Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රචණ්ඩත්වය ඇති කරන දේවල් මකන්න Facebook එකට ආ Rosetta

Facebook ප්‍රධාන සමාජ ජාලවල බලපෑම ගැන දැන් නිතර කතාබහට ලක් වෙනවා. ඉස්සර කාලේ මිතුරන් එක්ක සම්බන්ධ වෙන්න තිබුණු මූලික වෙබ් අඩවියක් විදිහට ආරම්භ වුණත් අද මෙය ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න වගේම එක අතකට ලෝකය පවා හැඩගස්වන්න හැකියාව තිබෙන බලවේගයක් බවට පත් වෙලා. මේ නිසාම සමාජ මාධ්‍ය හරහා සිදු වෙන්න ඉඩ තිබෙන හානිකර දේවල් වළක්වා ගන්න විශාල මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඇති වුණු ගැටුම් මාලාව සමාජ මාධ්‍ය අවභාවිතය නිසා සිදු වෙන්න පුළුවන් දේවලට හොඳ උදාහරණයක්. ඉන් පස්සේ තවත් රටවල් කිහිපයකම මීට සමාන විදිහේ සිද්ධීන් හට ගැනීමත් එක්ක ෆේස්බුක් ආයතනයත් දැන් මේ වගේ දේවල් වඩා ඉක්මණින් ඉවත් කරන්න ක්‍රම සම්පාදනය කරමින් ඉන්නවා.

පසුගියදා හට ගත්තු වර්ගවාදී ගැටුම්වලින් නිකරුණේ දේපළ සහ ජීවිත හානි බොහොමයක් සිදු වුණා (thewirehindi.com)

ඒ උත්සාහයේ අලුත්ම ප්‍රතිඵලය විදිහට කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණයෙන් බලගැන්වෙන රූප, අක්ෂර සහ ඒවායින් අදහස් වන දේවල් පවා හඳුනාගැනීමේ වැඩසටහනක් වන Rosetta යොදා ගෙන එයට එරෙහිව ක්‍රියා කරන බව ෆේස්බුක් ආයතනය පසුගියදා හෙළිදරව් කරා.

සමාජ ජාලවල පරිණාමය සහ ප්‍රචණ්ඩත්වයට හවුල් වීම

ඉස්සරම කාලේ සමාජ ජාල තනිකරම මිතුරන් හඳුනාගන්න පමණක් සීමා වුණු, වැඩි බලපෑමක් නොතිබුණු දේවල් වුණත් ටිකින් ටික ඒවා මිනිස් ජීවිතවල වැදගත්ම තැනකට ඇවිත් තිබෙනවා. අදහස්, මතවාද ප්‍රකාශ කරන්න, සංවාදයේ යෙදෙන්න වගේම විශේෂයෙන්ම ප්‍රවෘත්ති සහ තොරතුරු ප්‍රචාරණයේ සහ දැන කියා ගැනීමේ ප්‍රධානතම මාධ්‍යය බවටත් දැන් පත් වෙලා තියෙන්නේ සමාජ ජාල. විශේෂයෙන්ම යමක් සිදු වුණු විගස ඒ ගැන නිවැරදිම තොරතුරු දැනගන්න තියෙන හොඳම මාධ්‍යය ෆේස්බුක් කියන අදහස දැන් තදින්ම සමාජගත වෙලා තිබෙනවා.

මේකට එක හේතුවක් විදිහට සාම්ප්‍රදායික මාධ්‍යවල ස්වභාවය වගේම ඒවාට සැබෑවටම පවතින හෝ පවතිනවා යැයි සමාජයේ මතයක් තිබෙන වාරණ හඳුන්වන්න පුළුවන්. යමක් සිදු වුණාම එය සාම්ප්‍රදායික මාධ්‍යවලින් වාර්තා කරන විදිහ ගැන සමාජයේ අති බහුතරයක් වැඩි විශ්වාසයක් නැහැ.

සාම්ප්‍රදායික මාධ්‍ය සැබෑ තතු පවසන්නේ නැති බවට විශාල පිළිගැනීමක් තිබෙනවා (altoday.com)

අද වෙනකොට ඉස්සර වගේ ෆේස්බුක් තුළත් යමක් දැක්ක පමණින් විශ්වාස කරන අයගේ අඩු වීමක් තිබුණත්, තමන්ගේ මතවාදවලට අනුකූල දෙයක් (උදා : ආගමික, දේශපාලනික, සමාජයීය සහ පෞද්ගලික විශ්වාස) දුටුවොත් එය විශ්වාස කරන්න පෙළඹෙන ප්‍රතිශතය ඉතාම ඉහළ යි. ඒ වගේම කවටකමක් විදිහට සකස් කරන දේවල් වුණත් හාස්‍යය සඳහා බෙදා හරිනකොට සමහරු එය සැබෑවටම ගැනීමේ අවදානමත් තිබෙනවා.

