Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැරණි පරිගණක ක්‍රීඩා යලි රසවිඳින්න අවස්ථාව සලසන වෙබ් අඩවි

ඒ කාලයේ පරිගණක ක්‍රීඩා කෙතරම් සෙල්ලම් කළා ද යත් අපි හැමෝම වගේ පරිගණකයට අත්පොත් තිබ්බේ ගේම්වලින්. එහෙම නේද? කාලය ගත වත්ම ඉතා සත්‍යරූපී ග්‍රැෆික් සහිත ගේම් පැමිණියත් ඒ කාලයේ ගහපු 8-bit ගේම්වල තිබුණු රස තවමත් අතීත කාමයෙන් අපිව මත් කරවනවා. ඒ බොහොමයක අපි ගාව තිබෙන සීඩී දැන් වැඩ කරන්නේ නැහැ.තිබුණත්, ඒවා නූතන මෙහෙයුම් පද්ධතිවල වැඩ කරන්නේ නැහැ. මේ ගැටළු සියල්ලම විසඳමින් ඒ රසවත් අතීතයට යළිත් අපව ගෙන යන වෙබ් අඩවි කිහිපයක් ගැනයි මේ කියන්නට යන්නේ.

Abandonia

Abandonia කියන්නේ අතහැරදැමූ මෘදුකාංග එක්රැස් කර තබාගන්නා වෙබ් අඩවියක්. එහි උප ශීර්ෂයේ පවා දක්වා තිබෙන්නේ ද DOS ගේම් වෙනුවෙන්ම කැපවූ බව යි. මෙහි තිබෙන මෘදුකාංග එහෙමත් නැත්නම්, පරිගණක ක්‍රීඩා සියල්ලක්ම කතු හිමිකම අහෝසි වූ ‍ඒවා හෝ, නිෂ්පාදකය‍ා විසින් තවදුරටත් යාවත්කාලීන/ සහායයන් ලබා නොදී අතහැර දැමූ ඒවා යි. මේවා Abandonware ලෙස හඳුන්වනවා.

1999දී මෙම Abandonia වෙබ් අඩවිය අරඹද්දී අතහැර දැමූ මෘදුකාංග (Abandonware) පිළිබඳව අදහස ලොවට පහළ වී වසර දෙකක් ගෙවී ගියා පමණ යි. වසර කිහිපයක් අක්‍රීයව තිබුණු මෙම වෙබ් අඩවිය පසුකාලීනව ලොව නම් දැරූ වෙබ් අඩවියක් බවට පත් වුණේ අපේ ප්‍රියතම පරිගණක ක්‍රීඩාවන් විශාල ප්‍රමාණයක් අඩංගු කරගැනීමත් සමග යි. මේ වන විට එහි බාගත කළ හැකි පරිගණක ක්‍රීඩා 1,100ක් පමණ සහ සාමාජිකයන් 800,000ක් පමණ සිටිනවා.

මෙම වෙබ් අඩවිය සෑම පරිගණක ක්‍රීඩාවක් පිළිබඳවම විචාරයක්, තිර දසුන්, සංස්කාරක හා පරිශීලක rating අගයයන් සහිතව ඉදිරිපත් කරනවා. ඔබට නම අනුව, වර්ෂය, ප්‍රවර්ගය, සහ rating එක අනුව ගේම් බලන්න පුළුවන්. මෙය DOS ගේම් සඳහා වැඩි අවධානයක් යොමු කරන බැවින්, අතහැර දැමූ නූතන පරිගණක ක්‍රීඩා සොයාගැනීම මඳක් අපහසු යි. නමුත් ඔබේ පැරණි පෙන්ටියම් I, II පරිගණකයෙන් ආසාවෙන් ක්‍රීඩා කළ ගේම් රැසක් නැවත අත් විඳින්නට මින් අවස්ථාව ලැබෙනවා.

පිවිසෙන්න: abandonia.com

Abandonware DOS

Abandonware DOS කියන්නේ Abandonia වගේම abandonware හෙවත් අතහැර දැමූ මෘදුකාංග පිළිබඳව අවධානය යොමු කරන තවත් වෙබ් අඩවියක්. මෙය ද වැඩි ඉඩකඩක් වැය කරන්නේ DOS ගේම් සඳහා යි. ඊට අමතරව වින්ඩෝස් ගේම් පවා එහි අන්තර්ගත වෙනවා. Red Alert 2 ඔබ ක්‍රීඩා කර තිබෙනවා නම් එහි පළමු වෙළුම කොහොම තිබෙන්නට ඇත්දැයි විමතියෙන් ඉන්නට ඇති. මේ වෙබ් අඩවියෙන් ඔබට එය ද බාගත කරගනෙ රසවිඳින්නට අවස්ථාව තිබෙනවා. Sid Meier’s SimGolf සහ Star Wars: Galactic Battlegrounds වැනි ක්‍රීඩාවන් ද මෙහි ඇතුලත්‍.

මෙම වෙබ් අඩවිය ශීඝ්‍ර ක්‍රියාකාරීත්වයකින් යුතු යි. එහි ඇති පරිගණක ක්‍රීඩාවන් rating අගයයන් ද සමග ලැයිස්තු ගත කර ඇති අතර ඒවා abandonware, protected status, freeware ආදී වූ ප්‍රවර්ග දත්ත, නිකුතු දිනය, තිර දසුන් මෙන්ම ක්‍රීඩා කිරීම්වල වීඩියෝ ද ඇතුලත් කර තිබෙනවා. ඔවුන්ගේ ලිපිවල සවිස්තර බව නිසා ම ඔබ නොදන්නා පරිගණක ක්‍රීඩාවක් ගැන පවා තොරතුරු සොයා ගන්නට පුළුවන්.

