පසුගිය ජුලි 25 වන දා පෘථිවියට ඉතාම ආසන්නයෙන් විශාල ගුවන් යානයක ප්‍රමාණයෙන් යුත් 2019 OK නමැති ඇස්ටරොයිඩය ගමන් කළ අතර එහි පැමිණීම හඳුනාගන්නට විද්‍යාඥයන්ට නොහැකි විය. එය පෘථිවියේ ගැටුණි නම් TNT මෙගාටොන් 10ක පිපිරුම් ශක්තියක් නිකුත් විය හැකි වූ අතර ඇතැම්විට හිරෝෂිමාවේ සිදුවූ න්‍යෂ්ඨික පිපිරුම මෙන් 30 ගුණයක ශක්තියක් නිකුත් වීමට හැකියාව තිබිණි.

ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6:52ට එය පෘථිවියට ඉතාම ආසන්න වූ අතර එය කිලෝමීටර් 72,000ක් තරම් ආසන්නයට ළඟා වූවා. එය, චන්ද්‍රයාට ඇති දුර මෙන් 1/5ක්. පැයට කිලෝමීටර් 88,500ක් තරම් වේගයකින් පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ එය සිකුරු ග්‍රහයා‍ගේ (සූර්යයා වටා) කක්ෂය තුළින් ද ගමන් කරයි. ප්‍රධාන ඇස්ටරොයිඩ වළල්ලේ ෆ්ලෝරා නමැති පාෂාණමය, විශාල ප්‍රමාණයේ ඇස්ටරොයිඩ පවුලට මෙය අයත් වේ.

නිල් පැහැ රේඛාවෙන් පෘථිවි කක්ෂයත්, සුදු පැහැ රවුමින් චන්ද්‍රයාගේ කක්ෂයත්, සුදු පැහැ රේඛාවෙන් 2019 OK ගමන් මඟත් දැක්වේ (NASA)

මීටර් 57ත් 130ත් අතර ප්‍රමාණයක විශාලත්වයකින් යුතු වූ මෙම ඇස්ටරොයිඩය විද්‍යාඥයින් හඳුනා ගත්තේ එය ආසන්නයටම පැමිණීමට පැය කිහිපයකට පෙර යි. “නිසි අවධානයක් නොමැති බව නිසා භයානක ඇස්ටරොයිඩ ඉතා වේගයෙන් අප‍ දෙසට ඇදී එනවා … එය පෘථිවිය අසලට ආ අවස්ථාවේ කෙනෙක් අතේ දෙනෙතියක් (Binocular) තිබුණා නම් මෙය දැකගන්නටත් හැකියාව තිබුණා”යි ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ තාරකා විද්‍යා මහාචාර්ය මයිකල් බ්‍රවුන් කන්සර්වේශන් වෙබ් අඩවියේ සටහන් කරයි.

ඇස්ටරොයිඩ පෘථිවිය සහ චන්ද්‍රයා අතුරින් නිරන්තරව (ඇතැම්වා වසරකට කිහිප වරක්) ගමන් ගන්නා නමුත් ඒවායෙන් පෘථිවියට හානි පැමිණවීමට තරම් අවදානම් තත්ත්වයේ නොමැති ඒවා යි. එවැන්නක් ගැටුණ ද බොහෝ විට වායු ගෝලයේ දීම විනාශ වී යන බැවින් අපට හානියක් සිදු නොවෙයි.

නගරයක් ගිලගත හැකිව තිබූ ඇස්ටරොයිඩය සතු දිගැටි කක්ෂය (wikimedia.org)

දශක ගණනාවක් පුරා තාරකා විද්‍යාඥයන් මෙම ආකාශ වස්තු පිළිබඳ අවධානයෙන් සිටින නමුදු 2019 OK ඇස්ටරොයිඩයේ ප්‍රමාණය පහසුවෙන් හඳුනාගත නොහැකි වූයේ එය ඉතා වේගයෙන් ගමන් කළ නිසා යි. එ‍සේම එහි කක්ෂය ද ඉතා දිගටි හැඩිති බැවින් සිකුරු සහ අඟහරු ද එහි ගමන් ගමට අයත් වේ.

සාමාන්‍යයෙන් ඇස්ටරොයිඩයක් සඳහා ගත යුතු පියවර පහකි. එනම්, සොයා ගැනීම, එහි ගමන් මඟ අධ්‍යයනය, ලක්ෂණ හඳුනා ගැනීම, (හානිදායී නම්) මාර්ගය වෙනස් කරලීම, දැනුවත් කිරීම යි. ඇස්ටරොයිඩයක් වා තලයේ දී විනාශ නොවී පතිත වුවහොත් නගරයක් විනාශ කරන හෝ මුහුදට වැටී සුනාමියක් ඇති කරන බවට හඳුනාගතහොත් එහි මාර්ගය වෙනස් කළ යුතු වෙයි. මේ සඳහා ගුරුත්වාකර්ෂණය භාවිතය (ආකාශ යානයක ගුරුත්වයට එය හසුකර ගැනීම), මධ්‍ය චාලක ශක්තියක් යෙදවීම (යානයක් එහි ගැටෙන්නට සලස්වා ඉවතට යොමු කිරීම), ලේසර් හෝ න්‍යෂ්ඨික පහරදීමකින් කුඩු කර දැමීම යනාදිය භාවිතයට ගත හැකිවේ.

2019 OK ආකාශ වස්තුව ප්‍රථමයෙන් ස්වාධීනව බ්‍රසීලයේ හා ඇමරිකාවේ තාරකා විද්‍යාඥයින් හඳුනාගත් අතර පසුව එය NASA ආයතනය ස්ථිර කළේ ය. 2013 දී මේ ග්‍රහ වස්තුවටත් වඩා කුඩා ප්‍රමාණයේ එකක් රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරයට කඩා වැටුණි. ඉන් පුද්ගලයන් 1,200කට පමණ තුවාල සිදු වූ අතර එය අහඹු සිදුවීමක් විය. 

පහත වීඩියෝවේ එහි දර්ශන අඩංගු වේ:

ඇස්ටරොයිඩයක් පෘථිවිය දෙසට එමින් පවතින බවත්, ඉන් කිසිදු හානියක් සිදු නොවන බවත් ජනතාව දැනුවත් කර තිබුණ ද හදිසියේ ම අහසින් මතු වූ ගිනි බෝලයක් වාහනවල සවිකර ඇති කැමරාවල සටහන් විය. මෙම සිදුවීම පසුව අධ්‍යයනය කරද්දී පෙනී ගොස් ඇත්තේ බලධාරීන් නිරීක්ෂණය කළ ආකාශ වස්තුව වෙනුවට, ඊටත් වඩා වේගයෙන් ආ වෙනත් එකක් පෘථිවියේ ගැටී ඇති බව යි. ඒ හා සසඳද්දී 2019 OK යනු සැබැවින්ම “OK” නොවන්නට ඉඩ තිබුණක් නොවේ ද?

කවරය: Getty