Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකානු සර්වර්වලට චීනය ඔත්තු බලන චිප් ඇතුළු කරලා ද?

චීනය සහ ඇමෙරිකාව අතර කාලයක ඉඳන්ම සීතල යුද්ධයක් තිබුණත් දැන් දැන් එය වඩාත් උණුසුම් වෙන්න පටන් අරන්. වේගයෙන් දියුණු වන චීනය කාලයක සිට ලෝක බලවතා වී සිටින ඇමෙරිකාව තර්ජනයක් ලෙස දැක්කේ බොහෝ කාලයකට පෙර සිට වුණත්, නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය නිසා මේ එදිරිවාදීකම දැන් එළිපිට ම රඟ දැක්වෙන්න පටන් අරන්. සැපයුම් සහ නිෂ්පාදන දාම චීනයේ සිට යළිත් ඇමෙරිකාව වෙත ගෙන ඒමේ ඔහුගේ උත්සාහය නිසා දැන් මේ රටවල් අතර දැවැන්ත වෙළඳ යුද්ධයක් පවා හටගෙන තිබෙනවා.

චීනය සහ ඇමෙරිකාව අතර සීතල යුද්ධය උණුසුම් වෙන්න අරන් (rassd.com)

මේ තත්ත්වය තවත් උණුසුම් කරන දෙයක් ගැන පසුගිය දා වාර්තා වුණා. ඒ ඇමෙරිකානු සමාගම් වෙනුවෙන් චීනයේ නිෂ්පාදනය කෙරෙන සර්වර් විශාල ගණනක අමතර චිප් එකක් ඇති බව සොයාගැනීමත් එක්ක යි. අදාළ සර්වර්වල පිරිවිතරවලට අයත් නොවුණු මේ ඉතා කුඩා චිප් හරහා ඇපල්, ඇමේසන් ඇතුළු ප්‍රධාන ආයතනත්, ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවත් භාවිත කරන සර්වර් විශාල ගණනක් ගැන ඔත්තු බලන්න චීනය හැකියාව ලබාගෙන ඇති බව කියවෙනවා.

තනිකරම චීනයට ගිය භාණ්ඩ නිෂ්පාදනය

2000 තරම් මෑතක දී පවා ඉතාම නොදියුණු තත්ත්වයක තිබුණු චීනය, මෑත කාලයේ ඉතා වේගයෙන් දියුණු වෙමින් ලෝක වෙළඳාමේ ප්‍රධාන තැනක් දිනාගන්න සමත් වුණා. ඔවුන් ඊට භාවිත කළ ප්‍රධානතම සම්පත වුණේ චීනය සතු සුවිශාල ජනගහනය සහ භූමිය යි. බටහිර රටවල පුද්ගලයන් කිසිසේත් සේවය නොකරන තරම් අඩු මුදලකට ශ්‍රමය සැපයීමත්, ඉතා අඩු මුදලකට භූමිය, බලශක්තිය, සහ වෙනත් සම්පත් පිරිනැමීමත් හරහා ලොවපුරා ම ආයතන වෙනුවෙන් උපාංග නිෂ්පාදන කටයුතු තමන්ගේ රටට ගෙන්වා ගන්න චීනය සමත් වුණා. අද වන විට ලෝකයේ බොහෝ ආයතන වෙනුවෙන් ඒ උපාංග නිපදවීම චීන කර්මාන්තශාලා තුළ යි සිදුවෙන්නේ.

අද බොහෝ තාක්ෂණික උපාංග තනිකරම චීන කර්මාන්තශාලාවල නිපදවෙනවා (financialpost.com)

කොහොම නමුත් චීනය මේ කටයුත්තේ දී සම්පූර්ණ සද්භාවයෙන් කටයුතු කරනවායැ යි කියන්න බැහැ. අදාළ ආයතනවල නිෂ්පාදනවල සැකැස්ම දැනගෙන ඒවායේ අඩු මිල, බාල පිටපත් නිෂ්පාදනය චීනයේ බහුල ව සිදුකෙරෙනවා. “චයිනීස්” කියන වචනය, කොපි කළ නිෂ්පාදනයක් යන්නට ම ආදේශකයක් වුණේ මේ නිසා යි. බුද්ධිමය දේපළ අයිතිය කිසිසේත් නොතකමින් මේ විදිහට තාක්ෂණයන් සොරකම් කිරීම ගැන බටහිර රටවල් කාලයක සිට ම සිටියේ නොසතුටෙන්. චීනය තුළ සියල්ල නිෂ්පාදනයෙන් ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් ඇති බව ඔවුන් හඳුනාගෙන සිටියත් ට්‍රම්ප්ට පෙර එයට ඍජුව අභියෝග කරන්න කිසිවෙක් පෙළඹුණේ නැහැ.

