Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොනවාද මේ Torrent කියන්නේ?

අන්තර්ජාලය තුළ ගොනු හුවමාරු කරගැනීමේ දී ඉතා විශාල සහයෝගයක් ලබාදෙන “ටොරන්ට්” කියන නම අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක්ට නුපුරුදු නමක් නොවෙයි. මොනවාහරි ඩවුන්ලෝඩ් කරන්න ගියාම නිතර දකින්නට ලැබෙන මේ වචනය ඇතැම් විට අන්තර්ජාලයේ තහනම් වචනයක් වැනි හැඟීමකුත් සමාජගතව තිබෙන බැවින් මේ ගැන දකිද්දීත් ඇඟ හිරිවැටෙන ගතියක් තිබුණා නම්, මේ කියවීමෙන් එය නැති කරගන්නට හැකියාව ලැබේවි.

බිට්ටොරන්ට් ප්‍රොටෝකෝලය

geekgyaan.com

අන්තර්ජාලය හරහා දත්ත ගෙන යාමේදී ප්‍රොටෝකෝල භාවිත වෙනවා. අපි මේ වෙබ් සයිට්වල කරක් ගහද්දීත් පාවිච්චි වෙන්නේ HTTP හෝ HTTPS ප්‍රොටෝකෝලයයි. HTTPS ගැන අපි පෙර ලිපියකින් කතා කළානේ. එහි ඇති ආරක්ෂිත බව නිසාමයි Roar වෙබ් අඩවියත් https ප්‍රොටෝකෝලය හරහා ඔබට ගෙන එන්නේ. මෙන්න මේ වගේම දත්ත හුවමාරු කරන්න පුළුවන් තවත් ආකාරයක් තමයි කෝල නැති බිට්ටොරන්ට් ප්‍රොටෝකෝලය. Http වලට බ්‍රවුසරයක් අවශ්‍යයි වගේම මෙය භාවිත වන්නේ Torrent client නමින් හඳුන්වන මෘදුකාංගවලයි.

අනිකුත් ඒවා සර්වරයක් සහ (නිවසේ තිබෙන) පරිගණකයක් අතර සිදුවුණාට මෙය සාමාන්‍ය පරිගණක දෙකක් අතර වුවත් ගොඩනැගෙන්නේ peer-to-peer සබඳතාවකට මග පාදමිනුයි. උදාහරණයක් විදියට ෆේස්බුක් එක හරහා, ඒ කියන්නේ සර්වර් එක හරහා ඔබ අලුතින් මිත්‍රයෙක් හඳුනාගන්නවා. ඉන්පසු ඔබ ඔහුව හෝ ඇයව ගිහින් මුණගැහෙනවා. ඊට පස්සේ නිතර මුණගැහෙනවා නම් ෆේස්බුක් එක අවශ්‍ය වන්නේත් නැහැ. මෙන්න මෙයට සමාන දෙයක් තමයි ටොරන්ට් වලත් සිදුවන්නේ. ඔබ දෙදෙනා දැන් තනිව හමුවද්දී පවතින්නේ peer-to-peer (P2P) සබඳතාවක්. තවත් විදියකින් කිව්වොත් අතරමැදියෙක් නොමැති ගනුදෙනුවක්.

ගොනු ලබාගනිද්දී සර්වරයට ඇතිවන බලපෑම

bigcommerce.com

සර්වරයක් කියන්නේ, සරලව කිව්වොත් ඩෙස්ක්ටොප් පරිගණකයක System Unit එක විතරක් තිබෙන ආකාරයේ පරිගණකයක්. හැබැයි ගෙදර තිබෙන එකට වඩා මෙහි ඉහළ ධාරිතාවක හාඩ් එකක්, රැම් එකක්, සහ CPU එකක් තිබෙනවා වගේම, අපි ගෙදර තත්පරයට මෙගාබයිට් වලින් ඉන්ටර්නෙට් වේගය කතා කළාට මේවාට නම් තත්පරයට ගිගාබයිට් ගණනක වේගයක් තිබෙන අන්තර්ජාල සබඳතාවක් තිබෙනවා. ඔබේ ඔය උකුලේ තිබෙන ලැප් එක කොයිතරම් රත් වෙනවාද කියලා කලවා දෙක සාක්කි කියද්දී මේ වගේ ඉහළ පරිගණක දහස් ගණනක් එකළඟ තිබෙන ස්ථානයක මහත් උෂ්ණත්වයක් හටගන්නවා. ඒ නිසා අධි ආරක්ෂිත, වායු සමනය කළ කාමරවල තමයි මේවා තිබෙන්නේ. මෙවන් පරිගණකයකින් හොස්ටිං එකක් තෝරාගන්න හැටි ගැන අපි පෙර ලිපියකින් කථා කළා.

