Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගූග්ල් සමාගමේ වැඩකරන එක මොන වගේ ද කියලා දන්නවා ද?

ගූග්ල් හෙවත් දැනට ඇල්ෆබට් සමාගමේ වැඩ කරන එක මෘදුකාංග සංවර්ධකයෙක් වශයෙන් දුර ගමනක් යන්න අපේක්ෂා කරන අයගේ, ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන්ගේ විතරක් නොවෙයි ගූග්ල් සේවාවන්වලට ආදරය කරන හැම කෙනෙක්ගේ ම සිහිනයක්. පුද්ගලික ඊමේල් එකේ පටන් ලිපි ගොනු, සමාජ ජාල, සෙවුම් යන්ත්‍ර, ඡායාරූප හා වීඩියෝ ගබඩා, බ්ලොග් සටහන්, සිතියම් පමණක් නොව අතේ තිබෙන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙනුත් ගූග්ල් අපේ ළඟ ම හිතවතා බවට පත්වෙලා තිබෙනවා.

ඉතින් මේ හැමෝ ම භාවිතා කරන නිෂ්පාදන සිදුකරන සමාගමක තමන්ගේ නිර්මාණයක්, කේත පේළියක් අඩංගු කරගන්නට ලැබෙන එක කෙනෙක්ගේ සිහිනයක් හෝ ඉලක්කයක් බවට පත්වන එක අමුතුවෙන් පුදුම වෙන්නට කාරණයක් නොවෙයි. දැන් අපි සොයාබලමු මේ ආයතනයේ කාර්ය පරිසරය මොනවගේ එකක් ද කියලා.

ජීවිතයට ලැබෙන අත්දැකීම්

අනාගතයේ ජීවත් වෙනවා වගේ

amazonaws.com

තාක්ෂණය අතින් ඉහළ සිටින මෙන් ම ලෝකයට තාක්ෂණය දායාද කරන සමාගමක් වශයෙන් ගූග්ල් සමාගම ඉතා ඉදිරියෙන් සිටිනවා. ඉතින් එහි කටයුතු කරන අයට අලුත් ම දේවල් ලෝකයටත් ප්‍රථම අත්දකින්නට ලැබෙනවා. බොහෝ විට අත්හදා බැලීම් සිදුකරන නමුත් ලොවට මුදා නොහරින අසංඛ්‍ය සංඛ්‍යාවක් ව්‍යාපෘති සේවයේ නියුතු අයට අත්දකින්නට ලැබෙනවා. ඒ වගේ ම අනිත් හැමෝට ම කලින් නිෂ්පාදන අත්දකින්නත් ලැබෙනවා. “ක්‍රෝම් බ්‍රවුසරය ලොවට හඳුන්වාදෙන්නටත් කලින් තමයි එය මගේ ප්‍රධාන බ්‍රවුසරය බවට පත්වුණේ” මයිකල් විසොමියර්ස්කි පවසනවා.

ලොකු ලොකු අය එක්ක වැඩකරන්න පුළුවන්

ලෝකේ වටෙන් ම විවිධ කතන්දර, අත්දැකීම් සහ දැනුම රැගත් අය එක් තැනකට එක්වෙලා ඉඳිද්දී ඔබට නිතැතින් ම උගතුන් ඇසුරු කිරීමේ අවස්ථාව ලැබෙනවා. නව අදහස් තිබෙන අය මෙන් ම තම දක්ෂතා නිසා ප්‍රසිද්ධ වූ අය සමඟ නිතර ආශ්‍රය කරන්නට ලැබෙන එක ඇත්තෙන් ම භාග්‍යයක්. ගූග්ල් සමාගමේ වැඩකරන ආදිත්‍ය සොමානි පවසන්නේ “අවුරුද්දක් තුළදී මට මුණගැහුණු ඔවුන් හැම කෙනෙක් ගැන ම පාහේ විකිපීඩියා පිටුවක් තිබෙනවා” කියා යි. ඉන් අදහස් වන්නේ එතරම් ප්‍රසිද්ධ, වැඩදායී පුද්ගලයන් පවා කාර්යාලය තුළ බහුල බව යි.

