තලේබාන් අන්තවාදයට සමාජ මාධ්‍ය-ජාලා ප්‍රතිප්‍රහාරයක්!

ලෝකය ම මේ වන විට නෙත් යොමා සිටින්නේ ඇෆ්ගනිස්තානය දෙසටයි. ඒ වසර 20කට පසු ව තලේබාන් සටන්කාමීන්  ඇෆ්ගනිස්තානය නැවත යටත් කර ගැනීමට සමත්වීම නිසාවෙනුයි. ඇෆ්ගනිස්තානය යටත් කරගත් තලේබාන්වරුන්ට Facebook, TikTok ඇතුළු සමාජ මාධ්‍ය වාරණයක් පනවන්නට කටයුතු කර තිබෙනවා. මින් ඉදිරියට Facebook, Instagram, TikTok ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවකින් තලේබාන් සංවිධානයට කිසිදු ආකාරයකට තොරතුරු share කරගැනීමට හැකි වෙන්නේ නැහැ.

පසුගිය අගෝස්තු 15 වැනිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර බලය තහවුරු කරගැනීමට තලේබාන් සටන්කාමීන් සමත් වුණා. ඒ සමඟ ම එ්වන විට ඇෆ්ගනිස්තානයේ ජනාධිපතිවරයා ව සිටි අෂ්රෆ් ගානී සිය ධූරයෙන් ඉවත් වී රටෙන් ඉවත් වීමට කටයුතු කර තිබුණා. මෙලෙසින් රටින් පිටවන අෂ්රෆ් ගානී මුදල් පිර වූ හෙලිකොප්ටරයක් සහ මෝටර් රථ කිහිපයක් තමා සමඟ ගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගත් තලේබාන් සටන්කාමීහු – independent.co.uk 

වසර ගණනාවක් තිස්සේ සිදුවූ යුද ගැටුම් නිමා කළ මෙම දැඩි මතධාරීන් කෙළිදෙලෙන් ඇෆ්ගනිස්ථානය පුරා ගමන් ගන්නා අයුරු සහ විවිධාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන අයුරු සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති කරන්නට සමත් වුණා. අන්තර්ජාතික නීති යටතේ අන්තවාදී සහ ත්‍රස්‌තවාදී සංවිධායක් ලෙස නම් දරා සිටින තලේබාන්වරුන්ට තවදුරටත් තම මතවාද ව්‍යාප්ත කරන්නට වට බඳින්න Facebook ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් කටයුතු කළා.

ත්‍රස්තවාදයට එරෙහි ව Facebook

Facebook සමාජ ජාලය කියන්නේ බොහෝ විට තමන්ගේ Community Standards පිළිබඳ ව ඉතා තදින් කටයතු කරන ආයතනයක් ලෙස හඳුවන්නට පුළුවන්. ඇෆ්ගනිස්තානයේ මේ කලබැගෑනිය සමඟ මේ පිළිබඳ ව Facebook සමාජ ජාලයේ නියෝජිතයකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයන් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, තලේබාන් සංවිධානය එක්සත් ජනපද නීති සහ ජාත්‍යන්තර නීති යටතේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන නිසා Facebook සමාගම අනුගමනය කරන අන්තරායකර සංවිධාන සම්බන්ධ නීතිරීතිවලට අනුව මින් ඉදිරියට ඔවුන්ට සහයෝගය දක්වා පළ කෙරෙන දෑ දැඩි ලෙස නියාමනයට කටයුතු කරන බවයි.

Facebook සමාගම සතුව පවතින Instagram සහ Whatsapp තුළිනුත් තලේබාන්වරුන් වෙත සහයෝගය පළ කෙරෙන කිසිවක් හුවමාරු කිරීමට ඉඩනොලැබෙන බවත් ඔහු සඳහන් කර තිබුණා.

