Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිගණකය බැකප් කළයුතු ආකාරයට අත්වැලක්

කාලය රන් හා සමානයි කිව්වාට අපේ පරිගණකයේ දත්ත රත්තරන්වලටත් වඩා වටින බව රහසක් නොවෙයි. අවුරුදු ගණනක් තිස්සේ කරන ලද ලිපි කටයුතු හෝ නිර්මාණ මෙන් ම පවුලේ ඡායාරූප, වීඩියෝ, චිත්‍රපට ආදී හැම දෙයක් ම අපිට ඉතා ම වැදගත් දේවල් බවට පත්ව තිබෙනවා. හදිසියේ හෝ හාඩ් ඩිස්කයේ දුබලතාවයක් ඇතිවීමෙන් මේ දේවල් සදහට ම නැතිව ගියොත් කියන හොල්මන්වලටත් වඩා බිය ගෙන දෙන කාරණය මේ නිසා ම හැම කෙනෙක්ට ම තිබෙනවා.

ඉතින් මේ දත්ත දිවි හිමියෙන් රකින්නට ඔබ කළ යුත්තේ කුමක්ද යන්න සහ ඔබ මේ සඳහා ගත යුතු හොඳ ම තීරණය කුමක්ද යන්න නිර්ණය කිරීම සඳහා අත්වැලක් සැපයීම මේ ලිපියේ අරමුණ වෙනවා.

දත්ත උපස්ථ (backup) කළ යුතු ද?

peak10.com

මෙයට පිළිතුර ඔබ සතු දත්ත ප්‍රමාණය සහ එහි වටිනාකම අනුව තීරණය වෙනවා. එසේ ම ඒ දත්ත අතරින් ද බැකප් කළ යුතු සහ කිරීමට අනවශ්‍ය ලෙස දත්ත දෙකොටසකට බෙදෙනවා. ඡායාරූප, මූල්‍යමය වාර්තා, පාසලේ හෝ කාර්යාලයේ ලියකියවිලි මෙන් ම මෘදුකාංග, මෘදුකාංග සැකසුම් (Settings), මෙහෙයුම් පද්ධතිය ද මෙම දත්ත සමූහය අතරට ගොනු කරන්නට පුළුවන්.

මේ සියල්ල ම එකවර උපස්ථ කරනවා නම් පූර්ණ පද්ධති උපස්ථයක් (full-system backup) වැඩි මහන්සියකින් තොරව, බොහෝ විට තනි ක්ලික් එකකින් තනන්නට පුළුවන්. ඔබ මේ ක්‍රමය කර බැලූ කෙනෙක් නම් දැනටමත් ඇහිබැමි උඩ ගිහින් ඇති.

ෆුල් සිස්ටම් බැකප් කියන්නේ හිසරදයක්

stevenwrigley.com

එහෙම වෙන්න විධියක් නැහැනේ. පරිගණකය සම්පූර්ණයෙන් ම බැකප් කරගන්න පුළුවන් නම් හදිසියේ මොනවා හරි පරිගණකයට සිද්ධ වුණොත් එය ඒ ආකාරයෙන් ම නැවතත් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනවා. හැබැයි එය හොඳ දෙයක් වෙන්නේ ඔබ වෘත්තිමය වශයෙන් හෝ නිවසේ භාවිත කරන පරිගණකය හදිසියේ බිඳ වැටීමක් සිදුවී නැවත ඒ තත්වයෙන් ම අවශ්‍ය වෙනවා නම් පමණයි.

සාධාරණීකරණ හේතු

ෆුල් සිස්ටම් බැකප් එකක් කිරීමේදී මුළු පරිගණකය ම ඒ කියන්නේ අඩුම තරමේ ගිගාබයිට් තුන්-හාරසියයක්වත් ඒ ආකාරයෙන් ම නැවතත් කොපි වෙනවා. එ් කියන්නේ ඊට සමාන ඉඩ ප්‍රමාණයක් සහිත තවත් හාඩ් එකක් හෝ බාහිරින් සබැඳිය හැකි External හාඩ් එකක් ඔබට අවශ්‍ය වෙනවා. ඒ වගේ ම මෙම ක්‍රියාවලිය සඳහා ඉතා හොඳ දත්ත ගබඩා කිරීමේ සහ සංසරණය කිරීමේ උපාංග භාවිත කළත් අවම වශයෙන් පැය තුන-හතරක් වත් ගතවෙනවා. පෙර සඳහන් කළා වගේ ඔබේ පරිගණකය තිබෙන පරිද්දෙන් ම අවශ්‍ය නම් මේ ගත කරන කාලය අපතේ යන එකක් නැහැ.