ඉතින් මේ වගේ සර්වරයක තිබෙන එක් ගොනුවක්, අපි හිතමුකෝ ගේම් එකක් හෝ OS එකක ගිගාබයිට් ගණනක ෆයිල් එකක්, ලෝකයේ විවිධ රටවල ඉන්න දහස් ගණන් දෙනා කනෙක්ට් වෙලා ඩවුන්ලෝඩ් කරන්න ගියාම එයට දරන්නට වෙන RAM, CPU, හාඩ් එකේ කියැවීම ආදිය වැඩි වෙනවා. නිවසේ වුණත් නංගිලා මල්ලිලා වයි-ෆයි එකට කනෙක්ට් වුණාම අයියාට ගේම් ගහන්න බැරි වෙන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. ඉතින් මේ පරිගණකවලත් වැඩි දෙනෙක් එහි කනෙක්ෂන් එක පාවිච්චි කරද්දී අන්තර්ජාල භාවිතය වෙනුවෙන් එය පවත්වාගෙන යන සමාගමට වැඩි මිලක් දරන්නට සිද්ධ වෙනවා.

පැණයට විසඳුමක්

shiriskumar.blogspot.com

ඉහත ආකාරයට සර්වර් එක busy වුණාම එහි කාර්යක්ෂමතාවය අඩු වෙනවා. අපේ රටෙත් මෙය හොඳින්ම දැකගන්න පුළුවන් අවස්ථාවක් තමයි විභාග ප්‍රතිඵල ලබාදෙන අවස්ථාව. ප්‍රතිඵල දක්වන doenets වෙබ් අඩවිය ප්‍රතිඵල නිකුත්වූ මොහොතේ ඉඳලාම වැඩ නොකර ස්ලෝ වන්නේ ලංකාවේ වැඩි පිරිසක් එය භාවිත කරද්දී එම බලපෑම දරාගන්නට එයට නොහැකි වන නිසායි. මේ ආකාරයට ලොව පුරා තිබෙන පරිගණකවලට එවන් දේට ඊටත් වඩා වැඩි බලපෑමකින් මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ නිසා තනි සර්වරයකට බලපෑම් කරනවා වෙනුවට එකම ගොනුව විවිධ තැන්වල තබා ඒවායෙන් විවිධ අය බාගන්නවා නම් තනි සර්වරයට ඇතිවන බලපෑම අඩුව යනවා.

මෙයට තවත් ක්‍රමවේදයක් තමයි CDN (Content Delivery Network) කියන්නේ. එය ටොරන්ට්වලට වඩා හාත්පසින් වෙනස් කතාවක් නිසා වෙනත් ලිපියකට එය ඉතිරි කරමු. ඉතින් CDNවලට වෙනත්ම වියදමක් යන නිසා නොමිලේම වැඩේ කරගන්න හොඳ ක්‍රමයක් බවට පත්වුණේ ටොරන්ට් ක්‍රමවේදයයි. විවිධ මිල අධික සර්වර් කිහිපයක් වෙනුවට ලොව පුරා විසිරුණු කුඩා කුඩා පරිගණක මිලියන ගණනක් එකම ගොනුව පවත්වා ගනිමින් එහි බහුලතාවය වැඩි කර සර්වරයේ බර අඩුකර දෙනවා. මේ නිසා ඉතාම වේගයෙන් ඒ ගොනුව බාගත කරගන්නත් හැකියාව ලැබෙනවා.

ටොරන්ට් එකක් බාගන්නා හැටි

creativemark.co.uk

ටොරන්ට් ෆයිල් එකක එහි අන්තර්ගත වන ෆයිල්, trackers, seeders ආදිය පිළිබඳ විස්තර තිබෙනවා. මෙය කියවා අදාල peers හොයාගෙන ඒවායෙන් ඒ ෆයිල් ටික බාගත කරගන්න එක තමයි ටොරන්ට් client software එකෙන් සිදුවෙන්නේ. මෙයට ප්‍රසිද්ධම සොෆ්ට්වෙයා තමයි BitTorrent, uTorrent සහ මැක්, ලිනක්ස් වලට Transmission. උබුන්ටුවලට නම් OS එකත් එක්කම Transmission හම්බෙනවා. අපි වැඩේ ඉගෙන ගන්න උබුන්ටු ISO එක ටොරන්ට් වලින් බාමු.

