අප අතරින් සමුගත් ලොව තාක්‍ෂණ සන්නිවේදන මාධ්‍යයේ පෙරළිකරු: රොබර්ට් විලියම් ටේලර්

ROAR කණ්ඩායම ගෙන එන මේ ලිපි ඔබ නිවසේ, කාර්යාලයේ හෝ මහ මඟ සිට ඉතා පහසුවෙන් පරිශීලනය කරන්නේ අන්තර්ජාලය හරහායි. කුඩා කල සිටම තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බයත්, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනයත්, ජෝන් ලොගී බෙයාඩ් රූපවාහිනියත් සොයා ගත් බව දැන සිටියාට ඔබ කෙදිනකවත් කල්පනා කළාද අද අප කාටත් නැතුවම බැරි අන්තර්ජාලය කාගේ අදහසක්ද, කාගේ නිර්මාණයක්ද කියා?

රොබර්ට් විලියම් ටේලර් එහෙමත් නැත්නම් බොබ් ටේලර් ඔබට නුපුරුදු, නිතර කන නොවැකුණු නමක් වෙන්නට පුළුවන්. එහෙත් මීට වසර 50කට පමණ පෙර, අද අප භාවිතා කරන අන්තර්ජාලය එහෙමත් නැතිනම් ඉන්ටර්නෙට්හි ආරම්භය සඳහා අත්තිවාරම දැමුවේ රොබර්ට් ටේලර්ගේ පුරෝගාමීත්වය අනුවයි. එපමණක් නොව පරිගණක ජාලකරණය (Computer Networking), මාර්ගගත තොරතුරු හා සන්නිවේදන පද්ධති ((Online Information and Communication Systems) සහ නවීන පෞද්ගලික පරිගණක (Modern Personal Computing) සංවර්ධනය සඳහාද ඔහු පුරෝගාමීව කටයුතු කර ඇත.

වසර 85ක් ආයු වළඳා පසුගිය අප්‍රේල් 13 (බ්‍රහස්පතින්දා) අප අතරින් සමුගත් රොබර්ට් විලියම් ටේලර්ගේ ජීවිතය සහ ලොව තාක්‍ෂණ සන්නිවේදන මාධ්‍යයේ ඔහු කළ පෙරළිය ගැන ROAR කණ්ඩායම තබන මතක සටහනක් මේ.

ළමා අවධිය සහ අධ්‍යාපනය

රොබර්ට් විලියම් ටේලර් (Linkway Live, linkwaylive.com)

1932 පෙබරවාරි මස 10 වනදා ඩලාස්හි උපත ලැබූ රොබර්ට් දින 28කට පසු මෙතෝදිස්ත දේවගැතිවරයෙක් හා ඔහුගේ බිරින්දෑ විසින් දරුකමට හදා ගන්න බාර ගන්නවා. දේවගැති රේමන්ඩ් සහ ඔඩ්රි ටේලර් සමඟ හැදී වැඩුණු කුඩා රොබර්ට්ගේ පාසල් ගමන ක්‍රමවත්ව පවත්වාගෙන යා නොහැකි වන්නේ දෙමාපියන්ට නිරන්තරයෙන් දේවගැතිවරයෙක් ලෙස මීසම් වෙනස් කරමින් ඒ අනුව පදිංචියද වෙනස් කිරීමට සිදුවූ නිසාවෙනි.

රොබර්ට්ට වයස 16ක් වන විට දකුණු මෙතෝදිස්ත විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ආරම්භ කරන අතර වර්ෂ 1952-1954 කොරියානු යුද්ධය පැවති සමය තුළ ඔහු එක්සත් ජනපද නාවික හමුදාවේ අංශයකට අනුයුක්තව සේවයෙහි නියුක්තව සිටිනවා. ඉන්පසුව ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් නැවතත් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන රොබර්ට් 1957දී සම්පරීක්ෂණාත්මක මනෝවිද්‍යාවෙන් (Experimental Psychology) සිය උපාධිය හිමිකර ගන්නවා.