ලෝකේ වටේ ම යාළුවෝ හැදෙනවා

blogspot.com

වරක් ගූග්ලර් (Googler – ආයතන සේවකයන් සඳහා අන්වර්ථ නාමය) කෙනෙක් වුණොත් ඔහු හැමදාට ම ගූග්ලර් කෙනෙක්. ගූග්ල් සමාගමේ ex-Googler කෙනෙක් හෙවත් ගූග්ල් සමාගමෙන් ඉවත්වූවෙක් (ex-employee) සඳහන් කරන්නේ ආයතනය නිසා ගොඩනැගෙන මානව සම්බන්ධතා ඉතාමත් වැදගත් බවයි. “ඔබ මොන රටකට ගියත් Xoogler (ex-Googler) කණ්ඩායමේ කෙනෙක් ඔබ හඳුනනවා ම යි.” ධුරව් රාජ් නම් ඔහු පවසනවා.

හැකියාවට ඉඩක්

දවස තුළ සියයට අසූවක් තමන්ට භාරදුන් ව්‍යාපෘතියේ කටයුතු කරන්නටත්, තමන්ගේ කැමැත්ත අනුව 20%ක් තමන් කැමති ඕනෑම වෙනත් ව්‍යාපෘතියකත් කටයුතු කරන්නට ගූග්ල් සමාගම අවස්ථාව සලසා දී තිබෙනවා. මේ නිසා එක ම දේට කොටු නොවී ඔබ කැමති ව්‍යාපෘති කිහිපයක වැඩ කරන්නට හැකියාව ලැබෙනවා.

සේවා වරප්‍රසාද

ප්‍රධාන ම දේ: නොමිලේ කෑම

ගූග්ල් අවන්හලක කෝකියෙක් (turner.com)

අපේ රටේ සමාගම් අපිට ‘කට්ට’ කන්න දුන්නාට ගූග්ල් සමාගම නම් තමන්ගේ සේවකයන්ට හොඳට කන්න කෑම, බීම දෙනවා. සෞඛ්‍යමත් සහ නානාවිධ ආහාර දවස පුරා ම නොමිලේ ම ලබාගත හැකි ආපනශාලා ගූග්ල් සමාගම් පරිශ්‍රය තුළ ස්ථාපිත කොට ඇති අතර කෝපි, බීම වර්ග ලබා ගත හැකි පානහල් ද තිබෙනවා. “මම උදේ පාන්දර ම ඇවිත් නොමිලේ ම කෝපි එකක් බීලා උදේ කෑම එකත් අරගෙන තමයි මගේ මේසයට යන්නේ. ඊට පස්සේ දවල් කෑම වෙලාව ආවා ම 25කට වඩා වැඩි ගණනක් තිබෙන ආපනශාලාවලින් එකකට මම යනවා. රෑ වෙනකම් වැඩ තිබුණත් ප්‍රශ්නයක් නැහැ, කෑම හැමවිට ම අතලඟ තිබෙනවා.” ක්‍රිස්ටීනා කෝඩෝවා සඳහන් කරනවා.

සුරතලා එක්ක වැඩට එන්න

ඒකාකාරී රාජකාරී රටාවෙන් මිදෙන්නට සුනඛ සුරතලා සමඟ කාර්යාලයට එන්නටත් ගූග්ල් සමාගමෙන් බාධාවක් නැහැ. හැබැයි ඉතින් එයාගේ එව්වා-මෙව්වා අස් කරන්න නම් තමන්ට ම සිද්ධ වෙනවා. “මගේ බලු පැටියා එක්ක ගියා ම රැස්වීම්වලදී ටිකක් කරදර වුණත් වැඩ කරද්දී එයාගේ හුරතල් දැකීමෙන් නව ජවයක් ලබා ගන්නට හැකිවුණා. අපි එක්ක වැඩ කරන අනිත් අයත් එයාගේ හුරතල්වලට කැමති වුණා වගේ ම මාරුවෙන් මාරුවට බලාගත්තා. අන්තිමට මම නිසා එයා හඳුනාගත්තා නෙවෙයි, එයා නිසා මට අලුතින් යාළුවෝ ගොඩක් ඇතිවුණා.” මැතීව් පවසනවා.

