Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

SMART විදියට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න

ලෝකයේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟම තොරතුරු තාක්ෂණයේ විශිෂ්ඨතම ප්‍රතිඵලයක් වෙන අන්තර්ජාලය භාවිතා කරන පිරිසත් දිනෙන් දිනම වැඩිවෙන ආකාරය අපිට දැකගන්නට පුළුවනි. මීට අවුරුදු 10කට කළින් 3.6% වෙච්ච අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරනා ජනගහන ප්‍රතිශතය 2016 වසර වෙනකොට 29.3%ක් දක්වා වැඩිවෙලා, ඉතින් ඔය වගේ දත්ත සමගින් අන්තර්ජාලය ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ අපේ ජීවිතවලටත් සම්බන්ධ වෙන ආකාරය පිළිබඳව හොඳ වැටහීමක් ලබාගන්න පුළුවනි.

අන්තර්ජාලයේ ජීවත් වෙන්න නම් ඒකට ගැලපෙන විදියට ඉන්න ඕනේ කියන එකයි අපේ අදහස. යහපත් අයහපත් මිනිස්සු හැමෝගෙන්ම පිරිලා තියෙන තැනක් වෙන අන්තර්ජාලය, තමන්ටත් අනිත් අයටත් කරදරයක් නොවී SMART විදියට පාවිච්චි කරන විදි ගැනයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

1) දකින දකින දේ ඩවුන්ලෝඩ් කරන්න එපා

besocialmediawise.com

අපි හැමෝම ආසයි අපිට ප්‍රයෝජනයක් තිබුණත් නැතත්, නිකම් ලැබෙන දේවල් අරගෙන තියාගන්න. මේ ගතිය හොඳටම ඉස්මතුවෙන්නේ අන්තර්ජාලයේදීයි. නිකමට කල්පනා කරන්න ඉන්ටර්නෙට් ගියාම ඩවුන්ලෝඩ් කරන දේවල් ගැන. තමන් දකින දකින සොෆ්ට්වෙයා එක, සිංදු, ගේම්ස්, ෆිල්ම්, ටීවී සීරීස්, PDF මෙකී නොකී හැම එකම පිස්සුවෙන් වගේ ඩවුන්ලෝඩ් කරන අය ඔබත් අනන්තවත් දැකලා ඇති.

සමහර අයගේ ජංගම දුරකථනත් එහෙමම තමයි. ඒවටත් ඉන්ස්ටෝල් කරගෙන නැති ඇප් එකක් නැහැ. ඔබ දන්නවාද, ඔබේ පරිගණකයට, ස්මාට් ෆෝන් එකට එන වෛරස්වලින් සැළකිය යුතු ප්‍රතිශතයක් මේ අනවශ්‍ය ඩවුන්ලෝඩ් හරහා ඔබම ගෙන්වා ගන්නා බව? පරිගණක වෛරස් සහ පරිශීලකයාගේ තොරතුරු සොරාගන්න, විකෘති කරන්න ආදී හානිකර කටයුතු සිදුකරන්නම හදපු ඇප් අන්තර්ජාලය තුළ අනන්තවත් තියෙනවා. ඒ නිසා, දකින දකින හැමදේම ඩවුන්ලෝඩ් නොකර තමන්ට අවශ්‍ය දේවල් විතරක් ඩවුන්ලෝඩ් කරගන්න එක ඉතාම SMART වැඩක් විදියටයි අපි දකින්නේ. ඒ වගේම ඒ ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක Anti-Virus එකකින් පරික්ෂා කරගන්න එක අත්‍යවශ්‍යයි කියලා ආයේ අලුතෙන් කියන්න ඕනේ නැහැ නේ නේද. (හොඳ Anti-Virus එකක් තෝරගන්න හැටි)

