Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලම තාක්ෂණික සම්මේලන 10ක්

තාක්ෂණික සම්මේලන කියන්නේ ලංකාවේ අපිට නම් එතරම් හුරු පුරුදු නැති අංගයක්. එහෙත් තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින ලොව බොහෝ රටවල වාර්ෂිකව මෙම සම්මේලන පවත්වනවා. ඉදිරියේදී ලෝකයට හදුන්වාදීමට නියමිත නිෂ්පාදන එලිදැක්වීමට නිර්මාපකයන්ට අවස්ථාව සලසා දීම,ආයෝජකයන් සදහා අනාගත ආයොජනයන්ට අවස්ථාව සලසා දීම මෙම සම්මේලන වල මූලික අරමුණ වෙනවා. ඉතිං තාක්ෂණය සම්බන්ධව උනන්දුවක් දක්වන ඔබ දැනුවත් විය යුතුම ප්‍රමුඛ පෙලේ තාක්ෂණික සම්මේලන කිහිපයක්  පිලිබද තොරතුරු ගෙන එන්නයි මේ ලෑස්තිය.

Techfest

ඉන්දියාවේ මුම්බායි හි පිහිටා ඇති IIT එහෙම නැත්නම් Indian Institute of Technology මගින් වාර්ෂිකව Techfest සංවිධානය කරනවා. 1998 වසරේ මුල් වරට පැවැත්වුණු මෙය දැනට ආසියානු කලාපයේ විශාලතම තාක්ෂණික සම්මේලනය වෙනවා. විවිධ ප්‍රදර්ශන, තරඟාවලි සහ වැඩමුළු ඇතුලත් මෙය සදහා ලොව පුරා නම ගිය නිර්මාණකරුවන් සහ තාක්ෂනවේදීන් පැමිණෙනවා.

Mobile World Congress

ස්පාඤ්ඤයේ කැටලොනියාවේ පැවැත්වෙන GSMA Mobile World Congress  ලොව විශාලතම ජංගම දුරකථන සමුළුව ලෙස නම් දරනවා. මෙය මුල් වරට ආරම්භ වූයේ 1987 වර්ෂයේදීයි. ලොව පුරා සියලුම ජංගම දුරකථන සමාගම්, පේටන්ට් බලපත්‍ර හිමිකරුවන් මෙන්ම ජංගම දුරකථන කාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනාගේ අනිවාර්ය සහභාගිත්වය මෙයට හිමි වෙනවා. වාර්ෂිකව 85,000ක පමණ පිරිසකගේ සහභාගිත්වය මෙයට හිමි බව සදහන් වෙනවා.

EGX Expo

EGX එහෙම නැත්නම්  Eurogamer Expo ලොව විශාලතම පරිගණක ක්‍රීඩා උළෙල වලින් එකක්. මෙය 2008 වසරේ සිට වාර්ෂිකව ලන්ඩන් නුවර දී පැවැත්වෙනවා. මෙහිදී විශේෂයෙන් පරිගණක ක්‍රීඩා පිළිබද තොරතුරු සහ පරිශීලකයන්ගේ අදහස් හුවමාරු වෙන අතර තවමත් නිකුත් කර නොමැති ජනප්‍රිය පරිගණක ක්‍රීඩා පරිශිලනයටත් අවස්ථාව උදාකර දීම කැපී පෙනෙනවා.

Electronic Entertainment Expo

E3 එහෙම නැත්නම් Electronic Entertainment Expo නමින් හැදින්වෙන මෙය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ආශ්‍රිතව පැවැත්වෙනවා. පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල වෙළඳ පොලක් ලෙස මෙය හැදින්විය හැකියි. මුල්කාලීනව ක්ෂේත්‍රයට සම්බන්ධ අය සඳහා පමණක් විවෘත වූ මෙහි දොර මෑතක සිට සියලුම දෙනා වෙනුවෙන් විවෘත වී තිබෙනවා. 50,000කට අධික පරිගණක ක්‍රීඩා ලෝලීන් පිරිසක් මෙයට සහභාගී වන බව පැවසෙනවා.

