චීනය 6G තාක්ෂණයට පර්යේෂණ අරඹයි!

වේගයෙන් දියුණු වන තාක්ෂණික ලෝකය සමග ඉතාම වේගයෙන් වෙනස් වෙන නව්‍යකරණය වෙන තාක්ෂණයක් විදිහට සන්නිවේදන තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. පසුගිය දිනෙක චීනය සිදුකළ නිවේදනයකින් තාක්ෂණික ලෝකය තුළ විශාල කැළඹීමක් ඇති වුණා කිව්වොත් නිවැරදි යි. මේ වෙද්දී ලෝකය තුළ 5G තාක්ෂණය ප්‍රචලිත වෙන්න අරගෙන එතරම් කාලයක් ගිහින් නැති නමුත්, චීනය තමන් 6G තාක්ෂණය ගැන පර්යේෂණ ආරම්භ කළ බවට පසුගිය දිනෙක නිවේදනයක් නිකුත් කළා. 

මේ තාක්ෂණය සැබෑවක් බවට පත් කරන්න හැකි ද? නැතිනම්, මේ තමන් අනෙක් රටවල්වලට පියවරක් ඉදිරියෙන් සිටින බව කියන්න චීනය දරන උත්සහයක් ද? මේ ගැන විස්තර ඔබ එක්ක බෙදාගන්න අපි හිතුවා.

මොකද්ද මේ 6 වන පරපුර?

සන්නිවේදනයේ දියුණුවත් එක්ක ඇති වන අලුත් සන්නිවේදන තාක්ෂණයන් හඳුන්වන්න අලුත් පරම්පරාවක් (Generation) කියන වචනය හඳුන්වා දුන්නේ, කලින් තියෙන තාක්ෂණයට වඩා පරම්පරාවක්ම ඉදිරියෙන් ඉන්නවා කියන දේ හැඟවීම අරමුණු කරගෙන යි. 4G තාක්ෂණය හඳුන්වාදීම සමග බොහෝ දෙනෙකුගේ මතය වුණේ මේ තාක්ෂණය සහ වේගය ප්‍රමාණවත් බව යි. කොහොම වුණත්, 5G තාක්ෂණය කරළියට ඒම සමග මේ මතය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වුණා. 

2019 අප්‍රේල් මාසයේ ලොව මුල් වරට දකුණු කොරියාවේ 5G තාක්ෂණය එරට ප්‍රධාන නගර 6න් 85%ක් පමණ ආවරණය කළා. එරට 5G බාගත කිරීමේ උපරිම වේගය තත්පරයට මෙගාබිට් 430ක් පමණ වුණා.

දකුණු ආසියාවේ මුල්වරට ශ්‍රී ලංකාව ද, 5G අත්හදා බැලීම් සහ සුළු ආවරණ කලාපයන් ලබන්නට සමත් වූ අතර 3.5-3.6GHz රේඩියෝ සංඥා පරාසය තුළ තත්පරයට ගිගාබිට් 1.4 – 1.5 පමණ ප්‍රමාණයක් ලැබිය හැකි බව මෙරට දුරකතන සමාගම් පෙන්වා දුන්නා. 

පැරණි පරම්පරා පිළිබඳ සැකවින් 

1G- පළමු පරම්පරාව

1980 වර්ෂයට ආසන්න කාලයේ භාවිතා වූ analog (ප්‍රතිසම) cellular systems මේ ලෙස හැඳින්වෙනවා. මේ තාක්ෂණය එකල භාවිතා වුණේ radio telephone systems වෙනුවෙන් වන අතර, 1G කියන්නේ සම්පූර්ණයෙන්ම voice call සඳහා පමණක් ම භාවිතා වූ තාක්ෂණයක්.  

2G සහ 2.5G- දෙවන පරම්පරාව  

1G තාක්ෂණයට වඩා, පරම්පරාවට වඩා හොඳ sound quality එකක් වගේම ආරක්ෂාව අතිනුත් ඉතාම ඉහළ වීම මේ පරම්පරාවේ විශේෂ ලක්ෂණයක්. මෙය එකල භාවිතා වූ පළමු digital cellular system එක බවට පත් වූ අතර, 2.5G යනු 2Gවලම වැඩි දියුණු කරන ලද සංස්කරණයක් ලෙස මෙය හඳුන්වනවා. මෙහි දී දත්ත හුවමාරු වේගය වේගය 144kbit/s සිට ඉහළට ගණන් ගැනෙනවා.