දරුවෙක් ලැබුණා ම පියාටත් නිවාඩු

searchengineland.com

සාමාන්‍යයෙන් අපේ රටේ පුරුෂයෙක් තමන්ගේ ලෙයින් දරුවෙක් හැදුණා ම දරු සුරතල් විඳින්නට නිවාඩුවක් අරගන්න ලොක්කාගෙන් ඇහුවොත් අනිවාර්යයෙන් ම ලැබෙන උත්තරේ තමයි “ඇයි?! දරුවා ලැබුණේ තමුන්ට ද?”

හැබැයි ගූග්ල් එකේ නම් ඒ සම්බන්ධ ප්‍රතිපත්තිය ටිකක් වෙනස්. දරු ප්‍රසූතියකදී ගූග්ල් සේවිකාවන්ට සති 18ක් නිවාඩු ලැබෙන අතර බිරිඳට දරුවෙක් ලැබුණු විට ගූග්ල් සේවකයන්ට පඩි සහිත සති හයක නිවාඩුවක් ලැබෙනවා. මේ කාලය තුළ දරුවාගේ වියදම් වෙනුවෙන් බෝනස් එකක් ද ලැබෙන අතර පසුකාලීනව දරුවා කාර්යාලයට ගෙන එනවා නම් ඔවුන්ව බලාගන්නට පහසුකම් (daycare) ද සලසා තිබෙනවා.

මැරුණාට පස්සෙත් ලොකු වන්දියක්

රාජකාරී කාලය තුළ කෙනෙක් මිය ගියහොත් ඔවුන්ගේ බිරිඳට හෝ සැමියාට රක්ෂණාවරණ වන්දිය සහ සේවකයාගේ වේතනයෙන් අඩක් වසර 10ක් යන තෙක් ලබා දෙනවා. ඊට අමතර ව ඔවුන්ගේ දරුවන්ට මසකට ඩොලර් 1,000 බැගින් (දැනට රුපියල් ලක්ෂ එකහමාරක් පමණ) ලබා දෙනවා. “මම මේ ගැන මගේ බිරිඳට කිව්වා ම ඇගේ ඇස් වලට කඳුළු ආවා. ඇයට පුදුමයි මට වුණු දෙයකට ආයතනය ඇයට සලකන එක ගැන.” පෝල් සඳහන් කරනවා.

තවත් බොහෝ දේ

thesleephub.com

මේ දේවල්වලට අමතර ව රෙදි සෝදන්නට වොෂින් මැෂින් ආදී උපකරණ, නොමිලේ සබන් කුඩු ආදිය ලබා දෙන අතර වයි-ෆයි සහිත නොමිලේ ප්‍රවාහන පහසුකම් ද පරිශ්‍රය අභ්‍යන්තරයේ මෙන් ම නිවස තෙක් ද ලබා දී තිබෙනවා. ඒ හැර ඔබේ ම වාහනයක් ඔබ භාවිතා කරනවා නම් තෙල් මාරු කිරීමේ සහ වාහනය සෝදා ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා. වැඩ කරලා මහන්සි නම් එක්කෝ ශබ්දය සහ ආලෝකයට අපාරගම්‍ය කුටීරයකට වී නිදා ගන්නට හෝ නාන තටාකයක විනෝද වන්නට, බිලියඩ්, වොලිබෝල් හෝ පරිගණක ක්‍රීඩාවක් කරන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් ස්වයංක්‍රීයව සම්බාහනය වන යාන්ත්‍රික පුටුවක නිදහසේ වාඩිවෙලා මාළු ටැංකියක් දිහා බලාගෙන ඉන්නත් පුළුවන්.