මේ සියල්ලම නිසා යමක් සිදු වුණාම එයට අදාළව නිවැරදි නොවන හෝ නොමඟ යවන තොරතුරු ව්‍යාප්තියේ ලොකු ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේම ඒ වගේ අවස්ථාවල සමාජයේ පවතින නොසන්සුන්කාරී බව නිසා සාමාන්‍යයෙන් එවැන්නක් දකින අවස්ථාවකට වඩා ප්‍රචණ්ඩකාරීව ඒ අවස්ථාවල ක්‍රියා කරන්න පෙළඹවීමත් ඉහළ යි. අවසානයේ මෙවැන්නක් ඉතාම දුරදිග යන්න ඉඩ තිබෙන හැටි මෑතක දී ශ්‍රී ලංකාවේ අපි හොඳින්ම දුටුවා.

Rosetta ගේ විශේෂත්වය

යම් රූපයක පෙනෙන්න තිබෙන අක්ෂර හඳුනාගැනීම හෙවත් Optical Charactor Recognition කියන්නේ තරමක් පැරණි තාක්ෂණයක්. උදාහරණයක් විදිහට පුවත්පතක ස්කෑන් කළ පින්තූරයක් බලාගෙන ටයිප් කරනවා වෙනුවට එය යාන්ත්‍රිකවම ටයිප් කළ අකුරු බවට හරවන්න මේ ක්‍රමයෙන් පුළුවන්. Google Translate, ස්කෑනර් ඇප් ඇතුළු ජනප්‍රිය සේවා බොහොමයක මෙය දැනටමත් පුළුල් වශයෙන් යොදා ගැනෙනවා.

OCR වල යොදා ගැනීම් බොහොමයි (mashable.com)

කොහොම නමුත් මේවායින් සිදු කෙරෙන්නේ අකුරු, විරාම ලක්ෂණ, සංකේත සහ සමහරවිට වචන හඳුනාගැනීම පමණක් නිසාත්, එය හැම විටම වගේ අදාළ වැඩසටහන තුළ ගබඩා කර තිබෙන අක්ෂරවල හැඩය එක්ක සංසන්දනය කිරීමෙන් සිදුවන නිසාත් එය ෆේස්බුක් වගේ අති විශාල සමාජ ජාලයක පළ කෙරෙන දේවල් හඳුනා ගන්න ඒ තරම් ප්‍රයෝජනවත් නැහැ. විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වය පතුරවන පළ කිරීම් (උදා: වීඩියෝ, පින්තූර) බොහොමයක අක්ෂර හඳුනාගන්නවාට වඩා එයින් කියවෙන දේ හඳුනාගැනීමයි වැදගත් වෙන්නේ.

අලුතෙන් හඳුන්වා දුන්නු Rosetta උපකාරයට එන්නේ මෙතැන දී යි.තනිකරම කලින් ගබඩා කර තිබෙන හැඩ එක්ක සංසන්දනය කරලා අක්ෂර හඳුනා ගන්න එකෙන් එහාට ගිහින් තනිවම අකුරුවල සහ වචනවල හැඩ හඳුනා ගන්නත්, විවිධ වචන සහ වාක්‍ය ඛණ්ඩවල මුඛ්‍ය අර්ථ වගේම ව්‍යංග අර්ථ හඳුනාගන්නත් මෙයට පුළුවන් නිසා ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන පළකිරීම් ඉතාම කාර්යක්ෂමව වෙන්කරගන්න Rosettaට පුළුවන්.

Rosetta ක්‍රියාත්මක වන ආකාරය

code.fb.com

ෆේස්බුක් අතීතයේ නමෙන්ම අදහස් වන විදිහට මුහුණ සහිත පින්තූර දැමීම ප්‍රධාන කරගෙන තිබුණත්, අද බොහෝ විට මතවාදීමය යමක් වෙනුවෙන් පළ කරන පින්තූර ප්‍රමාණය ඉහළ ගිහින් තිබෙනවා. වචන දාහකට වඩා එක පින්තූරයක් ප්‍රබලයි කියන ආප්තෝපදේශය හොඳින්ම ප්‍රයෝජනයට අරගෙන යම් මතයකට, තොරතුරකට පින්තූරයක් හෝ වීඩියෝවක් යොදා ගැනීම අද බහුලව දකින්න පුළුවන්. බොහෝ විට ප්‍රචණ්ඩත්වයට හේතු වෙන්නෙත් මෙවැනි පළ කිරීම්වල අන්තර්ගත දේවල්.