මුල් කාලීන වෘත්තීය දිවිය

මෑත කාලීනව ගත් රොබර්ට්ගේ ඡායාරූපයක් (Reflections, reflections-shivanand.blogspot.com)

රොබර්ට්, සම්පරීක්ෂණාත්මක මනෝ විද්‍යාඥයෙකු සහ ගණිතඥයෙකු ලෙස පුහුණු වන අතර, තම මුල් කාලීන වෘත්තීය, මොළයේ පර්යේෂණ හා ශ්‍රව්‍ය ස්නායු පද්ධතිය වෙනුවෙන් කැප කරනවා.  පසුව මනෝවිද්‍යාව පිළිබඳ විශාරද උපාධියක්ද ලබා ගන්නා ඔහු ටෙක්සාස්හි සහාය ගුරු තනතුරක් දරනවා.

රොබර්ට් සම්මුඛ සාකච්ඡාවක පවසා ඇති අන්දමට මේ කාලය තුළ ඔහුට මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ආරම්භ කිරීම සඳහා ඉල්ලීම් බොහෝමයක් ලැබුණත් ඒ සඳහා අවශ්‍ය පාඨමාලා ඔහු එතරම් ප්‍රියකළ විෂයන් නොවූ හෙයින් ආචාර්ය උපාධිය පසෙකලා ඔහු ෆ්ලොරිඩාහි හවූවි විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු ලෙසත්, පැසි පන්දු පුහුණුකරු ලෙසත් රැකියාවේ යෙදී ඇත. එකල දෙවැනි දරු උපත අපේක්‍ෂාවෙන් සිටි ඔහුට සහ බිරියට අඟ හිඟකම් බොහෝමයක් තිබූ බව එම සාකච්ඡාවේදී ඔහු පවසා ඇත. ඉනික්බිති වඩා හොඳ වැටුපකට රොබර්ට් ගුවන්යානා සමාගම් වල ඉංජිනේරු රැකියා ලබා ගත් අතර 1962 වසරේ දිනකදී NASA හි වැඩසටහන් කළමනාකරුවෙකු ලෙස එක්වීමට ඔහුට ආරාධනා ලැබෙනවා. වොෂින්ටනයේ NASA ආයතනයේ සේවය කළ කාල සීමාව තුල රොබර්ට්ට මිනිසුන් සඳ මතට ගෙනගිය ඇපලෝ වැඩසටහන වැනි සුවිශේෂී විද්‍යාත්මක ව්‍යාපෘති සඳහා සහායවීමේ අවස්ථාව උදාවුණි.

ARPANET හෙවත් Internet හි අඩිතාලම

රොබර්ට් පාලෝ ඇල්ටෝහි පිහිටි සිරොක්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේදී (The New York Times, nytimes.com)

වසර 1965 දී NASA හි සිට පෙන්ටගනයේ ARPA (උසස් පර්යේෂණ ව්‍යාපෘති කාර්යාංශය) සමඟ සම්බන්ධ වීම රොබර්ට්ගේ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වුණා. ARPA සමඟ සේවය ආරම්භ කර වැඩිකල් යාමට මත්තෙන් එහි ක්‍රියාවලියේ අඩුපාඩු සහ සේවය වඩා කාර්යක්‍ෂම කිරීමට අවශ්‍යදෑ ඔහුට පසක් වුණි.

එවකට ARPA මඟින් පරිගණක ව්‍යාපෘති 3කට අරමුදල් සපයමින් සිට ඇති අතර පරිගණක පර්යන්ත 3ක් මඟින් රොබර්ට්ට රට වටා ස්ථානගත කර ඇති වෙනත් පරිගණක සමඟ සන්නිවේදන කටයුතු කිරීමට සිදුවුණි. උදාහරණයක් ලෙස සැන්ටා මොනිකාහි කෙනකු සමඟ සම්බන්ධ වීමට එක් පරිගණක පර්යන්තයක් යොදා ගැනීමට සිදුවුණු අතර ඒ හා සමානම කටයුත්තක් මැසචුසෙට්හි සිටින්නෙකු සමඟ කිරීමට වෙනත් පර්යන්තයකට ගමන් කිරීමට සිදුව ඇත. මෙය දුටු රොබර්ට් තීරණය කළේ මේ ව්‍යාපෘති 3 එකිනෙකා සමඟ සම්බන්ධ කිරීමට තනි පරිගණක ජාලයක් අවශ්‍ය බවයි.

