Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Web developer කෙනෙක් වෙන්නේ කොහොමද?

Web Developer කෙනෙක්, නැතිනම් වෙබ් අඩවි සංවර්ධකයෙක් වශයෙන් වෘත්තීය ජීවිතය අරඹන්නට අදහසක්, ආසාවක් තිබෙනවා නම් හෝ ඒ වෘත්තියට කුමක් හෝ මැජික් එකකින් උඩින් කඩාගෙන වැටුණා නම්, ඊට හොඳ ආරම්භයක් ලබාගන්නේ කෙසේදැයි ඔබත් වද වෙනවා ඇති. කුඩා කාලයේ පටන් ම ආසාවක් තිබිලා පටන් ගත්තා නම්, උද්‍යෝගය සහ කාලය තිබෙන නිසා ආරම්භය ලේසියි. පිවිසුමට හේතුව මොකක් වුණත් ලැබුණු දේ හොඳින් ආරම්භ කරලා එහි සාර්ථකත්වය තෙක් පිය මනින එක යහපත් පුරුද්දක් නිසා වැඩි අටුවා ටීකා නැතිව, මේ ලිපියෙන් අපි බලමු වෙබ් අඩවි සංවර්ධකයෙක් ලෙස ඔබේ වෘත්තීය දිවියට මං පෙත් පාදාගන්නේ කොහොමද කියලා.

ඉගෙන ගන්නට ඇති දේවල් ලැයිස්තුව

(smallbiztrends.com)

වැඩේ කරන්නට පටන් ගන්න කලින් අපිට අවශ්‍ය වෙන දේවල් ලැයිස්තුව හදාගන්නට ඕන. එතකොට අපිට යන්න තියෙන target එක මොකක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් තිබෙන නිසා අතරමඟදී අපිට කම්මැලිකමක් අාවොත්, බැහැ කියලා හිතුණොත් ඒක නැති කරගන්න එය උදව්වක් වෙනවා.

  • HTML
  • CSS
  • JavaScript
  • PHP
  • Git

මේ ටික තමයි මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ. මෙහි එන මුල් හතර ම භාෂාවන් වන අතර පස්වැන්න භාවිත වන්නේ Version Control කිරීමට යි. Terminal / Command Prompt එකෙන් භාවිතා කළ හැකි එය Tortoise Git හෝ SmartGit වැනි මෘදුකාංගයකින් UI එකක් ලෙස ද පහසුවෙන් ක්‍රියාවට ගත හැකි වෙනවා.

දැන් මේක බලලා “ඕවා මොනවාද? වෙබ් ඩිවෙලොපිං කරනවා නම් ප්‍රොසෙසරයේ අන්තර් සැකැස්ම, දෘඪ තැටියක ඉලෙක්ට්‍රොනික ව්‍යුහය වගේ දේවල් එහෙමත් දැන ගන්නට ඕන” කියලා ඔබට නානාප්‍රකාර උපදෙස් දෙන අයත් නැතුවාම නෙවෙයි. ඇත්තට ම මේවා හැරුණාම WordPress / Joomla වැනි CMS එකක්, MySQL, TypeScript, AngularJS වගේ නොතේරෙන වචනවලින් කියවෙන දේවල් ටිකකුත් අවශ්‍ය නොවෙනවා ම නෙවෙයි. ඒත් එහෙම බැලුවොත් මේ ලිපිය කියවන්න සිංහල, පරිගණක සාක්ෂරතාව, දෑස්වල ප්‍රසාද ගුණය ආදී වශයෙන් බොහෝ දේවල්නුත් අවශ්‍ය වෙනවානේ. ඒ නිසා, බූරුවා, පුතා සහ පියා කතාවත් මේ ලැයිස්තුවේ තියාගෙන ම ඔබේ ගමන ආරම්භ කරන්න.

(cloudfront.net)

මීට අමතරව, Photoshop පිළිබඳ මූලික දැනුමක් හෝ තිබීමත් හොඳයි. ඒ වගේ ම මේ භාෂාවන් ඉගෙන ගැනීමේදී Framework මගින් ඔබේ කටයුතු පහසු කරගන්නටත් අමතක කරන්නට එපා. විශේෂයෙන් ඔබ හදිසියේ මේ මාර්ගයට පිළිපන් කෙනෙක් නම් හෝඩියේ සිට ඉගෙන ගන්නට වෙලාවක් නැති නිසා CSS සඳහා Twitter-Bootstrap, JS සඳහා jQuery, PHP සඳහා Laravel වැනි දේවල්වලින් වැඩේ පටන් ගන්න. පසුකාලීනව, වැඩ කරගෙන යන අතරතුරේ ම මූලික භාෂාව පිළිබඳ අවබෝධයත් ඔබට නිතැතින් ම ලැබේවි.