3G- තෙවන පරම්පරාව 

මේ පරම්පරාවේ දී Ip Data Networks භාවිතය සහ දත්ත හුවමාරු වේගය 384k bit/s තරම් වේගයක සිට ඉහළට පවත්වා ගන්නා පරම්පරාවක් වන අතර ම, මේ තාක්ෂණය අදටත් භාවිතයේ පවතින තාක්ෂණයක්.

4G- සිව්වන පරම්පරාව 

4G සන්නිවේදන ජාලයක දී, තත්පරයක දී මෙගාබිට් 100ක පමණ වේගයක් දක්වා වේගයක් පවත්වා ගත හැකි වන අතර LTE සහ WiMAX යනු මේ පරම්පරාවේ කොටස් ලෙස හඳුන්වන්න පුළුවන්. වර්තමානය වන විට බහුලව භාවිතා කරන තාක්ෂණික පරම්පරාව යි මේ. 

චීනය 6G තාක්ෂණය වෙත පරීක්ෂණ ආරම්භ කරයි- qz.com 

6G සිහිනයක් පමණ ද?

චීනයේ විද්‍යාව හා තාක්ෂණවේදය පිළිබඳව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය නොවැම්බර් 6 වෙනිදා සඳහන් කළේ, තමන් නිල වශයෙන් සන්නිවේදන තාක්ෂණයේ 6 වෙනි පරම්පරාව පිළිබඳව (6G) පරීක්ෂණ ආරම්භ කරන බව යි. මේ වෙනුවෙන් කණ්ඩායම් දෙකක් පත් කරන බව යි ඔවුන් සඳහන් කළේ. ඉන් එක කණ්ඩායමක් වෙත මේ තාක්ෂණයේ ප්‍රවර්ධනය සහ සංවර්ධනය පිළිබඳව වගකීම් පැවරෙනු ඇති. මේ කණ්ඩායම වෙත රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඇතුළත් වෙන අතර අනෙක් කණ්ඩායම වෙත විශ්වවිද්‍යාල 37කින් තෝරාගත් පිරිසක්, විවිධ ව්‍යවසායකයන්, පර්යේෂණ ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් ඇතුළත් වෙනවා. ඔවුන් විසින් මෙහි තාක්ෂණික පැත්ත පිළිබඳව උපදෙස් ලබාදීම සිදුකෙරෙනු ඇති.

4G තාක්ෂණය හඳුන්වාදීම සිදුවූයේ 2009 වසරේ දී වුණත්, මේ වෙද්දීත් එම තාක්ෂණය භාවිත නොවෙන රටවල් සහ ප්‍රදේශ ඕනා තරම් තිබෙන බව අප හොඳින්ම දන්නවා. 2018 අවසාන කාර්තුවත් 2019ත් අතර හඳුන්වාදුන් 5G තාක්ෂණයට යාන්තමින් ලෝකය හුරුවෙමින් පවතින සමයක, 6G පිළිබඳව කතාබහ කිරීම ම කොයිතරම් දුරට ප්‍රායෝගික ද යන්න ගැටළුවක්. කොහොම වුණත්, ආසන්න වශයෙන් වසර 10ක කාලයක් තුළ පරම්පරාවකින් තව පරම්පරාවක් වෙත මාරු වීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. 4G තාක්ෂණයට වඩා 10 ගුණයකින් වේගවත්ව දත්ත හුවමාරු කරන්න 5G තාක්ෂණයට හැකියාව තිබෙනවා. 6 වෙනි පරම්පරාවේ වේගය ගැන අනුමානයන් ඉදිරිපත් කිරීම පමණයි, දැනට අපට සිදුකළ හැක්කේ. 