ARPA හි එවකට ප්‍රධානියා, චාලි හෙර්ස්ෆෙල්ඩ් වෙත රොබර්ට් ඉදිරිපත්කළ මේ අදහසට ධනාත්මක ලෙස ප්‍රතිචාර ලැබුණු අතර බලිස්ටික් මිසයිල ආරක්‍ෂණ ගිණුමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක අරමුදලක් අප්‍රමාදව රොබර්ට්ට ඔහු ලබා දෙන්නේ මේ ව්‍යාපෘතිය ඵල ගැන්වීමේ අරමුණිනි.

අත්හදා බැලීම් සහ ප්‍රමාද දෝෂ රැසක් මැද වසර 1969 ඔක්තෝම්බර් මස 29 වන දින රාත්‍රියේ, කුඩා නිවසක් තරම් විශාල පරිගණකයක් මඟින් ස්ටැන්ෆෝඩ් පර්යේෂණ ආයතනයේ තවත් පරිගණකයක් වෙත ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික පණිවිඩයක් යැවීමට රොබර්ට් සහ කණ්ඩායම සමත් වෙනවා. එදා රොබර්ට් ගේ සංකල්පයකට අනුව ARPANET ලෙස ඇරඹුණු පරිගණකජාලය විකාශනය වී අද අප භාවිතා කරන අන්තර්ජාලය දක්වා පසුගිය දශක 5 කට ආසන්න කාලයක් පුරාවට ඉතා දිගු ගමනක් පැමිණ තිබෙනවා.

Alto පරිගණකය – පුද්ගලික පරිගණකයේ ආරම්භය

සිරොක්ස් ඇල්ටෝ පරිගණකයක් භාවිතා කරන කුඩා දරුවන් පිරිසක් (The New York Times, nytimes.com)

ARPANET ව්‍යාපෘතියෙන් වසර පහකට පමණ පසු සිරොක්ස් සමාගමේ උතුරු කැලිෆෝර්නියාවේ, පාලෝ ඇල්ටෝහි පිහිටි පර්යේෂණ මධ්‍යස්ථානයේ තවත් තාක්‍ෂණික පිම්මකට අර අඳින කථිකාවතක මූලිකත්වය ගන්නට රොබර්ට්ට හැකි වෙනවා. එනම් ඇල්ටෝ පරිගණකය නිර්මාණයට අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියයි. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස රොබර්ට් ඇතුළු පරීක්‍ෂකයන් පිරිසක් ඇල්ටෝ නමින් කුඩා පරිගණකයක් නිපදවනවා.  ඇල්ටෝ පරිගණකය යනු අද අප බොහෝ දෙනා භාවිත කරන පුද්ගලික පරිගණකයේ (Personal Computer) හි මුල්ම නිර්මාණයයි.

පරිගණක Mouse එකේ සොයා ගැනීම

එන්ගල්බර්ට් නිර්මාණය කල පරිගණක මවුසයේ මූලාකෘතියක් (Computer History Museum, computerhistory.org)

