Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Phone Batteryවල කෙටි ආයු කාලයක් හා අඩු ධාරිතාවක් තියෙන්නේ ඇයි?

වාර්ෂිකව අපට දුරකතන නිෂ්පාදන සමාගම්වලින් විවිධ හැකියාවන්ගෙන් පිරි නිෂ්පාදන දකින්නට ලැබෙනවා. නමුත් ඒවා ඉහළ මිලක් දීලා අරගෙන පාවිච්චි කරද්දී දවසක් පුරා බැටරිය තියාගන්නට හැකි වෙන්නේත් බොහොම අමාරුවෙන්. ට්‍රිප් එකක් ගියාම නම් චාර්ජ් කරගන්නවත් විදියක් නැතිව ලොකු අමාරුවක වැටෙනවා. ඇයි මෙච්චර මේ බැටරිවල ධාරිතාව අඩු?

හැකියාවන්ට සාපේක්ෂව වැඩිවන බල අවශ්‍යතාව

Galaxy Note ශ්‍රේණිය (ifixit.com)

බැටරි වේගයෙන් බැසීමට ප්‍රධානම හේතුවක් වන්නේ නූතන දුරකතනවල ඇති වැඩි පහසුකම් ප්‍රමාණය යි. උදාහරණයක් ලෙස Samsung Note ශ්‍රේණිය සලකා බැලුවහොත් එම දුරකතනවල විශේෂාංග ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගියත් යොදනු ලබන බැටරි ධාරිතාවෙහි විශාල වැඩිවීමක් දකින්නට නැහැ‍

2012 දී Samsung සමාගම තම Galaxy Note II දුරකතනය 3100mAh බැටරියක් සමග නිකුත් කළා. පාවිච්චියේ ස්වභාවය අනුව එය තනි ආරෝපණයකින් දිනක් පමණ පාවිච්චි කරන්නට හැකියාව තිබුණා. 2018 දී ආ Galaxy Note 9 දුරකතනයේ තිබුණේ 4000mAh බැටරියක් පමණ යි. අංක වශයෙන් එහි 900mAh වැඩි වීමක් තිබුණත් අවුරුදු 6ක් තුළ වැඩි වුණු විශේෂාංග සමග සලකද්දී එය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ.

Galaxy Note II දුරකතනයේ ද AMOLED තිරයක් තිබූ නමුත් Note 9 සතුව වි‍ශාල ප්‍රමාණයේ, දීප්තිමත් සහ වැඩි තිර විභේදනයකින් යුත් AMOLED තිරයක් තිබෙනවා. එසේම, වේගවත් ප්‍රොසෙසරයක්, වැඩි හැකියාවන්ගෙන් යුත් ග්‍රැෆික් ක්‍රියාකාරීත්වයක් හා RAM ධාරිතාවක් තිබෙනවා. තිරයේ විශාලත්වය වැඩි වන තරමට වැඩි බැටරි බලයක් ද අවශ්‍ය වෙනවා.

ඊට අමතරව, ඉස්සරට වඩා දැන් Apps විශාල ප්‍රමාණයක් අපේ දෛනික භාවිතයට එක්ව තිබෙනවා. ඒවා background run වෙනවා. එනම්, ඡායාරූපයක් ගත් වහා Google Photos ඇප් එක තිරය මතට පැමිණෙන්නේ ම නැතිව upload කරන්නේ එය තිරය පිටුපස ක්‍රියාත්මක වෙමින් පවතින නිසා යි. මේ සඳහා බැටරි බලය වැය වෙනවා. දවස පුරා අපි පාවිච්චි කරන මොබයිල් ඩේටා (3G හෝ LTE) සඳහාත්, සාපේක්ෂව අඩු නමුත් Wi-Fi සඳහාත්, Bluetooth හා NFC ද බැටරි බලය භාවිතයට ගන්නවා. Bluetooth හෙඩ්සෙට් එකක්, ඔරලෝසුවක් හෝ Smart band එකක් පාවිච්චි කරනවා නම් බ්ලූටූත් නිතර ක්‍රියාකාරීව පවතිනවා.