ඔබේ ම Portfolio එකක් හදාගන්න

ඔබ ඉගෙන ගන්නා කාලය අතරතුරදී ම ඉදිරියේදී ඔබේ හැකියාවන් පිළිබිඹු කිරීම සඳහා වැදගත් වන Portfolio එකක් හදාගත යුතු වෙනවා. එවිට රැකියාවකට යද්දී “කෝ පෝට්ෆෝලියෝ එක?” කියලා ඇහුවා ම පෝලියෝ නොහැදී ඔබේ වැඩ කිඩ පෙන්වා ගන්නට හැකි වෙනවා. වෙබ් අඩවි සංවර්ධකයෙක් වීම අපේ අරමුණ වන නිසා ඔබේ ම වෙබ් අඩවියක් සකසාගෙන එහි ම මෙය අන්තර්ගත කිරීම වඩාත් සුදුසු යි. මොකද, අනිත් අයට වෙබ් සයිට් හදන්න කලින් අපේ සයිට් එක අපි හොඳට හදාගෙන හිටියොත් තමයි අපේ වැඩ ගැන අනිත් අයට විශ්වාසය ඇති වෙන්නේ.

ක්‍රමලේඛකයෙක් සහ සැලසුම්කරණ ශිල්පියෙකුගේ නිර්මාණාත්මක පෞද්ගලික වෙබ් අඩවියක් සඳහා උදාහරණයක් (cloudfront.net)

මේ සඳහා ඔබ පුරුදු වෙන්නට කරන ව්‍යාපෘති වුණත් ඇතුළත් කරන්නට පුළුවන්. රැකියාවකට යන්නට පෙර ඔබට Freelance වැඩ හමුවුණොත් ඒවා මෙන් ම කිසියම් සමාගමක් සඳහා කටයුතු කරන්නට ලැබුණොත් ඔවුන්ගේ අනුමැතිය ඇතිව එම ව්‍යාපෘති ද ඔබේ පෝට්ෆෝලියෝ එකතුවේ රඳවා ගැනීමට හැකි වෙනවා. මෙසේ කිරීමෙන් අපි ලබන ප්‍රගතිය නිතැතින් ම සමාලෝචනය කරගන්නට සහ අපි මෙතරම් දියුණුවකට පැමිණි ගමන් මාර්ගය දැක සතුටක් සහ උද්‍යෝගයක් ලබා ගන්නට හැකි වෙනවා.

කරන වැඩ GitHub දාන්න

(lucasbardella.com)

ඔබ විසින් ම කරන ලද ව්‍යාපෘති GitHub එකේ දාන එකත් හොඳ පුරුද්දක් සහ වාසි සලසන දෙයක්. මෙහි ඔබ කරන දේවල් තැබුවා ම එය backup එකක් වගේ ම එක අතකට Portfolio එකකුත් වෙනවා. ඔබ කේතනය කරන ආකාරය, එහි පිරිසිදු බව, උපක්‍රම භාවිතය, Git භාවිතා කිරීමට අවබෝධයක් ඇති බව යනාදී වශයෙන් ඔබ ගැන පූර්ණ ප්‍රතිරූපයක් මේ හරහා විදහා දැක්වෙන අතර ආධුනිකයන්ට ද ඔබේ කේතකරණය බලා යමක් ඉගෙන ගනිමින් එය භාවිත කරන්නට අවස්ථාවක් සැලසෙනවා.