පිවිසෙන්න: abandonwaredos.com

RGB Classic Games

වෙබ් අඩවි අතුරුමුහුණත

RGB Classic Games වෙබ් අඩවිය පුළුල් පරාසයක පැරණි DOS ගේම්, අඩංගු කර ඇති සේවාවක්. එහි පෙර නිකුත් නොකරන ලද ඒවා මෙන්ම නූතන DOS ගේම් පවා ගෙන එනවා. සම්පූර්ණ වෙබ් අඩවියම DOS, CP/M-86, OS/2, Win16, සහ Win9x ආදී අභාවයට ගිය මෙහෙයුම් පද්ධතිවල තිබූ පැරණි ගේම් සුරක්ෂා කරන්නට කැපවී සිටින බව පවසන අතර ඒවා නූතන මෙහෙයුම් පද්ධති මත ධාවනය කරන්නට අවශය පහසුකම් ද ලබා දෙනවා.

ඔබට විවිධ පරිගණක ක්‍රීඩා සඳහා එහි ප්‍රභේදය (genre), මෙහෙයුම් පද්ධතිය, නිෂ්පාදන ආයතනයේ නම, නීතිමය තත්වය, නිකුතු වර්ෂය සහ Video mode එක අනුව ද සෙවීම් කරන්නට මෙහි අවස්ථාව සලසා තිබෙනවා. ඒ වගේම, එම වෙබ් අඩවියේම host කර ඇති emulator එකකින් Keen Dreams, Hexen, සහ හැමෝගේම ආදරය දිනාගත්, Transport Tycoon වැනි ගේම් පවා ක්‍රීඩා කරන්නට අවස්ථාව තිබෙනවා.

පිවිසෙන්න: classicdosgames.com

Remain In Play

වෙබ් අඩවි අතුරුමුහුණත

DOS මෙන්ම DOS නොවන ක්‍රීඩාවන් රැසක් ද සමග එන Remain In Play වෙබ් අඩවිය පරිගණක ක්‍රීඩා විශාල එකතුවකින් යුතු එකක්. වෙනත් වෙබ් අඩවිවල නොමිලේ ලබා දුන් ‍පරිගණක ක්‍රීඩාවන් ලැයිස්තුගත කළත් මෙය මූලික අවධානය යොමු කරන්නේ එකල මුදල් ගෙවා ලබා ගත යුතු වූ පරිගණක ක්‍රීඩාවන් ගෙන ඒමට වීම විශේෂත්වයක්. එම පරිගණක ක්‍රීඩා කාලය ඉකුත් වීමත් සමග නිෂ්පාදකයන් විසින් නොමිලේ ලබා දෙන ලද ‍ඒවා නිසා නීතිමය ගැටළුවක් ඇත්තේ නැහැ.

මෙම වෙබ් අඩවියේ අලුත් සහ පැරණි ගේම් රැසක් තිබෙන නමුත් එහි පෙනුම ඉතා පැරණි ගතියකින් යුතුව සකසා ඇති නිසා ඇතැම්විට එහි සැරිසැරීම නූතන වෙබ් අඩවි පෙනුමට සාපේක්ෂව අපහසු විය හැකියි. ඔබට සෙවීම් කිරීමට අපහසුතාවන් තිබෙනවා නම් ඔවුන්ගේ sidebar එකෙහි ඇති හොඳම ගේම් 10න් එකක් තෝරාගන්නට අවස්ථාව තිබෙනවා. එමගින් rating එක අනුව ගේම් සොයාගන්නට හැකියි. නැතහොත් සාමාන්‍ය සෙවීමෙහි නම, වර්ගය, ප්‍රභේදය හෝ මෙහෙයුම් පද්ධතිය අනුව පෙරහන් කරන්නට අවස්ථාව තිබෙනවා.‍

පිවිසෙන්න: www.remaininplay.com

Games Nostalgia

නමින්ම පරිගණක ක්‍රීඩා පිළිබඳව අතීත කාමය (Nostalgia) ගෙන එන මෙය 1985 සහ 1995 කාලය තුළ වෙළඳපොළ ඉහළ පෙළට ආ පරිගණක ක්‍රීඩා රැසකින් යුතු යි. භාවිතයට පහසු මෙම වෙබ් අඩවිය සෙවීම් සඳහා ද පුළුල් පෙරහන් පහසුකමක් ලබා දෙනවා. ප්‍රභේදය (genre), ටැග්, නව නිකුතු, ප්‍රසිද්ධ බව ඇතුළු බොහොමයක් ඒ අතර තිබෙනවා.

Games Nostalgia වෙබ් අඩවිය සෑම පරිගණක ක්‍රීඩාවක්ම වින්ඩෝස් සහ ඇතැම්වා MacOS සමග ද ක්‍රීඩා කළ හැකි emulator එකක් ද සමග ගෙන එනවා. මේ නිසා Emulator සොයමින් කාලය ගත කරනවා වෙනුවට බාගත්තා, unzip කළා, සෙල්ලම් කළා! Road Rash, Doom වගේ ඒ කාලේ පිස්සුවෙන් සෙල්ලම් කරපු ගේම් මෙහි අන්තර්ගත වෙනවා.

පිවිසෙන්න: gamesnostalgia.com

කවරය: heypoorplayer.com

Related Articles