Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Facebook ඇති වගේ නම් Instagram පැත්තට හැරෙන්න බලමුද?

Social Media, එහෙමත් නැතිනම් සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට අපේ රටේ අයට නම් මතක් වෙන්නේම Facebook තමයි. වෙන එකක් තියා Face සහ Book කියන දෙක එකතු කරලා අපේ අය “මුහුණු පොත” කියලා නමකුත් දාගෙන ඉවරයි. ඒ විතරක්ද, ඉස්සර “බුකිය” කිව්වේ රේස්වලට ඔට්ටු දාන්න යන තැනට වුණත් අද වෙනකොට ඒ නමත් Facebook එකටම සින්න වෙලා ඉවරයි. ටික කාලෙකට ඉහත ඉඳලා හැම ෆෝන් එකකම වගේ සිංහල දෙමළ අකුරු පේන්න ගැනීමත්, හෙළකුරු වගේ පහසුවෙන් භාවිතයට ගන්න පුළුවන් කීබෝඩ් ඇප් බිහි වීමත් එක්ක අද වෙනකොට ශ්‍රී ලංකාවේ අති බහුතරයක් දෙනා තමන්ගේ මව් භාෂාවෙන්ම Facebook එකේ කටයුතු කරන්න පෙළඹිලා තියෙනවා.

කොහොම නමුත් හැම පැත්තටම පුළුල් වුණු Facebook වෙනුවට එක දෙයක් හරියට කරන Instagram එක ටික කාලෙකට කලින් ලෝකය පුරාම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. Facebook ආයතනයේම පාලනය යටතේ තිබුණත් Instagram එක ඇත්තටම අලුත් විකල්ප සමාජ මාධ්‍යයක් විදිහට දැන් කරළියට එන්න පටන් අරන්. මේ තත්වය ලෝකය පුරා කලින්ම සිදු වුණත් අද වෙනකොට ශ්‍රී ලංකාව තුළත් Instagram වලට මාරු වීමේ ප්‍රවණතාවය ඉහළින්ම දකින්න ලැබෙනවා.

මේ තත්වය උඩ Instagram වලට මාරු වෙන එකේ හොඳ නරක කතා කරන්න අපි හිතුවා. මේ ලිපිය ඔබට තීරණයක් ගන්න හොඳ උදව්වක් වේවි කියලා අපි විශ්වාස කරනවා.

Facebook යන්නේ ඇයි?

timeincuk.net

අද කාලේ Facebook යන එකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ලැබෙනවාද කියලා ටිකක් හිතලා බලන්න කාලය ඇවිත්. කාලය කා දැමීම වගේ හැම දේටම වලංගු කාරණාවලට එහා ගිහින් මේ කියන්නේ ටිකක් ගැඹුරින් හිතලා බලන්න අවශ්‍ය දෙයක්. හැමෝම තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, මතවාද ප්‍රකාශ කරන්න එන්නේ Facebook එකට. ප්‍රචාරයක් ලබා ගන්න අවශ්‍ය නිසා හිතා මතාම බොරු දේවල්, නොමග යවන දේවල්, අපහාස, තේරුමක් නැති දේවල් ආදී හැම ජාතියෙන්ම පිරුණු කුණු ගොඩක් බවට Facebook එක පත් වෙලා කියන එක අතිශයෝක්තියක් නෙවෙයි. යාළුවො තමන්ව දාන එක එක group වල කට්ටිය සංවාදයේ යෙදෙන විදිහ දැක්කාම ඇත්තටම අපිට වැදගත් දෙයක් ලැබෙනවාද කියන එක ලොකු ප්‍රශ්නයක් නේද?

