Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇපල් iPhone X මිලදී ගන්නට හදිස්සි නොවිය යුතු හේතු

ඇපල් සමාගමේ නවතම දුරකථනය වන – ටිකක් උපමා දාලා කියනවා නම් – උත්කෘෂ්ට සහ අනාගත තාක්ෂණයේ උපරිමය ගෙන එන සුවිසල් තිරයක් සහිතවූ ඇපල් සැලසුම් ශිල්පයේ නවමු මාවතක් එළි පෙහෙළි කළ iPhone දුරකථන පෙලේ 10වැනි දුරකථනය නොබෝ දිනකින් පෙර-ඇණවුම් කළ අයට තැපැල් කොට වෙළඳපොළට හඳුන්වාදීමට නියමිතයි. iPhoneහි දසවැනි සංවත්සරය වෙනුවෙන් එළිදක්වන ලද නිසා එය iPhone X ලෙස නම් කෙරුණා.

පසුපස ද්විත්ව කැමරාව, Face ID, 25%ක් වේගය වැඩි A11 Bionic ප්‍රොසෙසරය සහ 3GB RAM එක මෙන්ම ආසන්න තථ්‍යතාවට (AR) සහාය දැක්වීම, රැහැන් රහිත ආරෝපණය වගේ වැදගත් දේවල් බොහොමයක් මෙම දුරකථනය තුළ අඩංගු කර තිබෙනවා. එ්ත් ඉහළ මිලක් දීලා මෙය මිලදී ගන්නට හදිස්සි වෙන්න කලින් කල්පනා කර බැලිය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. 2007දී ස්ටීව් ජොබ්ස් iPhone දුරකථනය හඳුන්වා දෙද්දී ෆෝන් ගැන හැම කෙනෙක් තුළම තිබුණු ඒකාකාරී සිතුවිලිවල විප්ලවයක් ඇතිවුණා. ඒත් මේ අලුත් දුරකථනය තාක්ෂණ පෙරැලියක් කරන්නක් ද නැත්නම් 8න් 10ට ඉලක්කම් පෙරැලියක් ද?

ගාණ සැරයි

wccftech.com

කොහොමටත් ඇපල් දුරකථනවල තියෙන ලොකුම විශේෂාංගය තමයි ලොකු ඉලක්කම් වලින් මිල සඳහන් කර තිබෙන එක. එනමුත් අයිෆෝන්වලට ම සාපේක්ෂව බලද්දී iPhone X සඳහා $999 හෙවත් රුපියල් ලක්ෂ එකහමාරක් විතර මුදලක් නම් කර තිබෙනවා. මෙය ලංකාවට ඇවිත් අලෙවි වෙද්දී අඩු තරමේ එකයි අසූවක්; ලක්ෂ දෙකකටවත් කිට්ටු වෙනවා. ඇපල්වල මහා රසිකයෙක් වීම නිසා හැරුණු කොට හැකියාවන් (performance) අතින් සලකා බැලීමේදී මේ තිබෙන පහසුකම් ටික ලක්ෂයකට වගේ සපුරාගත හැකි කල්පැවැත්ම සහිත දෘඪාංග සමග සැකසූ දුරකථන මාදිලි මේ වන විටත් වෙළඳපොළට පැමිණ තිබෙනවා.

ඇපල් දුරකථනයක්ම ඕනෑ කියලා හිතෙනවා නම් සහ (ඉහළින් කට්ටයක් ද සහිත) පුළුල් තිරය ඔබට එතරම් වැදගත් නැත්නම්; Face ID එකත් තිබෙන iPhone 8 හෝ තවත් ටිකක් විශාල තිරයක් අවශ්‍ය නම් 8 Plus එක අඩු මිලකට (අසූ දහසක පමණ මිල පරතරයකට) මිලදී ගන්නට පුළුවන්. නමුත් තවමත් iPhone 6S හෝ iPhone 7 දුරකථනය සාමාන්‍ය භාවිතයට හොඳටම ප්‍රමාණවත්.

අලුත් නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්

සමුළුවේදී FaceID පෙන්වන්නට යද්දී දුරකථනය Passcode එක ඉල්ලූ අවස්ථාව (vox-cdn.com)

තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගෙන ඒකත් එක්ක නානාප්‍රකාර පරීක්ෂණ කරලා අවසාන, සාර්ථක අවධියට ඇවිල්ලාත් ගොඩක් කාලෙකට පස්සේ තමා අපේ ගෙවල්වල පොල්තෙල් පහන් නිවිලා සූත්‍රිකා පහන් දැල්වුණේ. එකල එතරම් පර්යේෂණ හරහා නිෂ්පාදනයක කල් පැවැත්ම තහවුරු කළ නිසා තමයි අදටත් හද්ද පරණ මයිනර් කාර් පාරවල්වල දකින්න ලැබෙන්නේ. නමුත් වේගයෙන් ලාභ ලැබීම සහ අනිකුත් සමාගම් සමඟ තරග කිරීමට සිදුවීම නිසා තාක්ෂණයේ වේගය ද වැඩිවී තිබෙනවා. යමක් අලුතින් සොයාගත් වහා දැන් කාලයේ එය අත්හදා බැලීමට භාවිත කරන්නේ පාරිභෝගිකයාමයි.

