Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තොරතුරු යුගයේ මූල්‍යකරණයේ ප්‍රමුඛයා – Bitcoin

අන්තර්ජාලය හරහා ගනුදෙනු කරද්දි විවිධ පුද්ගලයන් විවිධ ක්‍රමවේද ඒ සඳහා භාවිතා කරනවා. බොහෝදෙනා එහිදී භාවිතා කරන්නේ ඩොලර්, යූරෝ, රුපියල් වගේ සාම්ප්‍රදායික මුදල් ඒකක. නමුත් තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒ සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කළ හැකි වෙනත් මුදල් ඒකකයන්හි අවශ්‍යතාවය මිනිසුන්ට දැනෙන්නට පටන් ගන්නවා. Cryptocurrency එහෙමත් නැතිනම් ඩිජිටල් මුදල් පිළිබඳ අදහස ලෝකෙට එන්නේ ඒ අවශ්‍යතාවය නිසායි. Bitcoin කියන්නේත් ඒ ජාතියේ Cryptocurrency වර්ගයක්. අද අපි කතා කරමු Bitcoin ගැන.

මොනවද මේ Bitcoin?

moneycrashers.com

Bitcoin කියන්නෙත් මුදල් ඒකකයක්. නමුත් මේ මුදල් ඒකකය තියෙන්නේ ඩිජිටල් ආකාරයෙන්. අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන ගනුදෙනුවලදී අපිට Bitcoin හරහා ඒ ගනුදෙනු සිදුකරගන්න පුළුවනි. සාම්ප්‍රදායික මුදල් ඒකකවලට අයිති කරුවන් සිටිනවා. උදාහරණයක් විදියට ශ්‍රී ලංකා රුපියල් කියන මුදල් ඒකකය පාලනය කරන්නේ ශ්‍රී ලංකා රජයෙන්. එතකොට ඒ මුදල් නෝට්ටු සහ කාසි මුද්‍රණය කරන්නේ බෙදාහරින්නේ ශ්‍රී ලංකා රජය මඟින්. ඇමරිකානු ඩොලර්වලදී ඒ කාර්යය කරන්නේ ඇමරිකානු රජය විසින්. නමුත් Bitcoin වලදී මේ තත්ත්වය වෙනස්. Bitcoin කියන්නේ කිසිම රටකට, ආයතනයකට හෝ පුද්ගලයෙකුට අයිති දෙයක් නෙමෙයි. ඒ වගේම Bitcoinවල හැසිරීම පාලනය කරන්නත් කිසිවෙකුත් නැහැ. Bitcoin ගනුදෙනු සිදුවන්නේ ඒකටම අනන්‍ය වූ ජාලයක් හරහායි. ඒ ජාලය පාලනය කරන්නේ ඒකේ පරිශීලකයන් විසින්. මේ වර්තමාන තොරතුරු තාක්ෂණ යුගයේ පුද්ගල මූල්‍ය අවශ්‍යතාවයන් සාම්ප්‍රදායික මුදල් ඒකක හරහා ඉටුනොවෙනා විට ඒ වෙනුවට මිනිසුන් විසින්ම නිර්මාණය කරගත් ඩිජිටල් මූල්‍ය ක්‍රමයක් තමයි Bitcoin.

Bitcoin හැදෙන්නේ කොහොමද?

arabianbusiness.com

අපි මුලිනුත් සඳහන් කරපු විදියට Cryptocurrency වර්ගයක් වෙන Bitcoin කියන්නේ පවතින්නේ ඩිජිටල් විදියට විතරයි. Bitcoin නිර්මාණය කරලා තියෙන්නේ ඉතාම සංකීර්ණ පරිගණක වැඩසටහනක් මඟින්. මේ පරිගණක වැඩසටහන නිදහස් මෘදුකාංගයක්. ඒ කියන්නේ එහි source code එක ඕනෑම කෙනෙකුට අධ්‍යයනය කරන්න පුළුවනි. ඒ වගේම ලොවපුරා විසිරී සිටින පරිගණක විද්‍යාඥයන් සහ තොරතුරු ආරක්ෂණ විශේෂඥයන් දහස් ගණනක් ස්වේච්ඡාවෙන්ම මේ Bitcoin source code එක පිළිබඳව නිතන්තරයෙන්ම අවධානයෙන් සිටින්නේ. ඒ වගේම Bitcoin නිර්මාණය කරලා තියෙන පරිගණක වැඩසටහනේ තියෙන සංකීර්ණතාවය නිසාම ඒ වැඩසටහනෙන් පරිභාහිරව ව්‍යාජ ලෙස Bitcoin නිපදවන්න බැහැ. සරළවම කිව්වොතින්, හොර Bitcoin කියලා ජාතියක් නැහැ.

