Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Vlogging සහ ව්ලොග් කරන හැටි

පසුගිය කාලයේ බ්ලොග් කලාව බෙහෙවින් ප්‍රචලිතව තිබුණේ එදිනෙදා සිදුවුණු දේවල්, කෙටි කතා, නවකතා, විවේචන, කවි සංකල්පනා ආදී විවිධ නිර්මාණ ඒවා හරහා සමාජගත වීම හරහායි. ඒ කාලයේ අන්තර්ජාල සබඳතාවල වේගයත් බොහොම අඩු නිසා වීඩියෝ බැලීම කියලා එකක් තිබුණේම නැති තරම්. ඒ නිසා ඊමේල් හරහා, ෆෝරම්වල දාපු ලින්ක් ආදිය හරහා මෙන්ම පසුකාලීනව අලුත් බ්ලොග් පෝස්ට් එකතු කොට පෙන්වන වෙබ් අඩවි: බ්ලොග් සින්ඩිකේටර් හරහා මේ ලිපි කියවීමට හැම කෙනෙක්ම පුරුදුව සිටියා. නමුත් දැන් බ්ලොග් කියවනවාට වඩා වීඩියෝ බලන්නට තරම් වේගයක් සහ ඩේටා ලැබී තිබෙන නිසා යූටියුබ් එකට තමයි වැඩිපුරම යැවෙන්නේ. ඒ අනුව ඒ හරහා බ්ලොග් වලම වීඩියෝ මුහුණතක් ඇතිවුණා. මේ, ඒ ව්ලොගින් ගැනයි.

Vlog කියන්නේ මොකක්ද?

bhphotovideo.com

Web log හෙවත් අන්තර්ජාලයට සටහන් තැබීම යන වචන දෙක එකතු වෙලා තමයි Blog යන වචනය හැදුණේ. දැන් එය වීඩියෝ බවට පත්වෙද්දී Video Blog යන දෙවදන හරහා නැවත Vlog නමින් වචනයක් බිහිවුණා. මුල් කාලයේදී ලිපියක් එලෙසින්ම audio බවට පත්කර නිපැයුණු podcast ගණයේම වීඩියෝ ආකාරය බවට මෙය පත්ව තිබුණත් මේ වන විට බ්ලොග් නැති අයත් මූලික වශයෙන්ම මේ ආකාරයේ වීඩියෝමය නිර්මාණ කරන්නට පෙළැඹුණු නිසා audio podcast වලටත් වඩා ව්ලොග් කලාව ව්‍යාප්ත වුණා.

මෙය විවිධ මාතෘකා වලටම සිමා කරගෙන වගේම නිදහසේ ඕනම මාතෘකාවකට ගැලපෙන ආකාරයට විවිධ අය තමන්ගේ හැකියාවන් සහ සම්පත් අනුව සකසාගෙන කරන්නට පුළුවන්. අලුතින් ආපු ෆෝන් ගැන වැනි තාක්ෂණිකමය ඒවා, විහිළු කතා, අලුත් ආහාර පාන, ඉවුම් පිහුම්, චාරිකා, දවස ගෙවපු හැටි සහ අලුතින් ලැබූ අත්දැකීම් ආදිය බෙදාගැනීම් වගේ ඕනම දෙයක් ව්ලොග් එකක අඩංගු වෙන්නට පුළුවන්. ලයිෆ්ස්ටයිල් ආකාරයෙන් කරනවා නම් මේවා හැම එකකම එකතුවක් වශයෙනුත් කරන්න පුළුවන්. වීඩියෝව ඉදිරිපත් කිරීමේදී තමාව පෙනෙන ආකාරයට එනම් සෙල්ෆි වීඩියෝවක් ලෙස හෝ තමාට ඉදිරිය පෙනෙන ආකාරයේ එකක් වශයෙන් ද කළ හැකි අතර පරිගණක tutorial ආදිය කරන අය පරිගණක තිරය විශාලවත්, තමන්ගේ මුහුණ එක් පසෙකින් කුඩාවටත් පවතින ආකාරයට රෙකෝඩ් කරනවා.

willvideoforfood.com

වීඩියෝ අප්ලෝඩ් කිරීමේදී ද මේ වන විට බොහෝ දෙනෙක් යූටියුබ් බහුලව භාවිත කළත් තමන්ගේම වෙබ් අඩවියක හොස්ට් කිරීම හෝ Vimeo, Dailymotion, Twitch, Live Leak වැනි නොමිලේ වීඩියෝ අප්ලෝඩ් කිරීමට ලබාදෙන වෙනත් සේවාවක වුවද තමන්ගේ මාතෘකාවට ගැලපෙන ආකාරයට තෝරාගෙන අප්ලෝඩ් කරනු දකින්නට ලැබෙනවා. විනෝදාංශයක් වශයෙන් පටන් ගත්තත් පසුකාලීනව අමතර ගාණක් අතට හොයාගන්නත් ව්ලොගින් හරහා අවස්ථාව ලැබෙනවා. හැබැයි මුලින්ම අතට ගාණක් හොයන්න ගිහින් වැඩ වරද්දා ගන්නා අයත් නැතුවම නොවෙයි. යූටියුබ් මෙන්ම ෆේස්බුක් ලයිව් දෙන්නට හැකි වීමත් සමඟ දැන් වීඩියෝ කර, එඩිට් කරලා අප්ලෝඩ් කරනවා වෙනුවට හිතුණ ගමන් හෝ පෙර දැනුම් දුන් වෙලාවකට ලයිව් ඇවිත් ව්ලොග් එක්ක කරලා යන අයත් දැන් බිහිව සිටිනවා.