නූතනයේ ඕනෑම සමාගමක නව මාදිලියක ආරම්භක නිෂ්පාදනයේ දොස් ඇතිවීම සාමාන්‍යයෙන් නිතර සිදුවෙනවා. එයට පාරිභෝගික අදහස්, උදහස් ලැබීම අනුව තමයි දෙවැන්න සඳහා වඩාත් හොඳ සැලකුමක් ලැබෙන්නේ. ඉතින් නව දුරකථන මාදිලියක් සඳහා දැවැන්ත පියවරක් තබන iPhone X දුරකථනය සතුවත් මෙවන් දෑ තිබිය හැකියි. USB කනෙක්ටරය සඳහා ආවේණික (proprietary) සම්බන්ධකයක් තිබීම, NFC තාක්ෂණය Apple Pay සඳහා සීමා කිරීම, ගීත ශ්‍රවණයට lightning port එකම භාවිත කරන්නට සිදුවීම වැනි දේවල් මේ වන විටත් බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්ව තිබෙනවා.

මෙතෙක් කල් පැවති හෝම් කී එකට බොහෝ දෙනෙක් හුරුව සිටි නිසා වසර ගණනාවක් එය භාවිත කළ කෙනෙක් මෙයට මාරු වුණාම මෙහි එය ඉවත් කිර තිබීම නිසා කාලයක් යන තෙක් අපහසුතාවන් ඇති වීමේ ඉඩකඩ බොහොම වැඩියි.

අභ්‍යන්තර ධාරිතාව මදි විය හැකියි

slashgear.com

නවතම iPhone X සමඟ 60fps 4K වීඩියෝ රූගත කළ හැකි කැමරාවක් තිබෙන නිසා සුළු කාලයක වීඩියෝවකට පවා ටිකක් වැඩිපුර අභ්‍යන්තර ධාරිතාව වැය වීම සිදුවෙනවා. මතක පත් (මෙමරි කාඩ්) වුවත් දමන්නට බැරි නිසා උපරිම ඵල නෙලා ගන්නට ඒ නිසා ටිකක් අපහසුතා ඇතිවිය හැකියි. වළාකුළු පරිගණක ක්‍රමවේදය හරහා ඔබ ගන්නා සියළු ඡායාරූප iCloud හෝ Google drive වැනි සේවාවක ගබඩා කළත් එක දිගට වීඩියෝ කිරීමකදී බාධා ඇති වෙනවා. අනෙක, කුඩා කොටස් වශයෙන් වීඩියෝ කරමින් එය ලංකාවේ අන්තර්ජාල වේගයන් සමඟ අප්ලෝඩ් කරමින් ඉඩ සලසා ගන්නට සිතීම ප්‍රායෝගික නැහැ.

තිරය පෙනුමට නම් හොඳයි

businessinsider.com

දුරකථන මුහුණත පුරාම තිරය තිබෙන එක ආටෝපයට හොඳ වුණාට භාවිතයේදී ගැටළු රැසකට මුහුණ පාන්නට සිදු වෙනවා. දැනට ඔබ භාවිතයට හුරු වෙලා ඉන්න ඇප්ස්; මෙම තිරයට සරිලන සේ සකසන්න ප්‍රමාද වුණොත් ඔබට ඉන් භාවිත කරදර ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ ම වීඩියෝ, චිත්‍රපට නැරඹීමේදී ඉහළින් ඇති තිරයේ නෙරුම නිසැකවම බාධාවක් වෙනවා. AMOLED තිරයක් තිබුණ ද එහි තිර දීප්තිය Samsung සහ LG වැනි දුරකථනවලට වඩා අඩු වන අතර LCD තිරයක් තිබෙන iPhone 8හි තිර දීප්තියත් මීට සමාන වෙනවා.

නිෂ්පාදන වේගය පහත ගිහින්

timeincuk.net

තාක්ෂණික විශ්ලේෂකයන් පවසන අන්දමට මේ වන විට iPhone X හි මුළු දෛනික නිෂ්පාදන ප්‍රමාණය දහ දහසක් පමණ තරම් අඩු අගයකට පත්ව තිබෙනවා. මේ නිසා පෙර අැණවුම් කළ අයටත් මුදල් ගෙවා වැඩි කාලයක් බලාගෙන සිටීමට සිදුවිය හැකි අතර තරගයට මෙන් මිලදී ගත් කෙනෙක් නම් අනෙකාට දුරකථනය ලැබී පාවිච්චි කරන තුරුත් තමාට කිසිවක් නොමැතිව බලාගෙන සිටීමේ කාලය වැඩි වෙනවා. එසේම සැපයුම් ප්‍රමාද වීම හේතුවෙන් රත්‍රං පැහැති මාදිලියේ නිෂ්පාදන කටයුතු ද පහත යන බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.

ඉතින් මේ දේවල් එක්ක iPhone X මිලදී ගැනීම පිළිබඳව ඔබ දරන මතය මතය කුමක්ද? ලොකු ගාණකුත් ඉතිරි කරගෙන iPhone 7 එකකින් තව අවුරුදු දෙක තුනක් සෑහීමට පත් වෙන්න පුළුවන් වේවිද?

කවරයේ ඡායාරූපය: gadgethacks.com

Related Articles