රොබර්ට් ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස NASA හි සේවය ආරම්භ කර වසරක් පමණ ගතවූ විට ඔහුට දැනගන්නට ලැබෙනවා ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ තරුණ විද්‍යාඥයෙකු පිළිබඳ. ඩග්ලස් එන්ගල්බර්ට් නම් වූ මේ තරුණ විද්‍යාඥයා ඒ වනවිට මිනිසුන් සහ පරිගණක අතර ඍජු අන්තර් ක්‍රියාවලියේ විය හැකියාව පිළිබඳ ගවේෂණය කරමින් සිට ඇත. ඩග්ලස්ගේ මේ වැඩකටයුතු රොබර්ට්ගේ පැසසුමට ලක්වුණා පමණක් නොව ඉන් නොනැවතී එය මුදල් ආයෝජනයක් දක්වා දීර්ඝ වුනි. ආයෝජන වලින් ශීඝ්‍රවූ පරීක්ෂණ කටයුතු අවසන් වුනේ ඩග්ලස් පරිගණක මවුසය සොයා ගැනීමෙනි. පසුකාලීනව මෙම විශිෂ්ඨ සොයාගැනීම මැකින්ටොෂ් සහ මයික්‍රොසොෆ්ට් පෞද්ගලික පරිගණක නිර්මාණය කිරීමේදී මහත් ලෙස උපකාරී වූ බව සඳහන් වේ.

1990 දශකයේ, තම වෘත්තිය දිවියේ අවසන් කාලයේ රොබර්ට්, පාලෝ ඇල්ටෝ හි ඩිජිටල් සම්පාදන පද්ධති පර්යේෂණාගාරයක් නිර්මාණය කර මෙහෙයවූ අතර එය ලොව ප්‍රථම අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර (Search Engine) අතරට ඇතුළත් වන  “ඇල්ටාවිස්ටා”  නිර්මාණය කළ විද්‍යාගාරය වේ.

සම්මාන, ඇගයීම් සහ අවසන් කාලය

වසර 1999 දී රොබර්ට්, කැලිෆෝර්නියාවේ වූඩ්සයිඩ්හිදී (The New York Times, nytimes.com)

වසර 1984 දී රොබර්ට් සහ තවත් විද්‍යාඥයින් දෙදෙනෙකු “ACM Sotware Systems” සම්මානය මඟින් පිදුම් ලැබුවේ සිරොක්ස් ඇල්ටෝ පරිගණකයේ නිර්මාණය සඳහායි. ඉන් තවත් වසර 10 කට පමණ පසු රොබර්ට් ඇතුළු විද්‍යාඥයින් දෙදෙනා “ACM Fellows” යන ගෞරව නාමයෙන් සම්මාන ලබනවා. සම්මාන නාම හෝ කිසියම්ම වූ පිළිගැනීමක් ලබා ගැනීම පිළිබඳ උදාසීන බවක් පළකළ රොබර්ට් වසර 1999 දී එවකට ඇමෙරිකානු ජනපති බිල් ක්ලින්ටන් අතින්  “National Medal of Technology and Innovation” ගෞරව සම්මානය ලබා ගැනීම සඳහා වොෂින්ටනය වෙත යාමට පවා මැලිකමක් දක්වා ඇත. 2004 වසරේදී ඔහුට National Academy of Engineering මඟින් ඔවුන්ගේ ඉහළම සම්මානය වූ “Draper Prize” රොබර්ට්ට පිළිගන්වා ඇත.

1996 වසරේ විශ්‍රාම ගත් රොබර්ට්, කැලිෆෝර්නියාවේ වූඩ්සයිඩ්හි මියයන තුරුම වාසය කර ඇත. බිරියගෙන් දික්කසාදව දිවි ගෙවූ රොබර්ට්ට පුත්‍රයින් තිදෙනෙක් සහ මුනුපුරු මිණිපිරියන් තිදෙනෙක් සිට ඇත. එක් පුත්‍රයෙක් සඳහන් කර ඇති පරිදි රොබර්ට්, පාකින්සන් මෙන්ම තවත් රෝග කිහිපයකින්ම අවසන් කාලයේ පීඩා විඳ ඇති අතර පසුගිය අප්‍රේල් 13 වනදා වසර 85 ක් ආයු වළඳා මේ දූරදර්ශී චරිතය ලොවෙන් සදහටම සමුගෙන ඇත.

කවරයේ පින්තුරය – washingtonpost.com

මූලාශ්‍ර – nytimes.com, latimes.com, revolvy.com, npr.org

Related Articles