අඳුරු පැතිකඩ

glassdoor.com

“ගූග්ල් එකෙන් හැමදේ ම ලැබුණා වගේ නෙවෙයි, අපි ඒකට කොටු වෙනවා. දවස පුරා ම ගූග්ල් එකේ කෑම කාලා, ගූග්ල් සේවකයන් එක්ක ඉඳලා, ගූග්ල් කෙටි යෙදුම් එක්ක කතා කරලා, ගූග්ල් ඊමේල් සහ ගූග්ල් ෆෝන් පාවිච්චි කරාම ඒ ලොකු ජී අකුරට අපි රාමු වෙනවා.” ගූග්ල්හි හිටපු ගිණුම් කළමනාකාරවරියක් වන ජෝ කැනිලා අපට එහෙම පූර්විකාව සපයනවා. ගූග්ල්හි කටයුතු කරන බොහෝ දෙනෙක්ගේ සුදුසුකම් ඉතා ඉහළ නිසා යූටියුබ් එකේ ෆ්ලෑග් කළ කමෙන්ට් ඉවත් කිරීම, බොත්තමක පාට වෙනස් කිරීම වැනි සුළු කර්තව්‍යයන් සඳහා ඉහළ පෙළේ විද්‍යාලවල සිසුන් යොදා ඇති අතර මේ නිසා හැකියාවෙන්, දැනුමෙන් ඉහළ වුවත් තමන්ට ලැබෙන්නේ ඉතා කුඩා වැඩ කොටසක් වෙන්නට පුළුවන්. දක්ෂයන් පිරී ගිය තැනක හැම දක්ෂයෙක්ට ම නිසි තැන නොලැබෙන එක ගැටළුවක්.

“ඔබ ගූග්ල් සමාගමෙන් යමක් ගන්නවා නම් ඒ හැමදෙයක් ම ගැන ම ලිඛිතව සටහන් කරවා ගන්න. ඔවුන් විවිධාකාර පොරොන්දු දෙනවා. ඒත් කරන්නේ නැහැ.” ගූග්ල් සමඟ කටයුතු කළ, නම සඳහන් කරන්න අකමැති පුද්ගලයෙක් සටහන් තබනවා.

පසුවදන

ඔබටත් ගූග්ල් ආයතනයේ රැකියාවක් කරන්නට අදහසක් තිබෙනවා නම් මේ ලින්ක් එකෙන් යන්න. එමඟින් CV එකේ ඇතුලත් කළ යුතු දෑ සහ ඔවුන් බලාපොරොත්තු වන දේවල් ගැන දැනගෙන ඔබට ගැලපෙන තනතුරක් ද තෝරාගෙන අයැදුම් කළ හැකියි. ඒ සඳහා ඔබට උපාධියක් තිබිය යුතු වන්නේ නැති බව ද එම පිටුවේ දක්වා තිබෙනවා.

සාමාන්‍යයෙන් කුමන රැකියාවක වුණත් විවිධ ගැටළු තිබෙනවා. ඉහළ-පහළ තනතුරු අතට ගැටුම්, අදහස් නොගැලපීම්, නව අදහස් ක්‍රියාත්මක කරන්නට ඉඩ නොලැබීම් ආදී බොහෝ දේවල් ඒ අතර තිබෙන්නට පුළුවන්. ඒත් විය යුත්තේ අපි අපිට පැවරුණු රාජකාරිය නිසායාකාරව ඉටු කොට ආයතනය ඉදිරියට ගෙන යමින් අපිටත් ඉදිරි අනාගතයක් සලසා ගැනීම මිස ආයතනයේ පරිහානියට කටයුතු කර තවත් දහස් ගණනකගේ රැකියාවන් අහිමි කර තමාට ද වළ කපා ගැනීම නොවෙයි.

කවරයේ ඡායාරූපය:mytecharticle.com

Related Articles