වීඩියෝ බැලීමේ අවශ්‍යතාව නිසා බිහිවුණු විශේෂ සර්වර්

2006 දී ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ විසූ ඉංජිනේරුවන් තිදෙනෙකුට අපූරු අදහසක් පහළ වුණා. ඒ තමයි ඒ වන විටත් වේගයෙන් වර්ධනය වෙමින් තිබූ ෆෝන්වලින් වීඩියෝ බැලීම වඩා පහසු කරවන ක්‍රමයක් නිර්මාණය කරන එක. රූපවාහිනී හෝ CD/DVD සඳහා සකසා තිබුණු වීඩියෝ දුරකථනවලින් බලන්න පහසු වෙන විදිහට ඒවායේ ප්‍රමාණය, Bit rate එක, ගුණාත්මක බව වගේ දේවල් වෙනස් කරන එක වෙනුවෙන් විශේෂ පරිගණක සර්වර් නිෂ්පාදනයට ඔවුන් පෙළඹෙන්නේ ඒ අනුව යි. ඔවුන් මේ වෙනුවෙන් Elemental Technologies නමින් සමාගමක් පිහිටුවා ගත්තා.

tvtechnology.com

තනි වීඩියෝවක් භාවිත කරමින් විවිධ තිර විභේදනයන්ගෙන් සහ ගුණාත්මක භාවයන්ගෙන් යුතු වීඩියෝ ගණනාවක් එකවර පාරිභෝගිකයන්ට ලබාදෙන්න මේවායින් ඉතා පහසු වුණා. වීඩියෝ සංස්කරණය කරන්න යන කාලය විශාල වශයෙන් අඩු වුණා. විශාල ලාභ තබාගෙන ඩොලර් 100,000ක් තරම් ඉහළ මිලකට මේ සර්වර් විවිධ ආයතනවලට විකුණන්න ඔවුන් කටයුතු කළා. මේවායේ තිබුණු වාසිදායක බව නිසා ම ඇමෙරිකාවේ CIA ඇතුළු රාජ්‍ය ඒජන්සි ගණනාවකත් අදාළ සර්වර් භාවිත වෙන්න වැඩි කලක් ගත වුණේ නැහැ.

ඔත්තු බලන චිප් සර්වර්වලට ඇතුළු වූ හැටි

මේ සර්වර් නිෂ්පාදනය ඔවුන් Supermicro නමැති ආයතනයට පවරා තිබුණා. ඔවුන් සිය කොන්ත්‍රාත් නිෂ්පාදන කටයුතු සියල්ලම වගේ චීන කර්මාන්තාශාලා තුළ යි සිදුකළේ. අද වන විටත් සර්වර්වල මව් පුවරු නිෂ්පාදනයේ මුළු ලෝකයෙන් ම ඉදිරියෙන්ම ඉන්නේ Supermicro ආයතනය යි. ලොවපුරා විශ්ව විද්‍යාල, විවිධ යුධ උපාංග, බැංකු, වෙබ් සේවා, cloud සේවා වැනි නානාප්‍රකාර අවශ්‍යතා සඳහා භාවිත වන සර්වර් පරිගණක සැලකිය යුතු ප්‍රමාණයක මව් පුවරු නිෂ්පාදනය කරන්නේ ඔවුන් විසින්.

සර්වර් මව් පුවරු වැඩියෙන්ම නිපදවන්නේ Supermicro සමාගමයි (aspsys.com)

මේ ඒකාධිකාරියෙන් ප්‍රයෝජන ගන්න හිතාගෙන චීන ආරක්ෂක අංශ අදාළ කර්මාන්තශාලාවලටත් සිය ඒජන්තකරුවන් යොදවන්නට ඇති බව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒ වන විටත් තම රටේ බිලියන ගණනින් නිපදවෙන මේ මව් පුවරුවල ක්‍රියාකාරීත්වය ගැන හොඳ දැනුමක් ඔවුන් ලබාගෙන තිබෙන්නට ඇති. ඒ ඇසුරෙන් චීන ආරක්ෂක අංශ මේ මව් පුවරුවලට අමතර චිප් එකක් ඇතුළත් කර තිබෙනවා.

2014 දී Supermicro මව් පුවරුවලට ඔත්තු බලන චිප් එකතු කිරීමේ උත්සාහයක් ගැන ඇමෙරිකානු ඔත්තු සේවාවලටත් ඉව වැටී තිබුණා. නමුත් ඒ ගැන සාක්ෂ්‍ය නැති ව හෙළිදරව් කිරීම විශාල ඇමෙරිකානු ආයතනයක් වූ Supermicro බංකොලොත් කිරීමට ඉඩ තිබූ නිසා ඔවුන් එකවර පියවරක් ගත්තේ නැහැ.