6 වෙනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය ගැන නිල නිවේදනයක් නිකුත් කරමින්- most.gov.cn 

පසුගිය සැප්තැම්බර් මාසයේ Huawei ප්‍රධාන විධායක නිලධාරි Ren Zhengfei ප්‍රකාශයක් නිකුත් කරමින්  මේ නව පරම්පරාව ගැන තම සමාගම පර්යේෂණ ආරම්භ කරන බවත්, තවමත් ප්‍රාරම්භක අවදියේ 6G පර්යේෂණ පවතින බවත් ප්‍රකාශ කර තිබුණා. ඊට අමතරව මේ තාක්ෂණය මහජනතාව වෙත ලබාදීමට පෙර එසේ නොමැති නම්, වාණිජකරණය කිරීමට තවත් බොහෝ කලක් ගතවන බවත් දක්වා තිබුණා. කෙසේ වෙතත්, චීනයේ සහ හුවාවේ සමාගමේ මේ ප්‍රකාශයන් ඔස්සේ ඇමරිකාව ඇතුළු රටවල් පරදවා ඊළඟ පරම්පරාව වෙත යෑමට ඔවුන් දරන උත්සාහය ගැන සඳහන් කිරීම ම, තාක්ෂණික ලෝකයේ යුද්ධයකට අත වැනීමක් බව නම් කියන්නම ඕනේ. 

මේ වෙද්දීත් ඇමරිකාව ඇතුළු රටවල් වෙතින් නිල වශයෙන් නොවුණත් මේ අභියෝගය තමන් බාරගන්න බවට, සහ චීනයේ මේ උත්සාහය අසාර්ථක එකක් වනු ඇති බවටත් ප්‍රකාශ නිකුත් කොට තිබෙනවා. 

කිංග්ස්ටන් හි ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ පරිගණක පාසලේ මහාචාර්යවරයෙකු වන David Skillicorn ප්‍රකාශ කරන්නේ; මෙය චීනය හුදෙක් තමන්ගේ හැකියාවන් පිළිබඳව පාරම්බාන්න යොදාගත් ව්‍යාපාර සංකල්පයක් පමණක් බව යි. මෙය හුදෙක් සිහිනක් පමණක් බවත්, ඒ වෙත අවධානය යොමු කිරීමට තරම්වත් වැදගත්කමක් නොමැති බව යි ඔහු nationalpost.com වෙත අදහස් දක්වමින් සඳහන් කරන්නේ. 

ආරක්ෂාවට තර්ජන සහ අහිතකර කිරණ


තොරතුරු තාක්ෂණයේ දියුණුව සහ රැහැන් රහිත තාක්ෂණයන් කරළියට පැමිණීමත් සමග මේ කිරණවලින් අහිතකර බලපෑම් හටගන්නා බවට පළ වන මතයන් හිස ඔසවන්නට පටන් ගත්තා. රූපවාහිනී සහ රේඩියෝ කිරණ, WiFi පිළිබඳව මෙන්ම මීට පෙර තිබුණු 3G වැනි කිරණවල බලපෑම ගැන ලොව පුරා කතාබහ ඇති වුණා. ඒ විතරක් නෙමෙයි, චන්ද්‍රිකා මඟින් පෘථිවියට එවන සංඥාවලින්, නිවසේ මයික්‍රෝවේව් උඳුනෙන්, රූපවාහිනිය හෝ CRT මොනිටර් ඉදිරියේ සිටීමෙනුත් කිරණ බලපෑම් ඇති වන බවට කටකතා සහ භීතිකාවන් පැතිරෙනවා. මෙය ඉතාම දුරදිග යන්නට පටන් ගන්නේ විද්‍යුත්-චුම්බක අධිසංවේදීතාව (Electromagnetic hypersensitivity) නමින් මනඃකල්පිත රෝග තත්ත්වයක් ද කරළියට පැමිණීමත් සමග යි. මේ ගැන වැඩි විස්තර “5G විකිරණ ශරීරයට අහිතකර ද?” ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන්. පසුගිය දිනෙක චීනය සිදුකළ නිවේදනයෙන් පසුව ආයෙත් මෙම භිතිකාවන් ගැන කතාබහ ආරම්භ වෙලා තියෙනවා. කොහොම වුණත්, දැන් චීනයට ඔවුන්ගේ ප්‍රකාශය සැබෑවක් කරන්නට වසර 10ක කාලයක් ලැබෙනවා. අපි බලමු කුමන රට ද මුලින්ම 6 වෙනි පරම්පරාවේ තාක්ෂණයේ පෙරමුණ ගන්නෙ කියලා.

කවරය- Politicallore.com 

මූලාශ්‍රයයන්: 

Politicallore.com 

Nationalpost.com 

Cnbc.com 

Most.gov.cn 

Related Articles