මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් වෙතිනි.

පදාර්ථ අති විශාල ප්‍ර‍මාණයක් එක තැනකට එක්වීමෙන් කළු කුහර හැදෙනවා. එහි විශාල ගුරුත්වාකර්ෂණ ක්‍ෂේත්‍ර‍යක් තිබෙන නිසා විශ්වයේ වේගයෙන් ම ගමන් කරන, එනම් ආලෝකයේ වේගය ඇති ෆෝටෝන අංශුවකටවත් ඉන් මිදෙන්නට බැහැ. ඉතින් ආලෝකයටත් මින් පිටතට පැමිණීමට නොහැකි නිසා කළු කුහර අපිට දකින්නට ලැබෙන්නේ/පෙනෙන්නේ අඳුරු ප්‍රදේශයක් ලෙසට යි.

එවැන්නක් තිබෙන බව හෝ දැනගත හැකිවන්නේ එහි ඇති අධික ගුරුත්වයට ඇදී යන අවට ඇති වස්තූන් හරහා යි. කළු කුහරයේ ග්‍රහණයට කිසිවක් හසුවූ විට ඊට ක්‍රමික ත්වරණයක් ඇති වෙමින් ගොස් අවසානයේ ආලෝකයේ වේගයට ළඟා වෙනවා. එය දිගන්ත අවස්ථාව (Event horizon) ලෙස හැඳින්වෙනවා. මෙම අවස්ථාවේදී එහි කාලය ගතවීම සම්පූර්ණයෙන් ම නවතින නිසා භෞතික විද්‍යාත්මකව එවන් වස්තුවකට කළු කුහර මධ්‍යයේ සිදුවන්නේ කුමක්ද යන්න පහදන්නට හැකියාවක් තවමත් අපට නැහැ. එහෙත් කළු කුහරවලට ආයුකාලයක් ඇති නිසා සදාකාලික නැති බව අපි දන්නවා.

සූර්යයා වැනි තාරකාවන්ගේ හයිඩ්‍රජන් සිට හීලියම් දක්වා පත්කරන න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවන් සිදුවීමෙන් අධික ලෙස විකිරණ මුදා හැරෙනු ලබනවා. එම විකිරණ මගින් හයිඩ්‍රජන් වායුව පිටතට තල්ලුවෙද්දී තරුවේ ගුරුත්වාකර්ෂණයෙන් එය නැවත තමා වෙත ඇදගන්නවා. ඒ හරහා තරුවකට නිශ්චිත ප්‍රමාණයකින් පැවතීමේ අවස්ථාව ලැබෙනවා. කාලානුරූපව හයිඩ්‍රජන් ප්‍රමාණය අඩුව යන නිසා පසුකාලීනව එහි විකිරණශීලීතාවට වඩා ගුරුත්වාකර්ෂණය ප්‍රබලවී තරුව ක්ෂණික සංකෝචනයවී සුපර්නෝවා පුපුරායාමකට ලක් වෙනවා.

තරමක් විශාල තරු ඉන් නියුට්‍රෝන තරු බවට පත්වන අතර අතිවිශාල ඒවායෙන් කළු කුහර නිර්මාණය වෙනවා. කළු කුහරවල ද විවිධ ප්‍ර‍මාණ තිබෙනවා. ඇතැම්වා ඇස්ටරොයිඩ තරම් කුඩා ඒවා වන අතර ඇතැම්වා අපේ සෞරග්‍ර‍හ මණ්ඩලය මෙන් කිහිප ගුණයක තරම් වුවත් විය හැකියි. ඒවා මන්දාකිණි මධ්‍යයේ සිටිමින් තරු සියල්ල තමා වටා තබාගන්නවා.

විශ්වය පුරා අතථ්‍ය අංශු (Virtual particles) ඇති අතර ඒවා ධන සහ සෘණ ආරෝපිත වශයෙන් පවතිමින් සුළු කාලයක් තුළ ශක්තිය බවට පත් වෙනවා. ප්‍ර‍සිද්ධ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් පෙන්වා දෙන පරිදි මෙවන් යුගලයක් දිගන්ත අවස්ථාවේ ඇති වුවහොත් සෘණ ආරෝපිත අංශුව කළු කුහරයට ඇදී යද්දී ධන ආරෝපිත අංශුවට කළු කුහරයෙන් මිදී හෝකිං විකිරණයක් ලෙස ඉවත්ව යන්නට අවස්ථාව සැලසෙනවා. සෘණ අංශුව ලැබීමෙන් කළු කුහරයේ ප්‍ර‍මාණය අවම වෙනවා. එහෙත් කළු කුහරයේ ප්‍ර‍මාණය සම්පූර්ණයෙන් ම හීනවී යන්නට අවුරුදු ට්‍රිලියන ගණනක් ගත වෙනවා.

මුලාශ්‍රය: TechTrack 

කවරයේ පින්තුරය: CNN.com