Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලැයිස්තුවක් ලේසියෙන් පිළිවෙලට හදාගන්න Web Tools

කාර්යාල වැඩ කටයුතුවලදී හෝ ඔබ ස්වාධීනව රැකියාව කරන කෙනෙක් නම් දත්ත ඇතුලත් කිරීමේ (Data entry) වැඩක් සෙට් වුණොත් ඒවායෙදී ලැයිස්තුවක් විවිධ ආකාරයට, විවිධ නිර්ණායකයන් යටතේ සකසා ගන්නට සිදු වෙනවා. ඒත් එවන් දෙයක් එකින් එක, manually කරන්නට යනවා කියන්නේ වෙලාවත්, ශ්‍රමයත් දෙකම විශාල වශයෙන් වැය වෙන දෙයක්. එහෙම මහන්සිවෙලා සුළු ගණනක් අතට ලැබුණාම ඒ මහන්සියට කිසිම වටිනාකමක් ලැබෙන්නේත් නැහැ. නමුත් ඔබ ස්මාර්ට් නම්, අඩු කාලයකින් වැඩේ කරලා තවත් වැඩක් කරන්න වෙලාව ඉතිරි කරගෙන හොඳ ලාභයක් ලබන්න පුළුවන්. අපි අද ඔබට ගෙන එන්නේ ලැයිස්තුවක් පිළිවෙල කරගත හැකි, නොමිලේ දෙන, හොඳම web tools කිහිපයකුයි.

Text Fixer

Thambaru/Roar

පිවිසුණු විට පිටුව පිරෙන්නට අකුරු සහිතව කර්තව්‍යය පැහැදිලි කරන මේ වෙබ් අඩවිය කරදරකාරී ලෙස දැණුනත්, එය අනෙක්වාට වඩා පහසුකම්වලින් සපිරි එකක්. හුදෙක් Enter යතුරෙන් වෙන් කරන ලද ලැයිස්තු පමණක් නොව මෙයට තරු ලකුණු (*) කොමා (,) හෝ වෙනත් ඕනෑම ලකුණක් යොදා වෙන් කරන ලද ලැයිස්තුවක් වුවත් හඳුනාගත හැකි ආකාරයට සැකසිය හැකියි. එසේම එවන් ලයිස්තුවකට වෙනත් ලකුණක් එක් කිරීමට (උදා: කොමා වලින් සැකසූ ලයිස්තුවකට Enter හෙවත් Line Break යෙදීම වැනි), අංක සහ අකුරු මිශ්‍රිත ලැයිස්තු පෙළ ගැස්වීමට මෙන්ම duplicates, විරාම ලකුණු හා HTML ටැග් ඇත්නම් ඒවා ඉවත් කිරීමට ද Text Fixer එකට පුළුවන්.

Alphabetize

Thambaru/Roar

නොමිලේ භාවිත කළ හැකි web tool එකක් වන Alphabetize සතුව ලස්සන නැතිමුත් ඕනෑම කෙනෙක්ට පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි සරල පරිශීලක අතුරුමුහුණතක් තිබෙනවා. වෙබ් අඩවිය වෙත පිවිසුණු විට එහි විශාල text box එකක් දකින්නට ලැබෙනවා. එයට ඔබ සතු ලිස්ට් එක paste කරන්න. දැන් එහි පහතින් ඇති මුල් බොත්තම් දෙක හරහා පිළිවෙලින්: ඉංග්‍රීසි A අකුරේ සිට Z දක්වා, Z සිට A දක්වා ලැයිස්තුවේ පිළිවෙල සකසා ගන්න පුළුවන්. ඒ වගේම Office පැකේජයන්ගෙන් පවා නොලැබෙන පහසුමක් වන වචනවල දිග අනුව පිළිවෙළ සකසන්නටත් මෙහි අවස්ථාව දී තිබෙනවා. Short to Long බොත්තමෙන් කොට වචනයක සිට දිග වචන පේළියක් දක්වා ලයිස්තුව පිළියෙල කරන්නටත් Long to Short හරහා එහි විරුද්ධ දේ කරන්නටත් පුළුවන්. Remove Duplicates බොත්තමෙන් එකම ලැයිස්තු අයිතමය කිහිපවරක් ඇත්නම් ඒවා ඉවත් කළ හැකි අතර text box එකේ ඉහළින් ඉවත් කළ සංඛ්‍යාවත්, පහළින් ලැයිස්තුවේ තිබෙන අයිතම සංඛ්‍යාවත් දැකගන්නට පුළුවන්.

