දට පත්තු කරන අහස් කූරකට සමාන දෙයක්. ප්‍රමාණයට හා තාක්ෂණයට අමතරව එකම වෙනසකට තියෙන්නේ අහස් කූර ඉහළ අහසට ගිහින් ඉහළදීම පුපුරන එක සහ බැලස්ටික් මිසයිලයක් ආපසු ඇවිත් පොළවේ ගැටෙන්න ආසන්න වෙද්දී පුපුරන එකයි. බොහෝ මිසයිල දියත් කරලා මුල්ම කොටසේදී ගමන් මග යම් වෙනස් කිරීමකට ලක් කරන්න පුළුවන් වුණත් එතැනින් එහාට සම්පූර්ණයෙන්ම වැඩේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණය අතේම තමයි. ඉතා විශාල රොකට් ඉන්ධන ප්‍රමාණයක් දහනය කරලා සුවිසල් වේගයක් ලබා ගන්නා මිසයිලය “උඩ පැන්නොත් බිම වැටේ” නියමට අනුව ගොඩාක් ඉහළ ගිහින් ආපහු ඉලක්ක කරපු ස්ථානයට වැටිලා පුපුරන එක තමයි බොහොම සරලව කිව්වොත් සිදු වෙන දේ. බැලස්ටික් කියන වචනයේ අර්ථයත් ගුරුත්වාකර්ෂණය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන කියන එකයි.

ඔබට ඒ ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් අපි කලින් පළ කරපු මේ ලිපියෙන් එය ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන් වේවි. මේ වගේ මිසයිලයක තියෙන ප්‍රධාන වාසිය තමයි වෙනත් කොයි ක්‍රමයකටත් වඩා ඉතාම ඉක්මණින් ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් කම. ලෝකයේ එහා පැත්තේ තියෙන රටකට වුණත් විනාඩි 30 – 40 ක් ඇතුළත ළඟා වෙන්න මේවාට පුළුවන්. නමුත් ඒ හපන්කම කිසිම ගුවන්යානයකට කරන්න බැහැ.

ගුවන් යානයක් සහ බැලස්ටික් මිසයිලයක් අතර වෙනස්කම්

ඕනෑම ගුවන් යානයක් ගමන් කරන්නේ වායුගෝලය තුළයි. (all4desktop.com)

ලෝකයේ මෙතෙක් නිර්මාණය කරපු වැඩිම වේගයක් සහිත සාර්ථක මගී ගුවන්යානය වුණේ කොන්කෝඩ් යානයයි. (රුසියාවේ නිර්මාණය කරන ලද යානයකුත් කෙටි කලක් භාවිතයට ගෙන විවිධ ගැටළු නිසා නවතා දැමුණා) නමුත් ඒ යානයේ වේගය බැලස්ටික් මිසයිලයක වේගයෙන් අහලකවත් නැහැ. මේකට ප්‍රධාන හේතුවක් වුණේ ගුවන් යානය තනිකරම වායුගෝලය තුළ පියාසර කළ යුතු වෙන එකයි. වායු ප්‍රතිරෝධය නිසා කොයි තරම් බලවත් එන්ජින් හැදුවත් වේගය ඒ තරම් වැඩි කරගන්න අමාරුයි. එහෙම උත්සාහ කළත් වායු ප්‍රතිරෝධයෙන් හට ගන්නා ඝර්ෂණය නිසා ඇති වන උණුසුම කිසිම ලෝහයකට පැය ගණන් තිස්සේ දරා ගන්න බැහැ.

මේ නිසා බැලස්ටික් මිසයිලයක් වගේ වායුගෝලයෙන් එළියට ගිහින් ආපසු එන ගුවන් යානයක් හදන එක ගැන කාලයක සිට පර්යේෂණ පැවැත්වෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ බෝයිං සමාගම ඒ වගේ ගුවන් යානයක් නිර්මාණය කරන්න වෙහෙසක් ගන්නවා. කොහොම නමුත් ඒවා හැම එකක්ම සාමාන්‍ය ගුවන් යානයක් විදිහට ගුවන් පථයක් භාවිතයෙන් ගුවන් ගත කරලා වායුගෝලයෙන් පිටතට ගිහින් ආපසු එනකොටත් ගුවන් පථයකම ගොඩ බස්වන්න සැලසුම් කරපු ඒවා.

පොළොවට ලම්භකව ගුවන් ගත කරන්නත්, ගොඩ බස්වන්නත්, ඒ නිසාම මහ මුහුදේ ඕනෑම තැනකට ගෙන යා හැකි පීඨිකාවක් මත වුණත් ගොඩ බස්වන්න පුළුවන් ක්‍රමය බොහෝ දුරට SpaceX සමාගමේම නිර්මාණයක් කියන්න පුළුවන්. දැනටමත් ඔවුන් වාණිජ භාණ්ඩ අභ්‍යාවකාශයට ප්‍රවාහනය කරලා ඒ රොකට්ටු නැවත ගොඩ බස්වා ගන්න මේ තාක්ෂණය කිහිප වරක්ම සාර්ථකව භාවිත කරලා තියෙනවා.

