Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

MicroSD Card එකක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු දේවල්

වෙළඳපොළ තිබෙන දහස් ගණනක් නිෂ්පාදන මාදිලි, වෙළඳනාම, ප්‍රමාණය, ධාරිතාව, වේගය, තාක්ෂණයේ ස්වභාවය, භාවිතා කරන උපාංගය ඇතුළු හේතු සාධක ගණනාවක් නිසා නිවැරදි microSD කාඩ් එකක් තෝරාගැනීම ඔබට හිසරදයක් වෙන්නට ඇති. ඒ නිසා කාඩ්පත්වල මතුපිට දක්වා ඇති සංකේත කියවා ගනිමින් ඔබේ අවශ්‍යතාවයට වඩාත්ම ගැලපෙන එකක් තෝරා ගැනීමට මේ ලිපිය අවසානයේ ඔබට හැකියාව ලැබේවි.

microSD Card වර්ග හඳුනාගන්න

ප්‍රමාණය සමාන නමුත් තාක්ෂණය ‍එකිනෙකට වෙනස් (jeffgeerling.com)

හැම SD Card එකක්ම, ඕනෑම උපාංගයකටම ගැලපෙන්නේ නැහැ. ඒවායේ ප්‍රමාණය වෙනස්වීම, වේගය, ධාරිතාව ආදී විවිධ කාරණා නිසා ඔබේ කැමරාවට හෝ දුරකතනයට වඩාත් උචිත චිප් එකක් තෝරාගත යුතු වෙනවා. SD Card වර්ග ප්‍රමාණය අනුව වර්ග කීපයකින් යුතු වූවත් නූතනයේ වැඩිපුරම භාවිතා වන්නේ කුඩා ප්‍රමාණයේ ඒවා හෙවත් microSD Card නිසා අප මෙහිදී ඒවායේ වර්ග ගැන සලකා බලමු.

මෙතෙක් කල් microSD Card වර්ග තුනක් තිබුණත් 2018 ජුනි මාසයේ සිට තවත් එකක් එකතු වුණා. ඒ අනුව අපට දැන් වෙළඳපොළේ දී microSD, microSDHC, microSDXC, සහ microSDUC ලෙස ආකාර 4ක් හමු වෙනවා. ඒවා අනුපිළිවෙලින් නව තාක්ෂණයෙන් යුතු ඒවා වන අතර, ඒ එකක්වත් පැරණි තාක්ෂණයට සහාය දක්වන්නේ නැහැ. ඒ කියන්නේ, ඔබ සතු උපාංගය පැරණි එකක් නම් එය බොහෝ විට microSDXC හෝ microSDUC වෙත සහාය නොදක්වනවා විය හැකියි.

microSDHC, microSDXC සහ microSDUC කාඩ්පත් වර්ග (vox-cdn.com)

microSD කියන්නේ ඉතාම පැරණි වර්ගය යි. එහි උපරිම ධාරිතාව 2GB පමණ වෙනවා. microSDHC කාඩ්වල 2GB සිට 32GB දක්වා ප්‍රමාණයක් තිබෙනවා. මෙයට සහාය දක්වන උපාංග (කැමරා, දුරකතන) සාමාන්‍යයෙන් microSDXC සඳහාත් සහාය දක්වනවා. එම microSDXC කාඩ්පත්වල 32GB සිට 1TB දක්වා ධාරිතාවක් තිබෙනවා.

අලුතින් ආ microSDUC කාඩ්පත්වල 128TB තරම් ඉහළ ධාරිතාවන් තිබෙන නමුත් ඒ තාක්ෂණයට සහ එතරම් ඉහළ ධාරිතාවකට සහාය දක්වන උපාංග අවම නිසා එවැන්නක් මිල දී ගනිද්දී සැලකිලිමත් විය යුතු වෙනවා.

ඔබේ උපාංගයේ පිරිවිතර (Specifications) සොයාගන්න

උපාංගය අනුව චිප් එක තෝරාගත යුතුයි (unlockunit.com)

ඔබ සතු කැමරාව හෝ දුරකතනය ඉතාම සීමිත ප්‍රමාණයක microSD කාඩ්පත් ප්‍රමාණයකට පමණක් සහාය දක්වන නිසා ඒ ගැන සොයා බැලිය යුතු වෙනවා. ඉතාම මෑතක් වනතුරු Point-To-Shoot කැමරා මෙන්ම DSLR කැමරා පවා විශාල ප්‍රමාණයේ SD Card පාවිච්චි කළා. ඒවාට නම් ඇඩැප්ටරයක් මඟින් microSD කාඩ් එකක් පාවිච්චි කරන්නට පුළුවන්. එනම්, ප්‍රමාණය පිළිබඳ ගැටළුවට ඇඩැප්ටරය හොඳ විසඳුමක්.

microSD කාඩ් එකක් යොදද්දී එහි තාක්ෂණයට උපාංගය සහාය දක්වනවා ද යන්න ඊළඟට සොයා බැලිය යුතු වෙනවා. කැමරාවේ පෙට්ටියේ, User manual එකේ microSD, microSDHC, microSDXC යන ලකුණුවලින් මේ ගැන දක්වා තිබෙනවා. එහෙමත් නැත්නම් අදාල Model number එක Google කරලා ඒවා සොයාගන්නට පුළුවන්. දුරකතනයටත් අන්තර්ජාලය හරහා උපකාර ලබා ගත හැකි අතර ‍බොහෝ විට microSD, microSDHC, microSDXC සඳහා 2019 දක්වා නිපැයුණු දුරකතන සහාය දක්වනවා.

