Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Online පොත් ගන්න තිබෙන  හොඳම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය මොකක්ද?

අන්තර්ජාලය හරහා යම් යම් භාණ්ඩ සහ සේවාවන් මිලදීගැනීම අද අපේ රටේත් බහුලවම වාගේ සිදුවෙන දෙයක්. අන්තර්ජාලය හරහා පොත් මිලදී ගැනීමත් පසුගිය වසර කීපයේදී විශාල වශයෙන් ඉහළ ගිය ආකාරය ඒ පිළිබඳව කරුණු අධ්‍යයනයේදී පැහැදිලි වෙන කාරණාවක්. මේ අළෙවිය ඉහළ යාම නිසාම අපේ රටේ ප්‍රධානතම පොත් ප්‍රකාශන ආයතන වගේම වෙනත් ආයතනත් අද තමන්ගේ වෙබ් අඩවි හරහා පොත් මිළදී ගැනීම ප්‍රවර්ධනය කරන ආකාරයත් අපිට දැක ගන්නා පුළුවනි. අපේ රටේදි අන්තර්ජාලය හරහා පොත් මිලදී ගන්න තියෙන හොඳම වෙබ් අඩවිය මොකක්ද? මේ ගැන අධ්‍යයනයක් සිදුකරන්න අපි තීරණය කෙරුවා. ඔබ ඉදිරියේ දැන් දිගහැරෙන්නේ අපේ ඒ අධ්‍යයනයේ ප්‍රතිඵලයි.

දිවයිනේ ප්‍රධානතම පොත් ප්‍රකාශන ආයතනවල වෙබ් අඩවි සහ පොත් ප්‍රකාශකයන්ගෙන් පොත් මිලදීගෙන තමන්ගේ වෙබ් අඩවිය හරහා අලෙවිකරන ආයතනත් අපි මේ අධ්‍යයනය සඳහා සම්බන්ධ කරගත්තා. සරසවි පොත් ප්‍රකාශන ආයතනය, විජිතයාපා පොත්හල, එම්. ඩී. ගුණසේන සහ සමාගම, ගොඩගේ පොත් මැදුර, මැකීන් ආයතනය, ග්‍රන්ථ LK ආයතනය සහ Books.lk යනු ඒ ආයතනයන් කීපයයි.

මේ අධ්‍යයනය සඳහා අපි නිර්ණායක කීපයක් භාවිතා කළා. එම වෙබ් අඩවියේ පෙනුම, ජංගම දුරකතන/ටැබ් වැනි උපකරණවලදී වෙබ් අඩවිය පෙන්වන ආකාරය (Mobile Responsive Design), වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම load වෙන්න ගතවෙන කාලය, වෙබ් අඩවිය හරහා පොතක් සොයාගැනීමට ඇති පහසුව, පොතක් මිලදී ගැනීමේදී ඇති පියවර ගණන, පොතක් මිලදී ගැනීමේ පහසුව, වෙබ් අඩවියේ පාරිභෝගිකයෙක් වීම නිසාම ඇති අමතර පහසුකම්, වෙබ් අඩවිය භාවිතා කිරීමේදී පරිශීලකයා ලබන තෘප්තිය ඒ නිර්ණායක 8යි. තෝරාගත් වෙබ් අඩවිවල මේ එක් එක් නිර්ණායකයන් සඳහා ලකුණු ලබාදීම සිදුකළා. එහිදී උපරිම ලකුණු 10ක් ලෙස සහ අවම ලකුණු 0ක් ලෙස ලකුණු ලබාදීමේ සීමාව අර්ථ දක්වන්නට අපි කටයුතු කළා.

මේ අධ්‍යයනය සඳහා දත්ත රැස්කිරීම අපි සිදුකළේ සම්පූර්ණ වශයෙන්ම අන්තර්ජාල සමීක්ෂණයක් ආකාරයෙන්. මේ සමීක්ෂණය සඳහා අන්තර්ජාලය භාවිතා කරන වයස අවුරුදු 18ත් 65ත් අතර ශ්‍රී ලාංකික පුද්ගලයන් 40ක පිරිසක් සහභාගී වූවා. පාසැල් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, සන්නද්ධ හමුදාවන්හි සේවයේ නියුතු නිලධාරීන්, පාසැල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, මූල්‍ය කළමණාකාරවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විදේශයන්හි සේවය කරන විවිධ වෘත්තිකයන්, ගෘහණියන්, ස්වයං රැකියාවන්හි නිරත වෙන වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් යනාදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය වන පිරිසක් මේ සඳහා සම්බන්ධ වූවා.