චිප් එකේ ක්‍රියාකාරීත්වය

ඔත්තු බලන චිප් එකේ ප්‍රමාණය (eteknix.com)

ප්‍රමාණයෙන් හාල් ඇටයක් තරම් කුඩා මේ චිප් එක සොයාගැනීම ඉතා ම අපහසු වන විදිහට සඟවා තිබෙනවා. පෙනුමෙන් චිප් එකක් නොව දත්ත සංඥා යාමනයට යොදා ගන්නා coupler එකක් පෙනෙන ලෙස යි මෙය සකස් කර තිබුණේ. මව් පුවරුවක මෙවැනි උපාංග බහුල ව පවතින මෙය විශේෂයෙන්ම පරීක්ෂා නොකළොත් සොයාගැනීමට කිසිදු ඉඩක් නැහැ.

මේ චිප් එක හරහා අදාළ මව් පුවරුවේ සිදුවන සියලු දේ ගැන දැනගන්න චීන ආරක්ෂක අංශවලට හොඳ මාර්ගයක් සැකසී තිබෙනවා. සර්වර් එකේ සිදුවන සියලුම දේවල් ගැන ඔත්තු බලන්නත්, දෘඩාංග මට්ටමෙන් ප්‍රවේශය තිබෙන නිසා විවිධ ආරක්ෂක ආවරණ මඟහැර යන්නත්, අවශ්‍ය නම් සර්වර් එකේ පාලනය සියතට ගන්නත් හැකියාව තිබෙන බව යි කියවෙන්නේ. මීට අමතර ව අදාළ මව් පුවරුව අවශ්‍ය ලෙස ක්‍රමලේඛගත කරන්න පුළුවන් පරිගණක ක්‍රමලේඛ (codes) හොර රහසේ ම ගෙන්වා ගන්නත් ඒවාට හැකියාව තිබෙනවා. සර්වර් පරිගණක නිරන්තරයෙන් ම අන්තර්ජාලයට සම්බන්ධිත නිසා මෙයට කිසිදු බාධාවක් නැහැ.

බලපෑම සහ විවිධ අංශවල ප්‍රතිචාරය

ඇමේසන් වෙබ් සේවා සියල්ලම පාහේ ක්‍රියා කරන්නේ මෙවන් සර්වර්වල යි (nationmultimedia.com)

මේ පුවත හෙළිදරව් වීමත් එක්ක ම ඇපල්, ඇමේසන් ඇතුළු Supermicro සර්වර් භාවිත කරන විශාල ඇමෙරිකානු සමාගම් ගණනාවක කොටස් මිල වේගයෙන් කඩා වැටුණේ විශාල පාඩුවක් ඇති කරමින්. මුල්වරට Bloomberg සඟරාවේ පළ වූ වාර්තාවක් මඟින් හෙළිදරව් වූ මෙය අදාළ ආයතන බොහොමයක් විසින් ප්‍රතික්ෂේප කර තිබුණත් සැලකිය යුතු පිරිසකගේ අදහස වන්නේ විශාල ආයතන තම පැවැත්ම වෙනුවෙන් සත්‍යය හෙළිදරව් නොකරන බව යි. හොර රහසේ අදාළ සර්වර් මාරු කිරීම ඔවුන් දැනටමත් ආරම්භ කර ඇති බව කියවෙනවා.

මේ ගැන අදහස් දක්වමින් චීනය ලබාදුන්නේ තරමක් අමුතු පිළිතුරක්. ඍජුව ම එය ප්‍රතික්ෂේප කිරීම වෙනුවට “චීනය සයිබර් ආරක්ෂාව ගැන බරපතල ව සිතන බවත්, විවිධ පාර්ශ්ව නිකරුණේ චෝදනා එල්ල නොකර කාටත් ප්‍රයෝජනවත් දේ ගැන සංවාදයේ නිරත විය යුතු බවත්” තමයි චීන විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනයේ දැක්වෙන්නේ. තමන් සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිරන්තරයෙන් ක්‍රියාකරන බවත් චීනය කියා සිටිනවා.

techspot.com

දැන් මෙවන් චිප් හමු වූ බව ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ සිද්ධිය තහවුරු කරන වාර්තා ගණනාවක් ම පවතින නිසා ඇත්ත පවසන්නේ කවරෙක් ද කියා තව කලක් යන තුරු හඳුනාගන්න බැරි වේවි. කෙසේ නමුත් බොහෝ ආරක්ෂක විශේෂඥයන්ගේ අදහස වන්නේ මෙවැන්නක් කිරීමේ හැකියාව අනිවාර්යයෙන් ම පවතින නිසා එයට එරෙහිව හැකි තරම් ඉක්මනින් පියවර ගැනීම අතිශයින්ම වැදගත් බව යි.

කවරයේ රූපය : ucsc.edu

 

Related Articles