ඊළඟට උපාංගය සහාය වන උපරිම ධාරිතාව ‍සොයා බලන්න. උදාහරණයක් ලෙස Samsung A50 දුරකතනයක භාවිතා කළ හැකි වන්නේ 1TB තරම් ධාරිතාවක් පමණ යි. Redmi Note 7 දුරකතන සහාය දක්වන්නේ 256GB දක්වා පමණක් නිසා ඉන් ඉහළ කාඩ්පත් යොදන්නට නොහැකියි.

මතුපිට මුද්‍රණය කර ඇති සංකේත මොනවාද?

Class 10, U1 සහ A1 චිප් එකක් (androidcentral.com)

microSD කාඩ්වල සියළුම තොරතුරු එහි මතුපිට මුද්‍රණය කර තිබෙනවා. එම සංකේත නිවැරදිව කියවා ගත්තොත් ඔබට වඩාත්ම ගැලපෙන කාඩ්පත තෝරාගන්නට හැකි වෙනවා.

වේගය

microSD කාඩ්පත්වල C හැඩැති රවුමක් තුළ අංක යොදා තිබෙනවා. මේවා බොහෝ විට 2, 6, 10 වැනි අංක ලෙස දකින්නට ලැබෙනවා. මෙයින් කියවෙන්නේ කාඩ්පතෙහි වේගය යි. එය Class ලෙසත් හඳුන්වනවා.

Class 10 හෝ C හැඩයට රවුම් කළ 10 ඉලක්කමෙන් කියන්නේ එහි අවම වේගය යි. 10 මඟින් තත්පරයට මෙගා බයිට් 10 බව කියැවෙන අතර අනෙකුත් අංකවලින් එම වේගය ඇති බව දක්වනවා. නමුත් මෙම වේගය උපරිම වේගය නොවන නිසා ඇතැම් විට Class 6 හෙවත් 6MBps කාඩ්පතක Class 10 තරම් උපරිම වේගයක් තිබීමට ද හැකියාව තිබෙනවා.

සාපේක්ෂ වේගය

ඔබ සීඩී තැටිවල 8x, 16x ලෙස සඳහන් කර තිබෙනු දැක ඇති. සාමාන්‍යයෙන් CD එකක උපරිම දත්ත හුවමාරු වේගය ලෙස සලකන්නේ 150KB/s අගය යි. මෙය යොදා ගනිමින් ඇතැම් microSD කාඩ්වලත් CDවලට සාපේක්ෂව දක්වා තිබෙනවා.

100x යන්නෙන් අදහස් වන්නේ 150KB/s මෙන් සිය ගුණයක වේගයක් එනම්, 15MB/s වේගයක් ලද හැකි බවයි.

UHS වේගය සහ Bus වේගය

4K වැනි වීඩියෝ කරන අයට කැමරා සඳහා සුවිශේෂීව තැනූ microSD කාඩ්වල UHS හෙවත් Ultra High Speed නමැති සලකුණක් ද තිබෙනවා. U අකුරක් තුළ දක්වන අංකයක් මඟින් කාඩ්පත සතු වේගයේ 10 ගුණාකාරයක් දක්වනවා. එනම්, U අකුර තුළ 1 ලෙස සඳහන් ඒවායේ අඛණ්ඩ 10MB/s ලිවීමේ වේගයක් තිබෙනවා. දැනට තිබෙන්නේ 1 සහ 3 පමණ යි.

UHS-I හෝ UHS-II ලෙස ඩෑශ් ලකුණක් සමඟ හෝ හුදෙක් රෝම ඉලක්කමින් පමණක් දක්වන්නේ Bus Speed එකයි. UHS-I කාඩ් එකක උපරිම කියවුම් (Reading) වේගය 104MB/s තරම් වෙනවා. නමුත් Bus speed එකෙන් ඉහත කී ලිවීමේ වේගය මෙන් අඛණ්ඩ වේගයක් නොලැබෙන නිසා ඒකාකාරීව මේ වේගයම පවතින්නේ නැහැ. මන්ද, Bus speed එකෙන් දක්වන්නේ උපරිම වේගයක් වන අතර U අකුර තුළ යෙදූ ඉලක්කමෙන් දක්වන්නේ අවම වේගය යි.

V අගය

V30 කාඩ්පතක් (techspot.com)

microSD කාඩ්පත් මත V6, V60, V90 වැනි අගයයන්ගෙන් ද දක්වන්නේ වීඩියෝ කිරීම් වෙනුවෙන් විශේෂ සහායක් ලබාදෙන ඒවා යි. මෙමඟින් ද අවම වේගයක් දක්වන අතර V6 මඟින් 6MB/s ලිවීමේ වේගයකුත්, V90 මඟින් 90MB/s වේගයකුත් ලැබෙනවා.

