ලොව ජනගහනය අධිකම රට චීනයයි. නමුත් චීන ජනගහනයටත් වඩා අධික “පුරවැසියන්” ගණනක් සිටින තැනක් දැන් පවතින බව ඔබ දන්නවාද? ඒ අන් කවර තැනක්වත් නොව, අප කවුරුත් හොඳින දන්නා හඳුනන ෆේස්බුකිය හෙවත් මුහුණු පොතයි.

ෆේස්බුක් ගිණුමක් භාවිතා කිරීමේ වාසි සහ අවාසි, එහි අවභාවිතයෙන් වැළකී සිටීමේ ක්‍රමෝපායන් යනාදී එකී මෙකී නොකී සියළුම අංශ ගැන ඔබ මේ වන විටත් ලිපි ඕනෑ තරම් කියවා තිබෙන්නට පුළුවන. නමුත් අපි පාඨක ඔබ වෙත ලියන මෙම ලිපිය තුලින් කියැවෙනුයේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ග්‍රහණයට ඔබගේ තොරතුරු කෙතරම් නතු වී ඇත්ද යන්න පිළිබඳව යම් විමසුමක්.

(ubergizmo.com)

ෆේස්බුක් සමාජ ජාලය සතු මහා තොරතුරු සමුදාය විසින් මේ වන විට ෆේස්බුක් ආයතනය ලොව පවතින වඩාත්ම බලවත් සහ වැදගත් ආයතනයක් බවට පත් කරන්නට සමත්ව තිබෙනවා. එවන් සමාජ ජාල වෙබ් අඩවියක් තුළ ඇල්ගොරිත්ම සහ සම්බන්ධතා ඔස්සේ යමින් ඒ තුළ පවතින්නාවූ සමාජමය ස්ථර සහ ඊටම අනන්‍ය වූ බල පරාක්‍රමය පිලිබඳව සොයා බලන්නට තරම් හිතක් පහල වූ පුද්ගලයෙක් පිලිබඳව සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරින් වාර්ථා වනවා.

Share Lab නැමති ආයතනයේ ආධ්‍යක්ෂක ව්ලැඩ්න් ජෝලර් නැමති මෙම පුද්ගලයා විසින් තම මිතුරන් සමග එක්ව මීට වසර කිහිපයකට පෙර ලෝකය පුරා පවතින අතිශයින්ම බලාතික්‍රමනයක් කොට ඇති සමාගම් පිලිබඳව පර්යේෂණයක් පවත්වන්නට පටන් ගත්තා. සයිබර් අවකාශයේ සැරිසරා දැනමුතුකම් ලද විශේෂඥයින් රැසකින් ඔහුගේ කණ්ඩායම සමන්විත වුනා. Cyber-forensic analysis සහ Data visualisation යන අංශ තුලින් දස්කම් දක්වන ලද්දෝ ද ඊට අයත්.

සර්බියාවේ අන්තර්ජාල පහසුකම් සපයන්නන් පසුපස පවතින  අදෘශ්‍ය යටිතල පහසුකම් ස්ථර විවිධ මට්ටම් සහ හැඩයන් පිලිබඳ ඔවුන්ගේ මූලික අවධානය යොමු වූ බව ජෝලර් කියා සිටී.

ෆේස්බුක් යනු රටක් නම්, එය ලොව වැඩිම ජනගහනයකින් යුතු රට බවට පත්වෙනවා”

ෆේස්බුක් යනු රටක් නම්, එය ලොව වැඩිම ජනගහනයකින් යුතු රට බවට පත්වෙනවා” යනුවෙන් ජෝලර් පවසයි. ජෝලර් සර්බියාවේ නෝවා සැඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙසද සේවය කරන අතරතුර මෙම පර්යේෂණයට අත ගසා තිබේ. “ෆේස්බුක් භාවිත කරන සියළු දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව දිනකට තොරතුරු විශාල ප්‍රමාණයක් මෙම සමාජ ජාලයට මුදා හරිනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් වෙබ් අඩවිය අපගේ සේවා සපයන්නකු නොව, අප ෆේස්බුක්හී සේවකයන් බවට පත්ව තිබෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

මහාචාර්ය ජෝලර්ගේ පර්යේෂ්ණය පෙන්වා දෙන අන්දමට ෆේස්බුක් ගිණුම් හිමියෙකු විසින් යම් ඡායාරූපයක් උඩුගත කිරීමකදී, එහි තම මිතුරු මිතුරියන් ටැග් කිරීමේදී හා එහි කොමෙන්ට් පළ කිරීමේදී එම පුද්ගලයන් සියළු දෙනා වක්‍රාකාරයෙන් ෆේස්බුක් ආයතනයේ සේව්‍යයන් බවට පත් වේ.