ඉස්සර කාලේ යාළුවො හඳුනා ගන්න, ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න වගේ විවිධ දේවල් මුල් කරගෙන Facebook ආවත් අද ඒ දේවල්වලට තියෙන හොඳම ක්‍රමය Facebook ම ද කියන එක හොඳ ප්‍රශ්නයක්. Roar ඇතුළු වගකීමක් සහිතව Facebook භාවිත කරන ආයතන ගණනාවක් තිබුණත් අති බහුතරයක් දකින්න ලැබෙන්නේ කාටවත් වැඩක් නැති වල්පල් බව මම හිතන්නේ ඕනෑම කෙනෙක් පිළිගනීවි.

ඉතින් අපිට Facebook වලින් කරන්න තියෙන ප්‍රයෝජනවත් දේවල් කරන්න පුළුවන් මාධ්‍යයකට මාරු වෙන්න පොඩි උත්සාහයක් හරි අරගෙන බලන එක හොඳයි නේද?

Instagram  කියන්නේ මොකක්ද?

imore.com

අපේ Roar ටෙක් පාඨකයන් වැඩි දෙනෙක් Instagram  ගැන දැනගෙන ඉන්න ඉඩ තියෙන නිසා දීර්ඝ විස්තරයක් අවශ්‍ය නැහැ. Instagram කියන්නේ මූලික වශයෙන්ම ඡායාරූප, නැතිනම් photo අප්ලෝඩ් කරන්න ආපු සේවාවක්. Facebook බොහෝ දුරට වෙබ් අඩවියක් විදිහට ක්‍රියාත්මක වුණත් Instagram බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ ඇප් එක ආශ්‍රිතවයි. ආරම්භය කුඩා වුණත් Facebook ආයතනයෙන් මිලට ගැනීමෙන් පසුව Instagram ඉතා වේගයෙන් පුළුල් වෙන්න පටන් ගත්තා.

මෑත කාලීනව Instagram වලට අලුත් විශේෂාංග විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. කොහොම නමුත් ක්‍රියාකාරීත්වය අතින් හරිම සරල වීම නිසාත්, ඇත්තටම මුල් කාලයේ Facebook වගේම මුහුණේ ඡායාරූප දාන්න වැඩි ප්‍රවණතාවක් නිසාත් අද කාලයේ නමේ තේරුමෙන් ගත්තාම ඇත්තටම Instagram වලට Facebook කියන නම වඩා ගැළපෙනවාද කියලත් හිතෙනවා. අනිත් අතට Facebook කියන්නේ මොකක්ද, ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා ඇහුවාම නම් එක පාරටම දෙන්න උත්තරයක්වත් මතක් වෙන්නේ නැති තරම්.

“රූපයක් වචන දහසක දේ කියයි” කියන එක හොඳින්ම දකින්න ලැබෙන දෙයක් තමයි Instagram.

Instagram ඔබට ගැළපෙනවාද?

gadgethacks.com

කලිනුත් කිව්වා වගේ Instagram කියන්නේ ෆොටෝ සහ දැන් නම් වීඩියෝ වුණත් අප්ලෝඩ් කරන්න හැකි සේවාවක්. ඉතාම පහසුවෙන් විවිධ filters ඇතුළුව එක එක අංගෝපාංග එකතු කරලා, ලස්සන කරලා ෆොටෝ දාන්න තියෙන හැකියාව නිසාම සාමාන්‍යයෙන් ලොකු ආකර්ෂණයක් නොලැබෙන කෙනෙකුට වුණත් ආකර්ෂණීයව පෙනී ඉන්න මේක හොඳ අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, මතවාද සහ විවිධ අදහස් ප්‍රකාශ කිරීම්, සංවාදවලින් එහාට ගිය “කී බෝඩ් වලි” දැකලාම එපා වෙලා නම් Facebook වෙනුවට හොඳ විකල්පයක් වෙන්නත් Instagram එකට හැකියාව තියෙනවා.