මෙයට විසඳුමක් ලෙස නිෂ්පාදකයන් කරන්නේ මෘදුකාංග හරහා බැටරි භාවිතය පාලනය කිරීම යි. අවස්ථානුකූලව තිරයේ දීප්තිය (brightness) මෙන්ම තිර විභේදනය (screen resolution) අඩු කරමින් එය සිදු කරනවා. කොහොම නමුත්, දුරකතනයේ විශේෂාංග වැඩිවත්ම අවශ්‍ය බැටරි බලයත් වැඩියි.

උපාංගවල ඝනකම අඩුවීම

ඇපල් දුරකතනවල ඝනකම් සංසන්දනය (cupertinotimes.com)

කාලානුරූපව දුරකතනවල ඝනකම වේගයෙන් අඩුව යන ආකාරය දකින්නට තිබෙනවා. 2007 දී නිකුත් වුණු පළමු iPhone දුරකතනය අඟල් 0.46ක් මහත යි. 2017 අගභාගයේ දී ආ iPhone X දුරකතනය Gym ගිහින් ඉන් 40%ක් තම බඩ අඩු කරගනිමින් අඟල් 0.30ක් බවට පත්වූවා.

නූතන දුරකතන තුනී වීමත් සමග ඒවායේ සුමට පෙනුම, අතට පහසු බව, ඩෙනිම් වැනි කලිසම්වල පවා සාක්කුවේ දමා ගැනීමට පහසු වීම සිදුවන අතර අනෙක් අතට දුරකතනයේ අභ්‍යන්තර උපාංගවලට ලැබෙන ඉඩකඩත් අඩුව යනවා. ඉන් වැඩිපුරම වන්දි ගෙවන්නේ ප්‍රමාණයෙන් කුඩා ප්‍රමාණ වන බැටරිය යි. බැටරි තාක්ෂණය ද කුඩා ඉඩකඩකින් එම ධාරිතාව ම ලබා දෙන මට්ටමට දියුණු වූව ද ප්‍රමාණය කුඩා වීම නිසා mAh අගයෙහි වැඩි වීමක් නූතන තුනී දුරකතනයකට ලැබෙන්නේ නැහැ.

ඉදිරිපෙළ දුරකතන රැසක ම 2800mAh සිට 4000mAh අගයන්ගේ බැටරි දකින්නට තිබෙනවා. 2018 දී ආ විශාල බැටරියක් සහිත Huawei Mate 20 Pro දුරකතනයේ 4200mAh බැටරියක් තිබුණා. එය අඟල් 6.5ක උපාංගයක් නිසා තුනී නමුත් දුරකතනය පුරා පැතිරුණු බැටරියක් නිසා එම අගය ලබා ගත හැකිව තිබෙනවා. එහෙත්, ඒ සමගම මුහුණත පුරාම තිරය යෙදීමේ trend එක නිසා නැවතත් එම බැටරි වැඩිවීම සීමාකාරී වෙනවා. ඇතැම් නූතන දුරකතනවල 5000mAh අගයයක් තිබුණත් ඒවා ඉදිරිපෙළ දුරකතනවලට වඩා මහතින් හා ප්‍රමාණයෙන් වැඩියි. එවිට ඇසට ප්‍රියමනාප බවක් ඇතිවන්නේ නැහැ.

කාලයත් සමග බැටරි අභාවයට යාම

iPhone දුරකතනයක බැටරිය ඉවත් කරමින් (idownloadblog.com)

ඔබ සතුව අවුරුදු දෙකකට වඩා පැරණි දුරකතනයක් තිබෙනවා නම් මේ වන විටත් එහි බැටරියේ කාලය ඉකුත් වී හමාරයි. බහුතරයක් දුරකතනවල ලිතියම්-අයන බැටරි තිබෙන අතර කාලය ගත වත්ම ඒවායේ ජීව කාලය අඩු වෙනවා. ඒවා නැවත ආරෝපණය කරන්නට හැකි නිසා ආරෝපණය කරන වාරයක් පාසා (මෙය cycles ලෙස හඳුන්වන අතර සම්පූර්ණ cycle එකක් 0% සිට 100% ආරෝපණය කිරීමක් ලෙස සලකනවා) උපරිම බල ධාරිතාව අවප්‍රමාණ වෙනවා. එනිසා සාමාන්‍යයෙන් බැටරියක ජීව ආයු කාලය සලකන්නේ අවුරුදු 3ක් පමණ කාලයක්. භාවිත පුරුදු අනුව එය වෙනස් විය හැකියි.