අලුත්ම ප්‍රවාහන ක්‍රමය ක්‍රියාත්මක වෙන හැටි

(techcrunch.com)

SpaceX සමාගම ඊයේ (සැප්තැම්බර් 28) නිකුත් කළ වීඩියෝවකින් මේ තාක්ෂණය ගැන යම් හඳුන්වා දීමක් කළා. තවමත් වැඩි විස්තර කියලා නැතත් එය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන හැටි නම් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. BFR හෙවත් Big Falcon Rocket කියලා මෙය හැඳින්වෙන්නේ SpaceX සමාගමේ රොකට් සියල්ලටම වගේ යොදා ගන්නා Falcon කියන නම ආශ්‍රයෙන්. (කොහොම නමුත් විනෝදයට හරිම කැමති මේ සමාගමේ ප්‍රධානී ඊලෝන් මස්ක් මහතා එය කැමති නම් අවවහරක් අනුව Big F*cking Rocket කියා හඳුන්වන්න පුළුවන් කියලත් ඉඟි කරලා තියෙනවා. ඔහුගේම Tesla සමාගමේ මෝටර් රථ තුනේ නම් S, 3, X කියා යෙදුවේ SEX කියන වචනය ඇති වෙන විදිහට කියලත් කතාවක් තියෙනවා.)

මේ අකුරු ඉලක්කම් තුන යෙදුවේ නිකන්ම වෙන්න පුළුවන්ද? (artstation.com)

දැනට SpaceX සමාගමේ රොකට් බොහොමයකට බාහිරින් සවි කරන බූස්ටර් පාවිච්චි වුණත් ඔහුට අනුව BFR එක සම්පූර්ණයෙන්ම නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් අභ්‍යාවකාශයේදී එයට ඉන්ධන පුරවන්න වුණත් හැකියාව තියෙනවාලු. අභ්‍යාවකාශයේ තිබෙන, පෘථිවිය වටේ පරිභ්‍රමණය වන ඉන්ධන ටැංකි අනාගත අභ්‍යාවකාශ ගමන්වලට අත්‍යාවශ්‍ය දෙයක් වන බව ඊලෝන් මස්ක් මහතා දැනටමත් පෙන්වා දීලා තියෙනවා. පෘථිවියට ගොඩ බැහැලා ආපසු එන්න ඉන්ධන නාස්ති කරන එක ඇත්තටම හරිම අලාභාදායී වැඩක්.

සාමාන්‍ය විදිහටම පොළොවට ලම්භකව ස්ථානගත කරලා තියෙන මේ රොකට්ටුවට කැමති අයට සාමාන්‍ය ගුවන් යානයකට වගේම මුදල් ගෙවලා ඇතුළු වෙන්න පුළුවන්. ඉන් පස්සේ එය බැලස්ටික් මිසයිලයක් වගේම විනාඩි කිහිපයක් තුළ විශාල ඉන්ධන ප්‍රමාණයක් දහනය කරලා අධික වේගයක් ලබා ගනිමින් වායුගෝලයෙන් ඉවතට යනවා. එහිදී නැවත ගොඩ බසින ඉලක්කය තෙක් ඈතට විසි කරපු ගලක් උඩ ගිහින් බිම වැටෙන ආකාරයටම ගුරුත්වාකර්ෂණය පදනම් කරගෙන ගමන් කරනවා. මේ කොටසේදී ගමන් කරන්නේ එතෙක් ලබා ගත්තු වේගය හේතුවෙන් නිසා ඉන්ධන පාවිච්චියක් අවශ්‍ය වෙන්නේ නැහැ. කැමති නම් යන අතරමග අභ්‍යාවකාශයේ ගමන් කරමින් තියෙන ඉන්ධන ගබඩාවකට සම්බන්ධ වෙලා ඉන්ධනත් ලබා ගෙන ආපසු අවශ්‍ය ස්ථානය වෙතටත් පොළොවට ලම්භකව ගොඩ බසිනවා. ගුවන් තොටුපළකට සාපේක්ෂව මේ රොකට්ටුවට ගොඩ බසින්න අවශ්‍ය වෙන්නේ ඉතාම සුළු ඉඩ ප්‍රමාණයක්.

BFR හි ගෙන යා හැකි බර A380 මගී ගුවන් යානයක ගෙන යා හැකි බරටත් වඩා සෑහෙන්න වැඩියි. (runwaygirlnetwork.com)

 ලොව විශාලතම මගී ගුවන් යානය වන A380 යානයේ ගෙන යා හැකි උපරිම බර ටොන් 90 ක සීමාවේ තිබුණත් BFR එකේ ටොන් 150ක් ගෙන යාමේ හැකියාව තියෙනවා. මීට අමතරව පැයට කිලෝමීටර් 18000ක පමණ වේගයකින් ගමන් කරන නිසා අද ක්‍රියාත්මක වෙන දිගුම ගුවන් ගමන් සියල්ලම වගේ පැයකට අඩු කාලයක් තුළ සිදු කරන්නත් BFR සමත්.

