Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Huaweiවලට ඇමරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි – එතකොට අපට මොනවා වෙයි ද?

ට්‍රම්ප් ආණ්ඩුව Huawei Technologies Co Ltd ආයතනය අසාදුලේඛනගත කිරීම සමග වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාව සමග ව්‍යාපාර ගනුදෙනු කිරීම් සඳහා ඔවුන්ට බාධක පැණවුණා. ඊට අනුගත වෙමින් ගූග්ල් සමාගම තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අදාල Play Store, Google Play Services, Google Maps වැනි අත්‍යාවශ්‍ය හිමිකාරී සේවාවන් ද Huawei වෙත ලබාදීමෙන් වැළකෙන බවට Reuters වාර්තා කළා.

2019 පළමු කාර්තුව වන විට ඇපල් සමාගම අභිබවා ලොව ස්මාර්ට් දුරකතන වෙළඳපොළෙහි ඉදිරියට පැමිණීමට Huawei සමත්ව සිටියා. Samsungවලට පමණක් දෙවැනි වූ එය වසරක් තුළ 50%ක වර්ධනයක් ලබා‍ගෙන තිබුණා. ආසියාව, යුරෝපය, ලතින් ඇමරිකාව තුළ ඉහළ සාර්ථකත්වයක් දක්වන්නට ඔවුන් සමත් වූවා. 2018 අවසන් කාර්තුවේ දී රුසියාවේ වැඩියෙන්ම අලෙවි වූ දුරකතනය බවට Honor 7A පත්වූ අතර Huawei සමාගම එරට වෙළඳපොළෙහි ප්‍රථම ස්ථානයට පත්ව සිටිනවා.

Huawei සමාගමේ ගොඩනැගිල්ලක් (mashable.com)

ඇමරිකාවේ ට්‍රම්ප් රජය, චීනය “විදේශික ප්‍රතිවාදියෙක්” ලෙස හඳුන්වමින් වෙළඳ යුද්ධයක් අරඹනවා. ධවල මන්දිරය නිකුත් කළ නියෝගයක් මඟින්, එරට දුරකතන සම්බන්ධතා සඳහා යොදාගන්නා උපකරණ (සංඥා කුළුණු උපාංග, දුරකතන ඇතුළු වෙනත් සන්නිවේදන උපාංග ආදිය) විදේශීය ප්‍රතිවාදීන් විසින් සැකසූ දේවල් නොවිය යුතු බව; “ජාතික ආපදා අවස්ථාවක්” ද ප්‍රකාශයට පත්කරමින් දන්වා සිටිනවා. එනිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊට අනුගත වීමට එරට ආයතනවලට සිදු වෙනවා.

මෙම විධායක නියෝගයෙහි “චීනය” හෝ “Huawei” ලෙස ඍජුව සඳහන් කොට නැතත්, ට්‍රම්ප් රජය මෙතෙක් පවත්වාගෙන ආ විදේශ සහ ආර්ථික ප්‍රතිපත්ති අනුව සලකා බලද්දී චීනය ඉලක්ක කරගෙන සිදු කරන ලද විධායක නියෝගයක් බව අරුත් ගැන්වෙනවා. මීට පෙර ද රාජ්‍ය නිලධාරීන් ඇමරිකාවේ මිත්‍ර පාර්ශවීය රටවල් වන ජර්මනිය, ඉතාලිය, ජපානය වැනි රටවල්වලින් ද Huawei භාවිතයෙන් වැළකෙන ලෙස දන්වා ඇති බවට Wall Street Journal වාර්තාවක සඳහන් වෙනවා. එසේම ඔවුුන් AI හරහා ද චීනය අභිබවා යන්නට උත්සාහ කරන ආකාරය අප පෙර ලිපියක ගෙන ආවා. ඇමරිකාව විසින් පළ කරන ලද තවත් විශේෂ ආයතන ලැයිස්තුවක Huawei සමාගම ද දැන් අන්තර්ගත කොට තිබෙනවා. ඒ අනුව යි ඉහත නියෝගයෙන් Huawei වෙත බලපෑම් එල්ල වන්නේ.

