Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙදර පරිගණකයට ලිනක්ස් ගැලපෙයිද?

වර්ථමාන ලාංකික වෙළදපොලේ ඇති බොහොමයක් ලැප්ටොප් පරිගණක විකිනෙන්නේ ඩොස් මෙහෙයුම් පද්ධතිය සමග. ඇත්තටම ඉතා පැරණි විධාන ටයිප් කිරීමෙන් ඇතුලත් කරගන්නා  ඩොස් මෙහෙයුම් පද්ධතියක් සමග ගිගාබයිට් දෙකක වීඩියෝ කාඩ් එකක් සහිත ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම දියුනු රටකනම් පරිගණක ගැන ටිකක් දන්නා කියන අයෙක්  පුදුමකරවන කාරනාවක්.

ලංකාව තුල හොර මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති වල ව්‍යාජ කොපි භාවිතය නිතියෙන් තහනම්. වින්ඩොස් 10 Home මෙහෙයුම් පද්ධතියේ සාමාන්‍ය මිල රු 19,999ක්.  එවැනි වැඩි මිලක් සහ ඔෆිස් පැකේජයටත් ඒ හා සමාන මිලක් ගෙවා ඔරිජිනල් ඕ එස් සහ සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න අපේ රටේ පරිගණක භාවිත කරන අය පෙළඹෙන්නේ නෑ. ඒ නිසා තවමත් අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක් පරිගණක වල ධාවනය වන්නේ සොරාගත් මෙහෙයුම් පද්ධති සහ ඇප්ලිකේෂන් සොෆ්ට්වයාර් බව බොහෝදෙනකුට රහසක් නෙමෙයි.

ලිනක්ස් සම්පූර්ණයෙන්ම නොමිලෙද?

(pinimg.com)

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය රු 20,000ක මිලක් නියම වෙද්දී ලිනක්ස් නිකංම දෙනවද? සරලම පිළිතුර ඔව්. ලිනක්ස් කියන්නේ ලොව වටා සිටින පරිගණක විශේෂඥයින් විසින් සිය දායකත්වයෙන් වැඩිදියුනු කරන මෙහෙයුම් පද්ධතියක්. එම නිසා එය බොහෝතැන්වල නොමිලේම හෝ වඩාත් අඩුමිලට ලබාගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම ලිනක්ස් වලට වෛරස් ආසාදන ඉතාම අඩුයි. ගෙදර දොර භාවිතයේදි නම් වෛරස් ගාඩ් ස්ථාපනය කරන්න අවශ්‍ය වන්නේත් නෑ. වඩාත්ම වින්ඩෝස් වලට හුරු වූ අයෙකුට ලිනක්ස් වෙත මාරු වීම යම් කිසි කරදයක් වගේ පෙනෙන්ට පුලුවනි. එහෙත් ලිනක්ස් කියන්නෙත් ඕනෑම අයෙකුට පහසුවෙන් හුරුවිය හැකි සරල වූ ක්‍රමවේද සහිත මෙහෙයුම් පද්ධතියක්.

අපිට ගිතයක් අහන්නට උවමනා නම් ස්මාට්ෆෝන් එකෙන් ගීතය අහනවාට වඩා පරිගණකයෙන් ගීතයක් අහන්නට පාවිච්චි කරන්නේ වෙන වෙනම ක්‍රමවේද. නමුත් ක්‍රම දෙකෙන්ම අපිට ගීත අහන්නට පුලුවනි. එවැනිව වින්ඩෝස් ආකාරයේම ඒ ලෙසටම සමරූපී හැඩතල සැකසුම් සහ යෙදුම් ලිනක්ස්  තුල නැති විය හැකි වුවත් වින්ඩොස් පරිගණකයකින් ගෙදර දොර පරිගණකයකින් ලබාගන්නා බොහෝ වැඩ කටයුතු ලිනක්ස් වලිනුත් ඒ ආකරයෙන්ම ලබාගන්නට හැකියාව තිබෙනවා.

ලිනක්ස් ඉතිං ඔය කිව්වට කමාන්ඩ් ඕන ඇති නේ?

(extremetech.com)

ලිනක්ස් කියන්නේ මුල් කාලයේදී ඩොස් වගේම විධාන ටයිප් කිරීමෙන් පමණක් වැඩගන්නා මෙහෙයුම් පද්ධතියක් වුනා. එහෙත් පසුකාලීනව දියුනු වී වර්ථමානයේදී වින්ඩෝස් හා සම මට්ටමේ කදිම මුහුනත් සහිත ලිනක්ස් නිකුතු පැමිණ තිබෙනවා. ඒවායේ වැඩ කිරීමේදී පැරණි ක්‍රමයට කමාන්ඩ් ලයින් වැනි ටර්මිනල් එකක් පාවිච්චි කල හැකි මුත් එසේ නොමැතිව වුවද සොෆ්ට්වෙයා ඇතුලත් කරගන්නට සහ වෙනස්කම් රැසක් කරගන්නට හැකියාව වර්ථමානයේ පැමිණෙන ලිනක්ස් නිකුතු වල තිබෙනවා.

