Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Windows 10 Fall Creators Updateහි අලුත්ම විශේෂාංග

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ නවතම යාවත්කාලීනය වන Fall Creators update එක සමග අපූරු ආකාරයේ විශේෂාංග රැසක් ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. මීට පෙර පැමිණි යාවත්කාලීනය තරම් බාහිර පෙනුමට වෙනසක් සිදුකර නැතත් දැනට තිබෙන ඇප් වලට නවතම ආකාරයේ හැකියාවන් ගොන්නක් මේ හරහා ලබා දී තිබෙනවා.

ආසන්න තථ්‍යතාව ඔබේ පරිගණකයට

azureedge.net

Windows Mixed Reality නමින් හඳුන්වා ඇති මෘදුකාංගය හරහා ආසන්න තථ්‍යතාව හෙවත් පොකිමොන් වැනි පරිගණක ක්‍රීඩා වල ඔබ අත්විඳි Augmented Reality (AR) තාක්ෂණය දැන් පරිගණක සඳහාද ලබාදී තිබෙනවා. හැබැයි මේක නිසි ආකාරව අත්විඳින්නට Intel® Core™ i7 ප්‍රොසෙසරයක් සහ රුපියල් 61,000 ($399) පමණ වන ඔවුන්ගේ headset එකක් ද අවශ්‍ය වෙනවා. එහෙමත් නැතිනම් ඔබට ඔබගේ පරිගණයේ තිබෙන කැමරාව හරහා Remix3D.com වෙබ් අඩවියෙන් හෝ Paint 3d හරහා ඔබ නිර්මාණය කරන ලද ත්‍රිමාණ වස්තුවක් ඔබගේ කාමරයේ තිබෙන ආකාරයට සකසාගෙන මෙම යාවත්කාලීනයත් සමඟ ඔවුන් නොමිලේම ලබාදෙන Mixed Reality Viewer මෘදුකාංගයෙන් බලන්නට ද අවස්ථාව සලසා තිබෙනවා.

අලුත් කළ photos app එක

පින්තූරයක් open වෙන්නට වරු ගාණක් ගියපු photos ඇප් එකට නවතම ආකාරයේ විශේෂාංග ගොන්නක් එක්කර තිබෙනවා. මේ හරහා දැන් ඡායාරූපවලට Filters, text සහ 3D effects කරන්නට පමණක් නොව ඡායාරූප එක්කර වීඩියෝ සකසා, ඒවා සංස්කරණය කරමින් ඒවාට අතින් ලියන ලද අකුරු කරන්නට ද අවස්ථාව දී තිබෙනවා. දැනට ඔබේ තිබෙන වීඩියෝවලටත් ඔබ ඒ මත අකුරින් ලියා එහි චලනය වන වස්තුවක එම අකුරු පේලිය anchor එකක් හරහා සම්බන්ධ කළ විට එම වස්තුව සමඟ ඔබගේ අකුරුද චලනය වන ආකාරයේ අපූරු විශේෂාංගයක් මෙහි ඇතුළත් කර තිබෙනවා.

මෙහි තිබෙන create බට්න් එක ක්ලික් කර ඔබට අවශ්‍ය ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් එකතු කර ගැනීමෙන් තනි වීඩියෝවක් සකසා මතකයන්ට එකතු කරගන්නට, යාළුවොත් එක්ක බෙදාගන්න දැන් බොහොම පහසුවෙන් පුළුවන්.