Vlog එකක් කරන්නේ කොහොමද?

ව්ලොග් කලාව ඉතාම පහසුවෙන් ඕනෑම කෙනෙක්ට කරන්නට පුළුවන් දෙයක්. නමුත් ඊට අවතීර්ණ වන හැම කෙනෙක්ම සාර්ථක වන්නේ නැත්තේ අප්‍රතිහත ධෛර්යයේ මඳකම සහ ක්‍රමවේදය නිසි ආකාරව අවබෝධ කර නොගැනීම නිසාමයි.

හොඳ කැමරා අවශ්‍ය නැහැ

bhphotovideo.com

ව්ලොග් කිරීමේදී තමා සතු වීඩියෝ කැමරාව, මයික් එකේ ගුණාත්මක භාවය ගැන වධවිය යුතු නැහැ. ඔබේ අතේ තිබෙන ස්මාර්ට් දුරකථනය සහ හෙඩ්සෙට් එකෙන් ව්ලොගර් කෙනෙක් බවට පහසුවෙන්ම පත් වෙන්න පුළුවන්. වඩාත්ම වැදගත් වන්නේ ඔබ එය ඉදිරිපත් කරන ආකර්ෂණීය බව සහ කරුණුවල වැදගත් බවයි. තමන්ගේ දිනපොත වශයෙන් ව්ලොග් එකක් කළත් එහි විවිධ ස්ථානවලට යමින් දැනුමට යමක්, අලුත් අත්දැකීම් ඉදිරිපත් කිරීමක් හෝ හාස්‍යය මුසු ආකාරයට සමාජ විවරණයක් කරන්නට පුළුවන් නම් නිතැතින්ම ප්‍රේක්ෂක පිරිසක් ගොඩ නැගෙනවා.

ආකර්ෂණීය නමක් දාගන්න

ඔබේ කැමැත්ත අනුව ඔබේ නමින්ම හෝ අන්වර්ථ නාමයකින් ව්ලොග් එකක් කළ හැකියි. බොහෝ විට කිමට පහසු කෙටි කරන ලද නමක් නම් එය වඩාත් සුදුසුයි. මොකද, සම්පූර්ණ නමක් කියනවාට වඩා අන්වර්ථ නමක් මතක හිටින ගතිය සහ වෙන් කර හැඳින්වීම පහසුවක් වෙනවා. මේ නම භාවිත කරමින් ෆේස්බුක් පිටුවක්, යූටියුබ් චැනලයක් සහ අවශ්‍ය නම් ට්විටර් ගිණුමකුත් හදාගන්න. එවිට පසුකාලීනව වෙනත් අය විසින් ඔබේ පරිශීලක නාමයෙන් අයුතු ප්‍රයෝජන ගැනීම වළක්වාලිය හැකියි. යූටියුබ් එකෙන් ගත් embed පළකරමින් වීඩියෝ අඩංගු බ්ලොග් අඩවියකුත් පවත්වා ගෙන යන්නට පුළුවන් නම් ගූග්ල් search results වලටත් හොඳයි.

වීඩියෝ එක එඩිට් කරන්න

engagelive.co

කිසිවක් ගැන එකදිගට කතා කරගෙන යද්දී විවිධ ස්ථානවල වැරදිම් සිදු වෙන්න පුළුවන්. ඇතැම්විට අනවශ්‍ය කරුණු ගැන කියන්නට ගොස් කතාව දිග වැඩි වෙලා වීඩියෝ එක කම්මැලි හිතෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් අවම කරන්නට ඇති හොඳම ක්‍රමය රෙකෝඩ් කිරීමෙන් පසු වීඩියෝ එක එඩිට් කිරීමයි. එඩිට් කරද්දී ලොකු සොෆ්ට්වෙයා භාවිත කරමින් අමුතු effect දැමීමට වඩා වැදගත් වන්නේ ඇතැම්විට ඔබේ මෙහෙයුම් පද්ධතිය සමඟ පෙරනිමියෙන් ම ස්ථාපනය කොට පැමිණෙන වීඩියෝ එඩිටර් එකකින් ඔබේ ව්ලොග් එකේ සාරාංශකරණය සහ වැරදුණු තැන් ඉවත් කිරීමයි. මොකද, ඇතැම් අය ලොකු සොෆ්ට්වෙයා අරගෙන අලුතින් ඉගෙන ගත්තු දේවල් අත්හදා බලන්නට ගිහින් මුළු වීඩියෝව පුරාවටම transition, effects තියෙන තරම් සියල්ලම දාලා ප්‍රේක්ෂකයාගේ අවධානය වීඩියෝ එකේ අන්තර්ගතයට වඩා ඒවාට අපතේ යවා ගන්නවා. පසුබිම් ගීත ඇතුලත් කරද්දීත් නිහඬතාවයේ අඩුව පිරවීමට මිස ඔබේ හඬත් ඉක්මවා යන ආකාරයට සින්දු එක් නොකිරීමට වග බලා ගත යුතුයි.

