Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

NASA තරඟයකින් ලෝකයෙන්ම අවසන් වටයට අා මොරටුව විශ්ව විද්‍යාලයේ “Team Codon”

අපේ රටේ කැම්පස් ළමයි ගැන ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ එයාලා මොකක් හරි උද්ඝෝෂණයක් කරපු එක ගැන හරි, ඒ උද්ඝෝෂණවලට කඳුළු ගෑස් ගහපු එක ගැන හරි විතරයි. හැබැයි අපේ රටේ මාධ්‍යවල අවධානයට ලක් නොවී එයාලා ජාත්‍යන්තර තලයේ ලබා ගන්න ජයග්‍රහණ නම් ඕන තරම්. මේ කියන්න යන්නෙත් ඒ වගේ ලෝක මට්ටමේ තරඟාවලියක අවසාන වටයටම එන්න සමත් වුණු මොරටුව කැම්පස් එකේ කණ්ඩායමක් ගැනයි. නාසා එකෙන් පවත්වන International Space Apps තරඟයට රටවල් 69කින් ආපු 25,000කට වැඩි පිරිසක් පරදවලා ලෝකයෙන්ම අවසාන වටයට එන්න Team Codon සමත් වෙලා තියෙනවා.

මොකක්ද මේ ස්පේස් ඇප්ස්?

මෙවර Nasa International Space Apps තරඟයේ නිල දැන්වීමක්. (nasa.gov)

2012 ආරම්භ කරපු NASA International Space Apps තරඟය කියන්නේ අන්තර්ජාතික මට්ටමේ හැකතෝන් එකක් කිව්වත් වැරැද්දක් නැහැ. ලෝකයේ ප්‍රධාන නගර ගණනාවක පැය 48ක් පුරා පැවැත්වෙන මේ තරඟයට ඉදිරිපත් වෙන හැමෝම සැබෑ ලෝකයේ තියෙන ගැටළුවකට විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරනවා. මේ ගැටළුව පෘථිවියේ තියෙන ගැටළුවක් වෙන්නත් පුළුවන්, අභ්‍යාවකාශයේ තියෙන ගැටළුවක් වෙන්නත් පුළුවන්. විවිධ අංශ යටතේ තියෙන මේ තරඟයේ “Galactic Impact” අංශයේ, එහෙමත් නැතිනම් “විශ්වීය මට්ටමේ බලපෑම්” අංශයේ අවසාන වටයට එන්න Codon කණ්ඩායමට හැකියාව ලැබුණා. ඔවුන් එක්ක ඉන්න අනෙක් කණ්ඩායම් හතරේම ඉන්නේ ඇමරිකාව, සිංගප්පුරුව සහ ස්පාඤඤය වගේ රටවල දියුණුම විශ්ව විද්‍යාලවලින් ආපු අය.

2017 අවුරුද්දේ පැවැත්වුණු තරඟය අප්‍රේල් 29 සහ 30 කියන දවස් දෙකේදී ලෝකය පුරා ස්ථාන 187 කදී පැවැත්වුණා. මේ තරඟයෙන් අවසාන වටයට පිවිසුණු මුල්ම ශ්‍රී ලාංකීය කණ්ඩායම විදිහට Team Codon ඉතිහාස ගත වෙනවා. වසර පහක කාලයක් ඇතුළත ඒ හපන්කම කරන්න සමත් වෙලා තියෙන්නේ දකුණු ආසියාතික කණ්ඩායම් 3කට විතරයි.