ඒත් මේ බැකප් එක එදිනෙදා යාවත්කාලීන (update) වෙන්න ගියා ම කොහොම වෙයි ද? සම්පූර්ණ වශයෙන් නව බැක්අප් එකක් කරනවා වෙනුවට වර්ධන උපස්ථයක් (incremental backup) ඒ සඳහා භාවිත කරන්නට පුළුවන්. ඒ කියන්නේ, මුල්වරට පූර්ණ පද්ධති බැකප් එකක් කරලා; ඉන් අනතුරුව ඔබ අලුතින් වෙනස් කරන ගොනු පමණක් හඳුනාගෙන ඒවායෙන් පමණක් ඒ බැක්අප් එක යාවත්කාලීන කරන මෘදුකාංගයක් භාවිත කළ හැකියි.

බාධා දැක නවතින බැකප් නදිය

pmaconsulting.co.za

කොහොම නමුත්, මේ ක්‍රමයට බාධාවන් රැසක් තිබෙනවා. බැකප් කිරීම සඳහා ඔබට තවත් හාඩ් ඩිස්ක් මිලදී ගන්නට සිදුවන නිසා මුදල් වැයවීම ටිකක් වැඩියි. පරිගණකය අභ්‍යන්තරයේ ම සවිකරන හාඩ් එකක් නම් මිල ටිකක් අඩු වුණත් පරිගණකයට වෛරසයක්, විදුලි සැර වැදීමක් හෝ කාන්දුවීමක් සිදු වුණොත් බැක්අප් හාඩ් එකටත් අබසරණයි. ඒ වගේ ම මේ සඳහා විශේෂ මෘදුකාංග අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන් ම ඒවා නොමිලේ ලබාගන්නට හැකි වුණත් එවන් මෘදුකාංගයක් මත ඔබේ ඔතරම් වටිනා දත්ත සමුදාය වෙනුවෙන් විශ්වාස කළ හැකි වේවිද?

ඔබ “සේර ම හරි” කියලා හිතාගෙන හිටියත් එය ඇතැම්විට දත්ත බැකප් කරන්නේ වැරදි ආකාරයකට වෙන්න පුළුවන්. නමුත් එය හසුවෙන්නේ කවදා හෝ ප්‍රතිෂ්ඨාපනය (Restore) කිරීමේදී යි. එවිට “පමා වැඩියි – ඔබ පමා වැඩියි” ගීතය ගයන්නට තමයි වෙන්නේ.

ඔබ පරිගණකයේ වේගය අඩාල වෙලා තිබෙන විට ෆෝමැට් කරලා නැවත මුල් වේගය ලබාගන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, මේ පූර්ණ බැකප් එක ගහන එකෙන් නම් කිසිම තේරුමක් වෙන්නේ නැහැ. මොකද, මෙය නැවතත් ඔබට ලබා දෙන්නේ ලෙඩරෝග සහිත පරණ පරිගණකය ම යි. වෛරසයක් පැමිණ දත්ත හානිවීමක් සිදුවූවත් පූර්ණ බැක්අප් එකෙන් නැවත ඒ වෛරස් එකත් ඔබට නොමිලේ ම අලුත් පරිගණක පද්ධතියට ලබාගන්නටත් අවාසනාවන්ත අවස්ථාවක් ලැබෙනවා.