වැඩිදුර කියැවීමට: චීනය අභිබවා කෘත්‍රීම බුද්ධිය වෙනුවෙන් ඇමරිකාව ගත් විධායක නියෝගය

රටවල් අනුව චීනය යටතේ Huawei සමාගම ද වෙනත් ඇමරිකානු-නොවන ආයතන 70කින් පමණ සමන්විත මෙම ලැයිස්තුවට එක් වන අතර, Huawei සමාගමේ අනුබද්ධිත රටවල් 26ක් යටතේ ද මෙම වාරණය පැනවෙනවා. එම රටවල් අතර කැනඩාව, බ්‍රසීලය, බෙල්ජියම, ජර්මනිය, බුරුමය, ජපානය, පකිස්ථානය පමණක් නොව ශ්‍රී ලංකාව ද අමෙරිකානු කර්මාන්ත හා ආරක්ෂක කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව දක්වා තිබෙනවා. එමඟින් චීනය හැර තමාගේ සැපයුම් ඇති වෙනත් රටක් හරහාවත් ඇමරිකාවට පිවිසෙන්නට Huawei ආයතනයට නොහැකි වෙනවා.

Huawei මූලස්ථානය (wikimedia.org)

චීනයේ බීජිංවල සිදුකරන ඔත්තු බැලීම්වලට Huawei ද සහාය වූ බවට චෝදනා කරන ට්‍රම්ප් මෙම නියෝගයෙන් ඔවුන් වෙත එල්ල කරන තවත් බලපෑමක් වන්නේ, අමෙරිකාවේ නිෂ්පාදිත චිප් මිල දී ගන්නට ද ඔවුන්ට අවසර නොදීම යි. Intel, Qualcomm, Xilinx, Broadcom නැවත දැනුම් දෙනතුරු Huawei වෙත තම සැපයුම් නවතා දමන්නට තීරණය කළා. මේ දිනවල නැගෙන 5G රැල්ලට අවශ්‍ය උපාංග සැපයීමට ‍Huawei සමාගමට බාධා එල්ලවිය හැකි අතර Intel ප්‍රොසෙසර සහිත ඔවුන්ගේ Matebook පරිගණක උපාංග පවා මින් තර්ජනයට ලක් වෙනවා.

මෙම සිදුවීමත් සමග සමාජ ජාලවල විශාල වශයෙන් කතාබහ ගොඩනැගෙනු දකින්නට ලැබුණා. විශේෂයෙන් දුරකතන වෙළඳපොළ තුළ අඩු මිලකට ඉහළ පෙළ විශේෂාංග ලබා ගැනීමට Huawei වෙතින් ලැබුණු අවස්ථාව ලෝකයේ මෙන්ම ලාංකික පාරිභෝගිකයන්ටත් අහිමි වී යනවා. මේ සමග නිතර අසන ලද ප්‍රශ්න කිහිපයකට, දැනට අප සොයාගත් තොරතුරු අනුව පිළිතුරු මෙසේ යි.

දැනට පාවිච්චි කරන Huawei ෆෝන් එකට මොකද වෙන්නේ?

Huawei GR5 2017 දුරකතනයක් (unbox.ph)

Google සමාගම තමන්ගේ මෘදුකාංග බලපත්‍ර Huawei සමාගම සඳහා අහෝසි කර ඇති නමුත් ඔබ දැන් පාවිච්චි කරන්නේ 2017 දී පමණ මිල දී ගත් දුරකතනයක් නම් දැනටමත් එයට පැමිණිය යුතු මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයන් අවසන් නිසා ගැටළුවක් වන්නේ නැහැ. ඒ වගේම, Google Play Store ආදී පහසුකම් අවහිරය ද පැරණි දුරකතනවලට බලපාන්නේ නැහැ.

Android යනු විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් නිසා Huawei සමාගමට තවදුරටත් AOSP හෙවත් ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත ව්‍යාපෘතියට පිවිසුම් අවස්ථා තිබෙනවා. එනිසා, එයට සිදුවන වෙනස්කම් පාදක කරගෙන මඳක් පමා වී හෝ ඔබේ ඉදිරිපෙළ දුරකතනයට Android Q ලැබීමට ඉඩ තිබෙනවා.

Huawei සමාගම මේ සම්බන්ධයෙන් දරන මතය?

Huawei සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රෙන් ස්හංෆෙයි (scmp.com)

“Huawei තවදුරටත් Security updates සහ අලෙවියන් පසු සේවාවන් දැනට තිබෙන සියළුම Huawei සහ Honor ස්මාර්ට් දුරකතන, ටැබ්ලට් නිෂ්පාදනවලට ලබා දෙනු ඇති අතර ඊට දැනට විකුණූ සහ තොග වශයෙන් ඇති නිෂ්පාදන ද අයත් වේ” ලෙස Huawei සමාගම ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහි තවදුරටත් දැක්වෙන්නේ “අප ආරක්ෂිත සහ නොබි‍ඳෙන මෘදුකාංග පරිසරයක් ගොඩ නගමින් ලොව වටා වූ පාරිභෝගිකයන්ට ඉහළ ම අත්දැකීමක් ලබාදෙනවා” කියා යි. එයින් නව මෙහෙයුම් පද්ධතියක් ඔවුන් සකසනු ඇති බවට ඉඟි පළ වූව ද Huawei සමාගම නව මෙහෙයුම් පද්ධතියක් නිකුත් කිරීමට සැලසුම් කර නැති බවත්, Android OS මත ම යැපෙන බවත් ප්‍රකාශ කළ බව South China Morning Post වෙබ් අඩවිය සඳහන් කරනවා.

