Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැම කෙනෙක්ම පරිගණක භාෂාවක් ඉගෙනගත යුත්තේ ඇයි?

නූතන ලෝකය සම්පූර්ණයෙන්ම වාගේ පරිගණකවල ආධිපත්‍යයට යටත්ව තිබෙනවා. කටයුතු කරගැනීමේ පහසුව, කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සහ සේවා ඵලදායීතාව ඉහළ දැමීම සඳහා පරිගණක ආශ්‍රය කරගන්නට බොහෝ ආයතන මේ වන විටත් උත්සුකවී තිබෙනවා. වෘත්තීය මට්ටම මෙන්ම අධ්‍යාපනය සඳහාද සක්‍රීයව දායක වන පරිගණක සහ ඒ ආශ්‍රිත තාක්‍ෂණික උපකරණ නිසා වත්මන් සහ අනාගත පරපුරට තමන්ගේ අධ්‍යයන කටයුතු ඉතා පහසුවෙන් කරගන්නට මහත් පිටිවහලක් ලැබෙනවා.

එහෙත් මේ තාක්‍ෂණය සමඟ ඔට්ටු වෙන්නටල එහි අභිවෘද්ධිය වෙනුවෙන් දායක වන්නට නම් ඔබටත් ඒවා ගොඩනැගුණු ආකාරය පිළිබඳව හොඳ දැනුමක් ලබාගෙන තිබීම වඩාත් අගෙයි. මොකද ඔබ, තාක්‍ෂණික අංශයක ක්‍රියා නොකරන කෙනෙක් නමුත් ඔබට දිනපතා භාවිතා කරන්නට ලබාදී ඇති මෘදුකාංගයේ දෝෂයක් ඇති වුවහොත් එය වාර්තා කරන්නට හෝ සුළු දෙයක් නමුත් එය මහා දෙයකැයි සිතමින් ඉන් ඔබට සිදුවන අපහසුතා විඳිමින් තොරතුරු තාක්‍ෂණ අංශය විසින්ම එය සකසා දෙන තෙක් නොසිට ගොඩ වෙදකමකින් හෝ එය කිහිප දිනකට සකසා ගන්නට ඔබට හැකියාව තිබෙනවා නම් ආයතනයේ කාර්යක්‍ෂමතාවය මෙන්ම ඔබට මේ සුළු මෘදුකාංගයක් නිසා ඔබේ රැකියාවම එපාවීම නවතා ගන්නට පුළුවන්.

පරිගණක සාක්‍ෂරතාවය සහ කේතකරණය කියන්නේ සම්පූර්ණයෙන් ම කථා දෙකක්. පරිගණක සාක්‍ෂරතාවයේදී බැලෙන්නේ පරිගණකයක් සමඟ කටයුතු කිරීමට හැකි බව නමුත් කේතකරණය උගැනීම කියන්නේ පරිගණක සඳහා වැඩසටහනක් නිශ්පාදනය කරගැනීමට හැකියාව ලබා ගැනීමයි.

එනිසා තියෙන දේ එලෙසින්ම භාවිතා කරනවාට වඩා ඔබට අවශ්‍ය කාර්යයට කෙටි කාලයකින් ඔබටම කුඩා මෘදුකාංගයක් තනා ගත හැකිනම් එයින් කාලය ඉතුරු කරගන්නට හැකියාව ලැබෙනවා. උදාහරණයක් වශයෙන්, ඔබේ පරිගණක සාක්‍ෂරතාවය හොඳනම් කිසියම් ලියවිල්ලක තිබෙන එකම වචනය වෙනකකට වෙනස් කරන්නට අවශ්‍ය වුණොත් එය විධාන කිහිපයකින් කරගන්නට ඔබට හැකිවේවි. එහෙත් කේතකරණය ඉගෙනගෙන හිටියොත් සමහරවිට මුළු ලිපියම ස්වයංක්‍රීයව ලියැවෙන ආකාරයේ මෘදුකාංගයක් ලියන්නට ඔබට හැකිවේවි. මෙතෙක් බිහිව නැති එවන්නක් ඔබේ අතින් බිහි නොවේ යැයි කාටනම් කිව හැකිද? ඒ නිසා, අපි දැන් හොයමු ඇයි පරිගණක භාෂාවක් ඉගෙන ගත යුත්තේ කියලා.