2) දකින දකින හැම එකම ක්ලික් කරන්න එපා

සිරිමත් මගෙ සකි, යහපත් ළමයෙකි. ඔබත් සිරිමත් වගේ වෙන්න

වෙබ් අඩවිවලට පිවිසුනාම නොයෙක් ආකාරයේ දැන්වීම් සහ ප්‍රචාරණයන් සහිත බැනර් සහ ඒවාට ඈඳුන ලිංක් දකින්නට පුළුවනි. ඒ වගේම ඊමේල් හරහාත් පැමිණෙන, යම් ලිංක් එකක් ක්ලික් කළාම ගජ වාසියක් ලබාගන්න පුළුවන් ආකාරයේ දැන්වීම් ඔබදැක ඇති. ඒ ආකාරයේ ලිංක් ක්ලික් කිරීමෙන් හැකිතාක් වැළකෙන්න කියන එක තමයි අපේ නිර්දේශය. බොහෝ වේලාවට ඒ වගේ ලිංක් හරහා ඔබව ගෙනැවිත් දමන්නේ පරිගණක වෛරස් වර්ග පිරී තිබෙන වෙබ් අඩවියකටයි. විශාල ත්‍යාග මුදලක් හෝ වෙනත් වාසියක් බලාපොරොත්තුවෙන් ඒ වෙබ් අඩවියට පිවිසෙන ඔබට සැබවින්ම ලැබෙන්නේ පරිගණක වෛරස් විශාල ප්‍රමාණයක එකතුවක්. ඉතින් තව දුරටත් ඒ වගේ අසත්‍ය තොරතුරු සපිරි වංචාකාරී ලිංක් ක්ලික් කරන්න පෙළඹෙනවද නැතිද කියන එක තනිකරම ඔබගේ තීරණයක්.

3) ඉන්ටර්නෙට් එකේ දකින හැමදේම ඇත්ත නෙමේ

takeasecondchance.com – දකින සියල්ල සත්‍යය නොවේ

මිනිසුන්ව රැවටීම හරහා විවිධ ව්‍යාපාරයන් සිදු කිරීම සහ ලාභ ලැබීම අරමුණු කරගෙනම සිදුකරන විවිධාකාර අසත්‍ය ප්‍රචාරයන් පැතිරවීම අන්තර්ජාලයේදී දිනපතාම දකින්නට ලැබෙන පොදු ලක්ෂණයක්. නියම ආකාරයට වචන හසුරවා දර්ශනීය ලෙස නිර්මාණය කරපු ඡායාරූප කීපයකින් හැඩ කරන ලද මේ ආකාරයේ අසත්‍ය ප්‍රචාරයන් හඳුන්වන්නේ Hoax කියන නමෙන්.

උදාහරණයක් ගත්තොතින්, තමන්ට සිදුවූ අවමානය ගැන කළකිරී සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් තරුව සියදිවි නසාගනී වගේ මාතෘකාවකින් යුතු Hoax එකක් හරහා අපේ රටේ විතරක් නෙමේ ලෝක ජනතාවගෙනුත් මිලියන කීපයක් රවට්ටන එක මහ දෙයක් නෙමේ. මේ වගේ Hoax එකක් දැකපු ගමන් ඒකේ පෙනෙන්නට තියෙන විශ්වාසනීයභාවය නිසාම මිනිසුන් රැවටෙන්නේ මිලියන ගණනින්. ඉතින් ඒ නිසා, අන්තර්ජාලයේදී යම් දෙයක් දුටු පමණින් ඒ දේ පරම සත්‍යයමයි කියලා හිතන්න මෝඩ වෙන්න එපා කියන එකයි අපේ අවවාදය.