ත්‍රස්තවාදයට එරෙහි ව Facebook – fastcompany.com 

ත්‍රස්‌තවාදය මැඬලීමට ක්‍රියාමාර්ග ගැනීම

නියාමන කටයුත්ත සඳහා, විශේෂයෙන් ම Dari සහ Pashto භාෂා පිළිබඳ සහ Content පිළිබඳ මනා අවබෝධයක් සහිත ස්වදේශිකයන් කණ්ඩායමක් Facebook සමාගම විශේෂයෙන් තෝරා ගෙන තිබෙන බවත් Facebook නියෝජිතයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. පසුගිය ආසන්නත ම සිද්ධි ජාලය ඇතිවීමට වසර 10ක ට පමණ පෙර ත්‍රස්‌තවාදය මැඬලීමට තම සමාගම මෙම ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ අනුව තලේබාන් සංවිධානය හෝ ඔවුන් වෙනුවෙන් නඩත්තු කරන හා පවත්වාගෙන යන  ගිණුම්, Pages, Groups සියල්ල ඉවත් කෙරෙන අතර ඔවුන් වෙත සහයෝගය පළ කරන සහ ඔවුන් ප්‍රශංසා කරන්නන්ටත් මේ ඉරණමට මුහුණ දීමට සිදු වන බවයි ඔහු කියා සිටින්නේ. සහයෝගය පළ කරන්නේ කවරෙක් වුවත් කොතරම් ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ අයකු වුවත්, සමාජයේ කුමන තනතුරක් දරුවත් ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බව ඔහු දැඩි අවධාරණයෙන් සඳහන් කර තිබෙනවා. 

 සමාජ ජාලා සහ ගිනි ජාලා – scientificamerican.com

තලේබාන්වරුන් TikTok කරලා හමාරයි

මසකට සක්‍රීය පරිශීලක ගිණුම් බිලියන 1.1 පමණ හිමි ලොව විශාලත ම සහ ජනප්‍රියත ම සමාජ ජාලයක් වන TikTok සමාගමත් ත්‍රස්‌තවාදය සහ අන්තවාදී  දේ පැතිරවීමට එරෙහිව කටයුතු කරන ප්‍රධානත ම සමාගමක් ලෙස හඳුන්වන්නට පුළුවන්.  තලේබාන්වරුන් වෙත සහාය පළ කරමින් සිදු කෙරෙන සියලු Videos තම platform එකෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව TikTok සමාගමේ නියෝජිතයකු cnbc.com වෙත ප්‍රකාශ කර තිබුණා.  කෙසේ වෙතත් තවමත් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් TikTok වෙතින් හෝ එහි මව් සමාගම ByteDance සමාගම වෙතින් කිසිදු මාධ්‍යයක් වෙත මේ ගැන නිකුත් කර නැහැ. 

Whatsapp වෙතින් තලේබාන් තහනම් කරන්නේ කොහොමද?

2014 වර්ෂයේ Whatsapp සිය අණසකට යටත් කර ගැනීමෙන් පසු ව Facebook සමාගමට එහි ආරක්ෂාව සහ පරිශීලකයාගේ පෞද්ගලිකත්වය රැකගැනීමට බොහෝ දේ කරන්නට වුණා. Facebook සමාගම Whatsapp හරහා පරිශීලකයන් අතර සිදු වන කතා බහා කිසිම අන්දමකින් තමා ඇතුළු කිසිදු තෙවන පාර්ශවයකට කියවිය නොහැකි බවට උදම් අනන්නේ ඒ සතුව ඇති End-to-end encryption තාක්ෂණය නිසායි. මේ උද්ගත වී ඇති තත්වයට Facebook දක්වන දැඩි ප්‍රතිපත්තිය whatsapp වෙත ආදේශ කරන්නේ කොහොමද කියලා ලෝකයක් මේ වෙද්දී බලාගෙන ඉන්නවා.  Facebook සමාගම කියන්නේ පරිශීලක දත්ත අනිසි ලෙස භාවිත කරලා විශාල වශයෙන් ගැටලුවලට මුහුණ දුන්නු කුප්‍රකට සමාගමක් බව ඔබත් මාත් දන්නවා. 

End-to-end encryption තාක්ෂණය නිසා තලේබාන්වරුන් Whatsapp භාවිතය නවතන්නේ කෙසේද? –  indianexpress.com 

පරිශීලක පෞද්ගලිකත්වය උල්ලංඝණය කර පණිවිඩවල අන්තර්ගතයන් නොකියවා තලේබාන්වරුන් Whatsapp Platform එක භාවිත කිරීම නවතා දමන්නේ කෙසේදැයි ඇසු සෘජු ප්‍රශ්න ගණනාවක් වෙත පිළිතුරු සැපයීම Whatsapp නියෝජිතයන් ප්‍රතික්ෂේපකර තිබෙනවා.