දැන් අපි විමසා බලමු ඒ එක් එක් නිර්ණායකයන්ගෙන් ඒ ඒ වෙබ් අඩවි ලකුණු ලබාගෙන තියෙන ආකාරය. සෑම නිර්ණායකයක් සඳහාම වැඩිම ලකුණු ලබාගත් වෙබ් අඩවි 03 පිළිබඳව මෙහිදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා.

1. වෙබ් අඩවියේ පෙනුම

වෙබ් අඩවිය ඔබගේ පරිගණකයේ, ජංගම දුරකථනයේ, ටැබ් එකේ පෙන්වන ආකාරය පිළිබඳවයි මෙහිදී අවධානය යොමු කෙරුවේ. වෙබ් අඩවියේ වර්ණ සංයෝජනය කර තිබෙන ආකාරය, රූප සහ අනෙකුත් දේ දර්ශනය වෙන ආකාරය, වෙළඳ දැන්වීම් නිසා වෙබ් අඩවිය පරිශීලනය කිරීම අපහසුවෙනවාද නැතිද යන කරුණ වැනි දේවල් මෙහිදී අවධානයට යොමු කෙරුවා. සියළුම වෙබ් අඩවි එක හා සමාන ලෙස සුදු පැහැති පසුබිමේ තමන්ගේ පොත් ප්‍රදර්ශනය කර තිබෙනවා.

සමහර වෙබ් අඩවි ප්‍රධාන පිටුවේ යම් යම් කාණ්ඩවලට බෙදා පොත් ප්‍රදර්ශනය කර තිබෙන අතර සමහර වෙබ් අඩවි එසේ කාණ්ඩ ගතකිරීම සිදුකර තිබුණේ නැහැ. අපගේ සමීක්ෂණයෙන් මේ සඳහා වැඩිම ලකුණු ලබාගත්තේ සරසවි පොත් ප්‍රකාශන ආයතනය සහ ග්‍රන්ථ LK ආයතනයේ වෙබ් අඩවියි. ගොඩගේ ආයතනයේ වෙබ් අඩවිය සහ විජිතයාපා ආයතනයේ වෙබ් අඩවිය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයන් ලබාගත්තා. විවිධ කාණ්ඩ යටතේ පොත් වර්ගීකරණය කර තිබීම, එකවර පොත් වැඩි ප්‍රමාණයක් දර්ශනය කිරීම, වෙබ් අඩවියෙන් ලබා දෙන අමතර සේවාවන් ඉතා ඉක්මණින් දර්ශනය වෙන ලෙස සකස් කර තිබීම යන කරුණු සරසවි සහ ග්‍රන්ථ LK වෙබ් අඩවි වලට වැඩි ලකුණු ලබා ගන්නට හේතු වෙන බවයි අපේ අදහස. සමීක්ෂණයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය අඩු වුවත් මැකීන් ආයතනයේ වෙබ් අඩවියත් ඉතා මනරම් වෙබ් අඩවියක් බව කිව යුතුමයි.

2. Mobile Responsive Design / ජංගම උපාංගයකින් පිවිසීමේදී දිස්වෙන ආකාරය

ජංගම උපාංගවලදී වෙබ් අඩවිය දර්ශනය වෙන ආකාරය සහ ඒ හරහා පොත් තේරීම, මිලදී ගැනීම වැනි ගනුදෙනු සිදුකරගැනීම පිළිබඳවයි අපි මෙහිදී මූලිකවම කරුණු සොයා බලන ලද්දේ. සාමාන්‍ය පරිගණකයේ හෝ ලැප්ටොප් පරිගණකයකින් වෙබ් අඩවියට පිවිසීමේදී දකින්නට ලැබෙන ආකාරයටම කිසිදු දෝෂයකින් තොරව වෙබ් අඩවිය දර්ශනය වෙනවාද, එසේ නැතිනම් යම් යම් දෝෂ පවතිනවාද සහ ඒ දෝෂ හේතුවෙන් පරිශීලකයාට තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට ඇති හැකියාව අවම වෙනවාද යන කරුණු පිළිබඳව මෙහිදී විශේෂයෙන්ම සොයා බැලුනා.