අවශ්‍ය දේවල් තෝරා බේරාගන්න

සියල්ල ම ගෙඩිය පිටින් බැකප් කරනවාට වඩා තෝරා වෙන් කිරීම සාක්කුවට මෙන් ම කාලය ඉතුරුවීම සහ ආරක්ෂාව වෙනුවෙන් බෙහෙවින් බලපානවා. ගෙදර කුණු බැහැර කරන්න කලින් ඒවා වෙන් නොකිරීම නිසා කෙතරම් විනාශයක් පසුගිය සමයේ රටට සිදුවූවා ද කියා අමුතුවෙන් කිව යුතු නැහැ. දත්තවලටත් එහෙමයි. ගොනු වර්ගය අනුව, රැකගත යුතු වටිනාකම අනුව, ප්‍රමාණය අනුව ඔබ හොඳින් වර්ගීකරණය කළොත් බැකප් කළ යුත්තේ මොනවාද යන්න පහසුවෙන් තෝරාගත හැකි වෙනවා.

වළාකුළු පරිගණකකරණය (Cloud computing)  පැත්තට හැරෙමු

ytimg.com

සීඩීවලට රයිට් කර කර දත්ත රැකගැනීමේ ක්‍රමය අවසන් වෙලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා. ඔබ එසේ කර ඇත්නම් හීරිලා, පුස් හැදිලා ඒ සීඩීවලට දැන් අත්වී ඇති ඉරණම ඔබට ම පෙනෙනවා ඇති. තවත් හාඩ් එකක් අරගෙන ඒක පරිස්සම් කරනවාටත් වඩා ක්ලවුඩ් ස්ටෝරේජ් එකක ඔබේ දත්ත තබනවා නම් ඒක වාසි ගොඩක් ගෙන එනවා. හැබැයි ඉතින් හොඳ ඉන්ටර්නෙට් සබඳතාවක් සහ වාසිදායක පැකේජ් එකක් තියෙන්න ඕනේ.

මේ වනවිට බොහෝ සමාගම් සහ වෙබ් අඩවි නොමිලේ ඉඩ පහසුකම් ලබාදෙමින් ඔබේ දත්ත හා ගොනු උඩුගත කොට රැකගන්නට අවස්ථාව සලසා තිබෙනවා. Google Drive, මයික්‍රොසොෆ්ට් සමාගමේ One Drive සහ Dropbox මේ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

ඡායාරූප සහ වීඩියෝ

blogspot.com

ඔබේ සියලු ඡායාරූප ගූගල් ඩ්‍රයිව් දැම්මොත් එහි තිබෙන ඉඩ ප්‍රමාණය ඉක්මණින් පිරී අවසන් වෙනවා. ඡායාරූප ගණනෙහි වැඩි බව මෙන් ම බරින් වැඩි බව ඊට හේතුව යි. ඉතින් ඉඩත් රැකගෙන පින්තූර ටිකත් පරිස්සම් කරගන්න ඕන වෙනවා. මේකට පිහිටට එන්නේ Google Photos සේවාව යි. එම සේවාව හරහා 16MP තරම් ගුණාත්මක බවකින් යුත් ඡායාරූප සහ 1080p තරම් වීඩියෝ උඩුගත කර තබාගන්න පුළුවන්. මේ සඳහා කිසිදු ඉඩක් වැය නොවන අතර සම්පූර්ණයෙන් ම නොමිලේ සැපයෙන සේවාවක්.

ලියකියවිලි

spanning.com

ඡායාරූප වශයෙන් පවතින ලියකිවිලි තිබෙනවා නම් ඒවාත් ඉහත ඡායාරූප මාතෘකාවට ම තමයි අදාල වෙන්නේ. ගූග්ල් ෆොටෝස් සතුව එවන් ලියකියවිලි වෙන් කොට හඳුනාගෙන කාණ්ඩ කිරීමේ හැකියාවක් පවතින නිසා අනෙක් ඡායාරූප සමඟ ලියකියවිලි තිබුණාට ගැටළුවක් වෙන්නේ නැහැ.