A අගය

ඔබ ෆෝන් එකේ SD Card එකෙන් Apps පාවිච්චි කරනවා නම් A අංකය සහිත කාඩ්පතක් තෝරා ගත්තොත් සාමාන්‍ය එකකට වඩා වැඩි වේගයක් ලබා ගන්නට හැකි වෙනවා. මින් දක්වන්නේ Application Performance Class එක යි. A1, A2 ලෙස දක්වන මෙම අගයන් අප ඉහත කී සංකේත මෙන් එහි අංකය අනුව වේගය නොදක්වන නිසා ඉලක්කම අනුව වේගය වැඩි වන බවට මතක තියාගන්න.

කාඩ්පත වෙත ලිවීම හා ඉන් කියවීම IOPS (Input/output Operations per second) යන පොදු අගයෙන් දක්වනවා. A1 ලෙස සඳහන් ඒවායේ අහඹු කියවීමේ වේගය (random read speed) එක 1500IOPS වන අතර අහඹු ලිවීමේ වේගය 500IOPS වෙනවා.

තෝරාගන්නා ආකාරය

උපාංගයට ගැලපෙන චිප් එකක් තෝරාගන්න (iweb.co.uk)

ඉහත සංකේත අනුව ගලපමින් ඔබ microSD කාඩ් එක යොදාගන්නේ කුමන දේකට ද සහ ඔබ සතු උපාංගය කුමක්ද යන්න අනුව මිල දී ගත යුතු දේ තීරණය කළ යුතු වෙනවා.

RAW ‍ආකාරයෙන් ඡායාරූප ගන්නා කෙනෙක්ට වැඩි ඉඩකඩක් අවශ්‍ය නිසා microSDHC සහ U1 හෝ U3 අගයක් තෝරා ගැනීම උචිත යි. ලෝක SD කාඩ් සම්මේලනය දක්වන ආකාරයට ඔබ 4K වීඩියෝ ලබා ගන්නා කෙනෙක් නම් U3 ලෙස සඳහන් කාඩ්පතකුත්, HD වීඩියෝ නම් Class (6 හෝ) 10 තෝරාගත යුතු වෙනවා. එවිට Framesවල අඩුලුහුඬු නොමැතිව සුමටව වීඩියෝව ගබඩා කරගත හැකියි.

දුරකතනයේ සාමාන්‍ය භාවිතයට නම් Class 4 හෝ ඉන් ඉහළ එකක් ප්‍රමාණවත් වන අතර ඔබ දුරකතනයේ ඉඩ නැති නිසා microSD කාඩ්පතෙන් Apps ධාවනය කරන්නට බලාපොරොත්තු වෙනවා නම් A අගය ගැනත් සැලකිලිමත් වෙන්න.

හොර SD Card හඳුනා ගන්නා ආකාරය

කිසිදු නිෂ්පාදක නමක් සඳහන් නොවන චිප් (ytimg.com)

ඔබ අන්තර්ජාලයෙන් කාඩ් මිල දී ගන්නවා නම් ප්‍රසිද්ධ නමක් සහිත වෙළඳනාමයකින් තෝරාගන්න. කිසිදු නමක් නොමැති හෝ අමුතු නම් ඇති චීන නිෂ්පාදන වැඩි කාලයක් නොපවතින නිසා ඔබේ සියලුම දත්ත ඉන් අහිමිව යා හැකියි. ඒවායේ Read/Write වේගයන් ද අඩු නිසා ඉතාම සෙමින් දත්ත සංසරණය වෙනවා.

ප්‍රසිද්ධ ආයතනවල නම්වලින් ඉතාම අඩු මිලට විකුණන ඒවා ගැනත් සැලකිලිමත් විය යුතු යි. ඒවායේ සඳහන් ධාරිතාව ඔබ පරිගණකයට දුරකතනයට චිප් එක දැම්මාට පසුව ද එලෙසින්ම පෙන්වන නමුත් සත්‍ය වශයෙන් ඇත්තේ ඉතාම අඩු අගයක්. උදාහරණයක් ලෙස 512GB ලෙස සඳහන් එකක තිබෙන්නේ 8GB විය හැකියි. මෙය දැනගැනීමට අදාල චිප් එක ඔබට තැපෑලෙන් ලැබුණු වහාම H2testw (වින්ඩෝම්/ලිනක්ස්/මැක්) හෝ F3 (ලිනක්ස්/මැක්) වැනි මෘදුකාංගයකින් පරීක්ෂා කරන්න. එවිට එය වංචා සහගත ලෙස පෙනෙනවා නම් කල් ගත නොකර Refund එකක් ඉල්ලාගන්න.

ඉතින් මේ දේවල් හරියට කළොත් ඔබට නොරැවටී, ඔබට ගැලපෙන ම microSD Card එක ලබාගන්නට පහසුවෙන්ම හැකි වේවි.

කවරය: thewirecutter.com

Related Articles