තෝරාගත් කමෙන්ට් වලට පිළිතුරු දෙන්න

ytimg.com

වීඩියෝ එකක් ෆේස්බුක් හෝ යූටියුබ් දැම්මාට පස්සේ ඒවාට විවිධ යෝජනා, චෝදනා එල්ල වන්නට පුළුවන්. නමුත් මේ දේවල් වලින් ඔබ තව තවත් පිරිපුන් වන්නට උදව් කරගන්නවා මිසක් ඒවාට උත්තර දෙන්නට ගොස් පැටලී විහිළුවක් වීම හෝ ඔබේ නිර්මාණය හොඳ එකක් නොවේ යැයි පසුබෑමට ගියහොත් එය කරගන්නා ලොකු වැරැද්දක්. මුල් කාලයේදී කමෙන්ට් මහා ගොඩක් බලාපොරොත්තු විය නොහැකි අතර එක දෙක වැටෙන්නට පටන් ගත් පසු ඉන් වැදගත් ඒවා තෝරාබේරා ගෙන ඒවාට පිළිතුරු දීම්, ස්තුති කිරීම් කළ හැකි නම් ප්‍රේක්ෂකයන් සමඟ අන්‍යෝන්‍ය සබඳතාවක් ගොඩනගා ගැනීමට හැකි වෙනවා. හුදෙක් වීඩියෝ පළ කරන මළ ගිණුමකට වඩා ප්‍රතිචාර දක්වමින් ඇක්ටිව් තිබෙන අකවුන්ට්/චැනල් එකක් වටේ එක් රොක් වන ප්‍රමාණය බොහොම වැඩියි.

දින දෙකකට එකක්වත් පළ කරන්න

ඔබ වටා අඛණ්ඩ නරඹන්නන් පිරිසක් ඇති කරගන්නට නම් මුලදී වැඩි වශයෙන් වීඩියෝ ඇතුලත් කළ යුතු වෙනවා. එවිට නිරන්තරයෙන් ඒවා බැලීම තුළින් ඔවුන් ඔබ වටා රොක්වන අතර ඔබටත් ශිඝ්‍රයෙන් හැකියාවන් වර්ධනය කරගැනීම කරගත හැකි වෙනවා. මෙම මුල් පළ කරන වීඩියෝ බොහොම කල්පනාවෙන් සිතා බලා කළ වඩාත්ම හොඳ ඒවා විය යුතු අතර දින ගණනකට වරක් / සතියකට එකක් වැනි ආකාරයට ඒකාකාර රටාවකට කරන්නට හැකි නම් වැඩි රසික ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මුදල් ගැන නොව වැඩේ ගැන අවධානය යොමු කරන්න

newskillsacademy.co.uk

ඊ මනී සෙවීමේ තවත් ආකාරයක් ලෙස ව්ලොගින් පෙන්වා දීම නිසා හතු පිපෙන්නට වගේ අතට ගාණක් සොයා ගන්නට බිහිවන අය නම් වැඩි කල් නොගොස්ම සෝඩා බෝතලය කැඩුවා වගේ අසාර්ථකවී යනවා. මන්ද, හොඳ ඉදිරිපත් කිරීමක් කරමින් සිතට ලැබෙන සතුට වෙනුවෙන් යමක් කිරීම සහ අතට කීයක් හෝ ලබාගැනීම සඳහා කුමක් හෝ කිරීම අතට විශාල වෙනසක් තිබෙනවා. මේ නිසා ඔබ හැකියාවක් නිසා මේක පටන් ගන්න කෙනෙක් වුවත් මුලින් සල්ලි ගැන හිතන්නට යන්නේ නැතිව හිත් දිනාගන්නට වෑයම් කිරීමයි කළ යුත්තේ.

ඔබටත් මේ ආකාරයට නිසි ආකාරව ව්ලොග් එකක් අරඹා කරගෙන යන්නට පුළුවන් නම් ඔබේ ඒකාකාරී ජීවිතයට වෙනසක් වගේම රසික පිරිසකුත්, තවත් වාසි රැසකුත් ගොඩ නගා ගන්නට හැකියාව ලැබේවි. ඉතින්, “මේ දේවල් වැදගත් වුණා නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න”

කවරයේ ඡායාරූපය: expertreviews.co.uk

Related Articles