4) හැම තැනකටම එකම පාස්වර්ඩ් එක යොදන්න එපා

gizmojunkee.com – එක එකවුන්ට් එකකට එක පාස්වර්ඩ් එකක්

මේ වනවිට ඔබට සමාජ ජාල වෙබ් අඩවි කීයක පරිශීලක ගිණුම් කීයක් තියෙනවද? ඊට අමතරව වෙනත් වෙබ් අඩවි සහ අන්තර්ජාල බැංකු කටයුතු සඳහා භාවිතා කරන ගිණුම් කීයක් තියෙනවද? ඔබ දන්නවාද, පරිගණක ආරක්ෂාව පිළිබඳ සේවා සපයන බ්‍රිතාන්‍ය ආයතනයක් මඟින් 2013 වසරේදී ඉඳිරිපත් කරපු වාර්ථාවකට අනුව, 55%කට අධික පිරිසක් තමන්ගේ සෑම ගිණුමක් සඳහාම පාවිච්චි කරන්නේ එකම Password එක බව? බොහෝ දෙනෙක් මේ අනුවණ වැඩේ සිදුකරන මූලිකම හේතුව තමයි කම්මැලිකම. කවුරුන් හෝ කෙනෙක් විසින් ඔබගේ එක ගිණුමක Password එක සොරාගැනීමක් සිදුකළෝතින්, ඒ Password එකම භාවිතා කරමින් ඔබේ සියළුම අන්තර්ජාල ගිණුම්වලට අනවසරයෙන් පිවිසෙන්න හැකියාව තිබෙන බව දැන් ඔබට පැහැදිලි ඇති. මේ නිසා අන්තර්ජාලයේ ඔබ විසින් නිර්මාණය කර ඇති සෑම ගිණුමකටම එකකට එකක් වෙනස් Password පාවිච්චි කරන්න කියලයි අපි නිර්දේශ කරන්නේ. (අපි විසින් වෙනස් කළ යුතුම Password 5ක්)

ඒ වගේම ඔබගේ අන්තර්ජාල ගිණුම්වල ආරක්ෂාව වැඩි කරගන්න 2 Factor Authentication නැතිනම් 2FA භාවිතා කරන්න කියලත් යළිත් වතාවක් මතක් කරන්න කැමතියි. (2 Factor Authentication ගැන වැඩි දුර කියවන්න)

5) Social Media භාවිතය ප්‍රවේශමෙන්

komando.com – Social Media එක්ක හැම තිස්සෙම SMART වෙන්න

අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් අති බහුතරයක් දෙනා Social Media සමඟත් දිනපතාම වාගේ ගණුදෙනු කිරීම සිදුකරන බව අපි හැමෝම දන්න දෙයක්. Social Media පාවිච්චි කරන යම් දෙනෙක් සිදුකරන ප්‍රධාන වැරැද්දක් තමයි, Social Media account එක තමන්ගේ දිනපොත කරගන්න එක. බොහෝ වෙලාවට Facebook, Twitter, Instagram වගේ Social Media තුළදී මේ තත්ත්වය අපිට බහුලවම දැකගන්නට පුළුවනි. ඔබගේ පෞද්ගලික තොරතුරු, ඔබේ දෛනික ජීවිතයේ තොරතුරු, ඔබේ දරුවන්ගේ හෝ ඥාතීන්ගේ ඡායාරූප, රැකියා ස්ථානයේ කරුණු වගේ දේවල් විශාල වශයෙන් Social Media තුළ පළකිරීම සිදුකරන්නම එපා කියන එක තමයි අපේ නිර්දේශය. නිකමට හිතන්න, ඔබේ රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගේ ඇති අඩුපාඩු ඔබ නිරන්තරයෙන් Social Media තුළ පළකරන බව යම් කිසි ආකාරයකින් ආයතන ප්‍රධානීන්ට දැනගන්නට ලැබුණෝතින්, ඔබේ රැකියාව අවසන් වීමට එයම එකම හේතුව වීමට තියෙන ඉඩ ඉතාම වැඩියි.

