මේ සතිය පුරාවටම බොහෝ දෙනෙක් කතා බහ කරන මාතෘකා අතරට නැවත වරක් ප්‍රසිද්ධියට පත්වන faceapp ඉහළම තැනක් ගන්නවා. හැබැයි මේ faceapp හරහා ඔබේ දත්ත ලබා ගත හැකි බවට මතයන් පවතින බව ඔබ දන්නවා ද? ඇත්තටම මේ faceapp නිසාවෙන් ඔබේ පෞද්ගලික දත්ත අන්සතු වෙනවා ද? මේ පිළිබඳව යි මේ ලිපිය දිග හැරෙන්නේ.

මොකද්ද මේ faceapp?

faceapp කියන්නේ 2017 වසරේ රුසියානු Wireless Lab නම් සමාගමක මෘදුකාංග නිර්මාපකයින් පිරිසක් එක්ව නිර්මාණය කරනා ලද ජංගම දුරකථන යෙදුමක් (app එකක්). මේ යෙදුම හරහා සිදු වන්නේ ඔබේ රුව සහිත ඡායරුපයකට යම් ආකාරයක filters එකතු කිරීම මඟින් බාහිර පෙනුම වෙනස් කර පෙන්වීමක්. AI  එකක් සහිත Alogrytham එකක් මඟින් මෙය ක්‍රියාත්මක වෙනවා. ඔබේ රුව සහිත ඡායාරුපය ඔවුන්ගේ server එකක් වෙත upload කිරීමෙන් අනතුරුව අදාළ Alogrytham එක මඟින් ඔබ නියම කළ filters එකතු වීම සිදු වෙනවා. 

මෙය 2017 වසරේ ජනප්‍රියත්වයට පත් වෙන්නට ඇරඹි කාලයේම මෙයට යම් යම් ආකාරයේ චෝදනාවන් විවිධ පිරිස් මඟින් එල්ල වුණා. උදාහරණයක් විදිහට මෙහි භාවිතා කරන යම් යම් filters මඟින් කළු ජාතිකයන් ගේ හමේ පැහැය වෙනස් කරමින් ඔවුන්ට අගෞරව සිදු කරන බවට පරිශීලකයන් වෙතින් මැසිවිලි එල්ල වුණා. කොහොම වුණත් පසුගිය දින කිහිපය තුළ මේ faceapp හදිසියේම නැවතත් කරලියට පැමිණීම සහ ලෝකයේ අතිශය ජනප්‍රිය සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ගණනාවක් තමන්ගේ සමාජ ජාල ගිණුම් වෙත මේ යෙදුම භාවිතා කරමින් ඡායාරූප එකතු කිරීම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුනා. ඒ වගේම මෙහි තිබිය හැකි පෞද්ගලික දත්ත අන්සතු වීමේ හැකියාව පිළිබඳත් කතා බහක් ගොඩ නැගෙන්න මේ හදිසි රැල්ල තෝතැන්නක් බවට පත්වුනා.

හදිසියේම නව රැල්ලක් 

“FaceApp: Is The Russian Face-Aging App A Danger To Your Privacy?” යන සිරස්තලය සමගින් forbes වෙබ් අඩවිය පල කළ ලිපිය මේ කතා බහ යම් ආකාරයක සමාජ කතා බහක් ගොඩ නගන්නට හේතු වුණා. ඒ වගේම මේ පිළිබඳව theverge.com වෙබ් අඩවියට ඔවුන් ලබා දෙන ලද ප්‍රකාශයකට අනුව ඔවුන් තමන්ගේ servers වෙත upload කරන images ටික කලකින් ඉවත් කෙරෙනවා. මේ පිළිබඳව Guardian Firewallහි CEO සහ iOS researcher කෙනෙක් වන විල් ස්ට්‍රෆැක් twitter සටහනක් තබමින් කියා සිටියේ, තමන් traffic analyzer එකක් භාවිතා කරමින් මෙහි සිදු වන ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කළ බවත්, එහි අසාමාන්‍ය දත්ත භාවිතයක් තමා නොදුටු බවත්. කෙසේ වෙතත් මේ app එක හරහා අප තෝරාදෙන image එක පමණක් ඔවුන්ගේ server වෙත upload වීම පිළිබඳව වුවත් අප්‍රසාදය දක්වන්නන් සිටිය හැකි බව ඔහු තව දුරටත් සඳහන් කර තිබුනා. techcrunch.com වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණේ පරිශීලක ඉල්ලීම් පැමිණියහොත් ඔවුන් සතුව තාවකාලිකව ගබඩා කර ගන්නා cashe image පවා මකා දැමීමට ඔවුන් සුදානම් බව යි. ඔබටත් අවශ්‍ය නම් මේ පියවර මඟින් request කිරීමට හැකියාව තිබෙනවා. 