හොඳම යහළුවන් Task bar එකට

azureedge.net

දැන් ඔබට, ඔබ Mail හෝ Skype හරහා නිතර කතා කරන මිතුරන් taskbar එකට එකතු කරගන්නට අවස්ථාව තිබෙනවා. ඔවුන්ව මෙලෙස taskbar එකට pin කරගත්තාට පස්සේ (Taskbar එකේ pin වෙන්නත් පින තියෙන්න ඕනේ) ඔබට ඉතාම පහසුවෙන් ඔවුන්ගේ ම මත ක්ලික් කරමින් ඊමේල් යවන්නට සහ ස්කයිප් චැට් කරන්නට පුළුවන්. ඔවුන් සමග ගොනු බෙදාහදා ගැනීම සඳහා කළ යුත්තේ ඕනෑම file එකක් සිලෙක්ට් කර, drag කර ගෙනැවිත් මුහුණු සහිත අයිකනය මතට අත හැරීමයි. එවිට සෘජුවම ඔවුන්ට ඒවා ලැබෙනවා. චැට් කිරීමේ දී ද අප වෙනත් වැඩක් කරමින් සිටියත් ඔවුන් විසින් එවන ලද emoji ඍජුවම අපට taskbar එකෙහි පොප් වී පෙන්නනවා.

කටහඬට වැඩි තැනක්

Microsoft සමාගමේ පෞද්ගලික සහායිකාව වන Cortana දැන් තවත් ඉහල ආකාරයේ විධානයන්ට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරයට අධි වර්ධනය කර තිබෙනවා. ඉස්සර පරිගණකයේ තිබෙන දෙයක් සොයා දෙන්න, දවසේ කාලගුණය කියන්න වගේ සුළු සුළු වැඩ පුළුවන් වුණත් දැන් ඇයට සම්පූර්ණයෙන්ම පරිගණකය shut down, restart, හෝ sleep කරන්නටත් පුළුවන්. අනෙකුත් මෘදුකාංග මත ද චන හරහා ටයිප් කිරීමේ ක්‍රමවේදය ද ඔවුන් වලාකුළු පරිගණක තාක්ෂණයේ බලය යොදා ගනිමින් තවත් වැඩි දියුණු කර තිබෙනවා. එනම් ඔබ විසින් ලබාදෙන සංවිධාන හුදෙක් පරිගණකය තුලම process කිරීම වෙනුවට ඒ සඳහා අන්තර්ජාලයේ ඇති ඔවුන්ගේ සර්වරයක සහාය ද ලබා ගන්නවා.

රැන්සම්වෙයා වලින් ආරක්ෂාව

wccftech.com

වර්තමානයේ පරිගණක සහ දුරකථන සඳහාත් ව්‍යසනයක් බවට පත්ව තිබෙන රැන්සම්වෙයා ආකාරයේ පරිගණක වෛරස හරහා ඔබේ පරිගණකයේ තිබෙන දත්ත වලට හානි සිදු වීම වැළැක්වීම සඳහා නවතම windows 10 යාවත්කාලීන සමඟ මෘදුකාංග වලට ඔබගේ ගොනුවලට පිවිසී වෙනස්කම් සිදු කිරීම සම්පූර්ණයෙන් වළකා හැර තිබෙනවා. Windows Defender Exploit Guard ලෙස නම් කර ඇති මෙම නව ආරක්ෂණ විශේෂාංගය කිසියම් නන්නාඳුනන මෘදුකාංගයක් හමු වූ වහා එය ඔවුන්ගේ cloud ආරක්ෂණ සේවාව හරහා සත්‍යාපනය කර ගැනීම සිදුකරනු ලබනවා. මේ හරහා Cerber, Locky, Spora සහ මෑත කාලයේ දැඩි කතාබහට ලක්වුණු WannaCry නම්වූ රැන්සම්වෙයා වයිරසයට පවා මෙය සක්‍රීයව මුහුණ දෙන්නට සූදානම්.

වැඩිමනත් විශේෂාංග

Microsoft launcher සඳහා සහාය

fonearena.com

Windows phone දුරකථන අභාවයට යාමත් සමග android සහ ios සඳහා තමන්ගේ මෘදුකාංග ප්‍රචලිත කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම යොමු වුණා. ඒ අනුව ඔවුන් හඳුන්වා දෙන ලද නවතම මෘදුකාංගයක් වූ Microsoft launcher හෙවත් දුරකථන මුල් තිරයේ පෙනුම වෙනස් කරමින් ඒ සඳහා microsoft සේවාවන් සඳහා හරහා වඩාත් සම්බන්ධ විය හැකි ආකාරයේ මුල් තිරය සහිත මෘදුකාංගය සතුව දුරකථනය සහ වින්ඩෝස් පරිගණක අතර සබඳතාව ඇති කරන බොහෝ විශේෂාංග අන්තර්ගත වී තිබුණා. ඉතින් එම විශේෂාංග සඳහා සහාය දැක්වීමට පරිගණක මෙහෙයුම් පද්ධතිය දෙසින් සූදානම් කරවීම මෙම යාවත්කාලීනය හරහා සිදු කරනවා.