Wordcounter වෙබ් අඩවියේ Alphabetize මෙවලම

Thambaru/Roar

අකුරුවලට පහසුකම් රැසක් සපයන WordCounter වෙබ් අඩවිය සතුවද ලැයිස්තු සඳහා මෙවලමක් Alphabetize නමින් තිබෙනවා. එහි අකුරු අනුපිළිවෙල හැරුණාම විවිධ මාතෘකා යටතේ ඇති ලැයිස්තු කිහිපයක් පවා එකවරම අනුපිළිවෙල වෙනස් කරගන්නට පාවිච්චි කරන්නට පුළුවන්. ලැයිස්තුවක් පිළිවෙලට විතරක් නෙවෙයි, අහඹු ලෙස අයිතම එහා මෙහා කරන්නටත් හැකි නිසා ක්‍රීඩාවක් කරන අවස්ථාවකදී වුවත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. ඔබ HTML සමඟ කටයුතු කරන කෙනෙක් නම් දෙන ලද ලැයිස්තුවකට list tag එකතු කරන එක කොයිතරම් වධයක් ද කියා දන්නවා ඇති. නමුත් මේ tool එක පාවිච්චි කරමින් ඊට දුන් ලයිස්තුවකට html list tag ද එකතු කරවා ගන්නට පුළුවන් වීම මහත් පහසුවක් ගෙන දෙනවා. ඊට අමතරව ඉලක්කම් එක් කිරීම, duplicate හා HTML ටැග් ඉවත් කිරීම ආදී හැකියාවන් රැසක් ද එය සතුයි. අනෙක්වාට සාපේක්ෂව මෙහි විශේෂත්වය වන්නේ පිටුව reload නොවී (JavaScript භාවිත කර ඇති නිසා) ක්ෂණිකවම වෙනස්කම් අත්දකින්නට හැකිවීමයි.

Sort My List

Thambaru/Roar

ලැයිස්තුවක් පිළිවෙළට සකසද්දී විවිධ නිර්ණායක යටතේ සකසා ගන්නට Sort My List වෙබ් අඩවිය සහාය වෙනවා. පළමු අකුරෙන් මෙන්ම, නම් ලැයිස්තුවක්, ලිපින ලැයිස්තුවක්, email ලැයිස්තුවක් හා HTML link ලැයිස්තුවක href ටැග් එකේ අනුපිළිවෙල අනුව ද දෙන ලද ලැයිස්තුවක් සකසා ගන්නට එහි පහසුකම් සපයා තිබෙනවා. අතුරුමුහුණත Word වැනි මෘදුකාංගවලට සමාන නිසා භාවිතයට අපහසුවක් වන්නේ ද නැහැ. අවශ්‍ය නම් ලැයිස්තුවට RaNdoM cAsE ආකාරයේ අකුරු වෙනසක් ද ලබා දිය හැකියි. සතියේ දින, මාසය අනුව ද වර්ගීකරණ පහසුකම් ලබාදෙන මෙම සේවාව Transpose List නමැති විධානය හරහා දෙන ලද වගුවක තීරු (columns) සහ පේළි (rows) එකිනෙක මාරු කරන්නට ද අවස්ථාව සලසනවා.

The Alphabetizer

Thambaru/Roar

බොහෝ toolවලට එකම නම තිබෙන බව පෙනුනත් ඒ හැමෙකක ම එකිනෙකට විශේෂ හැකියාවක් තිබෙනවා. අනෙක්වායේ දක්නට ලැබුණු අකුරු අනුව, අවසන් නම අනුව, අහඹු ලෙස පිළියෙල කිරීම් මෙහි ද ඇති අතර ඒ අතරතුරේම අකුරුවල Capital/Simple බව වෙනස් කරන්නට, රෝම අංක එක් කරන්නට මෙය පහසුකම් සපයන්නේ පේළිවල ආරම්භයට හෝ අවසානයට කැමති අකුරු පෙළක් එක්කරන්නට ද ඉඩ ලබාදෙමිනුයි. එසේම මිතුරන් අතර බෙදාගන්නට අන්තර්ජාලයේ සුරකින ලද link එකක් ලෙස ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ද මෙම වෙබ් අඩවිය ඉඩහසර ලබාදෙනවා. එසේත් නැත්නම් ඔබේ අවශ්‍යතාව අනුව කොපි කරගන්නට, ඩවුන්ලෝඩ් කරන්නට හෝ මුද්‍රණය කරන්නටත් The Alphabetizer හරහා පුළුවන්.

කවරයේ ඡායාරූපය: wired.com

Related Articles