ජාන හුවමාරුව සිතියම් කරන GeneX

(2017.spaceappschallenge.org)

මොරටුව විශ්ව විද්‍යාලය ගොඩක් දෙනෙක් දන්නේ තාක්ෂණික විශ්ව විද්‍යාලයක් විදිහට. අපේ රටේ විශාලතම ඉංජිනේරු පීඨය වගේම වැඩිම ඉංජිනේරු අංශයන් සංඛ්‍යාවක පාඨමාලා පැවැත්වෙන්නේත් මොරටුව විශ්ව විද්‍යාලය තුළයි. ඉතින් ගණිතය පැත්තට වැඩිපුර බර කැම්පස් එකක් කියලා හිතුණත් වෛද්‍ය විද්‍යාවයි ඉංජිනේරු විද්‍යාවයි දෙකම එකතු වුණු ජාන ඉංජිනේරු විද්‍යාව ගැනත් දැන් ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. Codon කණ්ඩායමේ අයගේ ව්‍යාපෘතියත් ගණිතයට වගේම සත්ව ලෝකය පැත්තටත් බර එකක්.

Codon කණ්ඩායම තමන්ගේ ව්‍යාපෘතිය හඳුන්වලා තියෙන්නේ GeneX නමින්. ඔවුන්ගේ ටැග්ලයින් එක වෙන්නේ “We refine the world” යන්නයි. සත්වයන්ගේ ජාන පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙද්දී ඔවුන් ජීවත් වෙන පරිසරය, කාලගුණික සහ භූගෝලීය සාධක, කායික සැකැස්ම වගේම සත්වයන් තැනකින් තැනකට ගමන් කරන විදිහ එයට බලපාන විදිහ සිතියම් ගත කිරීම තමයි මේ ව්‍යාපෘතියේ අරමුණ වෙන්නේ.

ජාන සම්ප්‍රේෂණය සිතියම් ගත කරන එකේ වැදගත් කම

ජිරාෆ් සතුන්ගේ බෙල්ල දිගු වීමට උදව් කරන ජාන ප්‍රමුඛ වීම බාහිර සාධක අනුව ජාන හැඩ ගැසීමකට හොඳ උදාහරණයක්. (basfeijen.nl)

අපි අද දකින හැම සත්වයෙක්ම මේ තත්වයට එන්න හේතු වෙලා තියෙන්නේ වසර මිලියන ගණනක් තිස්සේ සිදු වුණු පරිණාමයන් නිසා. සත්වයෙක් අත්දකින හැම කාරණාවක් නිසාම ඔවුන්ගේ ජාන සැකැස්මේ තොරතුරු සටහන් වෙනවා. ඔවුන්ට එල්ල වන අභියෝගවලට අනාගත පරම්පරාවන් සූදානම් කිරීම තමයි මේකෙන් සිදු වෙන ප්‍රධානම කාර්යභාරය. කාලයක් තිස්සේ මේ වැඩේ වුණාම බිහි වෙන සත්ව පරම්පරාවන් ඕනෑම අභියෝගයක් හමුවේ වර්ගයා ආරක්ෂා කරගන්න ලොකු සමත් කමක් දක්වනවා.

මේ ජාන සම්ප්‍රේෂණය වෙන විදිහ සිතියම් ගත කළාම ඕනෑම ජීවියෙක් විවිධාකාර සාධක නිසා පරිණාමනයට පත් වෙන විදිහ පරිගණක ආකෘති පාවිච්චි කරලා පුරෝකථනය කරන්න පුළුවන්. ඒ ඇසුරෙන් ඉතා පහසුවෙන් ජාන සම්ප්‍රේෂණ විධිවල පවතින රටා හඳුනා ගන්න අවස්ථාව සැලසෙනවා. සත්ව විද්‍යාවට, පරිණාම රටා හඳුනා ගන්න වගේම සත්ව ගහණයකට ආවේණික ලක්ෂණ හඳුනා ගන්නත් මේක ලොකු උදව්වක්. Team Codon මේ කාර්යය සාර්ථක කරගන්න ඉදිරිපත් කරන වැඩසටහන විවිධ සත්ව ගහණවල ජාන සම්ප්‍රේෂණය සිතියම් ගත කරලා සංසන්දනය කරන්නත්, භූගෝලීය ලක්ෂණ, කාලගුණ වෙනස්වීම් වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසාත් මේ සත්ව ගහණවල ජාන සැකැස්ම වෙනස් වෙන විදිහ පුරෝකථනය කරන්න උදව් වෙනවා. ඒ ඇසුරෙන් ජාන සම්ප්‍රේෂණයට තියෙන බාධක හඳුනාගෙන වඩාත් හොඳින් එය සිදු වෙන්න අවශ්‍ය පිළියම් ඉදිරිපත් කරන්නත්, සත්ව ගහණයක් පරිසරයට හැඩගැසීම සාර්ථක කරවන්නත් පුළුවන්.