පිළිතුරු සැපයීම වෙනුවට ප්‍රකාශයක් නිකුත් කරමින් අදාළ නියෝජිතයන් සඳහන් කරන්නේ පරිශීලකයන්ගේ දත්ත සඳහා සහ Conversation සඳහා තමන්ට කිසිදු ආකාරයක ප්‍රවේශයක් නැති අතර තමන් අමෙරිකානු නීතියට බැඳී සිටින සමාගමක් ලෙස Whatsapp භාවිත කරමින් ක්‍රියාත්මක වෙන එවැනි ත්‍රස්ත ක්‍රියාකාරකම් ගැන දැනගන්නට ලැබුණොත් එවිට අදාළ ක්‍රියාමාර්ග ඒවාට එරෙහි ව ගන්න බවයි.

තලේබානුන්ට එදිරි ව සටනට එන අනෙක් තාක්ෂණික දැවැන්තයෝ

තමන් තලේබාන් ත්‍රස්තයන්ට එරෙහි ව සෘජුව ම ක්‍රියාමාර්ග ගන්නා බව Facebook සමාගම සඳහන් කළ සේ ම Twitter ආයතනයත් මේ පිළිබඳ ව යම් අදහස් දැක්වීමක් සිදු කර තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ මේ වාතාවරණය ශීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතින බවත් බොහොමයක් ජනයා Twitter භාවිත කරමින් තමන්ට උපකාර කරන ලෙස කරනා ආයාචනා ඔවුන් දකින බවත් එම සමාගම පවසනවා.   

  ත්‍රස්තවාදය උත්කර්ෂයට නංවන්නන්ට එරෙහිව තව දුරටත් Twitter rules අනුව ක්‍රියාත්මක වෙනවා –  indianexpress.com 

ට්විටර් හි මූලික ප්‍රමුඛත්වයක් හැමවිට ම පාහේ ජනතාව වෙත යොමු වන අතර ම තලේබාන් ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින බව ඔවුන් cnbc වෙත අදහස් දක්වමින් කියා සඳහන් කර තිබෙනවා. ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය වැනි ක්‍රියාවන්ට හා ඒවා උත්කර්ෂයට නංවන්නන්ට  එරෙහිව තව දුරටත් Twitter rules අනුව ක්‍රියාත්මක වන බව එම සමාගම සඳහන් කර තිබෙනවා. 

YouTube හි මවු සමාගම වන Alphabet මෙලෙස ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජයන්වල සහාය පතනවා. ඔවුන් කියන්නේ තමන්ගේ Youtube වැනි Video බෙදාගන්නා platform රජයන් ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳ ලබා දෙන හැඳින්වීම්, නිර්ණායක මත ඒවාට එරෙහිව ක්‍රියාත්මක වන බවයි.

 ඇෆ්ගනිස්තානයේ අනාගතය පිළිබඳ කාටුන් – අන්තර්ජාලය ඇසුරිනි

කෙසේ වෙතත් මේ තලේබාන් ආක්‍රමණය සමඟ ඇෆ්ගනිස්තාන වැසියන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැනි දේ බොහෝ ලෙස සීමා වෙන බව නම් කියන්නට ඕනේ. විශේෂයෙන් ඇෆ්ගන් කාන්තාවන්ට සහ ඔවුන්ගේ අයිතීන්ට නුදුරු අනාගතය එතරම් යහපත් එකක් නොවන බව නම් පැහැදිලි කරුණක්.

මේ හා සබැඳි තවත් ලිපි ඔබට පහත සබැඳිවලින් කියවිය හැකියි.

තලිබාන් ඇෆ්ගනිස්තානයේ අනාගතය අවිනිශ්චිතයි!

ඇමරිකා- තලේබාන් සාම ගිවිසුම සහ ඇෆ්ඝන් යුද්ධය

ඇෆ්ගනිස්ථානය හා සබැඳි අනෙක් ලිපි 

Whatsapp හා සබැඳි අනෙක් ලිපි 

Facebook හා සබැඳි අනෙක් ලිපි 

කවරයේ පින්තූරය:  තලේබාන්වරුන්ට Facebook, TikTok ඇතුළු සමාජ මාධ්‍ය වාරණයක් - thestar.com.my  

මූලාශ්‍ර:

Washingtonpost.com 

Independent.co.uk 

Cnbc.com 

Oxford.universitypressscholarship.com 

Businessinsider.com 

Vice.com 

Bbc.com 

Ndtv.com 

Fastcompany.com 

Yahoo.com 

Help.twitter.com 

Related Articles