Will Strafach twitter සටහන 

Setting>Support>Report a bug වෙත පිවිස “privacy” යටතේ ඉල්ලීමක් සිදු කිරීමට ඔබට හැකියාව තිබෙනවා. පරිශීලකයන්ගේ ඡායාරූප රුසියාවට ගෙන යන බව පැවසුව ද මෙම සේවාව සඳහා භාවිතා කරන්නේ AWS සහ Google Cloud Platform සේවාවන්වල servers බැවින්, R&D team එක රුසියාවේ සිටිය ද මෙම ඡායාරූප ගබඩා කිරීම සිදුවන්නේ රුසියාවෙන් පිටත, එනම් Amazon සහ Google සමාගම්වල data centersවල බව එහි හිමිකරු වන Yaroslav Goncharov TechCrunch වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.

ඇත්තටම අප බය විය යුතු ද?

සාමාන්‍යයෙන් මිලියන 150කට වඩා පිරිසක් භාවිතා කරන මේ දුරකථන යෙදුම Android Play store සහ Apple App store දෙකේම පවතින app එකක්. සාමාන්‍යයෙන් මේ වගේ යෙදුමකින් එවැනි දත්ත සොරාගැනිමක් සිදු වෙනවා නම් මේ වෙන තෙක් අදාල යෙදුම playstore හෝ app storeහි රැඳී තිබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේවා වෙත යම් යෙදුමක් එකතු කරද්දී යම් ආකාරයක review කිරීමක් සිදු කරනවා. එනිසාවෙන් එවැනි යමක් සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැති තරම්. විශේෂයෙන්ම සම්පූර්ණ ගැලරි එකම අප්ලෝඩ් කිරීමට බොහෝ විට අවසර තිබෙන්නේ cloud සේවාවන් සඳහා පමණ යි. Prisma වැනි image overlay කිරීම් සිදු කරන application වෙත ඒ අවස්ථාවේ load කරවන image එකෙහි cache image එකක් පමණක් upload වීම සිදු වෙනවා. Faceapp වෙතත් Neural Network එකක් හරහා භාවිතා වෙන්නේ එවැනිම තාක්ෂණයක්. මෙහිදී upload වෙන cache image එක අනුව නිර්මාණය වෙන overlay එක ඇප් එක වෙත පැමිණ එතන සිදු වන process එකක් මඟින් තමයි අවසාන ඡායාරුපය නිර්මාණය වෙන්නේ. එනිසාවෙන් අනිසි බියක් ඇති කර ගතයුතු නැහැ. 

අන්තර්ජාලය තුළ Privacy කියන්නේ මිත්‍යාවක්. නොමිලයේ ලබා දෙන facebook සමාජ ජාලය වෙතත් පරිශීලක දත්ත අනිසි භාවිතය පිළිබඳව චෝදනා පල වුණා ඔබට මතක ඇති. ඇතැමුන් මේ චෝදනාව හඳුන්වන්නේ මේ යෙදුම රුසියානු එකක් නිසාවෙන් ඇමරිකානුවන් ගෙතූ අසත්‍ය ප්‍රචාරයක් ලෙස යි. 

එනිසා යම් ලියවිල්ලක් දුටු පමණින් කලබලයට පත් නොවී, ඒ පිළිබඳව නිර්පාක්ෂික සොයා බැලීමක් සිදු කර, එවැනි යෙදුම් භාවිතා කරනවා ද නැද්ද යන්න තීරණය කිරීම තමයි නුවණට හුරු.

මූලාශ්‍රයයන්:

Theverge.com 

Techcrunch.com 

Forbes.com 

Youtube.com 

Technews.lk 

Gq.com