මුල් කාලීන ඇන්ඩ්‍රොයිඩ් උපාංගවල මෙය කොහෙත්ම ගැටළුවක් නොවුණේ පසුපස කවරය ගලවා බැටරිය ඉවත් කර අපටම අලුත් එකක් දාගත හැකි වූ නිසා යි. නමුත් දැන් සියළුම දුරකතන පාහේ ආවෘතව සකසනවා. එවිට වැඩි මුදලක් බැටරියක් මාරු කිරීමට වැයවන අතර සාමාන්‍ය කෙනෙක්ට තනිව කරගන්නටත් නොහැකියි.

ඇපල් දුරකතන කල් ගතවත්ම Slow වීම ඇපල් සමාගම විසින්ම කරන කූට උපායයක් බවට ඇතිවූ රාවයට පිළිතුරු වශයෙන් ඔවුන් සඳහන් කළේ මෙසේ සිදුවන්නේ ඒවායේ බැටරිය කල් ඉකුත්වන නිසා බව යි. අවසානයේ ඔවුන් පැරණි දුරකතනවල (වෙනත් රටවල) බැටරි මාරු කර දීමට ද කටයුතු කළා.

තාවකාලික විසඳුම – වේගවත් අ‍ාරෝපණය

One Plus 6 දුරකතනයක් රැහැන් මඟින් වේගවත්ව ආරෝපණය කරමින් (timeincuk.net)

බැටරි තාක්ෂණයේ දියුණුව ඉතාම සෙමින් සිදුවෙනවා. වසරකට බිහිවන දුරකතන ප්‍රමාණය, වසරක් පාසා ඒවාට එක්වන විශේෂාංග ප්‍රමාණයට සාපේක්ෂව එය ඕනෑවටත් වඩා සෙමින් සිදුවන බව පෙනී යනවා. දුරකතන පමණක් නොව, පැළඳුම් උපාංග, ඉලෙක්ට්‍රොනික් කාර් රථවලටත් මේ ගැටළුව බලපානවා. වසර ගණනක් තිස්සේ විශාල මුදලක් යට කරමින් තවමත් පර්යේෂකයන් බලශක්ති ගැටළුවට විසඳුම් සොයනවා.

එතෙක් දුරකතන නිෂ්පාදකයන් ලබාදෙන එකම පහසුකම වේගවත් ආරෝපණ හැකියාව යි. බැටරි ධාරිතාව වැඩි නොවූවත් පෙර දුරකතනවලට වඩා නූතන ඒවා ඉතාම කෙටි කාලයකින් වැඩි ආරෝපණයක් ලබනවා. පැය බාගයකින් පමණ 80%ක් පමණ ලබාගත හැකි දුරකතන රැසක් බිහිවූවා. ඊට අමතරව රැහැන් රහිත ආරෝපණ ක්‍රමවේදයේ ද දැන් වේගය වැඩි කරමින් යනු දකින්නට තිබෙනවා.

Samsung රැහැන් රහිත වේගවත් ආරෝපකයක් (androidcentral.com)

එනිසා විශාල බැටරියක් වෙනුවට ආරෝපණ අත්දැකීම සුවදායී කිරීම මූලික අරමුණ බවට පත්ව ඇති අතර ඇපල් සමාගම Fast-charging power brick එක දුරකතනයට අමතරව වෙනම විකුණනවා‍. ඒ වගේම දුරකතන case එකක් ලෙස සවිකළ හැකි බැටරි අතිරේකයන් ද මිල දී ගත හැකියි. Samsung සමාගම ද Wireless charger විකුණන්නේ වෙන ම යි. ඉතින්, මේ බල අර්බුදය නිසා ඔවුන් තවත් ආදායම් මාර්ගයක් පාදාගෙන ඇති හැඩයි! නේ ද?

කවරය: xanjero.com

Related Articles