මෙහිදී වැඩිම ලකුණු ලබාගෙන තිබුණේ විජිතයාපා ආයතනයේ වෙබ් අඩවියයි. ගොඩගේ, මැකීන් සහ ග්‍රන්ථ ආයතනයන්හි වෙබ් අඩවි සම ලකුණු ලබාගෙන දෙවන ස්ථානයේ සිටින අතර සරසවි ආයතනයේ වෙබ් අඩවිය තෙවන ස්ථානය දිනාගෙන තිබෙනවා. ඇසට කිසිදු විඩාවකින් තොරව පොත් තේරීමට හැකිවීම, පොත්වල කාණ්ඩ පහසුවෙන් දැකගන්නට හැකිවීම වැනි කරුණු විජිතයාපා වෙබ් අඩවිය මේ අංශයෙන් වැඩි ලකුණු ලබාගන්නට හේතු විය හැකි බවයි අපේ විශ්වාසය.

3. වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම load වෙන්න ගතවෙන කාලය

වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙන්න ගතවෙන සම්පූර්ණ කාලය අනුව ලකුණු ලබා දීම මෙහිදී සිදු කෙරුනා. එහිදී load වීම සඳහා ගතවෙන කාලය අඩුනම් ලකුණු වැඩියෙන් වන ලෙසටයි ලකුණු ලබාදීම සිදු කළේ. මේ කාල ගණනයන් සඳහා අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවිවල තත්ත්වයන් පිළිබඳ විස්තර ලබාදෙන විවිධ සේවාවන් භාවිතා කිරීම සිදුකළා.

ඒ අනුව ගත් විට ඉදිරියෙන්ම සිටින්නේ මැකීන් ආයතනයේ වෙබ් අඩවියයි. සරසවි ආයතනයේ වෙබ් අඩවිය සහ Books.lk වෙබ් අඩවිය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයන් ලබාගන්නවා. Load වීමට අවශ්‍ය මෙගාබයිට් ප්‍රමාණය ප්‍රශස්ථ මට්ටමට ආසන්න වීම, Client ගේ සිට server එක දක්වා යවන request ප්‍රමාණය ප්‍රශස්ථ මට්ටම ආසන්නයේ තිබීම සහ තවත් නොයෙක් තාක්ෂණික කරුණු මැකීන් වෙබ් අඩවියේ වැඩි ලකුණු සඳහා හේතුවන බව දකින්නට පුළුවනි.

4. වෙබ් අඩවිය හරහා පොතක් සොයාගැනීමට ඇති පහසුව

වෙබ් අඩවියේ ඇති Search තීරුව හරහා කොපමණ පහසුවෙන් පොතක් සොයාගැනීමට හැකිද යන්න පිළිබඳවයි අපි මෙහිදී සලකා බැලුවේ. මේ අංශයෙනුත් පෙරමුණ ගත්තේ සරසවි ආයතනයේ වෙබ් අඩවියයි. විජිතයාපා වෙබ් අඩවිය දෙවන ස්ථානය ලබා ගනිද්දී මැකීන් සහ ග්‍රන්ථ LK වෙබ් අඩවි සම ලකුණු ලබමින් තෙවන ස්ථානය දිනාගන්නවා. විශේෂයෙන්ම පරිශීලකයා පොතේ/ලේඛකයාගේ නම ටයිප් කරන අවස්ථාවේදී එහි ඉතිරිය වෙබ් අඩවිය මඟින්ම සම්පූර්ණ කිරීම අපි සරසවි, විජිතයාපා, ග්‍රන්ථ LK වැනි වෙබ් අඩවිවලින් දුටුවා.

ඕනෑම පරිශීලකයෙක්ට තමන්ට අවශ්‍ය පොත් තේරීමේදී එවැනි සහායක් වෙබ් අඩවියෙන් ලබාදීම මහත් පහසුවක්.