එය භාෂාවක්

(language-diversity.eu)

(language-diversity.eu)

බුද්ධිමත් ජීවීන්ගේ සන්නිවේදනය හෙවත් අදහස් හුවමාරු කරගැනීමේ ප්‍රධාන ක්‍රමවේදයක් තමයි කථනය සහ ලිවීම. එහෙත් මේ දෙකටම කිසියම් භාෂාවක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා රටවල්, ප්‍රදේශ ආදිය අනුව අපට භාෂාවන් තිබෙනවා. ඉංග්‍රීසි, සිංහල, දෙමළ ආදී වශයෙන් මේ කථන භාෂා හරහා අපට මනුෂ්‍යයන් සමඟ කතාබහ කරන්නට පුළුවන්. ඒත් අපි පරිගණකයට කථා කරලා, මේ දේ කරලා දියං කියන්නේ කොහොමද? අන්න ඒකට අපිට භාෂාවක් අවශ්‍ය වෙනවා.

හරියටම කිව්වොත් පරිගණකයේ භාෂාව තමයි ද්විමය (Binary) භාෂාව. එය කොතරම් ලේසි ද යත් එහි හෝඩියේ කිසිම අකුරක් නැහැ. එහි තිබෙන්නේ ඉලක්කම් දෙකක් පමණයි. ඒ බින්දුව සහ එක. දැන් ඉතින් බින්දුව-එක-බින්දුව-බින්දුව-එක වගේ පරිගණකයට කෑ ගහලා කිව්වොත් නම් අපට ලැබෙන ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම බින්දුවයි. මොකද අපි මොන හරුපයක් කියනවාද කියලා අපටවත් තේරෙන්නේ නැහැනෙ. අන්න ඒ නිසා මේ භාෂාව අපට අවබෝධ කරගත හැකි සහ පහසුවෙන් භාවිතා කරගත හැකි ආකාරයෙන්, ලොව වැඩිපුරම භාවිතා වන භාෂාව වන ඉංග්‍රීසි භාෂාවේ ඉතාම සුළු වචන කිහිපයක් හරහා ගොඩනගා ගෙන සුවිසල් විධාන සංඛ්‍යාවක් සහිත සංකීර්ණ මෘදුකාංගයක් නිපදවන්නට අපට හැකියාව ලබා දෙන්නට පරිගණක ඉංජිනේරුවරුන් දායක වී තිබෙනවා. අන්න ඒවා තමයි අපි ඉගෙන ගන්නට ඕන.

ක්‍රමලේඛයක් ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීමට

(things-etc.com)

(things-etc.com)

අපි භාවිතා කරන දේවල් ක්‍රියා කරන ආකාරය මැජික් එකකින් සිදුවෙනවා කියලා හිතලා නිකං ඉන්නවාට වඩා මේ දේ ගොඩනැගුණේ කොහොමද, මෙවැනි දෙයක් නැවත ගොඩනගන්නේ කොහොමද කියලා ඉගෙන ඉන්න ඒක ඕනෑම විෂයයක් සඳහා ඉතාම වැදගත්. එමඟින් තමා කරන දේ පිළිබඳව ඉහළ අවබෝධයකින් කරන්නට පුළුවන් වගේම පරිගණකය මැවුම් කාරයෙක් නොවේ යන අදහස මෙහිදී අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. මේ තිරයේ ඔබ දකින සෑම පික්සලයක්ම පාහේ යමෙකුගේ ඉතා වෙහෙස මහන්සියෙන් කරන ලද මහා මෙහෙයුමක් ගැබ්ව තිබෙන බව ඉන් ඔබට වැටහේවි.

මේ සඳහා ක්‍රමලේඛණ විෂයයේදී ඉතා ගැඹුරින් ක්‍රියාත්මක වීමේ පටිපාටිය ඉගෙන ගත හැකි වුවත් අවම වශයෙන් ඔබ සාමාන්‍ය දැනුමක් හෝ ලබා සිටීම වැදගත් වෙනවා. එමඟින් කිසියම් දෝෂයක් පැණ නැගුණාම එය සකසා ගන්නට හෝ එය සිදුවූ ආකාරය වෙනත් කෙනෙක්ට විස්තර කිරීමට ලැබෙන හැකියාව ඉතා ම වැදගත්.

රැකියා වෙළඳපොළෙහි ඊට ඉහළ පිළිගැනීමක් තිබෙනවා

පෙර සඳහන් කළා වගේ මේ වන විට සියළුම දේ පරිගණකකරණය වෙලා. ඒ නිසාම බොහෝ දෙනෙක්ට ඇතිවී තිබෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ රැකියාව පරිගණකයකින් ප්‍රතිස්ථාපනය වුණොත් ඊට ඇතිවන අවධානම. ඒ වගේ ම විද්‍යා ප්‍රබන්ධ හරහා සමාජගතවූ මතයක් වන පරිගණක විසින් දිනෙක මනුෂ්‍ය ප්‍රජාව විනාශ කරනු ඇති බව මිථ්‍යාවක් බව අපි කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ලිපියකදී කථා කළා.