(burbed.com)

ඊට අනුව, ගිණුම් හිමියන් විසින් සිදු කරනු ලබන සියළු ගනුදෙනු හරහා එහි ඇල්ගොරිත්මයන්ට යවනු ලබන තොරතුරු මගින් එම ගිණුම් හිමියන්ගේ හැසිරීම් රටාවන් නිෂ්පාදනයන් බවට පත් කෙරේ.

මෙසේ ගිණුම් හිමියන් විසින් මුදා හරිනු ලබන තොරතුරු උකහා ගැනීමට තවත් පහසු මගක් වන්නේ ෆේස්බුක් තුලින් අප ලයික් කරන විවිධ පිටු, ඇප්ලිකේෂන්ස් සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා ලබාදෙන තොරතුරු යනාදියයි. එසේ සොයාගනු ලබන තොරතුරු මගින් ගිණුම් හිමියන්ගේ වාර්ගික මූලාශ්‍ර, ලිංගික හැඩගැස්ම, දේශපාලනික සබඳතා, සමාජ පසුබිම මෙන්ම ගමනාගමන සහ සංචාර පිලිබඳ තොරතුරු ද ෆේස්බුක් ආයතනය විසින් උකහාගනු ලබයි.

ෆේස්බුක් හරහා ඉතා පහසුවෙන් ඔබගේ තොරතුරු ලබාගන්නා තවත් සමාජ ජාලා පවතී. වට්සැප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලා හඳහා ඇතුල් වීමේදී ඔබගේ ෆේස්බුක් ගිණුම තුල ඇති පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට එම ආයතනයන්ට අවසර දීම මගින් ඔබට පහසුවෙන් එම සමාජ ජාලා වෙත පිවිසීමට ඇකියාව ලැබේ.

ඒ හරහා අප නොසිතන අන්දමේ අති විශාල තොරතුරු සමුදායක් අදාල ඇල්ගොරිත්ම හරහා අප විසින් මුදා හරිනු ලබයි. ඔබගේ තොරතුරු පමණක් නොව, ඔබ ප්‍රිය කරන කෑ බීම වර්ග, ඔබ කැමති චිත්‍රපට හා නළු නිළියන්, ගීත, ඔබ සංචාරය කරන ප්‍රදේශ මෙන්ම ඔබේ සෙවා ස්ථානයේ සිදුවන සියළු තොරතුරු මෙන්ම ඔබගේ දරුවාගේ තොරතුරු හා ඡායාරූප පවා අනෙකුත් පුද්ගලයන් අතට ඉතා පහසුවෙන් යා හැක. ස්මාර්ට් ෆෝන් හරහා මෙම සමාජ ජාලා වෙබ් අඩවි සමග සම්බන්ධ වන සියළු දෙනා ගමන් කරනා ස්ථාන සහ ඔවුන්ගේ දුරකථන තුල පවතින කෙටි පණිවිඩ වල අන්තර්ගත තොරතුරු පවා උකහා ගැනීමට පවා මේ වන විට මග පෑදී ඇත.

http://www.theloop.ca

තනි තනිව ගත් කළ මෙම තොරතුරු සමුදායයන් සියල්ල ඉතා බලවත් ආයුධ ලෙස දැකිය හැකි වුවද, සියල්ලන්ගේම තොරතුරු එකට කැටි කොට ගත් විට ඒවා විසින්ම අපට එරෙහිව කටයුතු කිරීමට මග පාදා දෙනු ඇත යන්න ජෝලර්ගේ මතයයි.

මනුෂ්‍යයින්ගේ පෞද්ගලිකත්වයට හානි කර සිදුවීම් වෙත මූලික වන්නේ අප විසින්ම අපගේ පෞද්ගලිකත්වය සමාජ ජාලා වෙත මුදාහරින බැවිනි. එසේ කිරීමට හේතුව ඇතැම් විට අන් අයගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගැනීම පවා විය හැකිය. නමුත් එසේ කිරීම හරහා ලබන තාවකාලික තෘප්තිය සහ සතුට අවසානයේ අපට එරෙහිවම අවියක් වනුඇත්දැයි ඔබ සිතා නැත් ද? එසේ නම්, මේ ඒ ගැනත් සිතන්නට කාලයයි.

කවරයේ පින්තුරය: Wall Street Journal

කවරයේ ඡායාරූපය – http://nerdsmagazine.com

දත්ත උපුටා ගැනීම –  BBC.com වෙබ් අඩවිය ඇසුරිණි.