5. පොතක් මිලදී ගැනීමේදී ඇති පියවර ගණන

 

තමන්ට අවශ්‍ය පොත හෝ පොත් කට්ටලය අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේදී අදාල මුදල ගෙවා පොත මිලදී ගන්නා තෙක් ඇති පියවර ගණන පිළිබඳව තමයි මෙහිදී සලකා බැලෙන්නේ.

සමහර වෙබ් අඩවි පොත් මිලදී ගැනීමට ඉඩ ලබාදෙන්නේ තමන්ගේ අඩවියේ රෙජිස්ටර් වී ඇති පරිශීලකයන්ට පමණයි. ඒ ආකාරයට සීමා පැනවීමේදී පාරිභෝගිකයන්ට නොයෙක් වාසි වගේම අවාසිත් සිදුවෙන බවයි අපේ අදහස. අවම පියවර ගණනකින් පොතක් මිලදී ගන්න පුළුවන් වෙබ් අඩවිය විදියට අපේ සමීක්ෂණයේදී පරිශීලකයන් දක්වලා තියෙන්නේ ග්‍රන්ථ LK වෙබ් අඩවියයි. සරසවි සහ විජිතයාපා වෙබ් අඩවි පිළිවෙලින් ඒ අංශයේත් දෙවන සහ තෙවන ස්ථානයන් ලබාගෙන තියෙනවා.

වෙබ් අඩවියේ රෙජිස්ටර් වීමකින් තොරව තමන්ට අවශ්‍ය පොත් මිලදී ගැනීමට ග්‍රන්ථ LK හරහා ලබා දී ඇති ඉඩ ප්‍රස්ථාවනම් හරිම අපූරු අත්දැකීමක් බවයි අපේ අදහස.

6. පොතක් මිලදී ගැනීමේ පහසුව

 

තමන්ට අවශ්‍ය පොතේ විස්තර වෙබ් අඩවියේ පෙන්වන ආකාරය පිළිබඳව තමයි මෙහිදී කරුණු සලකා බැලුවේ. පොතේ නම, ලේඛකයාගේ විස්තර, පොතේ ප්‍රකාශකයා පිළිබඳ විස්තර, පොතේ මිල, ISBN අංකය වැනි තොරතුරු සහ වෙබ් අඩවිය භාෂා කීයකින් සමන්විතද යන කරුණු මෙහිදී සලකා බැලූ වැදගත් දේවල්. එමෙන්ම පොතේ මිල දර්ශනය කිරීමේදී එය ශ්‍රී ලංකා රුපියල් ලෙස පෙන්වීම, ඕනෑම වර්ගයක ක්‍රෙඩිට් කාඩ්පතක් හරහා ගෙවීම් කිරීමට පහසුකම් ලබාදීමත් මෙහිදී අපි සලකා බැලුවා.

මේ අංශයේත් සරසවි වෙබ් අඩවිය ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා. ඒ වගේම විජිතයාපා සහ මැකීන් වෙබ් අඩවි සම ලකුණු ලබා දෙවෙනි තැන ලබා ගනිද්දී ගොඩගේ වෙබ් අඩවිය තෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා. මිලදී ගැනීමට බලාපොරොත්තුවන පොත පිළිබඳව කෙටි විස්තරයක් තිබීම, ඒ පොත මීට පෙර කියවා තිබෙන අය විසින් පොත පිළිබඳව අදහස් දැක්වීම වැනි කරුණු හරහා ඕනෑම පොතක් පිළිබඳව වඩාත් යහපත් අවබෝධයක් ලබාගැනීමට සරසවි වෙබ් අඩවිය ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබිම විශේෂ කරුණක් ලෙස දක්වන්නට පුළුවනි.