Bitcoinවල ගුණාංග මොනවද?

shiftdelete.net

Bitcoinවල ගුණාංග බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අපි එයින් කීපයක් ගැන සාකච්ඡා කරමු.

  1. අපි මුලින්ම සඳහන් කරපු විදියට Bitcoin කියන්නේ කිසිම රටකට, ආයතනයකට, සංවිධානයකට හෝ පුද්ගලයෙකුට අයිති දෙයක් නෙමෙයි. ඒක ලොකු විශේෂත්වයක්.
  1. Bitcoin නිර්මාණය කරන්නේ Bitcoin mining නමින් යුත් ක්‍රමවේදයක් හරහායි. එය ඉතාම සංකීර්ණ ඩිජිටල් තාක්ෂණික ක්‍රියාවලියක්. මේ ආකාරයට Bitcoins නිර්මාණය කරනා පුද්ගලයන් හෝ සංවිධාන හඳුන්වන්නේ Bitcoin miners යන නමින්. මේ ආකාරයට Bitcoin නිර්මාණය කිරීම සඳහා බොහෝ කාලයක් වැය වෙනවා. ඒ වගේම Bitcoin යනු සීමාසහිත මුදල් සැපයුමක්. සරලව කියනවානම් මේ ලෝකේ තියෙන්න පුළුවන් Bitcoin මිලියන 21ක ප්‍රමාණයක් පමණයි. Bitcoin source code එක හරහා තමයි මේ සීමාව පනවලා තියෙන්නේ.
  1. Bitcoin ඔබට නිර්නාමිකව වුවත් භාවිතා කරන්නට පුළුවනි. Bitcoin ගිණුමේ හිමිකරුවන්ව හඳුනා ගන්නේත් Bitcoin ජාලයටම අනන්‍ය වෙච්ච විශේෂ ක්‍රමවේදයක් හරහායි. Bitcoin ජාලය විසින් කිසිම අවස්ථාවකදී එහි ගිණුම් හිමියන්ගේ විස්තර එළිදරව් කරන්නේ නැහැ. ඔබට අන්වර්ථනාමයක් යටතේ වුවත් Bitcoin හරහා ගනුදෙනු කළ හැකියි.
  1. මේ ලෝකේ සිදුවෙන සියළුම Bitcoin ගනුදෙනු 100%ක්ම විවෘතයි. Bitcoin ජාලයේ සිදුවෙන සෑම ගනුදෙනුවක්ම Bitcoin ප්‍රධාන ලෙජරයේ සටහන් වීම සිදුවෙනවා. ඒ ප්‍රධාන ලෙජරය හඳුන්වන්නේ Block Chain යන නමින්. ඕනෑම කෙනෙකුට මේ ප්‍රධාන ලෙජරය පරිශීලනය කරන්න පුළුවනි. නමුත් ඒ ලෙජරයේ තිබෙන ගිණුම්වල අයිතිකරුවන් කවුදැයි පවසන්න කිසිවෙකුට කිසිදිනක නොහැකියි.
