Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ වෛරී ප්‍රකාශන නැවැත්වීමට Facebook පියවර ගනී

RightsCon නමැති ඩිජි‍ටල් යුගයේ මානව හිමිකම් පිළිබඳව වූ සමුළුවේ දී කතාබහට ලක්වුණු මාතෘකාවක් නීතීඥයන්, ශාස්ත්‍රඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් ෆේස්බුක්හි අවධානයට ‍යොමු කොට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් ඔවුන් ෆේස්බුක් අවභාවිතයන් සොයා බැලීම සඳහා සක්‍රීයව ක්‍රියා කරන විශේෂ කණ්ඩායමක් පත් කොට ඇති අතර, අසත්‍ය ප්‍රකාශයන් පැතිර යාමට වැට බැඳීමට තම නිෂ්පාදනයන්හි වෙනස්කම් කිරීමට ද තීරණය කර තිබෙනවා.

මිතුරන් සමග යහපත් අදහස් බෙදාගනිමින් අනෝන්‍ය සබඳතා වර්ධනය වෙනුවෙන් සැකසුණු ෆේක්බුක් සේවාව බොහෝ රටවල “අන්තර්ජාලය” බවට පත්ව තිබෙනවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාරය වැනි දකුණු ආසියානු රටවල මේ තත්ත්වය දරුණුව පවතිනවා. LIRNEasia සමාගම පෙන්වා දෙන පරිදි බොහෝ දෙනෙක් තමන් අන්තර්ජාලය පාවිච්චි කරන බව නොදන්නා අතර ඔවුන් “ෆේස්බුක්” පාවිච්චි කරන බව සමීක්ෂණවල දී පවසා තිබෙනවා. 

දකුණු ආසියාතිකයන් තාක්ෂණික උපාංග අතට ගන්නේ ෆේස්බුක් යන්නම බලාගෙන යි. (wikihow.com)

තාක්ෂණය පිළිබඳ අඩු දැනුම නිසාම එහි බරපතළ බව නොදැන සිතැඟි පරිදි විවිධ ප්‍රකාශ ප්‍රසිද්ධ කරමින් ජාතීන් අතර, ආගම් අතර ගැටුම් ඇති කරගැනීම් වසර ගණනාවක සිටම ලංකාවේ අපට අත්දකින්නට සිදු වුණා. අප්‍රේල් 21 වනදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව කිහිප වතාවක්ම සමාජ ජාල අවහිර කෙරුණු අතර Facebook මෙන්ම Whatsapp හරහා නානාප්‍රකාර අසත්‍ය, වෛරී සහ ජාතිවාදී ප්‍රකාශ පැතිර ගියා. ඒ වගේම, මියන්මාරයේත් රෝහින්යා නමැති සුළු ජාතිය වෙත විවිධ වෛර ප්‍රකාශන ෆේස්බුක් හරහා පැතිරුණා. මෙම තත්ත්වයන් නිසාම ෆේස්බුක් හි ඍජු අවධානය අපේ රටටත්, මියන්මාරය වෙතත් යොමුව ඇති බව ෆේස්බුක් සමාගම තම Newsroom නමැති ප්‍රවෘත්ති අඩවියේ සඳහන් කරනවා.

සියළු දේ අන්තර්ගත බව, ප්‍රවීණතාව සහ විනිවිද භාවය යන තුන්කොන් දැක්මක් සහිතව ගොඩනගනු ලබන ෆේස්බුක් ප්‍රතිපත්ති මාලාව ෆේස්බුක් වෙබ් අඩවිය තුළ බෙදාහරින ඡායාරූප, වීඩියෝ සහ පෝස්ට් ආදිය සඳහා පාලනයක් තම බිලියන 2.7ක පරිශීලක ප්‍රමාණයක් වෙනුවෙන් ගෙන ඒම සිදු කරනු ලබනවා. පසුගිය වසරේ ලෙබනනය, කැමරූන්, නයිජීරියාව, මියන්මාරය, හා ශ්‍රී ලංකාව වෙත යමින් ඔවුන් අප සමාජය ෆේස්බුක් භාවිතා කරන ආකාරය සහ බෙදීම් ඇති කරවන පෝස්ට්වල ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබුවා. එම දැනුම සමග ඔවුන් දැන් ප්‍රධාන කරුණු තුනක් වෙත අවධානය යොමු කරනවා.

  1. ප්‍රජා සම්මතයන් උල්ලංඝණය කරන ගිණුම් සහ පෝස්ට් ඉවත් කිරීම
  2. ජනතාව කුපිත කරවන අසත්‍ය ප්‍රකාශ පැතිරයාම පාලනය
  3. ජනතාව වෙත තාක්ෂණය පිළිබඳ දැනුම බෙදාලීම

මෙහි එන ප්‍රජා සම්මතයන් (Community Standards) වශයෙන් ආරක්ෂාව, අදහස් ප්‍රකාශ කිරීම සහ සාධාරණත්වය අරුත් ගැන්වෙනවා. සැමට නිදහසේ, සාමකාමීව අදහස් හුවමාරු කර ගත හැකි වටපිටාවක් ගොඩනැගීම මෙම සම්මතයන් හරහා සිදු වෙනවා.