Microsoft Edge සඳහාත් වෙනසක්

technobuffalo.com

PDF සඳහා මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්හි ඇති පූර්ව ස්ථාපිත (pre installed) පෙරනිමි (default) යෙදුම ලෙස භාවිත වන්නේ Edge වෙබ් ගවේෂකය යි. නව යාවත්කාලීනයත් සමඟ දැන් එයම භාවිත කරමින් PDF පාදකවූ form පිරවීම සහ සේව් කිරීම සිදුකළ හැකි වෙනවා. ඒ වගේම PDF මත අදහස් දැක්වීම්, Highlight කිරීම් වගේම කියවීමේ පහසුව ඇති කරගැනීම සඳහා layout එක වෙනස් කරගැනීමේ පහසුකම් ද දැන් ලබාදී තිබෙනවා.

ඔබ කැමති / නිතර පිවිසෙන වෙබ් අඩවි taskbar එකට දැන් පහසුවෙන් pin කරගත හැකි අතර F11 කෙටිමං යතුර භාවිත කරමින් බ්‍රවුසරය පුන් තිර (Full screen) කරගැනීමේ හැකියාව ද තිබෙනවා.

ආබාධිත අයට දෑසෙන් පරිගණකය භාවිතය

makinggames.biz

ස්ටීවන් හෝකින්ට තම කායික දුබලතාව නිසා ඔහු වෙනුවෙන්ම පරිගණකයක් නිර්මාණය කෙරුණා. ඒ ආකාරයේම පරිගණකය මවුසය හා කී බෝඩ් එක භාවිත කරමින් භාවිත කිරීමේ අපහසුතා ඇති අතර දැන් තම දෑස භාවිතයෙන් පරිගණකය පාලනය කිරීමේ අවස්ථාව මෙම නව යාවත්කාලීනය හරහා ලබා දී තිබෙනවා. නමුත් ඒ සඳහා ඊට සහාය වන Eye tracker එකක් සබඳා තිබිය යුතු වෙනවා.

ස්ථාපනය

cloudfront.net

ඔබ වින්ඩෝස් 10වල සැකසුම් වෙනස් කර නැත්නම් හෝ අන්තර්ජාල සබඳතාව metered connection එකක් ලෙස සකසා නැති නම් මේ වන විටත් ස්වයංක්‍රීයව බාගතවී ඔබේ පරිගණකයේ ස්ථාපනය වී ඇති. එසේ නොමැති නම්, Settings වෙත ගොස් (Start මෙනුව ක්ලික් කළ වහා “settings” ලෙස යතුරුලියනය කිරීමෙන් සොයාගත හැකියි) එහි Update & security > Windows Update යන්න තෝරන්න. දැන් එහි ඇති Check for updates බොත්තමෙන් ඔබට නව යාවත්කාලීන සඳහා හස්තීයව (manually) සෙවීමට විධාන කරන්න පුළුවන්. ඔබ අලුතින් වින්ඩෝස් 10 මිලදීගෙන ස්ථාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා නම් දැන් මයික්‍රොසොෆ්ට් සොෆ්ට්වෙයා වෙබ් අඩවිය හරහා ලබාදී ඇති ISO ගොනුව මෙම යාවත්කාලීනයත් අන්තර්ගත කරමින් තමයි ලබාදී තිබෙන්නේ.

මූලාශ්‍ර: blogs.windows.com

කවරයේ ඡායාරූපය: aolcdn.com

Related Articles