Failcon

ව්‍යවසායකයින් සහ නිර්මාපකයන් සඳහා අතිශය වැදගත් සමුළුවක් ලෙස Failcon හදුන්වන්න පුළුවන්. ඔවුන්ට බෙහෙවින් වැදගත් වෙන තම දුර්වලතා පිළිබඳ​ සාකච්ඡා කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ වී තිබෙනවා. 2009 වසරේ Cass Phillipps විසින් මුල් වරට ආරම්භ කල මෙය විශේෂවන්නේ ව්‍යවසායකයන්ගේ ගැටළු හදුනාගෙන ඒවාට පිළියම් ඉදිරිපත් කිරීම වෙනුවෙනුයි.

TechCrunch Disrupt

බෙයිජිං සහ සැන් ෆ්රැන්සිස්කෝ නුවරවල් කේන්ද්‍රකරගෙන TechCrunch Disrupt වාර්ෂිකව

පැවැත්වෙනවා. TechCrunch යනු තාක්ෂණය හා සම්බන්ධ තොරතුරු සහ විශ්ලේෂණයන් ගෙන එන අන්තර්ජාල මුලාශ්‍රයක්. මේ මගින් නව නිර්මාණකරුවන්ට තම නිර්මාණ ආයෝජකයන් සහ මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙනවා. TechCrunch මගින් එළිදැක්වුණු දෑ අතර Enigma,Getaround සහ Qwiki ද වෙනවා. රූපවාහිනී මාලා නාටකයක් වන Silicon valley හිද මෙය පිලිබදව සදහන් වෙනවා.

Infoshare

මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ පැවැත්වෙන විශාලතම තාක්ෂණ සමුළුව වන InfoShare පැවැත්වෙන්නේ පෝලන්තයේ. නව නිර්මාණකරුවන්ට සහ ආයෝජකයන්ට ඉතා වැදගත් මෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ පරිගණක මෘදුකාංග සදහායි.

CEBIT

පරිගණක තාක්ෂණය සම්බන්ධ ලොව විශාලතම සමුළුව වන CEBIT පැවැත්වෙන්නේ ජර්මනියේදී යි. ආසියාව කේන්ද්‍රකරගෙන පැවැත්වෙන COMPUTEX සහ යුරෝපය කේන්ද්‍රකරගෙන පැවැත්වෙන COMDEX ඉක්මවාගිය සහභාගිත්වයක් CEBIT වෙත ලැබෙන බව පැවසෙනවා.

Silicon Valley Innovation Summit

2003 වසරේ මුල් වරට ආරම්භ වූ මෙය පැවැත්වෙන්නේ කැලිෆෝර්නියා හිදියි. ලොව අංක එකේ ව්‍යවසායකයන් සහ ආයෝජකයන් සහභාගී වන Silicon Valley Innovation Summitහි මූලික අරමුණ සහභාගිවන්නන් සහ සාර්ථක ව්‍යවසායකයන් අතර තාක්ෂණික ප්‍රවණතා පිළිබඳව හරවත් කතිකාවතක් ගොඩනැංවීමයි. අද ලොව මුල්පෙළේ සමාගම් වන salesforce.com , skype , MySQL , Youtube , Twitter වැනි සමාගම් සිය මුල් පියවර තබා ඇත්තේ මෙහි වීම විශේෂයි.

CES Conference ( Consumer Electronics and Technology)

ලොව පුරා තාක්ෂණය පිලිබඳ උනන්දු සියලුදෙනා ඇඟිලිගනිමින් බලාසිටින උළෙල මෙයයි. 150,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව 4000කට අධික නව නිර්මාණ ලෝකයට හදුන්වාදෙන්නේ මෙහිදියි. ලොව අංක එකේ සමාගම් සිය නවතම නිර්මාණ වෙළදපොලට හදුන්වාදීම මෙහිදී සිදුකිරීමේ විශේෂත්වය CES හි ඇති අතිශය ජනප්‍රියත්වය යි. පසුගිය ජනවාරි 9 සිට 12 දක්වා මෙය ලාස් වේගාස් හි පැවැත්වුණා.

මූලාශ්‍රය RankRed.com

කවරයේ ඡායාරූපය AppleRider

Related Articles