7. අමතර පහසුකම්

පොත් වෙනුවෙන් ලබා දෙන වට්ටම්, විශේෂ දීමනා, පොත මිලදී ගැනීමේ සිට නිවසට ගෙන්වා ගැනීමට ගතවෙන කාලය වැනි කරුණුයි අපි මෙහිදී සලකා බැලුවේ. ඒ වගේම වෙබ් අඩවියේ ඇති චැට් පහසුකම, ඊමේල් හරහා තොරතුරු හුවමාරු කරගැනීමට ඇති පහසුව වැනි කරුණුත් ඒ සඳහා උපයෝගී කරගත්තා. ලබා දෙන වට්ටම් සහ පොත නිවසට ගෙන්වාගැනීම කියන කරුණු පිළිබඳව සළකා බැලීමේදී ග්‍රන්ථ LK වෙබ් අඩවිය අනෙකුත් සියළුම වෙබ් අඩවිවලට වඩා ඉඳිරියෙන් සිටිනවා.

විශේෂයෙන්ම අදාල භාණ්ඩය තමන්ට ලැබුණ විට මුදල් ගෙවීමේ (Cash On Delivery) පහසුකම ලබාදෙන්නේ ඔවුන් පමණක් බවයි වෙබ් අඩවිවල ඇති තොරතුරු පරිශීලනය කිරීමෙන් අපි දැකපු දේ. ශ්‍රී ලංකාව තුළදී පොත් මිලදී ගන්නා වෙබ් අඩවියකින් එවන් පහසුකමක් අත්විඳින පළමු වතාව මෙය බවයි අපේ අදහස. ඒ වගේම තමන්ගේ ආයතනයෙන් එළිදක්වන අලුත්ම පොත් පිළිබඳ විස්තර ඇතුළත් News Letter එකක් අපිට ඊමේල් ලෙස එවන්නට සරසවි ආයතනය කටයුතු කරලා තියෙන දේත් මෙහිදී සඳහන් කිරීම වටිනවා.

8. වෙබ් අඩවියෙන් පොත් මිලදී ගැනීමෙන් ලැබෙන තෘප්තිය

වෙබ් අඩවිය හරහා පොත් මිලදී ගැනීමේදී ඔබ කොපමණ තෘප්තියක් ලබනවාද? පොත් කඩේට ගිහින් පොත් රාක්ක අතර ඇවිදලා ලබන වින්දනය අන්තර්ජාලය හරහා පොත් මිලදී ගැනීමේදී ඔබට ලබන්නට බැහැ. නමුත් මේ සේවාවන්ගෙන් පරිශීලකයන් යම් හෝ ආකාරයක තෘප්තිමත්භාවයක් ලබන බව ස්ථිරයි. එය සමහර විට ඉක්මණින් පොත් තෝරාගැනීම නිසා වෙන්න පුළුවනි. නැතිනම් ආයතන කීපයක මිල ගණන් සසඳා බලා වැඩිම වට්ටමක් ලැබෙන තැනින් මිලදී ගන්න ඇති හැකියාව නිසා වෙන්න පුළුවන්.

අපේ සමීක්ෂණයේදී පාරිභෝගිකයන් වඩාත්ම තෘප්තියක් ලබා තියෙන්නේ සරසවි වෙබ් අඩවිය සමඟ ගනුදෙනු කිරීමෙන්. එම ලැයිස්තුවේ දෙවන ස්ථානය ග්‍රන්ථ LK වෙන්කර ගනිද්දි විජිතයාපා වෙබ් අඩවිය තුන්වන ස්ථානය ලබා ගන්නවා.

හොඳම එක මොකක්ද?

ඉහත අපි සඳහන් කරපු නිර්ණායක 8 ඔස්සේ එක් එක් වෙබ් අඩවිය ලබාගත් ලකුණු පිළිබඳව සළකා බැලීමේදී සරසවි පොත් ආයතනයේ වෙබ් අඩවිය වැඩිම ලකුණු ලබාගෙන ඉදිරියෙන්ම සිටිනවා. මේ සෑම නිර්ණායකයකදීම සරසවි වෙබ් අඩවිය පළවෙනි ස්ථාන කීපය අතර සිටිබව විශේෂයෙන් මතක් කරන්නට කැමතියි.

මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව දෙවෙනි තැන ලබාගන්නේ ග්‍රන්ථ LK වෙබ් අඩවියයි. ඒ වෙබ් අඩවිය ආරම්භ කරලා වැඩි කාලයක් ගතවෙලා නැති වුවත්, ඔන්ලයින් ගනුදෙනු කරන වෙබ් අඩවියක තිබිය යුතු සියළුම ගුණාංග එහි තිබෙන බව විශේෂයෙන්ම සටහන් කරන්න අවශ්‍යයි.