  1. Bitcoin ලෝකයේ කිසිම මුදල් ඒකකයකට බැඳී නැහැ. එය 100%ක්ම ස්වාධීනයි. විවෘත වෙළඳපොළේ Bitcoin සඳහා තිබෙන ඉල්ලුමට හා සැපයුමට සාපේක්ෂව Bitcoinවල අගය නිරන්තරයෙන් උච්චාවචනය වෙනවා. උදාහරණයක් ලෙසට කොටස් වෙළඳපොලේ යම් සමාගමක කොටස් මිල ඉහළ පහළ යනවා වගේ. යම් අවස්ථාවකදී කී දෙනෙක් Bitcoin ඉල්ලුම් කරනවාද සහ ඔවුන් සඳහා කොපමණ Bitcoin සැපයුමක් තියෙනවාද යන කරුණ මත මේ අගය තීරණය වෙනවා.
  1. Bitcoin හරහා ඔබට කිසිම බැංකුවක සහයකින් තොරව ඕනෑම මුදල් ප්‍රමාණයක් ලෝකයේ ඕනෑම තැනකට ක්ෂණිකව යැවිය හැකියි. රටකින් රටකට මුදල් සංසරණය කිරීමට සාමාන්‍ය බැංකු ක්‍රමයේදී පරිශීලකයින් අත්විඳින දුෂ්කරතා සියල්ල Bitcoin ඉඳිරියේදී දුරුවෙනවා. Bitcoin ජාලයේදී මුදල් සංසරණය සඳහා උපරිම මුදල් සීමාවන් නැහැ. ඒ වගේම වයස් සීමා හෝ වෙනත් ගැටළු කිසිවක් නැහැ. ඔබේ Bitcoin ගිණුමේ කොපමණක් Bitcoin තිබෙනවාද, ඒ සියල්ලම වුවත් ඔබට වෙනත් කෙනෙකුට ලබාදෙන්නට පුළුවනි.
  1. Bitcoin කිසිම රටකට, සංවිධානයකට අයිති නැති නිසා ඒ හරහා ගනුදෙනු කිරීමේදී ඔබ කිසිවෙකුට සේවා ගාස්තු හෝ මෙහෙයුම් ගාස්තු වැනි අතිරේක ගෙවීම් සිදුකළ යුතු නැහැ. මේ නිසා ඔබේ මුදල් සම්පූර්ණයෙන්ම ඔබේ පාවිච්චියටම ගන්න පුළුවනි.
  1. Bitcoin ගණුදෙණුවක් නැවත කිසි දවසක ආපසු හරවන්න බැහැ. ඒ පිළිබඳවත් ඔබ අවධානයෙන් සිටිය යුතුමයි. වෙන කෙනෙක්ට Bitcoin ප්‍රමාණයක් ලබාදුන්නම, ඒ ප්‍රමාණය වැරදියි නම්, ඒ ගත්ත පුද්ගලයා ආයෙත් ලබාදුන්නොත් මිස ඔබට සිදුවන පාඩුව පියවන්න හෝ ඒ වෙනුවෙන් වගකියන්න කිසිවෙක් ඉඳිරිපත් වෙන්නේ නැහැ. මේ නිසා Bitcoin හරහා ගනුදෙනු කරද්දි බොහොම අවධානයෙන් ඒ කටයුතු සිදුකරන්න අවශ්‍යයි කියන එකයි අපේ අදහස.