ලිනක්ස් වලත් මෘදුකාංග ස්ටෝ එකක් තිබෙනවා. අපේ අවශ්‍යතාවය අනුව එම ස්ටෝර් එකෙන්ම අවශ්‍ය මෘදුකාංග ඇතුලත් කරගන්නට හැකියි. ඊට අමතරව ඇතැම්විට එම ස්ටෝරුවේ නැති මෘදුකාංග වුවත් අන්තර්ජාලය මදක් පිරිස්සා එය ඇතුලත් කරගත හැකි ක්‍රමය අපිට සොයාගන්න පුලවන් කම තිබෙනවා. වින්ඩොස් මෙන් සෙටප් ෆයිල් එක ක්ලික් කොට මෘදුකාංග ස්ථාපනය කරන්නට බැරිවීම ලිනක්ස් පද්ධතියේ ආවේනික ස්වභාවයක්. එය එහි වරදක් නොවන අතර එතුලින් පරිගණකයට අමතර ආරක්ෂාවක්ද ලැබෙනවා.

ලිනක්ස් වලට ඩ්‍රයිවර්ස් නැහැ කියන්නේ ඇත්තද?

(How-To Geek)

වින්ඩෝස්, ඇපල් සහ ඒ අදාල හාඩ්වෙයාර් උපාංග අතර ඇත්තේ හොඳ වාණිජමය බැඳිමක්. ඒ නිසා හාඩ්වෙයාර් නිපදවන සමාගම් වින්ඩෝස් වලට හොඳ සහයෝගයක් ලබාදෙනවා. ලිනක්ස් වලදී ඇතැම්විට ඉන්ටෙල් සමාගම පවා සිය හාඩ්වෙයාර් ඩ්‍රයිවර් නොදී සිටින අවස්ථා තිබෙනවා. මෙය සැබැවින්ම ලිනක්ස් වල අවුලක් නෙමෙයි. වෙළඳපොල තුල පවතින යම් යම් ප්‍රවාහයන් නිසා නිකංම ලැබෙන ලිනක්ස් වලට හාඩ්වෙයාර් ඩ්‍රයිවර් දීම සම්බන්ධයෙන් යම් කුඩම්මාගේ සැලකීමක් තිබෙනවා.

ජනප්‍රියම ලිනක්ස් පද්ධතියක් වන උබන්ටු වර්ථමානයේ ලැප්ටොප් විශාල සංඛ්‍යාවකට අදාලව සිය මෙහෙයුම් පද්ධතිය පරීක්ෂා කොට එහි ඇති සුළු අඩුපාඩු වාර්තා කොට තිබෙනවා.එසේම ලංකාවේද ජනප්‍රිය වූ ඩෙල්, ඒසර් වැනි ප්‍රමුඛ ලැප්ටොප් මාදිලිවල උබන්ටු මෙහෙයුම් පද්ධතිය නිශ්පාදනයේදීම ස්ථාපනය කරන ලද ලැප්ටොප් ද දැන් අපේ වෙළඳපොලේද සොයාගැනීමට පහසුයි.

බොහෝවිට මෙම ඩ්‍රයිවර් ගැටළුව සෑම අවස්ථාවකම ලිනක්ස් ස්ථාපනය කරන විට පැමිණෙන්නේ නෑහැ. වඩාත් ජනප්‍රිය වූ බොහෝ අපට අවශ්‍යකරන හාඩ්වෙයාර් සදහා සැලකිය යුතු මට්ටමේ සහයක් ජනප්‍රිය ලිනක්ස් මෙහෙයුම් පද්ධති මගින් දක්වනවා.

මොකුත් දාගන්න බෑනේ ඉතිං?

උබුන්ටු වලදී කොඩෙක්ස් එනම් ගීත ඇසීම ට වීඩියෝ බැලීමට අවශ්‍ය ප්ලගින් පසුව ස්ථාපනය කරගන්නට සිද්ද වෙනවා. එය ක්ලික් එකකින් කරගත හැකි සරල වැඩක්.  වර්ථමාන වින්ඩෝස් පරිගණකවල භාවිත වෙන බෙහොමයක් මෘදුකාංග ලිනක්ස් වලට ඇතුලත් කරන්න නම් බැහැ. නමුත් ඒ මෘදුකාංග වලට ආසන්න සමාන වූ වෙනත් මෘදුකාංග ලිනක්ස් වෙත තිබෙනවා.