අනිත් අතට Facebook එකේ වගේ තමන්ගේ පෞද්ගලික විස්තර මහා ගොඩක් දාන්න අවශ්‍ය නොවෙන එකත් යම් වෙනසක් කියන්න පුළුවන්. Facebook එකේ නිතරම අරක දාන්න, මේක දාන්න කියලා එන මතක් කිරීම් Instagram වල නැහැ. ඔබ ගැන කෙටි හැඳින්වීමක් අවශ්‍ය නම් දාන එක හොඳටම ප්‍රමාණවත්. අවශ්‍ය අයට බලා ගන්න දාන ෆොටෝවලින් එයාලාටම කැමති දෙයක් හිතා ගන්න පුළුවන්.

තවත් මතක තියා ගන්න අවශ්‍යම දෙයක් තමයි Data සහ බැටරි බලය වැය වීම. විශේෂයෙන්ම video පැත්තට වැඩි සැළකිල්ලක් දක්වන නිසා Instagram හි ගත කරන කාලයේදී සැළකිය යුතු data සහ බැටරි බලය වැය වීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් Facebook භාවිතයට සාපේක්ෂව (විශේෂයෙන්ම ඔබ Lite වැඩිපුර භාවිත කරනවා නම්) Instagram වලින් හොඳ අත්දැකීමක් ලබා ගන්න නම් ෆෝන් එකේ තිබිය යුතු විශේෂාංගත් තරමක් ඉහළයි.

Instagram වඩාත්ම හොඳින් ගැළපෙන්නේ ප්‍රදර්ශනාත්මක අයට බව තමයි කියවෙන්නේ. තමන් කරන කියන දේවල් ගැන නිතරම ෆොටෝස් සහ වීඩියෝස් දාන එක වැදගත් විය හැකි අයට නම් Instagram විශාල පිටිවහළක්. විශේෂයෙන්ම තමන් යම් අංශයකින් ජනප්‍රිය වෙන්න කැමති කෙනෙක් නම් (උදා : රංගනය, නිරූපණය වගේ රැකියාවන් කරන අයට, තමන්ගේ දක්ෂතා, පෙනුම, විවිධ පුද්ගලික හැකියාවන් වගේ දේවල් ප්‍රදර්ශනය කරන්න කැමති අයට) එයටත් Instagram හොඳ පීඨිකාවක් වෙනවා.

Roar සිංහල follow කරන්න (instagram.com/roar.sinhala)

අපිට මේ ලිපියෙන් කරන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ ගැන යම් සංවාදයක් ඇති කරන්නයි. ඒ නිසා ඔබේ අදහස් අපිට කියන්නත් අමතක කරන්න එපා. ඔබ මෙතෙක් Instagram ගිණුමක් හදාගෙන නැතිනම් අදාළ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. බොහෝ විට ඔබ එයට කැමති වේවි. Facebook හරහා ඔබට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ වගේ හැඟෙනවා නම් සමහර විට එය Instagram තුළින් සොයා ගන්න ඉඩ ලැබේවි.

ඒ වගේම Roar අපිත් Instagram හරහා ඉදිරි කාලයේ බොහෝ දේවල් කරන්න ඉන්නා බවත් ඔබට මතක් කළ යුතුමයි. මේ නිසා Instagram හරහා Roar සිංහල වෙබ් අඩවිය follow කරන්නත් අමතක කරන්න එපා. දැනටමත් ඔබ වෙනුවෙන් එහි අපි නිර්මාණය කළ බොහෝ වැදගත් දේ අන්තර්ගතයි. ඉතින් ඒ හරහාත් අපිත් එක්ක එකතු වෙන්න, සැබෑ වැදගත්කමක් ඇති දේවල් දකින්න එකතු වෙන්න කියලා ඔබට ආරාධනාවකුත් කරනවා. Facebook දැනටමත් ගොඩ ගන්න බැහැ කියලා හිතෙනවා නම් Instagram අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න මේක හොඳ අවස්ථාවක් වේවි.

කවරයේ රූපය : abcnews.go.com

Related Articles