සමීක්ෂණ ප්‍රතිඵල අනුව තුන්වෙනි තැන ලබාගන්නේ විජිතයාපා ආයතනයේ වෙබ් අඩවියයි.

ගොඩගේ ආයතනයේ වෙබ් අඩවිය සහ මැකීන් ආයතනයේ වෙබ් අඩවිය ඉතා සුළු ලකුණු පරතරයක් සහිතව සිව්වන සහ පස්වන ස්ථාන ලබාගෙන තියෙනවා.

ඒ තමයි අපේ සමීක්ෂණයේ ප්‍රතිඵලය.

සංවර්ධනය විය යුතු තැන්

මේ සියළුම වෙබ් අඩවි සෑහන තරම් දුරට ප්‍රශස්ථ මට්ටමේ තිබෙන බව පැහැදිලියි. නමුත් මේ සෑම වෙබ් අඩවියක්ම වගේ ද්වීභාෂා හෝ ත්‍රෛභාෂා ආකාරයට තමන්ගේ සේවාවන් ලබාදෙනවානම් ඉතාම යහපත් කියලයි අපේ අදහස.

ඒ වගේම ග්‍රන්ථ LK අඩවියේ ඇති ආකාරයට පොත් මිලදී ගැනීමේදී ඒ වෙබ් අඩවියේ රෙජිස්ටර් වීමකින් තොරව එම කටයුත්ත සිදුකිරීමට ගැනීමට ඉඩප්‍රස්ථාව ලබාදීමෙන් තවත් ඉක්මනට පාරිභෝගිකයන්ට තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවනි. වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම Load වෙන්න ගතවෙන කාලය හැකිතාක් අවම කිරීම පිළිබඳවත් සියළුම වෙබ් අඩවි හිමිකරුවන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් මේ වෙලාවෙදි මතක් කරන්නටම අවශ්‍යයි.

ස්තූතිය

මේ සමීක්ෂණය සම්පූර්ණ කිරීම ඉතාම වෙහෙසකර කටයුත්තක් බව අවිවාදයෙන්ම සටහන් කළ යුතුමයි. තමන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බව දැන දැනම මේ කටයුත්ත සාර්ථක කරගන්න විශාල කැපකිරීමක් කරපු ස්වේච්ඡාවෙන් මේ සමඟ සම්බන්ධ වූ සියළුම හිතවතුන්ට අපේ හෘදයාංගම ස්තූතිය පිරිනමන බවත් සඳහන් කරන්නට අවශ්‍යයි. ඒ වගේම මේ සමීක්ෂණය සඳහා විශාල ප්‍රචාරණ දායකත්වයක් ලබාදුන් පොත් කියවන අය Facebook සමූහයේ ඇඩ්මින් මඬුල්ලේ සියල්ලන්ටමත් අපේ විශේෂ ස්තූතිය පුදකරන්නට කැමතියි.

අන්තර්ජාලයේ ශ්‍රී ලාංකික අවකාශය තුළදී පොත් මිලදී ගැනීමේ සේවාව ලබාදෙන ආයතනයන් පිළිබඳ අධ්‍යයනය කිරීමට සිදුකළ මේ සමීක්ෂණය සම්පූර්ණයෙන්ම ස්වාධීනව සිදුකළ බවත් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කිරීමට අවශ්‍යයි. ඒ වගේම මේ සේවාවන් ලබා දෙන සියළුම වෙබ් අඩවි අපි මේ සමීක්ෂණය සමඟ සම්බන්ධ කරගත්තේ නැහැ. ඒ වගේම අපි මෙහිදී සලකා බලපු නිර්ණායකවලට අමතරව තවත් නිර්ණායක ඕනෑ තරම් තියෙන්නට පුළුවනි. ඉතින්, මේ ගැන ඔබේ අදහසත් පහළ කමෙන්ට් තීරුව හරහා අපිත් එක්ක බෙදාගන්න පුළුවනි.

Related Articles