GitHub එකේ readme.md ගොනුවෙහි ව්‍යපෘතියේ විස්තර සහ ප්‍රලේඛනය (documentation) නිසි ආකාරව සැකසීමටත් අමතක කරන්න එපා. වෙනත් අය නිම කර ඇති ව්‍යාපෘති වෙත පිවිස ඔබට මේ ගැන වැඩි අවබෝධයක් ලබා ගන්නට හැකි වේවි. මෙම පියවරේදී විවෘත කේත පිළිබඳව ඔබ තුළ ආකල්පමය වර්ධනයක් ඇති කර ගැනීම සහ පිළිවෙළකට ව්‍යාපෘතියක් තබා ගැනීම කෙතරම් වැදගත් ද යන්න අවබෝධ කරගැනීමට හැකි වේවි. සරල ම උදාහරණයක් කීවොත්, h.html කියලා කොහෙත්ම නොතේරෙන ගොනු නාමයකට වඩා help.html කියලා තැබීම පසුකාලීනව ඔබට ම පහසුවක් ගෙන දේවි.

CV එක හදද්දීත් LinkedIn ලින්ක් එක වගේ ම GitHub ප්‍රොෆයිල් ලින්ක් එකත් දානවා නම් ඒකට අමතර ලකුණු එක් වෙනවා.

වෙනත් විවෘත කේත ව්‍යාපෘතිවලට සහාය වෙන්න

(blankmag.ru)

කේතනය කරද්දී එකා-යකා ආකාරයට පුරුදු වෙලා හරියන්නෙත් නැහැ. විශාල ව්‍යාපෘති කිරීමේදී ක්‍රමලේඛකයන් විශාල සංඛ්‍යාවක සහභාගීත්වය අවශ්‍ය වන නිසා ඒ හැම කෙනෙක් සමඟ ම කටයුතු කරන්නටත් ඉගෙන ගත යුතු වෙනවා. මේ සඳහා විවෘත කේත ව්‍යාපෘතිවලට සහභාගී වීම පහසු ක්‍රමයක්. එහිදී ඔබේ කණ්ඩායම් හැකියාව වර්ධනය වීම, වෙනත් මෘදුකාංග සංවර්ධකයන් හඳුනාගැනීමට ලැබීම, දැනුම බෙදා හදා ගැනීමට හැකිවීම හරහා කේතකරණ හැකියාවන් තවත් ඔප් නංවා ගන්නට හැකියාව ලැබෙනවා. දැන් ශ්‍රී ලංකාවේත් හැකතන් ක්‍රියාත්මක වන නිසා එ්වායේ සාමාජිකයෙක් වීමත් හොඳ අවස්ථාවක්.

තාක්ෂණික පුවත් පිළිබඳව අවධානයෙන් ඉන්න

(sbtechpd.weebly.com)

තාක්ෂණය කියන්නේ මේ කාලයේ ඉතා ම වේගයෙන් වෙනස් වෙමින් යන දෙයක්. අද අකුරු ලිවීම වෙනුවට කීබෝඩ් එකක් හොයා ගත්තා නම් හෙට ඒක ටච් ස්ක්‍රීන් එකේ කීබෝඩ් එකක් වෙලා අනිද්දාට සිතුවිලිවලින් පමණක් ටයිප් කරන්නට හැකි වන ආකාරයේ තාක්ෂණික පෙරැළි සිද්ධ වෙනවා. AngularJS වුණත් පළමු වෙළුමේ සිට දෙවැන්නට ඒමේදී TypeScript උපයෝගී කරගත් නිසා කේතන රටාවේ විශාල වෙනසක් අත්පත් කරගත්තා. එම නිසා එය පදනම් කරගත් අනෙකුත් Frameworks වල ද වෙනස්කම් ඇති වුණා.

ඉතින් මෙලෙස සිදුවන ශීඝ්‍ර වෙනසට මුහුණ දෙන්නටත් ඔබ සූදානම් විය යුතුයි. මුලදී ඉගෙන ගත් දේවල්වලින් ම පමණක් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට නොහැකි නිසා නිරන්තරයෙන් තාක්ෂණික පුවත් පිළිබඳව අවධානයෙන් හිඳිමින්, ලොව බිහිවන නව ක්‍රමලේඛන භාෂා, Frameworks ආදිය පිළිබඳව දැනුවත් වීමත් වැදගත්. එවිට ඔබට මඟ නතර නොවී කේෂ්ත්‍රය සමඟ ඉදිරියට ම යාමේ අවස්ථාව උදා වේවි.

මූලාශ්‍ර:

  1. quora.com
  2. skillcrush.com
  3. usersnap.com

කවරයේ ඡායාරූපය: nbasquad.neocities.org

Related Articles