Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝපයේ ඉලෙක්ට්‍රික් වාහනවලට කෘත්‍රීම ශබ්ද එක් කෙරේ

ඉලෙක්ට්‍රික් වාහනවල ඇති නිෂ්ශබ්ද බව නිසාම ඉන් සිදුවිය හැකි මාර්ග අනතුරු ප්‍රමාණයෙහි වැඩි බව සලකමින් ඒවාට කෘත්‍රීම ශබ්ද එක් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2021 ජුලි මාසය වන විට සියළුම වාහනවල පැ.කි.මී. 20ට අඩුවෙන් සහ පසුපසට ගමන් කිරීමේ දී ශබ්දයක් නිකුත්වීම සිදු කෙරෙනවා.

තනි පුද්ගල ඉලෙක්ට්‍රික් රථයක් (thetimes.co.uk)

යුරෝපය සඳහා අලුතින් සකසන සියළුම ඉලෙක්ට්‍රික් වාහනවලට ‘ධ්වනික සංඥා පද්ධතිය’ හෙවත් AVAS (Acoustic Vehicle Alert System) නමින් නව කොටසක් එක් කිරීමට නියාමනයන් බලධාරීන් කටයුතු කරනු ලැබුවා. අභ්‍යන්තර දහන එන්ජිමක් නොමැති නිසා මෙම වාහනවල ඉන්ධන දහනය කරන භෞතික කොටස් නොමැති බැවින් කිසිදු ශබ්දයක් නැගෙන්නේ නැහැ. එවිට පදිකයන්ට එයින් සිදුවිය හැකි අනතුරු ප්‍රමාණය බහුල යි. අන්ධ සහ පෙනීමේ දුර්වලතා ඇති පදිකයන් පමණක් නොව, ස්මාර්ට් දුරකතනවලට මුහුණ යොමාගත් අය ද දැන් මහමඟට එක්ව සිටින නිසා ඉලෙක්ට්‍රික් වාහනයක් අසල ඇති බව දැනගැනීමට ඇති එකම ක්‍රමය ඉන් ශබ්දයක් නැගීමම පමණ යි.

Guide Dogs නමැති සංවිධානය මේ පියවර සඳහා මංපෙත් සලසනු ලැබුවා. දෘෂ්‍යාබාධිතයන් වෙත සහාය වීම සඳහා සුනඛයන් පුහුණු කොට ලබා දීම වැනි සේවා රැසක් සපයන මෙම පුණ්‍යායතනය පර්යේෂණ ප්‍රතිඵල සමග 2017 නොවැම්බරයේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ලිඛිතව දන්වා සිටියේ ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන නිසා පදිකයකුට තුවාල විය හැකි මට්ටමේ අනතුරු සිදුවිය හැකි ප්‍රමාණය 40%ක් තරම් වන බව යි. ඒ අනුව, ඔවුන් ඉල්ලා සිටියේ සෑම අවස්ථාවක දීම (ඉහළ වේගයන්හි පවා) එම වාහනවලින් ශබ්දයක් නිකුත් කළ යුතු බව යි.

අඩු වේගයක දී ශබ්ද නිකුත් කරනු ලබයි (autoevolution.com)

අඩු වේගයෙන් වාහනයක් ගමන් කිරීමෙහි අරුත එම වාහනය ගමන් කිරීමට අපහසු පෙදෙසක හෙවත් පදිකයින් ගැවසෙන ස්ථානයක ධාවනය වන බව යි. සෑම විටම හඬ නැගුවහොත් ශබ්ද දූෂණයක් ද සිදුවන නිසා ‘පරිසර හිතකාමී වාහන’ යන කීර්ති නාමය පවත්වා ගන්නට නොහැකි වෙනවා. මේ නිසා යුරෝපානු සංගමය 20 kmh ‍උපරිම වේග සීමාවක් දක්වා ඉලෙක්ට්‍රික් වාහන හඬ නැගිය යුතු බවට රෙගුලාසි පැණවූවා. එහි දැක්වෙන ආකාරයට AVAS මඟින් ස්වයංක්‍රීයව වාහනය ධාවනයේ ඇති බව හැඟවීමට අඛණ්ඩ නාදයක් නිකුත් කළ යුතු වෙනවා. නිකුත් කරන ශබ්දය එම වර්ගයේම අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත වාහනයකින් නගන හඬට සමාන විය යුතු බවට එහි දක්වා ඇති අතර, එය එන්ජිමක හඬක්ම විය යුතු නැහැ (BBCය නිකුත් කරන ලද සංඥා හඬපටයක් මෙතැනින් ද Jaguar කාර් රථයක වේගයට අනුරූපි හඬ මෙතැනින් ද සවන් දිය හැකියි).

මූලික අරමුණ දෘශ්‍යාබාධිතයන්ට සහයෝගය ලබාදීම යි (governmenteuropa.eu)

නිකුත් කරන හඬ වාහනයේ වේගයට අනුරූප විය යුතු අතර විවිධ නිෂ්පාදකයන්‍ තමන්ගේ වාහන වෙත යොදන ශබ්ද ආකෘතිය තීරණය කරනු ඇති. එනිසා 2021 දී යුරෝපීය දෘෂ්‍යාබාධිතයන්ට හඬ අනුව වාහන වර්ගය කියන්නටත් හැකි වේවි.

මෙම හඬ අභ්‍යන්තර දහන එන්ජින් රථවලට වඩා වැඩි නොවිය යුතු බවත්, අනවශ්‍ය අවස්ථාවල දී අක්‍රීය කිරීමට ස්විචයක් යොදන ලෙසත් රෙගුලාසිවල දක්වා ඇති නිසා රියදුරන්ට පහසුවෙන් එබිය හැකි නව ස්විචයක් ද ලැබීමට නියමිත යි. වාහනය පණගන්වන සෑම අවස්ථාවකදීම AVAS නලා හඬ ස්වයංක්‍රීයව ඇරඹෙන අතර, රියදුරාට අවශ්‍ය නම් නලාව නාද වීම අක්‍රීය කරන්නට පුළුවන්.

ඇමරිකාව ද මේ ආකාරයටම පැ.කි.මී. 30ක් වනතුරු හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන දෙවර්ගයම 2020 සැප්තැම්බරයෙන් පසු කෘත්‍රීම හඬක් නිකුත් කිරීම අනිවාර්ය බවට මීට පෙර රෙගුලාසි පනවනු ලැබුවා. යුරෝපය 2040 වන විට සම්පූර්ණයෙන්ම නව පෙට්‍රල් සහ ඩීසල් වාහන විකිණීම තහනම් කිරීමට අදහස් කරනවා.

කවරය: mentor.com

Related Articles