බ්‍රවුසරයක් නැතිව ඉන්ටර්නෙට් යන්න හැකි බව දැන සිටියාද?

බොහෝ දෙනෙක් මයික්‍රොසොෆ්ට් සමාගමේ Internet Explorer සහ නූතන Edgeහි වටිනාකම සිහි කරමින් කියන්නේ එය නොතිබුණා නම් කිසි දිනෙකවත් වෙබ් බ්‍රවුසරයක් බාගත කරගන්නට නොහැකි බවයි. එනමුත් ඔබට Command prompt එක තිබීමෙන්ම පමණක් අන්තර්ජාලයට පිවිසෙන්නට හැකියි. ඔෆිස් පරිගණකයේ පණවන ලද සීමාවන් ආදී විවිධ හේතු නිසා බ්‍රවුසරය භාවිත කරන්නට නොහැකිව සිටිනවා නම් මේ ලිපිය ඔබට බෙහෙවින් වැදගත් වේවි.

බ්‍රවුසරයක් නැතිව ඉන්ටර්නෙට් යන්නේ ඇයි?

Thambaru/Roar

ඉන්ටර්නෙට් යන්නට නම් බ්‍රවුසරයක් අත්‍යාවශ්‍යයි කියලා හිතුණාට වෙබ් සර්වරයක තිබෙන ගොනුවක් කියවන්නට හුදෙක් එහි විවෘත කර ඇති port එකෙන්, බහුතරයේ port 80 හරහා HTTP ප්‍රොටෝකෝලයෙන් සබැඳීම පමණක් ප්‍රමාණවත් වෙනවා. සරලව කිව්වොත් බ්‍රවුසරයක් විසින් කරන කාර්යය අපිට command line සහ වෙනත් ක්‍රම හරහා කළ හැකියි. නමුත් මෙසේ කරන්නට හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්.

මෘදුකාංගයේ අන්තර්ජාලය අවුරා තිබීම

ඔෆිස් එකේ IT එක පරිගණකයේ ෆයර්වෝලය හරහා වෙබ් ගවේෂක මෘදුකාංගය බ්ලොක් කර තිබෙනවා නම් ඔබට වෙනත් ක්‍රම හරහා අන්තර්ජාලයට පිවිසෙන්නට පුළුවන්. බ්‍රවුසරයෙන් අන්තර්ජාලයට පිවිසෙන්නට නොහැකි වූවත් Outlook හෝ ThunderBird හරහා ඊමේල් බලන්නට හැකියාව ඇත්නම්, සහ වින්ඩෝස් අප්ඩේට් වෙනවා නම්, ඒ ප්‍රොක්සියක් නොමැතිව හුදෙක් බ්‍රවුසර් මෘදුකාංගය අවුරා තිබෙන නිසා විය හැකියි. මෙවන් තත්ත්වයක දී ඔබට අන්තර්ජාල පහසුකම අත්විඳින්නට අවස්ථාව තිබෙනවා. මෘදුකාංග ස්ථාපනය කිරීමේ අවසර තිබෙනවා නම් වෙනත් බ්‍රවුසරයක් බාගත කරගෙන ස්ථාපනය කරගත්තාට පසු එයින් සාමාන්‍ය ආකාරයට අන්තර්ජාලයට යන්නටත් පුළුවන්.

සබඳතා වේගය අවම වීම

netdna-cdn.com

ඔබේ අන්තර්ජාල වේගය ඉතාමත් අඩු අගයක තිබෙනවා නම් පින්තූර සහිත වෙබ් අඩවියකට පිවිසීම හිසරදය දනවන්නක් විය හැකියි. ඔබේ අවශ්‍යතාව අකුරු පමණක් කියැවීම නම් බ්‍රවුසරයෙන් පිවිසී කරදර වෙන්නට අවශ්‍ය නැහැ. සාමාන්‍ය සෙවුමක් කරගන්නට command line හරහා පුළුවන්. එහිදී භාවිත වන්නේ හුදෙක් අකුරු පමණක් නිසා වෙබ් අඩවියක් load වෙන්නට වැඩි කාලයක් ගත වන්නේ නැහැ.

ආරක්ෂාව

පරිගණකයට වෛරස් එකක් පැමිණ බ්‍ර‍වුසරයට හානි සිදු කළහොත් ඔබට අන්තර්ජාලයට පිවිසීමට ක්‍ර‍මයක් නැති වෙන්නට පුළුවන්. එවිට අඩු තරමේ ඒ වෛරසය ඉවත් කරගන්නේ කෙසේදැයි ගූග්ල් කරන්නටවත් හැකියාවක් නොමැති නිසා බ්‍රවුසරයක් නොමැතිව අන්තර්ජාලයට පිවිසීමේ ක්‍ර‍මයක් දැන සිටීම බොහොම වැදගත් වෙනවා.