ඒ වගේම ඔබගේ Social Media accounts සියල්ල එකිනෙක සමඟ Sync කිරීමෙන් වැළකීමත් අත්‍යවශ්‍ය දෙයක්. කවුරුන්හෝ කෙනෙක් විසින් යම් කිසි ආකාරයකට ඔබගේ Social Media account එකක Password එකක් සොරාගත්තෝතින්, Sync කරන ලද අනිත් accounts සියල්ලේම පාලනයත් ඒ පුද්ගලයාට ලබා ගත හැකියි. මේ නිසා Social Media accounts එකිනෙක Sync නොකිරීම ඔබගේම ආරක්ෂාව පිණිස අතිශය වැදගත් දෙයක් කියන එක පැහැදිලියි නේද. මේ හැම දෙයක් ගැනම කල්පනා කරලා, SMART විදියටම Social Media පාවිච්චි කරන්න පුරුදුවෙන්න කියලත් අපි ඔබගෙන් යළිත් වතාවක් ඉල්ලා සිටිනවා. (SMART විදියට Social Media පාවිච්චි කරන හැටි)

6) SPAM ඊමේල්වලට ප්‍රතිචාර දක්වන්න එපා

connectnigeria.com – SPAM ඉතින් කෙළින්ම ඩිලීට් තමයි

තමන්ගේ භාණ්ඩ හා සේවාවන් හඳුන්වාදීම සඳහා විවිධ පුද්ගලයන් සහ සමාගම් විසින් ඊමේල් පණිවිඩ එවීම බොහොම ඈත අතීතයේ සිටම සිදුවෙන දෙයක්. මේ වෙළඳ ප්‍රචාරණ ඊමේල් නිසා පරිශීලකයන්ගේ ඊමේල් ගිණුමේ inbox එක පිරී ඉතිරී වෙනත් වැදගත් ඊමේල් වලට ඉඩක් නොමැතිවීම විශාල ගැටළුවක් වීම නිසා ඊමේල් සේවා සපයන සමාගම් ඒ වගේ වෙළඳ ප්‍රචාරණ ඊමේල් වෙනම folder එකකට යොමුකිරීමට පසුකාලීනව පියවර ගත්තා.

ඔබගේ ඊමේල් ගිණුමේ තිබෙන SPAM ඊමේල් folder එක තමයි අන්න ඒ වෙළඳ ප්‍රචාරණ ඊමේල් ස්වයංක්‍රීයවම ගබඩා වෙන තැන. බොහෝ අන්තර්ජාල පරිශීලකයන්ගේ තිබෙන වැරදි අදහසක් තමයි SPAM ඊමේල් වල තිබෙන UnSubscribe ලිංක් එක ක්ලික් කිරීමෙන් හෝ ඒ ඊමේල් එකේම අවසානයේ උපදෙස් දී තිබෙන විදියට පිළිතුරු ඊමේල් එකක් එවීමෙන් මේ SPAM කරදරයෙන් බේරෙන්නට පුළුවනි කියන අදහස. නමුත් ඇත්තම කතාව ඊට බොහෝ වෙනස්. ඔබ ඒ විදියට SPAM ඊමේල්වලට රිප්ලයි කිරීමෙන් සිදුවන්නේ ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එක සත්‍ය වශයෙන්ම භාවිතයේ පවතින, දිනපතා ඊමේල් පරික්ෂා කරන ගිණුමක් විදියට ඒ SPAM ඊමේල් එවන පුද්ගලයින් විසින් සනාථ කරගැනීම. මේ නිසා ඔබට දිනකට පැමිණෙන SPAM ඊමේල් ප්‍රමාණය හතරපස් ගුණයකින් ඉහළයාම මිසක් අඩුවීම නම් කිසිම දවසක සිදුවෙන්නේ නැතිබව පවසන්නම වෙනවා. ඒ නිසා කිසිම දවසක SPAM ඊමේල්වලට පිළිතුරු හෝ ප්‍රතිචාර දැක්වීම සිදුනොකරන්න කියන එක අපි දැඩිව නිර්දේශ කරනවා.

7) අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්නේ පරිස්සමෙන්

techinasia.com – Online Shopping ප්‍රවේසමෙන්

අන්තර්ජාලයේ දියුණුවත් සමඟ ඒ හරහා විවිධ භාණ්ඩ සහ සේවාවන් මිලදී ගැනීම බොහෝ දෙනෙක් සිදුකරන දෙයක්. සෑම විටකදීම පිළිගත් වෙබ් අඩවිවලින් පමණක්ම ඒ භාණ්ඩ සහ සේවාවන් මිලදී ගැනීම සිදුකිරීම ඔබේ ආරක්ෂාවට ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම පොදු ස්ථානවලදී කිසිම විටකදී ඔබගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් භාවිතා කරමින් අන්තර්ජාල ගණුදෙණු සිදුකරන්න එපා කියලත් මේ වෙලාවේදී විශේෂයෙන්ම දැනුවත් කරන්න අවශ්‍යයි.

ඔබ පිවිසෙන වෙබ් අඩවිවල ඇති දේ කියවා තේරුම් ගැනීමට ඔබට නොහැකිනම්, ඒ වෙබ් අඩවියේ භාෂාව ඔබ දන්නා භාෂාවක් නොවේ නම්, වෙබ් අඩවියේ පෙනුම සහ ක්‍රියාකාරීත්වය සැක කටයුතුනම්, කිසිම අවස්ථාවකදී ඒ ආකාර වෙබ් අඩවියක් හරහා ගණුදෙණු කිරීම සිදුකරන්න එපා කියන දේත් අපි දැඩිව නිර්දේශ කරනවා. ව්‍යාජ තොරතුරු පෙන්වමින් පාරිභෝගිකයන්ව විවිධ ආකාරයෙන් රැවටීමට ලක් කර මුදල් වංචාකරනා වෙබ් අඩවි අන්තර්ජාලයේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ආකාරයේ වංචනිකයන්ට රැවටීමට ඔබට කිසිම අවශ්‍යතාවයක් නැහැ නේද. (රැවටෙන්නේ නැතිව අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නේ මෙහෙමයි)

බෝනස්

nytimes.com – පොදු ස්ථානවලදී ඒවා එපා

වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවිවලට පිවිසීම අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනෙක් සිදුකරන ක්‍රියාවක්. 2016 වසරේදී පමණක් ලෝකයේ ඇති ජනප්‍රියම කාමෝද්දීපන වෙබ් අඩවියක් භාවිතා කර ඇති අවස්ථා ගණන බිලියන 23ක්. ඒ වගේම අන්තර්ජාලයේ ඇති සමස්ථ අන්තර්ගතයෙන් 30%ක් පමණ කාමෝද්දීපනය හා සම්බන්ධ අන්තර්ගතයන් බවට ඇතැම් විශේෂඥයන් මත පළකරනවා.

මේ ලිපිය කියවන ඔබ සියල්ලන්ම එවන් වැඩිහිටි වෙබ් අඩවි පරිශීලනය කරන අයද කියන්න අපි දන්නේ නැහැ. නමුත් ඔබ ඒ ආකාර වෙබ් අඩවිවලට පිවිසෙන්නෙක් නම්, ඔබගේ කාර්යාලයේදී හෝ පොදු ස්ථානවලදී ඒ ආකාරයේ කාමෝද්දීපන වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැළකී සිටීම නුවණට හුරු බවයි අපේ අදහස. එසේ කිරීමෙන් බොහෝ අපහසුකාරී අවස්ථා සහ අත්දැකීම්වලින් ගැලවී සිටින්නට ඔබට හැකියාව ලැබෙන බවනම් ඒකාන්තයි.

SMART විදියට අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන් ආකාර තව ඕනේතරම් ඇති. ඒ ගැන ඔබ දන්න දේවලුත් කමෙන්ට් තීරය හරහා බෙදාගත්තොතින්, අනාගතයේ දවසකදී අපි හැමෝටම වඩාත් හොඳ අන්තර්ජාල පරිශීලකයින් වෙන්න හැකිවේවි නේද?

[Cover Image – W3Privacy]

Related Articles