Rosetta මේ වගේ වචන සහ අකුරු ඇති පින්තූර සහ වීඩියෝවලින් එවැනි දේ හඳුනා ගන්න මූලික පුහුණුවකට ලක් කර තිබෙනවා. යම් දැන්වීමක්, තොරතුරු පුවරුවක්, පුවත්පතක්, ඇඳුමක මුද්‍රණය කර තිබෙන යමක්, හිතාමතා නිර්මාණය කළ පින්තූරයක් හෝ උසුළු රූපයක් (Meme එකක්) වගේ දේකින් අන්තර්ගතය හඳුනා ගැනීම මේ පුහුණුවට අයත්. එය යම් මට්ටමකට පැමිණියාට පස්සේ ෆේස්බුක් පළ කිරීම් පුරා තනිවම සැරසරමින් තමන් සොයා ගන්නා දේවල්වල තිබෙන අන්තර්ගතය හඳුනා ගන්න Rosetta හට ඉඩ දීමත්, එයට වරදින අවස්ථාවලදී සහාය වීමත් සිදු කෙරෙනවා. කාලයක් තිස්සේ සිදු කරන මේ යාන්ත්‍රික පුහුණුව හෙවත් machine learning එක කුඩා දරුවෙකු වැරදි වැරදී ඉගෙන ගැනීමටම සමාන වුණත් පවතින පරිගණක බලය නිසා ඉතාම කෙටි කාලයකින් එහි කෙළ පැමිණියෙක් වෙන්න Rosetta ට පුළුවන්.

Rosetta ක්‍රියාත්මක වන අයුරු (code.fb.com)

මේ වන විටත් Rosetta දීර්ඝ කාලයක් පුරාවට ෆේස්බුක් සහා ඉන්ස්ටාග්‍රෑම්හි පළ කර තිබෙන රූප සහ වීඩියෝ අධ්‍යයනය කර පුහුණු වී තිබෙනවා. මේ නිසා බොහෝ දුරට තනිවම ඕනෑම රූපයක අන්තර්ගත අකුරු, වචන වගේම ඒවායේ වචනාර්ථය සහ ව්‍යංගාර්ථය හඳුනාගන්නත් දැන් Rosetta ට පුළුවන්. දිනෙන් දින දැනුම ලබා ගෙන පරිණත වෙන පුද්ගලයෙක් වගේම කාලයත් එක්ක තවත් හොඳින් මේ කටයුත්ත කරන්න Rosetta ට හැකි වේවි.

යොදා ගැනීම සහ ප්‍රතිඵල

වෙනත් ඕනෑම කෘත්‍රීම බුද්ධි වැඩසටහනක් වගේම Rosettaටත් පරිහරණය කරන්න අවස්ථාව තිබෙන පරිගණක සම්පත් වැඩි කරන තරමට හැකියාවත් වැඩි කර ගන්න පුළුවන්. ෆේස්බුක් සමාගමට Rosetta වෙත ඇති තරම් පරිගණක සම්පත් සපයා දෙන්න පුළුවන් නිසා දැනටමත් භාෂා සිය ගණනකින් පළ කෙරෙන දේවල් ඇති රූප සහ වීඩියෝ බිලියන ගණනක් පළ කළ විගසම හඳුනා ගනිමින් සැක සහිත දේවල් ඉවත් කරන්න Rosetta කටයුතු කරනවා.

වාර ගණනක් report කරන තුරු හෝ සැබෑ හානියක් වන තුරු යමක් ඉවත් නොකරන බවටත්, ඒ අවස්ථාවල තාර්කිකව ක්‍රියා නොකරන බවටත් ෆේස්බුක් ආයතනය නිතරම චෝදනා ලබනවා (twitter.com)

වැඩි අවදානමක් තිබෙන දේවල් වහාම ඉවත් කරන්න හෝ ඒවායේ ව්‍යාප්තිය (reach එක) සීමා කිරීමේ තීරණයත් දැන් Rosettaටම ලබා ගන්න පුළුවන්. ඉස්සර කාලේ බොහෝ විට report ගණනාවක් වැටෙන තුරු යමක් ඉවත් නොකෙරෙන බව ෆේස්බුක් එකට තිබුණු ලොකු චෝදනාවක්. ඒ වගේම report නොවන තාක් ඕනෑම දෙයකට තිබෙන්න ඉඩ දීමත් සිදු වුණා. දැන් Rosetta ඒ ගැන වග බලා ගන්නා නිසා ප්‍රචණ්ඩත්වය අවුළුවන දෙයක් නම් report නොකෙරුණත් ඒවා ඉවත් වේවි.

කොහොම නමුත් මෙය නිසා පුද්ගලයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් වෙනවා කියලත්, විවිධ බලධාරීන්ට තමන් අකමැති දේ වාරණය කරන්නත් ඉඩක් ලැබෙන බව මෙයට විරුද්ධ පිරිස පවසනවා. සමාජ ජාල තුළින් වෙනත් මාධ්‍ය වාරණය කරන දේවල්වල සැබෑ සත්‍යය හෙළි කරන්න තියෙන ඉඩකඩත් මේ නිසා අඩු වෙන බව ඔවුන්ගේ අදහස යි.

Rosetta නිසා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මේ අන්ත දෙකෙන් කොයි එකට යාවිද කියන එක දැන ගන්න නම් තව ටිකක් කල් බලාගෙන ඉන්න සිදු වේවි.

කවරයේ රූපය : cbsistatic.com

Related Articles