ඔෆිස් වර්ගයේ ලිපි ගොනු, Text ෆයිල් එහෙම තිබෙනවා නම් ඒවාට උරුම වෙන්නේ ගූග්ල් ඩ්‍රයිව්, ඩ්‍රොප්බොක්ස් වැනි ගබඩා මාධ්‍යයකුයි. ඔබ වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට් ගොනු නිතර පිළියෙළ කරන කෙනෙක් නම් පරිගණකය මත මයික්‍රොසොෆ්ට් ඔෆිස් හොර කොපියකින් ලැජ්ජාවෙන් ඒක ටයිප් කරනවාට වඩා නොමිලේ ලබාදෙන Google Docs භාවිත කරන එක කෝකටත් හොඳයි. මෙසේ සකසන ගොනු සඳහා ටෙරා බයිට් එකක් යනතුරු ගූග්ල් ඩ්‍රයිව් එකේ ඉඩ වැය වෙන්නේත් නැහැ. එසේම මෙම ගොනු ඔබ ටයිප් කරන අතරතුර ම සේව් වන නිසා නිතර නිතර Ctrl+S ඔබන්නට තිබුණු පුරුද්ද නැති කරගන්නටත් පුළුවන්. ඒ වගේ ම ටයිප් කරන අකුරක් ගානේ බැකප් එකත් ඉබේ ම වෙනවා.

ගීත සහ චිත්‍රපට

wordpress.com

ඔබ නෙට්ෆ්ලික්ස්, ස්පොටිෆයි වගේ නීත්‍යානුකූල අන්තර්ජාල චිත්‍රපට හෝ ගීත සේවාවන් භාවිත කරනවා නම් බැකප් කිරීම ගැන පොඩ්ඩක්වත් වද වෙන්න දෙයක් නැහැ. ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක ඕනෑම ගීතයක්, චිත්‍රපටයක් හෝ ටීවී සීරීස් එකක් ඔබේ පැකේජයට අදාලව ලබා ගන්නට පුළුවන්.

හැබැයි ඉතින් හොරෙන් ඩවුන්ලෝඩ් කරපු සින්දු, චිත්‍රපට තිබෙනවා නම් ඒවා රැකගන්නට ඉතිරි වෙන්නේ External හාඩ් එකක පිහිට ම විතරයි. මොකද, ගිගාබයිට් ගණන් වැය කරලා අමාරුවෙන් ඩවුන්ලෝඩ් කරගත්තු ඒවා ආයෙත් Cloud එකකට අප්ලෝඩ් කරනවා කියන්නේ වක්කඩට ඉණි කපලා ගඟේ හකුරු හැංගුවා වගේ වැඩක්.

වෙනත් සැකසුම්

පද්ධති සැකසුම් බොහොමයක් ඇන්ඩ්‍රොයිඩ් මත දී නම් ඔබේ ගූග්ල් ගිණුම තුළ ම ස්වයංක්‍රීයව සේව් වෙනවා. මේ නිසා නව දුරකථනයක් මිලදී ගෙන ඒ ගූග්ල් ගිණුමෙන් ම පිවිසුණා ම ඒ Settings ටික ඒ විධියට ම එනවා. පරිගණකයේත් වින්ඩෝස් 10 වලදී නම් ඔබේ මයික්‍රොසොෆ්ට් ගිණුම සමඟ ඔබේ Settings සුරැකෙන නිසා ඒ ප්‍රශ්නයත් මේ වන විට විසඳිලා හමාරයි.

උබුන්ටු සඳහා පද්ධති සැකසුම් බැකප් කිරීමට Terminal එකේ පහත විධානය ලබා දෙන්න. මේවායේ username යන කොටස වෙනුවට ඔබේ ගිණුමේ නම යොදන්න.

rsync –progress /home/username /path/to/user/profile/backup/here

සැකසුම් ප්‍රතිස්ථාපනයට:

rsync –progress /path/to/user/profile/backup/here /home/username

ඔබත් දත්ත හානිවීමකට ලක් වෙලා බැකප් එක නිසා ගොඩගිය කෙනෙක් ද? එහෙමත් නැත්නම් දත්ත සම්පූර්ණයෙන් ම නැතිව ගියා ද? අපි කැමතියි ඒ අත්දැකීම් ඔබ Comment එකකින් බෙදා ගන්නවා නම්.

කවරයේ ඡායාරූපය: fixlaptop.co.uk

මූලාශ්‍ර: cnet, askubuntu

Related Articles