ඉතින් ක්‍රමලේඛකයෙක්ම නොවුනත් ඔබට ඒ ආශ්‍රිත දැනුමක් තිබුණොත් එය ඔබට වැඩිපුර සුදුසුකමක් වෙනවා වගේම ඔබේ වටිනාකමද නිතැතින්ම ඉහළ යනවා. එසේම අනාගත රැකියාවන්හිදී අනිවාර්යයෙන්ම කේතනය සඳහා ඇති හැකියාව අවශ්‍ය සුදුසුකමක් වනු ඇති බවයි මයික්‍රොසොෆ්ට් සමාගමේ පුවත් අංශය අනාගත රැකියාවන් සම්බන්ධ ලිපියක සඳහන් කරන්නේ.

මොළයේ වර්ධනය කරගැනීමේ මාර්ගයක්

(ytimg.com)

(ytimg.com)

ඇමරිකානු මානසික විද්‍යා සංගමය විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළිවී ඇති කරුණක් වනුයේ ඥානය සම්බන්ධව ඉදිරිපත් කළ ප්‍රශ්ණවලදී පරිගණක කේතකරණය නොදත් අයට වඩා 16%ක් ඒ පිළිබඳව අවබෝධය තිබූ අය හොඳින් මුහුණදීමට සමත් වන බවයි. එසේම ඉතා මෑතදී කරන ලද පර්යේෂණයකදී මෘදුකාංග සංවර්ධකයෙක් නිපැයුම් කාර්යයේ යෙදී සිටීමේදී ඔහුගේ භාෂාව හැසිරවීමේ හැකියාව, මතකය සහ අවධානය සඳහා වූ මොළයේ ප්‍රදේශ ක්‍රියාත්මක වන බව ද සොයාගෙන තිබෙනවා.

“සියල්ලෝ ම පරිගණක කේතකරණය උගත යුතුයි. ඉන් ඔබට සිතන හැටි උගත හැකි වේවි” – ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස්

විනෝදාංශයක් සහ අමතර ආදායමකට මඟක්

(cathub.tv)

(cathub.tv)

සාමාන්‍යයෙන් ඕනෑම අළුත් දෙයක් ඉගෙන ගන්න එක හරි විනෝදයි. ඒ වගේම ඒ ඉගෙන ගන්නා දෙය භාවිතා කරලා අපිට නව නිර්මාණයක් කරගන්නට, ලොවට යමක් දායාද කරන්නට හෝ අපේම වැඩ පහසු කරගන්නට යමක් ඉන් නිර්මාණය කරගන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ සතුට සල්ලි වලටවත් ගන්න බැහැ. කේතකරණයත් එහෙමයි. සෑම පරිගණක භාෂාවකම තිබෙන්නේ එකම මූලික මට්ටමක්, ක්‍රමවේදයක් නිසා ඔබට එකක් හොඳන් ඉගෙන ගැනීමෙන් පසු පහසුවෙන් තවත් එකක් ඉගෙන ගන්නට පුළුවන්.

මේ විධියට ඉගෙන ගන්නා දේවල් අත්හදා බලද්දී වැරදි සිදුවීම්, එක ම පේළිය දිහා පැය ගණනක් බලාගෙන ඉඳලා සුළු වරදක් නිසා ඔබේ කාලය නාස්ති වූ හැටි සිහි කරමින් එය නැවත ක්‍රියා කරන්නට පටන් ගත් හැටි දැක සතුටු වෙමින්, ඔබේ නව නිර්මාණය නිසා බොහෝ දෙනෙක්ගේ වැඩ පහසුවන හැටි අත්විඳින්නට වගේම ඔබට ඉහළ අමතර ආදායමක් ලබාගන්නටත් විනෝදයක් ලබන අතරේම කරන්නට හැකිවීම මේ ක්‍ෂේත්‍රයේ තිබෙන සුවිශේෂී දෙයක්. ඒත්, පළමුව හොඳින් ඉගෙන ගන්න. දෙවනුව මුදල් ඔබ කරා ඉබේම ගලා ඒවි. එතෙක් ඔබ ඔබේ විනෝදය අත්විඳින්න.

මූලාශ්‍ර :androidauthority.com, skillcrush.com

කවරයේ පින්තුරය: d2x3wmakafwqf5.cloudfront.net

Related Articles