අන්තර්ජාලයට පිවිසෙන්න වෙනත් ක්‍රම

වින්ඩෝස්හි Microsoft Store ඇප් ගබඩාව (Thambaru/Roar)

වෙබ් ගවේෂක මෘදුකාංගය භාවිත කරන්නට නොහැකි අවස්ථාවකදී වෙනත් වෙබ් clients හරහා අන්තර්ජාලයට පිවිසීමේ අවස්ථාව තිබෙනවා. මේ සඳහා මෙහෙයුම් පද්ධතියේ තිබෙන package manager එක හෝ store එක භාවිත කරන්නට පුළුවන්. ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල මෙය Software Center, Package Manager (apt, rpm) ආදී නම් වලින් හැඳින්වෙන අතර එය වින්ඩෝස් 10හිදී Microsoft Store ලෙසත්, ඇපල් මැක් පරිගණකවල App Store ලෙසත් දකින්නට ලැබෙනවා. මේවා වෙත පිවිස ඉන් Facebook, Instagram, Twitter, Skype ආදී ඔබ භාවිත කරන සමාජ ජාල සේවා මෙන්ම ඊමේල් බැලිය හැකි clients ද බාගත කරගෙන ඒ හරහා අන්තර්ජාල සේවාවන්ට පිවිසෙන්න පුළුවන්.

පුවත් වෙබ් අඩවි කියැවීම ප්‍රිය කරනවා නම් RSS feed හෙවත් පුවත් පෝෂක සේවාවන් ලබා දෙන මෘදුකාංගයක් Store එකෙන් ලබාගෙන පරිගණකයේ ස්ථාපනය කරගත හැකියි. පරිගණක ක්‍රීඩා පවා අන්තර්ජාලය හරහා ක්‍රීඩා කළ හැකි ඒවා එහි අඩංගු වන අතර, දුරකථනයට ඇප් install කරන ආකාරයටම ඒ සියල්ලම පරිගණකයේ ද කරන්නට පුළුවන්.

Command Line බ්‍රවුසරයක්

Lynxහි කරන ලද ගූග්ල් සෙවුමක් (Thambaru/Roar)

වෙබ් අඩවියක් රූප රහිතව බැලීමට අවශ්‍ය නම් ඒ සඳහා command line මත ධාවනය වන බ්‍රවුසරයක් භාවිත කළ හැකියි. මේ සඳහා වූ හොඳම මෘදුකාංගය වන්නේ මෙගාබයිට් 1කටත් වඩා අඩු ප්‍රමාණයකින් යුත් වින්ඩෝස් සඳහා මෙන්ම ලිනක්ස් සහ මැක් යන ප්‍රධාන පරිගණක මෙහෙයුම් පද්ධති තුන සඳහාම නිපදවා ඇති Lynx බ්‍රවුසරයයි. වින්ඩෝස් සඳහා එම zip ගොනුව වෙනත් පරිගණකයකින් හෝ දුරකථනයෙන් බාගත කරගෙන එහි ඇති lynx.exe ෆයිල් එක අවශ්‍ය පරිගණකයේ දී විවෘත කිරීමෙන් එහි මුල් පිටුව වන Google වෙත පිවිසෙන්නට පුළුවන්. උබුන්ටු සඳහා sudo apt install lynx යන විධානය terminal එකේ ධාවනය කොට ස්ථාපනය කරගත හැකියි.

මෙය වෙබ් අඩවිවලට පිවිසීමේ දී එහි කුකීස් අපි පිළිගන්නවාදැයි විමසනවා. ඒ සඳහා Always යන්න සඳහා A යතුර ටයිප් කරන්න. එවිට ඉදිරියට යමින් වෙබ් අඩවිය load වන්නට පටන් ගන්නවා. පෙරනිමි Home page එක වන Google සෙවුම් යන්ත්‍රය මින් විවෘත වන අතර ඔබට වෙනත් වෙබ් අඩවියකට වෙබ් ලිපිනය ටයිප් කොට පිවිසීමට අවශ්‍ය නම් Shift + G කෙටිමඟ භාවිත කළ හැකියි. Left arrow එකෙන් පෙර පිටුවටත්, Up සහ Down arrows වලින් ලින්ක්, textbox තෝරන්නටත්, Right Arrow එකෙන් එම ලින්ක් එකකට පිවිසීමටත් පුළුවන්. නමුත් Lynxහි ඇතැම් වෙළුම්වල https පමණක් ඇති වෙබ් අඩවිවලට නම් සහාය දක්වන්නේ නැහැ.

ඡායාරූප රහිත වෙබ් අත්දැකීමක් විඳීමට Lynx, WebbIE වැනි බ්‍රවුසර් උචිත වූවත් ඔබට වෙනත් බ්‍රවුසරයක් Store එක හරහාම බාගත කර ගත හැකි නිසා එවන් විසඳුමකට යා හැකියි. UC Browser වැනි ඒවා Windows Store එකෙහි දකින්නට ලැබෙනවා.

කවරයේ ඡායාරූපය: pixabay.com

Related Articles