Client එක ස්ථාපනය කර ගත්තාට පස්සේ පරිගණකය අපේ වැඩේට සම්පූර්ණයෙන්ම සූදානම්. දැන් ඔබට ටොරන්ට් බාන්න පුළුවන්. අපිට දැන් අවශ්‍ය උබුන්ටු බාගන්න නිසා අපි උබුන්ටු වෙබ් අඩවියේ ටොරන්ට් කොටසට පිවිසිලා ඉන් BitTorrent කොටස යටතේ ඇති අවශ්‍ය උබුන්ටු වර්ෂන් එක බාගන්න ඕන. එවිට අපට .torrent කියන extension එක තිබෙන ෆයිල් එකක් ලැබෙනවා. ඒක බාගත වෙන්න තත්පරයක්වත් යන්නේ නැහැ. නමුත් ඒ හුදෙක් බාගත කරගත යුතු ගොනුවේ විස්තර අඩංගු ෆයිල් එක විතරක් නිසා අස්සයා කුලප්පු වෙන තරම් හුරේ දාන්න දැන්ම හොඳ නැහැ. මේ බාගත්ත ගොනුව ක්ලික් කළාම කෙළින්ම බිට්ටොරන්ට් හෝ ඔබ ස්ථාපනය කරගත් torrent client එකෙන් විවෘත වෙනවා. එහෙමත් නැත්නම් torrent client එකේ File -> Open හෝ Add torrent යන්න තෝරලා බාගත් torrent ෆයිල් එක browse කරලා දෙන්නත් පුළුවන්. එවිට එම ටොරන්ට් එක සතු ෆයිල් ලැයිස්තුව සහ බාගත විය යුතු ස්ථානය තෝරන්නට ඕන. ඉන්පසු අප මෙහිදී තෝරන ලද ISO ෆයිල් එක බාගත වීම ආරම්භ වෙනවා.

බාගැනීම සහ බෙදාහැරීම

bp.blogspot.com

කලින් කියපු වචනවල තේරුම් මෙහෙමයි. Tracker එකක් කියන්නේ ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යන සර්වර් එකක්. මේවායෙන් තමයි peer පරිගණක available වෙන අවස්ථාවන් බලලා ඒවා එකිකෙන එකතු කිරීම සහ ෆයිල්වල බාගැනුම් දත්ත ආදිය සටහන් කරගන්නේ. ටිකක් දුරට BitCoin වල miner එකක් වගේ. හැබැයි දැන් තිබෙන DHT ටොරන්ට් ෆයිල් වලට ට්‍රැකර් එකක් නැතුවම ක්‍රියා කරන්නට හැකියාව තිබුණත් වේගය වැඩි කරගන්න හැකි අවස්ථාවල දී උදව් ගන්නවා.

දැන් ඔන්න අපි අර බාගත්ත ෆයිල් එක 100% දක්වා ඇවිත් අවසන් වෙනවා. ඒ මොහොතේ පටන් අපි Seeder කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ, අපේ පරිගණකයෙන් තවත් අයට ඒ ෆයිල් එක බාගන්න අවස්ථාව ලැබෙනවා. නූතන ටොරන්ට් clientවල නම් 10%ක් විතර පිරෙද්දිම සීඩර් එකක් එහෙමත් නැත්නම් නිවැරදි වචනය, Leech (ලීච්) එකක් බවට පත් වන්නට තරම් සමත් වන නිසා peer ජාලය තවත් සවිමත් වෙනවා. දැන් මේ අපි මේ ෆයිල් එක ගන්නෙත් බොහෝවිටම අපිට කිට්ටු තවත් පරිගණක වලින්මයි. මෙසේ යැවෙන ප්‍රමාණයන් torrent client එකේ uploads ලෙස වේගයක් දක්වමින් පෙන්වනවා. මෙහෙම සීඩ් කරන එක ජාලය වෙනුවෙන් හොඳ ක්‍රියාවක් වුණත් අපේ රටේ data හිඟ නිසා වැඩේ ඉවර වුණාම නම් ටොරන්ට් එක stop කරන්න ගොඩක් දෙනෙක්ට සිදු වෙනවා.

දැන් ඔබට වැටහෙනවා ඇති ටොරන්ට් කියන්නේ භයානක දෙයක් නොවන නමුත් එය වැරදි දේට භාවිත කිරීම නිසා එය නීත්‍යානුකූල නොවන දෙයක් බවට පත්ව ඇති බව. ඉතින් මේ ලිපිය ලියැවුණේ අපේ ෆේස්බුක් පිටුවේ ඔබ විමසපු පැණයකට පිළිතුරක් වශයෙනුයි. මේ වගේ ඔබ තවත් දේවල් දැනගන්න කැමති ඇති. ඒ ඕනෑම දෙයකට විසඳුම් ගෙන එන්නට අපි සූදානම්.

කවරයේ ඡායාරූපය: pixabay.com

Related Articles