උදාහරණ විදියට සිංදු ප්ලේ කරන්න වින්ඩොස් මීඩියා ප්ලේයර් එකක් උබුන්ටු වල නෑ..උබුන්ටු වල වෙනමම ප්ලේයරයක් තිබෙනවා… පිංතුර බලන්නට ඉමේජ් වීවර් එකක් වෙනුවට හොද පිංතුර ගොනු තබාගත හැකි මාදුකාංගයක් ලිනක්ස් වෙත තිබෙනවා. පොටෝශොප් ලංකාවෙදි නම් ඉතාම ලෙහෙසියෙන් කොහෙන් හෝ හොරකොපියක් රැගෙන වින්ඩෝස් මත එය ස්ථාපනය කරගන්නට අපට වැඩි අමාරුවක් නෑ..එහෙත් පොටෝ ෂොප් සහ වීඩියෝ එඩිටිං මෘදුකාංග රුපියල් 20,000කට වඩා වැඩි මලක් වෙනවා. ඉතින් ඔය වැඩ සඳහා වෙනම සැකසු සංස්කරණ මෘදුකාංග ලිනක්ස් වලත් තිබෙනවා. මිලදී ගතයුතු ඒවා තරම් ලස්සන සහ ලෙහෙසි නොවුනත් වැඩ දන්නා අයෙකුට සැලකිය යුතු වැඩක් කරගන්නට ලිනක්ස් වල තිබෙන, ගිම්ප් සහ බ්ලෙන්ඩර් වැනි එඩිටිං සොෆ්ටයා වලින් හැකියාව ලැබෙනවා.

ඊලග පරම්පරාවේ වෙබ් ඕ ඇස්

වර්ථමානයේ පරිගණක භාවිත කරන පිරිසෙන් බොහෝදෙනා වැඩිවේලාවක් අන්තර්ජාලයේ සැරිසරන්නට කාලය ගතකරනවා. අන්තර්ජාලයේ පැමිණිමත් සමග ඇතැම් විට සොෆ්ට්වෙයා මගින් කරන ලද කාර්යයන් පවා ඔන්ලයින්ම කරගන්නට හැකියාව තිබෙනවා. වර්ථමානයේ ගූගල් සමාගමේ ගූගල් ඩොක්ස් මගින් සැලකිය යුතු ඔෆිස් වැඩකටයුතු ප්‍රමාණයක් කරගන්නට හැකියි. හොද වේගයක් තිබේනම් සරල ටූල් භාවිත කරලා පොටෝ එඩිට් කරගන්න හැකියාවත් අන්තර්ජාලයේම පවතිනවා. පෙර කල නම් ගීත, චිත්‍රපට සහ අධ්‍යාපනික විඩියෝ ආදිය අපි මුලින්ම ඩවුන්ලෝඩ් කරගෙන පසුව ඒවා බලනවා. නමුත් වර්ථමානයේ දැන් දැන් ගීත සහ වීඩියෝ අන්තර්ජාලයේදීම නැරඹීම වඩාත් ජනප්‍රිය වී තිබෙනවා. මේ අනුව අන්තර්ජාලයේදී වැදගත් සාධකයක් වන ආරක්ෂාව අතින් සවිමත් ලිනක්ස් තුල හොඳ අන්තර්ජාල සබඳතාවයක් ඇත්නම්  බ්‍රව්සරය මතින් බොහෝ දේ සපුරාගන්නට අපිට හැකියාව තියෙනවා.

අමාරුවෙන් මිලදී ගන්නා පරිගණකයට තවත් ඒ සමාන මුදලක් වියදම් කොට සොෆ්ට්වෙයාර් සහ ඔරිජිනල් ඕ ඇස් දාන්නට අපේ රටේ බොහෝ අයට අවකාශ නැහැ. ඉතිං ගෙදර දොරේ වැඩටිවලට, ඔෆිස් වැඩට අපේ විනෝදාංශ වලට වගේ මිලදී ගන්නා පරිගණකයට ලිනක්ස් උත්සාහ කරන එක හොඳ ප්‍රවේශයක්. අලුත් අලුත් මොන දේ උණත් පොඩ්ඩක් මුලදී අපිට හුරුවෙන්නට අපහසුයි. එහෙත් එය හුරු වූ පසු එය ගානක්වත් නැති තරම් සරල බව තේරුම් යනවා. ඒ නිසා ඔබටත් මොකද්ද මේ අලුත් ඕ එස් එක කියලා පරිගණකයේ කොටසකට හෝ ලිනක්ස් දමා හෝ, USB එකකින් boot කිරීමෙන් පරීක්ෂා කරන්නට පුලුවන්.

කවරයේ පින්තුරය: WallpaperSafari

Related Articles