කොහොමද මේ Bitcoin අපි මිලදී ගන්නේ

blog.cex.io

Bitcoin මිලදී ගන්නනම් ඔබට මුලින්ම Bitcoin Wallet එකක් තිබිය යුතු වෙනවා. මේ Bitcoin Wallet කියන්නේ Bitcoin ගබඩා කරලා තියාගන්න පුළුවන් ඇප් එකකට. ඔබගේ සියළු Bitcoin ගණුදෙණු පිළිබඳව විස්තරයකුත් මේ Wallet එකේ තියාගෙන ඉන්නවා. Bitcoin Wallet සේවාවන් ලබාදෙන විවිධ ආයතන සහ සංවිධාන අන්තර්ජාලයේ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඔබ කැමති ආයතනයක් හෝ සංවිධානයක් හරහා ඔබගේ Bitcoin Wallet එක හදාගන්න පුළුවනි.

ඊළඟට ඔබ Bitcoin මිලදී ගත යුතු වෙනවා. ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එක හරහා Bitcoin මිලදී ගන්න පුළුවනි. නමුත් තවමත් ශ්‍රී ලංකාවට ක්‍රෙඩිට් කාඩ් හරහා Bitcoin මිලදී ගැනීමේ හැකියාව ලබාදීලා නැහැ. ඒ වෙනුවට ඔබට පුළුවනි Bitcoin හුවමාරු කරන (Exchange) ආයතන හරහා ඒවා මිලදී ගන්න. ඇත්තටම Bitcoin එකක් කීයක් වටිනවද? සමහරවිට ඔබ පුදුමයට පත්වෙයි, නමුත් Bitcoin එකක වර්තමාන මිල ඇමරිකානු ඩොලර් 2700කට අධිකයි කියලයි අන්තර්ජාලයේ සටහන් වෙන්නේ. මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් නම් ඉතා විශාල අගයක්. නමුත් ඔබට Bitcoin ඉතා කුඩා ප්‍රමාණයක් පවා මිලදී ගන්න පුළුවනි. එක රුපියලක් සත 100ක් වගේ Bitcoin එකක් හැදෙන්නේ කුඩා කොටස් 100,000,000කින්. ඒ අනුව අපිට මිලදී ගන්න පුළුවන් කුඩාම Bitcoin ප්‍රමාණය 0.00000001ක්. මේ කුඩාම Bitcoin ඒකකය හඳුන්වන්නේ Satoshi යන නමින්. ඔබ Bitcoin වලට නවකයෙක් නම් Satoshiවලින් ගනුදෙනු කිරීම වඩාත් ප්‍රඥාගෝචරයි කියන එක තමයි අපේ නිර්දේශය.

සල්ලි දීලා ගත්ත Bitcoin වියදම් කරන්නේ කොහොමද?

cointelegraph.com

Bitcoin හරහා ගනුදෙනු කරන්න පුළුවන් වෙබ් අඩවි ඕනෑම එකකින් ඔබට අවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් මිලදී ගන්න හැකියාව තියෙනවා. ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන සහ සමාගම් විශාල ප්‍රමාණයක් Bitcoin හරහා ගෙවීම් සිදුකරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ විශ්වකෝෂය ලෙසින් විරුදාවලිය ලබා තිබෙන Wikipedia ආයතනයත් තමන්ට මහජනතාව ලබා දෙන ආධාර ලබාගන්න Bitcoin උපයෝගී කරගන්නවා. මේ අනුව Bitcoin කියන්නේ වර්ථමානයේදී ලෝකයේ බොහෝ දෙනෙක් බහුලව භාවිතා කරන මුදල් ඒකකයක් බව ඔබට පැහැදිලි ඇති.

Bitcoin සම්බන්ධයෙන් තව කතා කරන්න බොහෝ දේ තියෙනවා. Bitcoin වල ඇති වාසි/අවාසි, Bitcoin ගිණුම ආරක්ෂා කරගන්න ආකාර, Bitcoin Minersලා ගැන, Bitcoin Wallet එකක් සකස් කරගැනීමේදී සැළකිය යුතු කරුණු පිළිබඳව වශයෙන් මේ ගැන ඔබට කියන්නට තියෙන තොරතුරු තව බොහෝයි. ඉඳිරි ලිපියකින් ඒ පිළිබඳව තොරතුරු වලිනුත් ඔබව සන්නද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඔබ දැනට Bitcoin භාවිතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබටත් ඇති Bitcoin භාවිතය සම්බන්ධ අත්දැකීම්. පහළින් තියෙන කමෙන්ට් තීරය හරහා ඔබගේ ඒ අත්දැකීම් අපි එක්ක බෙදාගන්නත් අපි ඔබට ආරාධනය කරනවා.

කවරයේ පින්තූරය: haddensecurity.wordpress.com [Cover.jpeg]

මූලාශ්‍ර:

  1. moneycrashers.com
  2. coinbase.com
  3. bitcoin.com
  4. coindesk.com
  5. weusecoins.com

Related Articles