වේගයෙන් තැනකින් තැනකට යන්න වගේම භාණ්ඩ අභ්‍යවකාශ ගත කරන්න, චන්ද්‍රිකා කක්ෂගත කරන්න, අභ්‍යවකාශ යානාවලට ඉන්ධන පුරවන්න ඇතුළු අභ්‍යවකාශ යුගයේ තවත් බොහෝ දේවල්වලටත් BFR යොදාගන්න පුළුවන්.

ජය ගන්න තියෙන අපහසුතා.

රොකට් තාක්ෂණය බොහොම අපූරු දෙයක් වුණත් අනිත් බොහෝමයක් නව තාක්ෂණයන් වගේම එයත් මිලෙන් ඉතාම අධිකයි. මේ නිසා ඒ වගේ ගමනක් යන්න වියදම් කරන්න හැකියාව තියෙන්නේ ඉතාම සුළු පිරිසකට වෙන්න පුළුවන්. ටොන් 150ක් ගෙන යා හැකි යානයක ඉතාම පහසුවෙන් මිනිසුන් 1000 කට 1500 කට යන්න පුළුවන් කම තිබුණත් ඒ තරම් ප්‍රමාණයක් සොයා ගන්න පුළුවන් වෙයිද කියන එක යම් ගැටළුවක් තියෙනවා.

කොහොම වුණත් මුදල් යහමින් තියෙන, සියල්ලටම වඩා කාලය වටින ඉහළ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුට මේ ක්‍රමය ලොකු පහසුවක් වේවි. අනාගතයේ ඇමරිකාව සහ චීනය අතර ව්‍යාපාරික කටයුතු විශාල වශයෙන් දියුණු වෙන්න නියමිත නිසා මේ රටවල් අතර ලොකු මුදලක් වැය කරලා හරි පැයකින් යන්න එන්න පුළුවන් නම් කැමති වෙන ඉහළ ව්‍යාපාරිකයන් ඕනෑ තරම් ඉඳීවි. දැනටමත් කාලයේ වටිනාකම නිසා පෞද්ගලික ගුවන් යානා පවා තියාගෙන ඉන්න පිරිසට මේ වියදම දරලා කාලය ඉතිරි කරගන්නා එක ඉතාම ප්‍රතිඵලදායක වේවි. ඒ වගේම මුල් කාලයේදී මේකට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කරන්න විශාල වියදමක් යන නිසා ටිකට්වල මිල අධික වුණත් පසුකාලීනව ඇත්තටම මේ සඳහා දහනය කරන්න අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අඩු නිසා යන වියදම දැන් පවතින ගුවන්ගමනක තරමටම අඩු වේවි කියලත් මස්ක් මහතා විශ්වාස කරනවා.

පණ පිටින් ආපහු එන්න පුළුවන් වේවිද? (chicagotribune.com)

මීට අමතරව ආරක්ෂාව ගැනත් යම් යම් ගැටළු තියෙනවා. තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන තාක්ෂණයන් නිසා ගුවන් ඉතිහාසයේ මුල් කාලයේ වගේම මෙහිත් මුල් කාලයේ යම් යම් අනතුරු වෙන්න ඉඩක් තියෙනවා. ඊට අමතරව මෙය සැබෑවටම එළි දක්වන්න තව කොයි තරම් කල් යයිද කියන එක ගැනත් සමහරු සැක පළ කරනවා.

මේ හැම දේම එක්ක වුණත් ඊලෝන් මස්ක් කියන්නේ බොහෝ දෙනා කරන්න බෑ කියපු දේවල් කරලා පෙන්නපු කෙනෙක් බවත් හොඳින් මතක තබා ගන්න අවශ්‍යයි. මීට අවුරුදු 5 කට 10 කට කලින් වුණත් ලෝකයේ හොඳම ස්පෝට් කාර් සියල්ල පරදවන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාර් එකක් හදාවි කියන කතාව, පෞද්ගලික සමාගමකට අභ්‍යාවකාශ ගමන් සිදු කරන්න පුළුවන් එක වගේ දේවල් හීන විතරක් කියලයි වැඩි දෙනෙක් හිතුවේ. නමුත් එය ඔහු කරලා පෙන්වලා තියෙනවා. මේ නිසා ඔහු කියන දේවල් සාමාන්‍ය කෙනෙක් කියන දේවල්වලට වඩා තරමක් බරපතල විදිහට සැලකිල්ලට ගන්න අවශ්‍යයි කියන එක තමයි අපේ නම් අදහස.

ඊලෝන් මස්ක් කියන දේවල් සම්පූර්ණයෙන්ම අහක දාන්නත් බැහැ. (youtube.com)

අවසානයේදී මෙය හිතන තරමටම සාර්ථක නොවුණත් කෝටි ගණන් මිනිසුන් නසන්න හදන බැලස්ටික් මිසයිල තාක්ෂණය සාමකාමී දේකට යොමු කිරීමේ ගෞරවය හෝ SpaceX සමාගමට හිමි වේවි.

කවරයේ රූපය: reddit.com

Related Articles