Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසා අතින් නිර්මාණය වූ සජීවී යන්ත්‍රය

විද්‍යා ප්‍රබන්ධවල අපට සුලබ ව දැකගන්නට ලැබෙන ජීවී රොබෝවරු තවදුරටත් ප්‍රබන්ධයක් නොවන වග පසුගිය දිනෙක සනාථ වුණා. ඒ, පළමු “සජීවී මැෂීන්” එක නිර්මාණය කිරීම සමග යි. ඔබ 1990 දශකයේ සිට නිෂ්පාදනය වූ Jurassic Park වැනි චිත්‍රපට නරඹා තිබෙනවා නම් මේ සිදුවීමත් එවැන්නක් බව ඔබට සිතේවි. මිනිසා විසින් අලුතින් ජීවී විශේෂයක් මැවීම තමයි මෙහි දී සිදුවෙලා තිබෙන්නේ. සොබාදහමේ මෙතෙක් බිහි වූ කිසිවක් මෙයට සමාන කරන්නට හැකි වෙන්නේ නැහැ. මුළුමනින්ම පාහේ කාබනික ද්‍රව්‍යවලින් නිර්මාණය වී තිබෙන මේ රොබෝ පර්යේෂකයන් හඳුන්වන්නේ “ජීවමාන රොබෝවක්” එහෙම නැති නම්, “living robot” කෙනෙක් ලෙස යි. evolutionary algorithms එකක් (පරිණාමීය ඇල්ගොරිතමයක්) මත ක්‍රියාත්මක වෙන මොවුන්ව හඳුන්වන්නේ Xenobots ලෙස යි. Vermont විශ්වවිද්‍යාලයේ සුපිරි පරිගණකයක් භාවිතා කරමින් මෙහි සෛල වැඩසටහන් ගත කර (program the cells) තිබෙනවා. “ක්ලෝව්ඩ් ෆ්‍රොග්” හෙවත් “Xenopus laevis” කියන ගෙඹි විශේෂයේ ප්‍රාථමික සෛල (stem cells) කෘත්‍රිමව වර්ධනය කර, එමඟින් චලනය විය හැකි, ජලයේ පිහිනිය හැකි ලෙස මේ රොබෝ ජීවියා නිර්මාණය කර තිබෙනවා. 

Xenobots ගමන් කරන්නේ මෙලෙස යි- thenextweb.com

ඇමරිකාවේ “වර්මොන්ට්” සරසවිය සහ “ටෆ්ට්ස්” සරසවි ඒකාබද්ධව සිදුකරපු පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් විදිහට තමයි, මේ නව ජීවී කාණ්ඩය නිර්මාණය කරන්නට හැකි වෙලා තියෙන්නේ. සෛල පදනම ස්ටෙම් සෙල්ස් හරහා නිර්මාණයව තිබෙන නිසා මොවුන්ට තමන්ව ම සුව කර ගැනීමට (Self-healing) ඇති හැකියාව වැනි සුවිශේෂි හැකියාවන් පිහිටා තිබෙනවා. විද්‍යාත්මක පාරිභාෂික වදන් අතරට බයොලොජිකල් මැෂීන් වැනි නව වචන එකතු කරමින් නිර්මාණය වූ මේ රොබෝ ජීවියාට ලෝකයේ බොහෝ විද්‍යාවන් උඩුයටිකුරු කිරීමට අනාගතයේ හැකි වන බවට දැනටමත් අනාවැකි පළ වී තිබෙනවා. 

පර්යේෂණයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ Vermont විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Josh Bongard -Uvm.edu 

කෘෂිකාර්මික යුගයේ සිටම මිනිසා විවිධ අවශ්‍යතාවන් සඳහා ජාන තාක්ෂණය හා ජාන සැකසීම වෙනස් කිරීම විවිධ මට්ටම්වලින් සිදුකර තිබෙනවා. ජාන විද්‍යාව භාවිත කරමින් අදටත් සත්ව හා ශාකවල ජාන සැකසුම් වෙනස් කරමින් විවිධ නිර්මාණයන් සිදුකරනවා. නමුත්, මෙහි දී සිදුවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක් බව තමයි වර්මොන්ට් සරසවිය සඳහන් කරන්නේ. Xenobotsවරු පිළිබඳව සහ ඔවුන් තවදුරටත් වැඩි දියුණු කිරීම උදෙසා පර්යේෂණ සිදුකරන බවත් ඔවුන් සඳහන් කරනවා. කොහොම වුණත්, මේ වෙද්දීත් මේ ජීවී රොබෝවරු භාවිත කරමින් සිදුකළ හැකි ක්‍රියාවලින් පිළිබඳව හඳුනාගෙන තිබෙනවා. උදාහරණ ලෙස මුහුදේ එකතුව තිබෙන මයික්‍රො ප්ලාස්ටික් නිෂ්පාදන විඛාදනය කිරීම, ළදරු කලලවල විකෘතීන් නිවැරදි කිරීම, මිනිස් සිරුර අභ්‍යන්තරයේ හානි වූ ඉන්ද්‍රීයයන් අලුත්වැඩියා කිරීම, විකිරණශීලී අපද්‍රව්‍යවල විකිරණ හරණය වගේම, මිනිස් ශරීරයේ රුධිර නාල ඔස්සේ ඉන්ද්‍රියයන්ට අවශ්‍ය ඖෂධීය රසායන රැගෙන යෑම වැනි දේ සඳහන් කරන්න පුළුවන්.

කොහොම නමුත්, මේ නිර්මාණය සමග සමාජයේ යම් පිරිසක් තැති ගැනීමකට ලක් වෙනවා අපට දැකගන්න ලැබුණා. මිනිසුන් මේ කරන්නේ ස්වභාව ධර්මයට පිටින් යාමක් ලෙස යි ඔවුන් දකින්නේ. කොහොම වුණත්, මේ නිෂ්පාදනයේ වටිනාකම අදටත් වඩා අනාගතයේ අපට දැකගැනීමට හැකි වන බව නම් හොඳටම විශ්වාස යි.

Related Articles