Huawei සමාගම බිඳ වැටෙයි ද?

Huawei Mate 20 Pro දුරකතනයක් බිඳින්නට උත්සාහ කරමින් (YouTube/JerryRigEverything)

ඇමරිකානු ප්‍රතිපත්තිය සමග Intel, Qualcomm සමාගම්වල නිෂ්පාදන යොදාගෙන කරන Matebook, 5G උපාංග ආදියට බාධා එල්ලවන නමුත්, තවත් මාස කිහිපයක් යනතුරු තමන්ට උපාංග නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තොග ගබඩාවන් Huawei සමාගම තබාගෙන ඇති බවත්, 2018 මැද භාගයේ සිටම ඔවුන් සූදානම්ව සිටි බවට වාර්තාවී ඇති බවත් Mashable වෙබ් අඩවිය සඳහන් කරනවා. මෙම තොග මාස තුනක් පමණ නොවැටී සිටින්නට ප්‍රමාණවත් වනු ඇති බව Bloomberg අනුමාන කරනවා.

Microsoft සහ Google සමාගමෙන් මෘදුකාංගත්, Qualcomm, Broadcom වැනි දෘඪාංග අලෙවි කරන අමෙරිකානු සමාගම්වලිනුත් ඩොලර් බිලියන 11ක නිෂ්පාදන Huawei සමාගම පසුගිය වසර තුළ මිලදීගෙන තිබෙනවා. මෙයින් කාරණා දෙකක් පැහැදිලි වෙනවා. එකක්, ඉහත සඳහන් පරිදි තව ටික කාලයකට වෙළඳපොළ ආධිපත්‍යය තබා ගැනීමට හැකි බව යි. අනෙක, මෙම ආයෝජනය සම්පූර්ණයෙන්ම 2019 සඳහා ඇමරිකාවට අහිමිවී යන බවයි. අඩු මිලට දුරකතන පමණක් නොව අනෙකුත් සන්නිවේදන උපාංග ලබා ගැනීමට තිබූ අවස්ථාව ඇමරිකානු සමාගම්වලට අහිමි වෙනවා. Google මෘදුකාංග මත සහ Huawei දුරකතන මත යැපෙන යුරෝප වෙළඳපොළට ද මෙයින් ගැටළු ඇති වන අතර එහි නම් වැඩි බලපෑමක් එන්නේ පාරිභෝගිකයාටත් වඩා පාරිභෝගිකයන් අහිමිවීම හරහා Huawei සමාගම වෙත යි.

ඇමරිකානු නව අධිරාජ්‍යවාදී මුල්වලින් චීනයේ ඉපැරණි මුල්වලට අභියෝග කරන බව උපහාසාත්මකව දක්වන Korea Times හි පළවු කාටූනයක්. (koreatimes.co.kr)

Huawei සමාගම දැනටමත් ඔත්තු බැලීම් සිදුකර ඇත්දැයි ඇමරිකාවේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. එයින් නිදොස් වුවහොත් මේ අවදානම පහව යනු ඇති. පවරණ ලද අවහිරතාව මාස 3ක් දක්වා ඇමරිකානු රජය නිදහස් කර තිබෙන බවට අද (මැයි 21) FT වෙබ් අඩවිය සටහන් කළා. එනිසා මෙම අවදානමට සූදානම් වීමට තවත් ටිකක් කාලයක් Huawei සමාගමට ලැබෙනවා.

Samsung සමාගම ද ලොව වෙනත් රටවලට තම Exynos චිප් එක සහිත දුරකතනත්, ඇමරිකාවට පමණක් Qualcomm සමාගමේ Snapdragon චිප් එකත් යොදා උපාංග නිපදවන නිසා Huawei සමාගමටත් එවන් පියවරකට එළඹෙන්නට විකල්ප මාර්ගයක් තිබෙනවා.

ඔබ දැනට පාවිච්චි කරන්නේ Huawei උපාංගයක් ද? ඔබ හිතන්නේ Huawei උපාංගවල ඉදිරි අනාගතය කුමක් වේවි කියලා ද? Commentsවලින් ඔබේ අදහස් අපි එක්ක බෙදාගන්න.

කවරය: economist.com / David Parkins

Related Articles