ආරක්ෂාව, අදහස් ප්‍රකාශනය හා සාධාරණත්වය පදනම් කරගත් ප්‍රජා සම්මතයන් (facebook.com)

අයුතු ප්‍රකාශයන් හඳුනාගැනීමට ෆේස්බුක් සතු කෘත්‍රීම බුද්ධිය වෙත දැන් අරාබි, බර්මානු, ටැගලොග්, වියට්නාම, බෙංගාලි මෙන්ම සිංහල භාෂාව ද කවමින් පවතිනවා. එමඟින් කිසියම් වෛරී රැල්ලක් ඇතිවන්නටත් පෙර ඒ බව අවබෝධයෙන් සිටීමේ හැකියාව ස්වයංක්‍රීය පද්ධතිය වෙත ලැබෙන අතර, එමඟින් එවන් රැල්ලක් ඇතිවන අවස්ථාවේ දීම එහි බලසුන් කරලන්නට අවස්ථාව ලැබෙනවා. සමස්ත ලෝකය තුළ මෙම ක්‍රියාවලිය 2018 තෙවන කාර්තුවේ දී 58.8%කුත්, 2019 මුල් කාර්තුව වන විට 65.5%ක සාර්ථකත්වයකුත් ලබා තිබෙනවා.

මෙම කෘත්‍රීම බුද්ධි පුහුණු කිරීම් සඳහා ඔවුන්ට විශාල වශයෙන් ඉහළ ගුණාත්මක බවකින් යුත් ප්‍රාදේශීයව ගැලපෙන උදාහරණයන් (ලිපි ගොනු ආදිය) අවශ්‍ය වෙනවා. ඒවා යොදාගෙන AI පුහුණු කළ විට ඊට පටහැනිව, වෛර ප්‍රකාශනයක් ෆේස්බුක් හරහා සංසරණය ආරම්භවත්ම එය හඳුනාගන්නට ස්වයංක්‍රීයවම අවස්ථාව ලැබෙනවා. එහෙත් ඊට කල් ගත වෙනවා. එතෙක් සක්‍රීයව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ෆේස්බුක් සමාගම සිවිල් සමාජ සංවිධානයන්හි උපකාර ලබා ගන්නවා. 

දාම පණිවිඩයක අනුරුවක් (තඹරු විජේසේකර / Roar)

ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම ගැටළුවක් වශයෙන් ‍ඔවුන් හඳුනාගෙන ඇත්තේ දාම-පණිවුඩ (Chain messages) යැවීමයි. “මේ මැසේජ් එක කියවලා තවත් 10 දෙනෙක්ට යවන්න” කියලා ඔබටත් එවන් පණිවුඩ ලැබී ඇති. මෙසේ මැසේජ් හරහා පැතිරෙන වෛරී ප්‍රකාශන ප්‍රමාණය ලංකාව තුළ වැඩි නිසා එක් පණිවුඩයක් Messenger හරහා Forward කළ හැකි වාර ගණන අපේ රටට සීමා කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. මීට පෙර එම වාරණය WhatsApp සඳහා ද ඔවුන් පැනෙව්වා.

Forward කිරීම සඳහා සීමා පැනවේ (newsroom.fb.com) 

එසේම මියන්මාරයේ ෆේස්බුක් ප්‍රජා සම්මතයන් උල්ලංඝණය කරමින් වෛර ප්‍රකාශ ‍නිකුත් කරන්නන්ගේ රටාව හඳුනාගෙන ඔවුන්ගේ පෝස්ට් අනෙක් අයට පෙන්වීම (Reach ලබා දීම) සීමා කිරීමට කටයුතු කරනවා. මෙය ‍අනෙකුත් රටවලට ද යොදා ගන්නට ඔවුන් බලාපොරොත්තු වන අතර ප්‍රචණ්ඩකාරීත්වය උසිගන්වන භයානක පුද්ගලයන් සහ ආයතන හඳුනාගනිමින් ඔවුන්ට වැට බැඳීමට කටයුතු කරනු ඇති.

ඡායාරූපවල සහ වීඩියෝවල අන්තර්ගත වන වෛරී/ප්‍රචණ්ඩකාරී ප්‍රකාශනයන් හඳුනාගැනීමට කෘත්‍රීම බුද්ධිමය සහාය ලබා ගැනෙන අතර ඒවා පැතිර යාම සීමා කිරීමේ සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම දක්වා ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා.

අන්තරායන් දැනුම් දීමට හැකි ෆේස්බුක් Safety Check සේවාව (newsweek.com)

අන්තර්ජාලය, තාක්ෂණයේ සහ භාවිතය සහ ෆේස්බුක් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් දැනටමත් මියන්මාරයේ ක්‍රියාත්මක කර තිබෙනවා. Internet One-on-One (1O1) ලෙස හඳුන්වන මෙම වැඩසටහන් මගින් මාස තුනක දී 500,000 දෙනෙක් වෙත තනි තනිව අන්තර්ජාලය පිළිබඳව දැනුම ලබාදීම සිදු කරනු ලබනවා. අන්තර්ජාලයේ වාසි සහ අන්තර්ජාලයේ ආරක්ෂිතව හැසිරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව වීඩියෝ යොදා ගනිමින් මෙම පුහුණු සැසි පැවැත්වෙනවා.

“ශ්‍රී ලංකාවේ භයංකර ත්‍රස්ත ප්‍රහාරයන් සිදුවූ අවස්ථාවේ මිලියන ¼ ඉක්මවූ ජනතාවක් ෆේස්බුක් Safety Check විශේෂාංගය භාවිතා කරමින් තමා ආරක්ෂිත බව තම ආදරණීයයන්ට දැන්වීම සිදු කළා. එසේම ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් අපේ Crisis Response ‍විශේෂාංග යොදා ගනිමින් තමන්ගේ උපකාර පිරිනැමීමට කටයුතු කර තිබුණා. අපේ‍ සේවාව මෙන්න මේ වගේ යහ භාවිතයන්ට යොදාගැනීම දැකීම අපේ අභිලාෂයයි.” ෆේස්බුක් සමාගම අවසන් වශයෙන් සඳහන් කරනවා.

කවරය: තඹරු විජේසේකර / Roar

Related Articles