Codon කණ්ඩායමේ GeneX ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කළොත් අද කාලයේ වඳ වෙලා යන්න ආසන්න සත්ව විශේෂ රැකගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා අවුරුදු මිලියන ගණනක් තිස්සේ සොබාදහම මේ සතුන් රැක ගන්න දරපු උත්සාහය අපතේ යන එක නවත්වන්න මේක ලොකු පිටිවහලක් වේවි.

කණ්ඩායම ගැන

Team Codon සාමාජිකයන්.

මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා ඉංජිනේරු (CSE) පාඨමාලාව සහ ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන ඉංජිනේරු (ENTC) පාඨමාලාව හදාරන සිසුන් හය දෙනෙකුගෙන් Team Codon සමන්විතයි. කණ්ඩායමේ නායක වින්දුල ජයවර්ධන Roar වෙත අදහස් දක්වමින් කිව්වේ මේ වගේ දෙයක්.

“මොරටුව විශ්ව විද්‍යාලය නිතරම තාක්ෂණික දේ අතින් ලෝකයේ ඉහළම විශ්ව විද්‍යාල එක්ක කරට කර සිටින අධ්‍යාපන ආයතනයක්. මෑත කාලීනව අපේ රටේ බොහෝ දෙනා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ලංකාවේ අය ලෝක මට්ටමේ තරඟවලට ඉදිරිපත් වීම වැඩි කරගන්න පුළුවන් නම් ඒ තුළින් ලබා ගන්නා ජයග්‍රහණ ප්‍රමාණය තවත් වැඩි කර ගන්න පුළුවන්. ලෝක මට්ටමේ තරඟවලදී අපේ රටේ සිසුන් දක්වන දක්ෂතා සහ උනන්දුව ජාත්‍යන්තරයේ විශේෂ අවධානයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා Team Codon අපි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් වගේම පාසල් සිසුන්ගෙනුත් ඉල්ලා සිටින්නේ අන්තර්ජාතික තරඟවලට හැකි තරම් ඉදිරිපත් වෙන්න කියලයි. ජයග්‍රහණ හැම විටම ලැබුණේ නැතත් ඒ ලබා ගන්නා අත්දැකීම් වෘත්තීය ජීවිතයට ගොඩාක් වටිනවා.”

වින්දුල වගේම Roar ටෙක් අපිත් ප්‍රාර්ථනා කරන්නේ අපේ රටේ වැඩි පිරිසකට ජාත්‍යන්තර තරඟවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබා ගන්න හැකියාව ලැබෙන්න කියලයි. ඒ වගේම විශ්ව විද්‍යාල සිසුන්ගේ වැරදි විතරක් හරිම උනන්දුවෙන් ප්‍රවෘත්ති බවට හරවන මාධ්‍ය ආයතන ඔවුන්ගේ ජයග්‍රහණ ආවරණය කරන්නත් වෙලාව වෙන් කරනවා නම් බොහොම වටිනවා.

Team Codon කණ්ඩායමට අනාගතයේ තවත් වැදගත් ජයග්‍රහණ අපේ රටට දිනා දෙන්න හැකියාව ලැබෙන්න කියලාත් Roar ටෙක් කණ්ඩායම සුභ පැතුම් එකතු කරනවා.

Related Articles